තරුණ ඡන්දයේ තීර­ණා­ත්මක බලය | සිළුමිණ

තරුණ ඡන්දයේ තීර­ණා­ත්මක බලය

ටේ ජන­තාව වෙත මේ වන විට මැති­ව­රණ උණු­සුම කෙමෙන් දැනෙ­මින් තිබේ. වෙසෙ­සින්ම ලබන දෙසැ­ම්බ­රය වන විට පව­ත්ව­න්නට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් රටේ ඇතිව තිබෙන සහ සිදු වෙමින් පව­තින දේ මේ තත්ත්ව­යට ආස­න්න­තම හේතු­වයි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අම­ත­රව පළාත් සභා මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන්ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මතය තවත් සති දෙක­කට ආසන්න කාල­යක් ඇතු­ළත ලැබී­මට නිය­මි­තය. මැති­ව­රණ කොමි­සම උත්සාහ දරන්නේ යම් හෙය­කින් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉතා ආස­න්නයේ පව­ත්ව­න්නට නොහැකි වුණත් අවම වශ­යෙන් ඊට පසුව ආසන්න දින­ය­කදී හෝ පළාත් සභා මැති­ව­ර­ණය පවත්වා මැති­ව­රණ පැවැ­ත්වීමේ පරම වග­කීම ඉටු කිරී­ම­ටය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය හෝ පළාත් සභා මැති­ව­ර­ණය හෝ වෙනත් මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක ලක්ෂ­ණ­යක් විය යුතු බවට විවා­ද­යක් නැත. එය තම රට කර­වන තැනට, පළාත හෝ ගම කර­වන තැනට තම නියෝ­ජි­තයා පත් කිරීමේ මහ­ජ­න­තා­වට පව­තින උත්ත­රී­තර බලය පාවිච්චි කිරී‍මේ පව­තින අයි­ති­යයි. මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා ඇතුළු ඒ කොමි­සම මෑතක මැති­ව­රණ පැව­ත්වීමේ වග­කී­මට පම­ණක් සීමා නොවී ඉන් එහා ගොස් මේ ඡන්ද සංස්කෘ­තියේ උන්න­තිය වෙනු­වෙන්ද වෙහෙ­සෙන්නේ මහ­ජ­න­තාව සතු මේ උත්ත­රී­තර බලය අනා­ග­ත­යේදී පිරි­හී­ම­කට යා නොදී රැක­ගැ­නීමේ වැද­ග­ත්කම නිසා බව පෙනී යයි.

මැති­ව­රණ කොමි­ස­ම­ටත් දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටත් ඉදි­රි­යේදී එල්ල වන ලොකුම අභි­යෝ­ගය වන්නේ මේ මැති­ව­රණ පද්ධ­තිය තුළ ඡන්දය ප්‍රකාශ කරන පිරිස රැක­ගැ­නී­මය. එයට හේතුව රටේ මහ­ජ­න­තාව තුළ ඡන්දය දීමේ උන­න්දුව අඩු වීමේ ප්‍රව­ණ­තා­වක් නිර්මා­ණය වීමය. මෙයට හේතුව මැති­ව­රණ ක්‍රමය පිළි­බඳ හෝ එය පව­ත්වන ආකා­රය පිළි­බඳ පව­තින කකුස හෝ අවි­ශ්වා­සය හෝ නොවේ. මේ තත්ත්ව­යට හේතු වී ඇත්තේ තමන්ගේ ඡන්ද අයි­තිය පාවිච්චි කර­මින් අදාළ මහ­ජන නියෝ­ජි­ත­යන් බවට පත් වන පුද්ග­ල­යන්ගේ පසු-කාලීන හැසි­රීම් සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තාව තුළ පව­තින අවි­ශ්වා­ස­යයි; කල­කි­රී­මයි. විශේ­ෂ­යෙන් තරුණ ප්‍රජාව මේ මැති­ව­රණ සම්ප්‍ර­දා­යෙන් ඈත් වීමේ ප්‍රව­ණ­තා­වට ලෙකුම මුල බීජය වී ඇත්තේ ඒ තත්ත්ව­යයි.

සැම මැති­ව­ර­ණ­ය­ක­දීම සැල­කිය යුතු තරුණ කොට­සක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අලු­තින් සුදු­සු­කම් ලබති. දැනට නිශ්චි­ත­වම පැවැ­ත්වී­මට නිය­මිත ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදි ජන­ර­ජයේ හත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තේරීමේ ඡන්දය වෙනු­වෙන් පෙළ­ගැසී ඇති අලුත් ඡන්ද සංඛ්‍යාව නව ලක්ෂ හැත්තෑ හය දහ­සකි. එනම් ලක්ෂ 10කට ආස­න්නය. එය පසු­ගිය වසරේ පෙබ­ර­වාරි මාසයේ පැවති ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යේදී එකතු වුණු ඡන්ද සංඛ්‍යා­වට වඩා වැඩි වීමකි. ජනා­ධි­ප­ති­ව­ර­ණය හෝ වෙනත් කවර මැති­ව­ර­ණ­යක් මේ වසරේ පැවැ­ත්වු­වද මේ ඡන්ද තීර­ණා­ත්මක වනු ඇත.

මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­ර­යාට අලු­තින් එකතු වන මේ ඡන්ද­දා­ය­ක­යන් ඡන්දය ඇති දාට ඡන්ද පොළට ඒදැයි යන්න පිළි­බඳ ඇත්තේ එක්තරා බියකි. ඔහුට වුව­මනා කරන්නේ මේ ඡන්ද­දා­ය­ක­යන් මැති­ව­ර­ණ­ය­කදී සක්‍රිය ලෙස භාවිත කිරී­ම­ටය. ඔහුගේ මේ ප්‍රය­ත්නය අගය කළ යුතුය. මෙහිදී වඩාත් වග­කී­මෙන් යුතුව කට­යුතු කළ යුත්තේ දේශ­පා­ල­ක­යෝය.

මේ තරුණ පිරි­සට ආම­න්ත්‍ර­ණය කළ හැකි, ඔවුන්ට විශ්වාස කළ හැකි දේශ­පා­ල­න­යක් රට තුළ තිබිය යුතුය. බොරු නොක­රන, අප­රා­ධ­ව­ලට සම්බන්ධ නැති, සොර-මැර­කම් නැති, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන වැඩි විශ්වා­ස­යක් දරන අලුත් මුහු­ණු­ව­ලට ඔවුන් ආක­ර්ෂ­ණය වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් ඇත. රටේ ඊළඟ පර­ම්ප­රාවේ හැසි­රීම සම්බ­න්ධ­යෙන් විෂම තත්ත්ව­යක් පැව­ති­යද දේශ­පා­ල­නය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විෂ­ය­යෙහි මෙන්ම සමා­ජීය කාර­ණා­ව­ලදී ඔවුන් අපේ පසු­ගිය පර­ම්ප­රා­වන්ට වඩා සබු­ද්ධික ලෙස හැසි­රීමේ යම් ප්‍රව­ණ­තා­වක්ද නිරී­ක්ෂ­ණය කළ හැකිය. විශේ­ෂ­යෙන්ම මේ අලුත් පර­ම්ප­රාව නූතන තාක්ෂ­ණය නිතර භාවිත කරන, ලෝක දැනුම සමඟ බොහෝ විට අඩු-වැඩි වශ­යෙන් සම­පාත වන පුද්ග­ලයෝ වෙති. ඔවුන් සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන පක්ෂ හෝ දේශ­පා­ල­නික ආකෘති තුළ සිර­ගත වන්නට සූදා­න­මක් නැත. පසු­ගිය 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීත් මේ ඡන්ද­වල හැසි­රීම නිරී­ක්ෂ­ණය කළ හොත් ඔවු­න්ගෙන් වැඩි දෙනකු ප්‍රජා­ත­න්ත්‍රීය වූ වෙන­සක් වෙනු­වෙන් තම ඡන්දය පාවිච්චි කර ඇති බව පෙනී යයි. එසේම පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 26 වැනිදා සිදු වූ ප්‍රජා­තන්ත්‍ර විරෝධි ක්‍රියා­දා­මය මැද්දේ මේ තරු­ණ­යන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක්වූ විරෝ­ධය රට තුළ සම­ස්ත­යක් ලෙස ප්‍රබල ජන­ම­ත­යක් ඇති කිරී­මට සැල­කිය යුතු හේතු­වක් විය.

මෙවැනි ප්‍රව­ණතා මැද ඉදි­රි­යේදී පැවැ­ත්වෙන ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී මේ ඡන්ද අති­ශ­යින්ම තීර­ණා­ත්ම­කය. ඔවුන් බොහෝ විට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ සබු­ද්ධි­ක­වය. ඔවුන් බොරු කියා වටේ යැවීම අප­හසු වන්නේ තොර­තුරු තහ­වුරු කර­ගැ­නීමේ යන්ත්‍ර­ණ­වල (Fact Checking) මේ තරුණ පර­පුර සක්‍රි­යව සිටින නිසාය. ඔවුන් විසින් තහ­වුරු කර­ගත් නිවැ­රදි තොර­තුරු සැණෙ­කින් වයි­ර­සා­කා­ර­යෙන් සමාජ ජාලා ඔස්සේ එක් එක් තරුණ කණ්ඩා­යම් වෙත ආක­ර්ෂ­ණය කර­වීමේ හැකි­යා­වක් ඔවුන්ට ඇත. ඔවුන්ට එක් එක් අපේ­ක්ෂ­ක­යාගේ අතීත ක්‍රියා­කා­ර­කම් සහ ඔවුන් විසින් සිදු කරන ලද ප්‍රජා­තත්න්‍ර විරෝධි යම් ක්‍රියා පිළි­වෙ­තක් වේ නම් ඒ ගැන සැණෙ­කින් ප්‍රති­චාර දැක්මේ හැකි­යාව ඇත. එබැ­වින් අලු­තින් එකතු වන ඡන්ද හැකි තාක් මැති­ව­ර­ණ­ය­කදී හිමි කර­ගත හැකි නම් එය රටක් ලෙස අනා­ග­ත­යට පිය­නැ­ඟී­මේදී ඒ තුළ පව­තින්නේ දැඩි වාසි­යකි.

සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව 2015 ඡන්දය දුන් තරුණ පිරි­සද ඇතු­ළුව ඊළ­ඟට එන මැති­ව­ර­ණ­ය­කදී ඡන්ද­පොළ බලා­පො­රොත්තු වන ඡන්ද ප්‍රමා­ණය ලක්ෂ විස්ස­කට ආස­න්නය. මේ ඡන්ද ලක්ෂ 20 අති­ශය තීර­ණා­ත්ම­කය. එබැ­වින් ඔවුන්ට සමීප වන, ඔවුන්ට ආම­න්ත්‍ර­ණය කරන, ඔවුන් තුළ විශ්වා­සය තහ­වුරු කරන චරි­ත­ය­ක­ටම මැති­ව­ර­ණය සුබ­වාදි වනු ඇත.

Comments