වැඩිහිටියෝ පොඩිහිටියන්ව මේ තරම් අවිශ්වාස කරන්නේ ඇයි? | සිළුමිණ

වැඩිහිටියෝ පොඩිහිටියන්ව මේ තරම් අවිශ්වාස කරන්නේ ඇයි?

ඇය දුරකථන සංවාදයක නිරතව සිටියාය. ඒ නොතැකූ සුනන්දා “අමා” යි හඬ ගෑවේ යුද්ධය ආරම්භ කරන කාලතුවක්කු හඬක් පරිද්දෙනි.

අතකින් සන් කරමින් අමාලි ඉල්ලා සිටියේ තවත් විනාඩියක දෙකක සුළු කාලයකි.

“නෑ නෑ... ඔයා දැන් එන්න එපා බ්‍රයන්.. අපි හෙට මීට් වෙමු.”

ඇය බ්‍රයන් සමඟ කතා කරන බව වැටහී ගියෙන් සුනන්දාගේ කෝපය තවත් උත්සන්න විය.

“අමා..” යි පෙරට වඩා උස් හඬින් පුනරුච්චාරණය කරමින් ඇය දුරකථනය උදුරා ගත්තාය. විමතියෙන්ද කුහුලින්ද දැල්වුණු දෑස නොතකා “මට එන කේන්තියට මේ මළ ඉලව්ව පොළොවෙ ගහන්න පුළුවන්.” යි කීවාය.

“මටත් වෙලාවකට හිතෙනවා නැන්දෙ ඔය කෙහෙල්මල පොළොවෙ ගහන්න. ඊට පස්සෙ නැන්දයි තාත්තයි දෙන්නම එකතුවෙලා මට අලුත්ම අලුත් ස්මාට් ෆෝන් එකක් අරං දෙයිනෙ...”

කොහොමටත් කවදත් අමාලි සිය නැන්දණියගේ කෝපය හා නොරිස්සුම ඒ හැටි ගණන් නොගනියි.

“ඔව්.. ඔව්... ඔයා කරන හිතුවක්කාරකම් වලට අපි තව තෑගි දෙන්න ඕන තමා...”

“මං කොයිතරම් අහිංසක අසරණ ගෑනු ළමයෙක්ද නැන්දෙ.. ඔයයි තාත්තයි එක්ක ඉන්නවාට මට තෑගි දෙන්නම ඕන තමා...”යි අමාලි පැවසුවේ අහිංසක ලීලාවෙනි. හිසද මඳක් ඇල කරගෙනය.

වෙනදා කෙසේ වෙතත් මේ උදාසන නම් සුනන්දා ඒ රංගනයන්ට නොරැවටෙන්නට අදිටන් කර ගත්තාය.

“අනේ අමා ඔය විහිළු නවත්තන්න මට ඇත්තම කියන්න. නලින්ගෙයි, ඔයාගෙයි තියෙන සම්බන්ධ මොකක්ද?”

අමාලි සැබැවින්ම පුදුමයට පත් වූවාය.

“මොකක්ද?” යි ඇය ප්‍රශ්න කළේ නොඉවසිල්ලෙනි.

“අයියත් හරියට කල්පනා කරනවා. ඔයා යයිද අහනවා නලින්ගෙ ගෙදරට කිසිම සම්බන්ධයක් නැත්තං...”

“මම ඉස්සෙල්ලම අඳුන ගත්තෙ අෂේන්ව.”

ගතානුගතික ආකල්ප හාස්‍යයෙන් හෙළා දකින්නට පුරුදු වි සිටින අමාලි ඒ පරිද්දෙන් කරුණු දැක්වීමද පුදුම සහගතය. එහෙයින් සුනන්දා මඳක් මෙල්ලවූ ස්වභාවයෙන් ඇඳ මත හිඳ ගත්තාය.

“මම විශ්වාස කළත් අයිය නම් විශ්වාස කරන එකක් නෑ ඔය සුරංගනා කතා...”

අමාලි මඳහසක් පෑවා විනා තවදුරටත් කරුණු පැහැදිලි කරන්නට වෑයම් නොකළාය.

“අෂේන් කියන්නෙ නලින්ගෙ පුතානෙ.. ඒ පොඩි ළමයා එක්ක මොකක්ද ඔයාගෙ තියෙන යාළුකම?”

“ඇයි නැන්දෙ පොඩි ළමයෙකුටයි ලොකු කෙනෙකුටයි යාළු වෙන්න බැරිද?” සුනන්දා සුරකථනය පසෙකින් තැබුවාය.

“ඔයාගෙ පෙරකදෝරු කතා මෙතෙන්ට හරියන්නෑ අමා. ඔයා ළමයෙක් ඉන්න මිනිහෙක්ගෙ ගෙදර දවසක් දෙකක් හැංගිලා හිටියා කියලා කියන්නෙ මහ විශාල වැරැද්දක්. ඔයා හිතන්නෙ ඒක එහෙම නෙමෙයි කියලද?”

අමාලි සුපුරුදු පරිදි දෙබැම ඉහළ නංවා විමතිය පළ කළාය. දෙතොලද හකුළා ගනිමින් විප්‍රකාර ඉරියව්වක් මවා පෑවාය. ඒ කාරියේදී ඇය කොතෙක් බුහුටි වන්නේදැයි කිවහොත් මේ වාදය නවතා සෙනේහයෙන් සිප සනසාලන්නට සිතෙන තරමට සුනන්දා මොළොක්ව ගියාය. එහෙත් සිරිමාන්න පැවරූ රාජකාරිය අනලස්ව ඉටු කළ යුතුය. අනෙක් අතට අමාලි හා නලින් අතර ඇසුරේ දිග පළල දැනකියාගන්නටද ඇයට තදින්ම වුවමනා වී තිබේ.

“වැරැද්ද මගේ නෙමේ නැන්දෙ. ඔයාල අපිව විශ්වාස කළා නම් මම පැනල යන්නෙ නෑනේ.”

“ඒ කිව්වෙ...?”

“ඇයි අනේ බ්‍රයනුයි මායි යාළුවෝ විතරයි කියල කීවට ඔයයි තාත්තයි විශ්වාස කළේම නෑනේ. ඇත්තමට ඇයි නැන්දෙ වැඩිහිටියො පොඩිහිටියන්ව මේ තරම් අවිශ්වාස කරන්නෙ...?”

සුනන්දා ඉවත බැලුවේ මුව’ග නැඟි සිනාව සඟවා ගනු පිණිසය.

“අනේ අමා... විහිළු කරලා හරි යනවද...? මොන තරම් බරපතළ කාරණයක්ද...?

වහා සිනාව යටපත් කරගත් ගැහැනිය බැරෑරුම් බැල්මක් හෙළුවාය.

“මම කොහොම කීවත් නැන්දා විශ්වාස කරන්නෙ නැත්තං මම මොනා කරන්නද... නලින් එක්ක මගේ මොනම යාළුකමක්වත් නෑ. මගේ යාළුවා අෂේන්.. නලින් එක්ක මම යාළු නම් මම නොකියා ඉන්නෙත් නෑ. එයාට දරුවෙක් ඉන්න එකවත් ඩි‍වෝස් වෙන්න යන එකවත් මට අදාළ නෑ.”

සුනන්දාගේ සිතෙහි ඒ කියුම තදින් සනිටුහන් විය. තවත් ප්‍රශ්න කිරීමෙන් හෝ සැක ඉපදීමෙන් පලක් නොවන බව ඇයට වැටහිණ.

“ඔයා ඔය කියන්නෙ ඇත්තම තමා කියලා මම පිළිගන්නම් අමා. ඔයා කැමති නැද්ද හැංගි හැංගි නැතුව එළිපිටම නලින්ගෙ ගෙදර ඉන්න?”

දෑස හකුළාගත් යුවතිය “ඒ කියන්නෙ?” යි ඇසුවාය.

“මං නං ඒ ළමයට කැමතියි.”

“ළමයෙකුත් ඉන්න ළමයෙක්.”

සුනන්දා එක එල්ලේ අමාලි දෙස බැලුවාය.

“දැං ඔයාමනෙ කීවෙ ඔයට ඒක අදාළ නෑ කියලා..”

“ඔව් ඉතිං... ඒ වුණාට මට බෑ නලින්ව කසාද බඳින්න.. අෂේන්ට ආදරේ හින්ද වුණත් මට නම් බෑ. මට හරියන්නෙ නෑ එයාව.”

“එහෙනං ඔයාට හරියන්නෙ කවුද?”

අමාලි දෙතොල ඈත් මෑත් කළේ කවට බසක් තෙපලන අදහසිනි. එහෙත් ඒ සැණින් ඇගේ දෙනෙත අබියස දයාන්විත බැල්මක් හෙළුවේ දුර ඈත අශිෂ්ටයාය. තවම මුළුමනින් ශිෂ්ට සම්පන්න නොවූ සවිමත් සිරුරකින් හෙබියාවූ ද සිය ජීවිකාව සිවුපාවෙකු මත රඳවා ගත් තරුණයාය. ඇය තිගැස්සුණාය. “මගෙ ‍ෙදයියනේ” යි මුර ගාන්නට පවා ඇයට සිතිණ. ඔහු දකින්නට ඇය ප්‍රිය කළ අතර නොදැක සිටින්නට ඉටා ගත්තාය.

ඒ එකම තරුණයා වෙනුවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් සිය සිත ජනිත වන්නේ මන්දැයි වටහා ගන්නට තැත් කරනවා වෙනුවට ඇය ඇ‍ඳෙන් බැස්සාය.

මේ හිතුවක්කාර කෙල්ල කුමක් කීවද ඉතුරුව ඇත්තාවූ එකම ප්‍රශ්නයද ඉදිරිපත් කළ යුතු බව සිතූ සුනන්දා උගුර පාදා ගත්තාය.

“තවත් මොනවා හරි අහන්න තියෙනවද නැන්දෙ? මට වොෂ් රූම් යන්නත් ඕන.”

“වොෂ් රූම් නෙමෙයි. දොස්තර කෙනෙක් ළඟට එක්ක ගියා නම් තමා හොඳ..”

“ඒ මොකටද? ඇයි මම අසනීපෙන්ද?”

සුනන්දා අඳුරු දෙනයනින් ශෝකී හඬින් සිය සිත දවන තවන මහා ගැටලුව මුවින් පිට කළාය.

“පිරිමියෙක් එක්ක... කසාද බැඳපු පිරිමියෙක් එක්ක රැයක් හිටියට පස්සෙ ගෑනු ළමයෙකුගෙන් ඇති වැඩේ මොකක්ද...?”

එය ඉලක්කයට ම එල්ල කළ හීයක් විය. ලේ ගලන තුවාලයක් එක්ක අමාලි මොහොතක් නිශ්චලව පසු වූවාය.

“ඒ මිනිහට ම උඹව කසාද බන්දලා දෙනවා මිසක ආයෙ වෙන මනමාලයෙක් නම් හොයලා වැඩක් වෙන්නෙ නෑ..”

තමාගේ කන්‍යාභාවය පිළිබඳව නැන්දණියගේ මනස්තාපය ඒ “උඹ” යන ආමන්ත්‍රණයෙහි ගැබ්ව නැද්දැයි සිතූ අමාලි ශෝකී මඳහසක් පෑවාය.

“මට දැනගන්න පුළුවන්ද ඔය වචන ඇත්තටම කාගෙද කියලා.”

ශෝකයෙන් හා කෝපයෙන් කෑ කෝ ගහසනු වෙනුව ඇය ඉවසිල්ලෙන් ඇසුවාය.

“නිකං බොරු ප්‍රශ්න අහලා ඇත්ත උත්තරේ හංගන්න හදන්න එපා අමා...”

“මම කියන ඇත්ත බොරුවක් කියලා පිළිගන්න ඔයාලා එක්ක මට ආයෙ කතාවක් නෑ නැන්දෙ. ඔයාලගෙ ඔය පරණ හණමිටියෙන් මට බැට දෙන එක නවත්තන්න. සැරයක් බ්‍රයන් අල්ලා ගත්තා. දැන් අෂේන්ගේ තාත්තව... මේක මහ විකාරයක්නෙ. කෙල්ලක්ගෙ කන්‍යාභාවයයි ගෑනුන්ගෙ පතිවතයි ගැන ඇරුණම වෙන කරදර වෙන්න කිසිම දෙයක් නැද්ද ඕ‍ගොල්ලන්ට...?”

සුනන්දා නිරුත්තරව බලා සිටියදී අමාලි නාන කාමරයට වැදුණාය. දොර මහ හඬින් වැසුණේ නිශ්ශබ්දතාව තළා දමන කුළු ගෙඩියක් පරිද්දෙනි.

 

ලබන සතියට‍...

 

 

අදහස්