නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

ගමක හඬ

සේවා පියසෙහි එක්තරා කුටියක් ඉදිරිපිටට එන වැඩිහිටි ගැමියෙක් දොරකඩ නැවතී කුටියට එබිකම් කරයි.

‘ආ එන්ඩ තාත්තෙ! මොකක්ද කෙරෙන්ඩ ඕනැ?‘

කාර්යාලයෙන් තරුණ කටහඬක් නැගෙයි.

වැඩිහිටි තෙමේ ඉස්පාසුවක් ලද හිනාවක් මුවෙහි නංවාගෙන කුටිය තුළට යයි. ටිකකින් ඔහු පිටතට එන්නේ මුව පුරා ඇඳී ගිය හිනාවෙනි.

ඒ වනවිටත් කාර්යාල දොරකඩ රැඳී සිටින වැඩිහිටි කතකි. කාර්යාලය තුළින් යළිත් අර ළෙන්ගතු හඬ නැගෙයි.

‘ආ එන්ඩ නැන්දෙ!‘

මේ පහළ තිහාරිය ග්‍රාමසේවා කාර්යාලයයි.

තිහාරිය පිහිටා ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එය සිංහල, මුස්ලිම්, දෙමළ, මැලේ ආදී ජාතීන් රැසක් වෙසෙන විශාල ගම්මානයකි. එහෙයින් ග්‍රාමසේවා වසම් පහක් තිබේ. ජනයා අතර බේද නැත. පහළ තිහාරියේ නිවාස හත්සීයකට අධික ය. මේ වසමේ සිටි ග්‍රාමසේවක මහතා විශ්‍රාම ගිය විට වැඩ බැලීම සඳහා පත් කෙරී ඇත්තේ මල්වත්ත ග්‍රාමසේවා වසමේ රාජකාරියේ නිරත ජගත් රෝහණ මහතායි. ඔහුට තිහාරියේ වැඩ කිරීමට නියමව ඇත්තේ දෙදිනක් පමණි. සෙසු දිනවල මල්වත්තේ වැඩ කළ යුතු ය.

ග්‍රාමසේවා කාර්යාලය පිහිටා ඇත්තේ රජයේ ආධාර ඇතිව ඉදිකරන ලද සේවා පියසේ ය. ගොවිජන සේවා, සංවර්ධන, සමෘද්ධි නිලධාරීනට තවත් කාර්යාල තුනක් වෙන් වී ඇත. මේ කාර්යාලයට පැමිණෙන දින දෙකේ ග්‍රාමසේවක මහතාට ඉස්පාසුවක් නැත. සතියක් පුරා ගොඩ ගැසුණු ජනතා අවශ්‍යතා දින දෙකකින් කර දීම මහත් වෙහෙසකර කාර්යයකි. එහෙත් ඔහු රාජකාරිය මැනවින් ඉටු කරයි.

‘අයියෙ, ඕනැ වුණොත් මට කතා කරන්ඩ. ඔන්න ටෙලිපෝන් නොම්බරේ ගහල තියනව. නිවාඩු දවස්වලදි වුවමනා වුණොත් අපේ ගෙදර එන්ඩ. මං ඉන්නව‘ ඔහු කෙනෙකුට කියනු ඇසෙයි.

වැඩිහිටි ආධාර නොලැබුණු ගම් වැසියන් බොහෝ දෙනෙකුට ඔහු අදාළ ආධාර මුදල ලබා දී ඇත. වැඩිහිටියන් ඔහු පසසන්නේ එහෙයිනි.

සැබැවින් ම රටට වුවමනා වී ඇත්තේ මෙබඳු ගුණවත් නිලධාරීන් ය. ග්‍රාමසේවා කාර්යාලයේ විදුලි බිල තමා අතින් ගෙවා දැමීමට ඔහුට සිදුවිම නම් අපට හිතේ අමාරුව ඇති කරන්නකි. සේවා පියසේ ඇතැම් නිලධාරී කාර්යාල පාළුවී ඇත්තේ මේ නිසා දැයි නොදනිමි.

ඉතින් ජගත් තරුණ මහතාට සුබ පතමි.

 

පහළ තිහාරියේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් පී. පේමදාස මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

-------------------

බඹර පහර

මද්දහනකි. මොරගල කිරිළපන පන්සල හන්දියට තදින් හිරු පායා තිබිණ. ගසක බැඳ තිබූ බඹර කූඩුවක් උකුසු ප්‍රහාරයකින් ඇවිස්සී ගියේ ය.

බඹරුන් ගේ කෝපය පිට වූයේ බසයක් එන තුරු නැවතුමේ රැඳී සිටි මගියකු පිටිනි. සිය ගණනක් බඹරු ඔහු වට කරගෙන අනින්නට වූහ. බස් නැවතුමෙන් පාරට පැන ගත් මගියා කඩමණ්ඩිය පැත්තට දුවන්නට වූයේ මරු විකල්ලෙනි.

මේ දුටු කඩේ ගෙදර ජයවික්‍රම මෙනෙවිය මගියා බේරාගනු පිණිස වහා ම සිය රිය පාරට ගෙන දොර හැර එහි නගින්නැයි මගියාට කෑ ගැසුවා ය. එය නොවැටහුණු මගියා බඹර පහර කාගෙන ම ඉදිරියට දිව්වේ ය.

කිරිළිපණ කනිටු විදුහල්පති සුනිල් විතාරණ මහතා සිය රියෙන් පැමිණෙමින් සිටියේ හරියට ම මේ වෙලාවට ය. බඹර පහරින් පීඩිතව සිටි මගියා රියෙහි නංවා ගත් ඔහු හැකි ඉක්මනින් රෝහලට ගෙන ගියේ ය. බඹරුන් සිය ගණනක ගේ පහර ලද්දකු සුවපත් කිරීම අමාරු ය. අර මගියා ද ඒ විසෙන් ම මිය ගියේ ය.

බඹර පහර කමින් සිටි මගියා බේරා ගැනීමට උත්සාහ කළ ජයවික්‍රම මෙනෙවියටත්, ඔහු රෝහල් ගත කළ කනිටු විදුහල්පති විතාරණ මහතාටත් අපේ ආචාරය හිමි විය යුතු ය. බඹර පහරින් මිදීමට ඇති හොඳ ම උපක්‍රමයක් වන්නේ වහා ම මොටෝ රියක් තුළට වැදී දොර වසා ගැනීම බව කිව යුතු ය.

 

කිරිළිපනේ, පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල

සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

අදහස්