අපේ හටන් කලාව හෙට ලොවට රැකදෙන්න උර දෙන | සිළුමිණ

අපේ හටන් කලාව හෙට ලොවට රැකදෙන්න උර දෙන

ගුරුකුල කිහිපයක් යටතේ සුළු පිරිසක් අතරේ රහසිගතව රැඳී පැවති අදද එතරම් අනුග්‍රහයක් නොලැබ අභාවයට යමින් තිබෙන පෞරාණික සටන් කලාවට යළිත් නව පණක්

‘අංගම්පොර’ කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ‘දඬුබස්නාමානය’ ටෙලි නාට්‍යයි. ඒ රාවණ යුගය දක්වාම දිව යන යටගියාවකට උරුමකම් කියන අංගම්පොර සටන් කලාව පිළිබඳ බහුතර සමාජයේ ඇස ඇරෙන්නේ දඬුබස්නාමානය ටෙලි නළුවත් සමඟ වන බැවිනි. දුටුගැමුණු රජ සමයේ දසමහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර සහ රිටිගල ජයසේන අතරේ ඇති වූ සටනකදී ගෝඨයිම්බරයන් අට ඉස්බක් අහසට පැන එල්ල කළ දරුණු පා පහරකින් ජයසේනගේ හිස කඳින් වෙන්ව ගිය බවත්, කොනප්පු බණ්ඩාර සමයේ පැවති හටන් උලෙළකට ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි දරුණු අංගම්පොර සටන්කරුවකු පරාජය කිරීමට අපේ සටන්කාමියකුට හැකි වූ බවත් ඉතිහාසයේ දැක්වේ.

මහනුවර යුගය වන විට අංගම්පොර ගුරුකුල කිහිපයක්ම බිහිව තිබූ අතර, විශේෂයෙන්ම ‘සුදලිය’ සහ ‘මරුවල්ලිය’ ප්‍රධාන ගුරුකුල දෙකක් ලෙස අංගම්පොර සටන්කලාව රැකගෙනවිත් තිබේ. විදේශ ආක්‍රමණිකයන්ට මුහුණ දීමේදී මේ ගුරුකුල වෙතින් බිහි වූ හටන්කරුවන් වෙසෙස් මෙහෙවරක් කළ බවට සැකයක් නැත. පුරාණයේදී අංගම්පොර කලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති අතර, අංගම් හරඹ පුරුදු කිරීම හා ඒවායේ නඩත්තුව පිණිස රජතුමා විසින් නින්දගම් කිහිපයක් ප්‍රදානය කළ බවද පැවසේ.

අංගම් පොර කලාවේ පරිහානිය පටන් ගන්නේ 1815න් පසුව හෙවත් බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇරඹුමත් සමඟය. එහි දරුණු සටන් ක්‍රමවලට බිය වූ බ්‍රිතාන්‍යයන් අංගම් පොර ශිල්පීන් මරාදැමීමට පටන් ගත් බව අතීත වාර්තාවල මෙන්ම අංගම්පොර සම්බන්ධව වර්තමානයේ පවතින කුලවලින්ද දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙහිදී සූක්ෂ්ම ලෙස ක්‍රියා කළ අපේ මුතුන්-මිත්තෝ විවිධ හටන් විධි රැඟුම් ඉරියවු අතරේ සඟවා රැකගෙන එන්න තරම් උපක්‍රමශීලි වූ බවද කියවේ.

එලෙස විටින් විට අවදානමට ලක් වෙමින් තිබූ අංගම්පොර කලාව ගුරුකුල කිහිපයක් යටතේ සුළු පිරිසක් අතරේ රහසිගතව රැඳී පැවතිණි. වත්මනෙහිද එතරම් අනුග්‍රහයක් නොලැබ අභාවයට යමින් තිබූ මේ පෞරාණික සටන් කලාවට යළිත් නව පණක් දීමට විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලදදේ මේ අතරතුරේදීය. ඒ අනුව 2017 වසරේ පනාගොඩ යුද හමුදා ජනපදය කේන්ද්‍ර කරගනිමින් අංගම්පොර සංචිතයක් ආරම්භ කරන ලදි. එය මේ අංගම්පොර කලාවට විශාල ඉදිරි ගමනක් ලබා දෙන්න සමත් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළ නමුත් එහි අපේක්ෂා කළ තරම් දියුණුවක් සිදු නොවුණේ යුද හමුදාවට තවත් විශාල කාර්යයන් රැසක් කළ යුතුව තිබුණු හෙයිනි.

එසේ වුවත් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ලියනගේ මහතා පත් වීමෙන් පසු ඔහු විසින් අංගම්පොර ගම්මානයක් ඉදිකිරීමේ සැලසුම් ආරම්භ කරන ලදි. ඒ සැලැස්මට අනුව මීට මාස 10කට පෙර කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ කැලෑබද පෙදෙසක වනයට හානි නොවන සේ ඉරණමඩු ජලාශය ආසන්නයේ මේ අංගම් පොර ගම්මානය ඉදි කිරීම් අරඹනු ලැබීය. අතීතයේ සිට අප රටේ පැවැති මේ අංගම්පොර සටන් කලාව අනාගත පරපුරට රැකගැනීම මේ වැඩපිළිවෙළේ මූලිකම අරමුණ වූ අතර, රිටිගල දේවින්ද ලක්සිරි ඇදුරිඳුගේ සටන් උපදේශකත්වයෙන් ඇරඹි මේ ගම්මානය ‘දසබල රාවණ පර්යේෂණ සහ සංරක්ෂණ අංගම්පොර ගම්මානය’ ලෙස නම් කරනු ලැබීය.

කටු මැටි ගසා බිමට ගොම මැටි ගා පොල්අතු සෙවිලි කළ වෙද ගෙදර අංගම් පොර ගම්මානයේ ප්‍රධාන තැන ගනී. ගම්මානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ගම් සැලැස්ම සඳහන් වන පුවරුවකි. එහි පැරැණි ව්‍යවහාර නාමයන් සහිතව හැඳින්වීම් දක්වා ඇත. ඒ අනුව වෙදගෙදර ‘රක්ක මුරග්‍රය’ ලෙසත් භාවනා අරණ ‘මුරත්තුව’ ලෙසත් යනාදි වශයෙන් සඳහන් කර ඇත. එසේම සංහිඳක් (දේවාලයක්, පන්සලක් සහිත ආගමික ස්ථාන ඇතුළත් භූමියක්) මෙන්ම ඌරාවළක්ද (ද්වන්ධ සටන් සිදු වන ස්ථානයක්) අන්තර්ගත සටන් පුහුණු භූමියක්ද වෙනම ස්ථාපිත කර තිබේ. ඒ සටන්බිමේ අන්තරායදායක උල් උඩින් හා දැවැන්ත කොට උඩින් පැන යෑම් මෙන්ම බාධක ඉහළින් ගමන් කිරීම් මෙන්ම ආත්ම ශන්කිය වර්ධනය කරන සටන් ක්‍රම ඇතුළත්ය. ඒවා යුද හමුදාවේ කොමාන්ඩෝ පුහුණුවට යම් තරමකින් සමාන කළ හැකිය.

වෙද රාලගේ ගෙදර බොහෝ පැරණි භාණ්ඩ ඇතුළු සියලු ද්‍රව්‍ය අඩංගුය. ඒ අතර බෙහෙත් ඔරුව, දඩුකඳ පවා තිබේ. මේ කිසිවක් ප්‍රදර්ශන භාණ්ඩ නොව; සියල්ල භාවිතයට ගත හැකි දෑ වීම මෙහි ඇති විශේෂත්වයයි.

අංගම් පොර ගම්මානය පිළිබඳ අදහස් දක්වන මේජර් ජනරාල් රවිප්‍රිය ලියනගේ මහතා: “අංගම්පොර ගම්මානය එක් ගුරු කුලයකට හෝ එක් පිරිසකට හෝ සීමා වී නැහැ. මෙය ඕනෑම ගුරු කුලයකට හෝ ඕනෑම පිරිසකට තම සටන් කලාවන් දැක්වීම සඳහා විවෘත ස්ථානයක්. රිටිගල දේවින්ද ලක්සිරි ඇදුරිඳු යටතේ යුද හමුදාවේ විවිධ ඒකකයන්ට අයත් සෙබළුන් 55 දෙනකු මෙහි පුහුණුව ලබනවා. තවත් පිරිසකට පුහුණුව දීමට නියමිතයි. එමෙන්ම ඉදිරියේදී හමුදා නිලධාරීන්ටද මේ පුහුණුව දීමට කටයුතු කරන අතර, යුද හමුදාවේ පමණක් නොව නාවික, ගුවන් හමුදා සේවයන්ටත් අවශ්‍යතා පරිදි විශ්වවිද්‍යාල මෙන්ම විවිධ වෘත්තිකයන්ට වගේම පාසල් සිසුන්ටත් අංගම්පොර සටන් කලාව පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

“අංගම් පොර කලාව සඳහා දැඩි කැප වීමක් අවශ්‍යයි. ඒ සඳහා නිර්භීතබව, මනා කාය ශක්තියකින් හෙබි වීමද විශේෂ සුදුසුකමක්. කිලිනොච්චියේ අංගම්පොර පුහුණුව ලබන මේ රණවිරුවන් දිනපතා අලුයම 4 සිට රාත්‍රී 9 දක්වා අභ්‍යාසවල නිරත වනවා. සිංහල-බෞද්ධ තරුණයන් පමණක් අංගම්පොර ශිල්පයට බඳවාගැනීම දැනට සිදු කෙරෙන්නේ භාවනාව ප්‍රගුණ කිරීම මේ අභ්‍යාසයේ මූලිකම අංගයක් වන නිසයි. භාවනානුයෝගි ඕනෑම අයකුට මේ පුහුණුව ලැබිය හැකියි,” මේජර් ජෙනරල් ලියනගේ මහතා පවසයි.

ඉකුත් ජූලි 26 වැනිදා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතින් මේ ‘දසබල රාවණ පර්යේෂණ සහ සංරක්ෂණ අංගම්පොර ගම්මානය’ විවෘත කෙරුණුු අතර, ඒ අවස්ථාවට දඬුබස්නාමානය ටෙලි නළුවට පණ පෙවූ කලාකරුවන්ද සහභාගි වීම විශේෂ සිද්ධියකි.

අපේ අතීතය අභිමානය යළිත් සිහිපත් කරමින්, ඉපැරණි සටන් කලාවකට පණ දෙමින් ඇරඹි මේ අංගම්පොර ගම්මානය දැන් ඔබටත් නැරඹීමට පුළුවන. එහෙත් ඒ සඳහා පළමුව යුද හමුදාවෙන් අවසරය ගෙන සිටීම අනිවාර්යය.

 

අදහස්