වැලි­කඩ ජේලර් ඝාත­නය පසු­පස බන්ධ­නා­ගාර ලොක්කෙක්! | Page 2 | සිළුමිණ

වැලි­කඩ ජේලර් ඝාත­නය පසු­පස බන්ධ­නා­ගාර ලොක්කෙක්!

මෙරට ඉති­හා­සයේ බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් පාතා­ලයේ ඉල­ක්ක­යක් බවට පළමු වරට ලක්වන්නේ නම් ඒ 90 දශ­කයේ මුල් භාග­යේ­දීය. ඔහු තෙන්න­කෝන් නැමැති ජේල­ර්ව­යෙකි. මෙම ජේල­ර්ව­රයා වෙඩි තබා මරා දමන්නේ දෙම­ට­ගො­ඩදී බස් රථ­ය­කින් ගමන් කර­මින් සිටි­ය­දීය. එදා ඔහු ඉති­හාස ගත වෙමින් සිය ජීවි­තය පාතා­ලයේ වෙඩි උණ්ඩ­ය­කට පුද දෙන්නේ රාජ­කා­රිය අකු­රට කර­න්නට ගොසිනි.

එදා සිට මේ දක්වා පාතා­ලයේ සහ ත්‍රස්ත­වා­දීන්ගේ වෙඩි උණ්ඩ­ව­ලට ලක්ව බන්ධ­නා­ගා­රයේ නිල­ධා­රීන් 13 දෙනෙක් මිය­ගොස් ඇතත් ඒ අය­ගෙන් දෙතුන් දෙනෙක් හැරෙ­න්නට සෙසු නිල­ධා­රීන් මර­ණ­යට පත්වන්නේ පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් අතර ගැටු­ම්ව­ලට මැදි­වෙ­මිනි. කළු­තර එත­න­ම­ඩ­ලේදී නිල­ධා­රීන් දෙදෙ­නෙක් මිය යන්නේද ඔවුන්ව ඉල­ක්ක­ර­ගෙන තැබූ වෙඩි ප්‍රහා­ර­ය­කින් නොව, පාතාල කල්ලි නායක සම­යංව ඉලක්ක කර­ගෙන බන්ධ­නා­ගාර බස් රථ­යට තැබූ වෙඩි ප්‍රහා­ර­ය­කට මැදි­වෙ­මිනි. ඊට පසුව ගම්පහ අස්ගි­රි­යේදී බන්ධ­නා­ගාර නිල­ධා­රීන් තිදෙ­න­කුට වෙඩි වැදී මිය යන්නට සිදු­වන්නේ හීන­ටි­යන අසිත නැමැති පාතාල කල්ලි නාය­ක­යාව ඉලක්ක කර ගනි­මින් ප්‍රති­වි­රුද්ධ පාතාල කල්ලි­යක් විසින් බන්ධ­නා­ගාර බස් රථ­ය­කට එල්ල කළ ප්‍රහා­ර­ය­කිනි. සූරිය වැව කේන්ද්‍ර­ක­ර­ගෙන දකුණේ මහා භිෂ­ණ­යක් පැති­රවූ අයියා මලෝ කල්ලියේ නාය­ක­යාවූ සුනිල් රත්න­වීර නැමැ­ත්තාව තංගල්ල බන්ධ­නා­ගා­රයේ සිට සිට ඇඹි­ල්පි­ටිය අධි­ක­ර­ණ­යට රැගෙන යමින් සිටි­යදී සන්නද්ධ පිරි­සක් විසින් පැහැ­ර­ගෙ­න­ගොස් වෙඩි තබා ඝාත­නය කර­න්නේද බන්ධ­නා­ගාර බස් රථ­ය­කට ප්‍රහා­ර­යක් එල්ල කර­මිනි. එම ප්‍රහා­ර­යෙන්ද බන්ධ­නා­ගාර නිල­ධා­රී­යෙක් මිය ගියේය. එහෙත් අම්බ­ල­න්ගො­ඩදී ඉකුත් 03 වෙනිදා සවස බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ජය­රත්න එල්ල වුණු වෙඩිල්ල එවැනි අහඹු වෙඩි­ල්ලක් නොවේ.

එය දෙම­ට­ගො­ඩදී ජේලර් තෙන්න­කෝන්ට එල්ල වුණු ආකා­රයේ පාතාල වෙඩි­ල්ලකි. ඒ පිටු­පස සිටින්නේ පොඩි ලැසී නැමැති දකුණේ පාතා­ලයේ ප්‍රබ­ල­යෙකි. ලැසි­යාට ජේලර් ජය­රත්න සමග ආර­වු­ලක් තිබුණේ නැත. ජය­රත්න ගැටුණේ ගාල්ල බන්ධ­නා­ගා­රයේ ලොක්කෙක් සම­ගිනි. එම ලොක්කාගේ දූෂණ වංචා සහ අක්‍ර­මි­ක­තා­ව­ලට එරෙ­හිව ඔහු දිගින් දිග­ටම කට­යුතු කළ අයෙකි. මේ නිසාම ලොක්කා ජේලර් රත්නා­යක කෙරෙහි දැඩි වෛර­ය­කින් පසු වූ බව සැල­වෙයි. ලැසියා සිටියේ එම ලොක්කාගේ ඔඩො­ක්කු­වේය. ඒ අනුව ලැසියා ලවා ජය­ර­ත්නට කොකා ගස්සවා ඇත්තේ එම ලොක්කා බවට පොලි­සි­යට දැඩි සැක­යක් ඇත.

ඝාතනයට ලක්වූ ප්‍රධාන ජෙලර් ජයරත්න

ජේලර් ජය­ර­ත්නගේ ඝාතන විම­ර්ශන මෙහෙ­ය­වන්නේ ගාල්ල නියෝජ්‍ය පොලි­ස්පති නුවන් වෙද­සිං­හගේ මෙහෙ­යැ­වී­මෙනි. ඒ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් යොද­වාය. නුවන් වෙද­සිංහ යනු පාතා­ලය සමග දීර්ඝ කාල­යක් තිස්සේ ඔට්ටු වූ පොලිස් නිල­ධා­රි­යෙකි. ඔහු නම­ගිය දක්ෂ අප­රාධ විම­ර්ශ­ක­යෙකි. වැඩ බලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න විසින් ජය­ර­ත්නගේ ඝාත­ක­යන් ඇල්ලීමේ විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පවා ලබා නොදෙන්නේ නුවන් වෙද­සිංහ ගැන විශ්වා­ස­යක් තබාය. දැන­ග­න්නට ඇති ආකා­ර­යට අනුව ජේලර් ජය­ර­ත්නගේ ඝාත­නය පිටු­පස ඇති කථාව නුවන් වෙද­සිංහ ඇතුළු විම­ර්ශ­ක­යන්ට නම් දැන් රහ­සක් නොවේ. පොඩි ලැසී ගැන මෙන්ම බන්ධ­නා­ගාර ලොක්කා ගැනද බොහෝ තොර­තුරු ඔවුන් දැන­ට­මත් සොයා­ගෙන හමා­රය. මේ වන විට රැස්ක­ර­මින් සිටින්නේ ඒ අයට එරෙ­හිව ප්‍රබල සාක්ෂිය. ඒ විද්‍යා­ත්මක විම­ර්ශන ඔස්සේය.

තිදරු පියකු වන ජේලර් ජය­රත්න එදා වේල­ප­හින්ම රාජ­කාරි නිම­කොට කොළඹ සිට අම්බ­ල­න්ගො­ඩට දුම්රි­යෙන් එන්නේ පසු­දින සිය දරුවා ශිෂ්‍යත්ව විභා­ග­යට මුහුණ දෙන්නට සූදා­න­මින් සිටින බැවින් ගමේ විහා­ර­ස්ථා­න­යට ඇයව රැගෙන යාමේ අර­මුණ ඇති­වය. දුම්රි­යෙන් බැස අසල ආර­ක්ෂිත ස්ථාන­යක නතර කර තිබුණු යතුරු පැදියේ නැගුණු ජේලර් ජය­ර­ත්නට සුපු­රුදු ලෙස එදා වැඩි දුරක් යන්නට ඉඩක් නොවීය. මාරයා ඔහුව හඹා ආවේය. ඒ යතුරු පැදි­යක නැගීය. ජේලර් ජය­ර­ත්නට එදා ටී 56 අවි­ය­කින් වෙඩි පිට වෙඩි තබා මහා පාරේම මරා­ද­ම­මින් ඔවුන් පලා යන්නේ අම්බ­ල­න්ගොඩ නැව­තත් පාතාල භීති­යෙන් මුස­පත් කර­මිනි.

මරා දැමූ ජේල­ර්ව­ර­යාට මඩ

ඒ නිමේ­ෂ­යෙන් ජන මාධ්‍යට තොර­තුරු ගලා එන්නේ ජේලර් ජයරත්න කළු චරි­ත­යක් බවට පත්ක­ර­මිනි. ඒ එවැ­න්නෙක් මරා දැමු­වාට කම් නැතැයි සමා­ජ­යට ඒත්තු ගැනෙ­න­න්ටය. එම කට­යුත්ත සිදු­වන්නේ සංවි­ධා­නා­ත්ම­ක­වය. පොඩි ලැසියා මෙන්ම ඔහුගේ ප්‍රති­වා­දියා වන කොස්ගොඩ තාරක සම­ගින්ද ජේලර් ජය­රත්න ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පැවැත්වූ බව ද එකී තොර­තු­රු­වල කියැ­වෙ­න්නට විය. ඒ සෑම තොර­තු­රක් ඔස්සේම සමාජ ගත කර­න්නට උත්සහ දැරුවේ ජේලර් ජය­ර­ත්නගේ ඝාත­නය කොස්ගොඩ තාර­කගේ සහ පොඩි ලැසි­යාගේ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් බව­ටය. ඊට මහත් රුකු­ලක් වන්නේ ඉකුත් වසරේ ඔක්තෝ­බර් 19 වෙනිදා මීටි­යා­ගොඩ පොලි­සිය විසින් කළ වැට­ලී­ම­කදී ලැසි­යාගේ ගෝල­බා­ල­යින් මත්කුඩු පැකට් කර­මින් සිටි නිව­සක් ඉදි­රි­පිට රැඳී සිටි­යදී ජේලර් ජය­රත්න හසුවී තිබී­මය.

ලැසීගේ මරණ තර්ජන

එම නිවසේ හිමි­කරු වූයේ හිත හොඳ දොස්තර නමින් කර­න්දෙ­ණියේ ප්‍රසි­ද්ධව සිටි වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජය­සිං­හව 2011 වසරේ සැත්තැ­ම්බර් 25 වෙනිදා වෙඩි තබා ඝාත­නය කළ ජය­ලත්ද සිල්වා නොහොත් සුද්දා නැමැති පාතාල අප­රා­ධ­ක­රුගේ ඥාති­යෙකි. බද්දේ­ගම - කර­න්දෙ­ණිය ප්‍රධාන මාර්ග­යට යාබ­දව පිහිටි එම නිව­සට එදා මීටි­යා­ගොඩ පොලි­සිය කඩා වදින්නේ කර­න්දෙ­ණිය තැපැල් කාර්යා­ලය ඉදි­රි­පි­ටදී සිදු­වුණු කළු මහ­ත්ත­යාගේ ඝාත­නයේ සැක­ක­රු­වන් එහි රැඳී සිටින බවට ලද තොර­තු­ර­කට අනු­වය. ඝාතන සැක­ක­රු­වන් කෙසේ වෙතත් එදා එම වැට­ලී­මේදී මත්කුඩු තොග­යක් සමග ලැසි­යාගේ ගෝල­යින් දෙදෙ­නෙක් නම් පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගත්තේය. ජේලර් ජයරත්න එහිදී බේරෙන්නේ කුකුළු ගොවි­පො­ලක් ගැන විම­ස­න්නට තමන් එහි පැමිණි බව කියාය. ඒ නිවසේ හෝ ඒ කිට්ටුව පාතක කුකුල් ගොවි­පො­ලක් නොවූ­වත් පොලි­සිය එදා ඔහුව මුදා­හ­රින්නේ ලැසි­යාගේ ගෝල­යින් සමග ඔහු­වත් අත්අ­ඩං­ගු­වට ගන්නට තරම් ප්‍රබල සාක්ෂි­යක් නොවූ බැවිණි.

කෙසේ වෙතත් එම නිවසේ සිට මත්ද්‍රව්‍ය සමග අත්අ­ඩං­ගු­වට ගත් පොඩි ලැසීගේ ගෝල­යින් දෙදෙනා අතර ඔහු හොඳින් දන්නා හඳු­නන පාතාල අප­රා­ධ­ක­රු­වෙක්ද සිටි­යේය. ඒ දේමු­ණිගේ විජිත් ආනන්ද සොයිසා නොහොත් රංජිත්ය. යුද හමු­දා­වෙන් පළා­විත් සිටි කපි­තා­න්ව­ර­යෙක්වූ රංජි හිත­හොඳ දොස්තර ඝාත­නයේ තවත් එක් ප්‍රධාන සැක­ක­රු­වෙකි. රංජි සහ ජේලර් ජයරත්න අතර හිත­ව­ත්ක­මක් ගොඩ නැගෙන්නේ රත්නා­යක කළු­තර බන්ධ­නා­ගා­රයේ සේවයේ නිර­තව සිටි 2011 වස­රේ­දීය. මිනිස් ඝාතන රැසක සැක­ක­රු­වෙක් වූ ඔහු කළු­තර අධි­ක­ර­ණ­යට භාර­වී­මෙන් පසු රඳවා තැබෙන්නේ කළු­තර බන්ධ­නා­ග­ර­යේය. එහිදී රෝගී වන ඔහුට සාත්තු සප්පා­යම් කරන්නේ ජේලර් ජයරත්න. කාල­යක් තිස්සේ දළුලා වැඩෙන්නේ එහිදී ඇති­වුණු හිත­ව­ත්ක­මය.

වර්ෂ 2014 දී රත්නා­යක බූස්ස බන්ධ­නා­ගා­ර­යට ස්ථාන මාරු­වී­මක් ලැබ යන්නේ ප්‍රධාන ජේල­ර්ව­රයා ලෙසිනි. වසර හත­රක්ම ඔහු බූස්සේ සේවය කළත් කිසිදු දූෂණ චෝද­නා­වක් නොවීය. සෙසු බන්ධ­නා­ගා­ර­වල මත්කුඩු සහ ජංගම දුර­ක­තන වැසි වසිද්දී බුස්ස බන්ධ­නා­ගා­රය මත්ද්‍රව්‍ය සහ ජංගම දුර­ක­තන වලින් තොර කලා­ප­යක් බවට පත්ව තිබු­ණේය. ලැසි­යාගේ මත්කුඩු තිප්පො­ලක් අස­ලින් පොලි­සි­යට හසු­වන්නේ එවන් නිල­ධා­රි­යෙකි. සැබෑ ලෙසම ඔහු එහි ගියේ කුකුල් මස්ග­න්න­ටද, එසේත් නැති නම් සිය මිතුරා රංජිව මුණ ගැසෙ­න්න­ට­දැයි දන්නේ ඔහු පමණි. එහෙත් ඔහු එදා පොලි­සි­යෙන් ගැල­වුණේ පොලිස් වැට­ලීම සිදු­වන විට මහ පාරේ රැඳී සිටි බැවිනි.

පොලි­සි­යෙන් ඔහු එසේ ගැල­වු­ණත් බන්ධ­නා­රය පැත්තෙන් ඔහුට ගැල­වි­ල්ලක් නොවීය. ඒ වන විට ඔහු සේවයේ නිර­තව සිටියේ ගාල්ල බන්ධ­නා­ගා­රයේ නියෝජ්‍ය ජේල­ර්ව­ර­යකු ලෙසිණි. පොලි­සිය කළ වැට­ලීම පද­නම් කර­ග­නි­මින් ජයරත්න රැකි­යාව අහිමි වී ගියේය. ඒ ඔහු වැඩ තහ­න­ම­කට ලක්වන බැවිනි. ඒ පිටු­පස සිටියේ ගාල්ල බන්ධ­නා­ගා­රයේ ලොක්කෙකි. ලැසි­යාගේ පණ එම ලොක්කාය. දෙන්නාට දෙන්නා ගහට පොත්ත මෙනි. ලැසියා සමග එක්ව ලොක්කා ගහන ගේම් ජය­රත්න හොඳා­කා­ර­වම දැන සිටි­යේය. තමාට ගෙදර යන්නට ගේම ගැසූ ලොක්කා­ටද එරෙහි ව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ සටන ජය­රත්න පටන් ගන්නේ තමන්ට එල්ල වුණු චෝදනා සිය­ල්ල­න්ගෙන්ම නිදොස් වී නැවත සේව­යට පිවි­සෙ­මිනි. එවර ඔහු එන්නේ අලුත් තැන­ක­ටය. ඒ උසස් වීමක්ද ලබ­මින් බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් වරයා ලෙසිණි. ගාල්ල බන්ධ­නා­ගා­රය තුළ සිදු­වන දූෂණ වංචා සහ අක්‍ර­මි­කතා ගැන සාක්ෂි සහිත පෙත්සම් බල­ධා­රීන් අතට පත්වී­මට පටන් ගන්නේද ඒත් එක්ක­මය. ලැසී සහ එම බන්ධ­නා­ගාර ලොක්කා අතර ඇති සම්බ­න්ධ­කම් ගැනද එම පෙත්ස­ම්වල සඳ­හන් වන්නට වූයේ සාක්ෂි සහි­ත­වය. ඒ ලොක්කාට ගැල­වි­ල්ලක් නැති වන්න­ටය.

එහිදී ලොක්කා වෙනු­වෙන් ඉදි­රි­යට එන්නේ ලැසි­යාය. වරක් දෙව­රක්ම ලැසි­යා­ගෙන් ජේලර් රත්නා­ය­කට ගර්ජන මෙන්ම තර්ජ­නද ආවේය. ඒ පෙත්සම් ගැහිල්ල නතර කරන ලෙස­ටය. ලැසියා ඒ වන විට සිටියේ ගාල්ල බන්ධ­නා­ගා­ර­යේය. තමන්ට ලැසියා දුර­ක­ත­න­යෙන් තර් ජනය කරන්නේ කාගේ උව­ම­නා­ව­ට­දැයි ජේලර් රත්නා­යක හොඳා­කා­ර­වම දැන සිටි­යේය. අම්බ­ල­න්ගොඩ පොලි­සි­යට ඒ ගැන පැමි­ණි­ල්ලක් කර­න්නේද ඒ නිසා­මය. රත්නා­ය­කට වෙඩි තබා මරා දමන තුරුම එම පැමි­ණි­ල්ලට සිදුවූ දෙයක් සොයා ගන්නට නැත. ඒ එම පැමි­ණිල්ල පොලි­සියේ පොතට පම­ණක් සීමා වී තිබුණු නිසාය.

ජේලර් ජයරත්නගේ ඝාත­නය හා බැඳී ඇති පොඩි ලැසියා පාතා­ලයේ අත­පොත් තබන්නේ පාසල් ශිෂ්‍ය­ය­කුව සිටි­ය­දී­මය. ඔහුගේ පියා තෙල්වත්තේ වස­න්තය. ඔහු රත්ගම සහ හික්ක­ඩුව පැත්තේ නම ගිය මැර­යෙකි. ඔහු එස්.ටී.එෆ් නදුන්ගේ ගෝල­යෙකි. දකුණේ මෙන්ම කොළඹ පාතා­ල­යේද නම ගිය වැඩ­ක­රු­වකු වූ නදුන් දැන් සිටින්නේ ඉතා­ලි­යේය. මාක­දුරේ මධුෂ් සමග කරට කර සිටින පාතා­ල­යෙක් වන කොස්ගොඩ සුජීද පාතා­ල­යට අත­පොත් තබන්නේ එස්.ටී.එෆ් නදු­න්ගෙනි.

තෙල්ව­ත්තම හොල්ලා­ගෙන සිටි තෙල්වත්තේ වසන්ත මියැ­දෙන්නේ අකා­ල­යේය. ඒ පාතා­ලයේ අභ්‍ය­න්තර ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙසිණි. වසන්ත වෙඩි කන්නේ තෙල්වත්ත පන්සල අස­දීය. වස­න්තගේ ඝාත­නට ඇඟිල්ල දිගු­වන්නේ මනෝජ් මෙන්ඩි­ස්ටය. එකල හික්ක­ඩුවේ පාතාල චණ්ඩියා වූයේ මනෝජ්ය. පාතාල බල ව්‍යාප්ති­යට මනෝජ්ට බාධා­වක් වන්නේ එස්.ටී.එෆ්. නඳුන්ය. වස­න්තගේ ඉර­ණම මනෝජ් මෙන්ඩිස්ගේ වෙඩි­ල්ලෙන් තීර­ණය වන්නේ නඳුන්ගේ හයිය බිඳි­න්න­ටය.

ලැසී ගාලු ගිය හැටි

ඒ වන විට පාසල් ශිෂ්‍ය­යකු ව සිටි ලැසි­යාට උසස් අධ්‍යා­ප­න­යක් ලැබී­මට හැකි­යාව තිබු­ණත් පාසල් ගම­නට සමු­දෙන්නේ පියා මැරූ මනෝජ් මෙන්ඩි­ස්ගෙන් පළි­ග­න්න­ටය. එම අර­මුණ ඉටු­කර ගන්නට පොඩි ලැසී එක්වන්නේ කොස්ගොඩ සුජී සම­ගිනි. මනෝජ් මෙන්ඩිස් දේශ­පා­ලන වශ­යෙන් ඒ වන විටත් සිටින්නේ බල­වත් පුද්ග­ල­යෙක් බවට පත්වය. ඉහ­ළම දේශ­පා­ලන ආශි­ර්වා­දය පවා ඔහුට එකල හිමිව තිබු­ණේය. හික්ක­ඩුව ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ධු­ර­ය­ටද ඔහු පත්වන්නේ එම දේශ­පා­ලන ආශි­ර්වා­ද­යෙනි. එබැ­වින් අව­ස්ථාව එළ­ඹෙන තුරු ලැසියා කාල­යක් තිස්සේ ඉව­සී­මෙන් බලා සිටි­යේය. නොඉ­ව­සි­ලි­කම නිසාම වරක් ඔහුට වැඩ වැර­දු­ණේය. මනෝජ්ට තැබූ වෙඩි­ල්ලක වදින්නේ ඔහුගේ හැඩ­රු­වට සමාන ගෝල­යෙ­කු­ටය. එවිට ඔහු සිය ජීවි­තා­ර­ක්ෂාව පතා පළා­යන්නේ රටේත් නොසි­ටය.

වසර දෙකක් තිස්සේ රටින් පිට රැඳී සිටි ඔහු මෙර­ටට එන්නේ සිය ඉලක්ක සපුරා ගන්න­ටය. එහෙත් ඔහුට එවර ද ඊට ඉඩක් නොවීය. ගුවන් තොටු­පො­ළේදී ලැසියා කොටු­වන්නේ ඔහු එන බව මනෝජ් මෙන්ඩිස්ට කල් තියා ලද ඔත්තු­වක් ඒ ඔස්සේ පොලි­සි­ය­ටද ලැබී තිබීම නිසා ය. ලැසී අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සමග අභි­ර­හ­සක්ව තිබූ ඝාතන කිප­යක් හා අවි ආයුධ තොග­යක් සොයා ගත හැකි විය. එතැන් සිට ඔහුගේ නවා­තැන් පොළ බවට පත්වන්නේ ගාල්ල බන්ධ­නා­ගා­ර­යයි. වස­ර­කට ආසන්න කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තෙව සිටි ලැසියා ඇප මත එළි­යට එන්නේ රත්ගම මදු­රගේ මත්කුඩු ජාලය සම­ගද සම්බ­න්ධ­කම් ඇති­කර ගනි­මිනි. මධුර මත්කුඩු ජාවා­රම මෙහෙ­ය­වනු ලැබුවේ ඉතා­ලියේ සිටය. මත්කුඩු ජාවා­ර­මෙන් අත­මිට සරු­ක­ර­ගත් ලැසියා බහු­දින යාත්‍රා­ව­කද හිමි­ක­රු­වකු බවට පත්වන්නේ වැඩි කල් නොගො­සිනි. ලැසි­යාගේ මත්කුඩු ජාවා­රමේ ප්‍රති­වා­දියා බවට පත්වන්නේ මනෝජ් මෙන්ඩිස්ය. ලැසි­යාට සිය පියා මැරූ පලිය පම­ණක් නොව, මත්කුඩු ජාවා­රමේ ප්‍රති­වා­දි­යාව හමාර කිරී­ම­ටත් අවශ්‍ය විය. ඊට සුදුසු අව­ස්ථාව උදා වන්නේ ආණ්ඩු පෙර­ලි­යත් සම­ගිනි. දේශ­පා­ල­නික වශ­යෙන් මනෝජ් මෙන්ඩිස්ගේ බලය ගිලිහී යන විට ඒ අව­ස්ථා­වෙන් උප­රිම ප්‍රයෝ­ජ­නය ගත් පොඩි ලැසියා සිය පියාගේ ඝාත­න­යට ලෙයට ලෙයින්ම පළි ගත්තේය. ඒ වර්ෂ 2015 වසරේ මාර්තු 23වෙනි­දාය. ඒ හික්ක­ඩුවේ හෝට­ල­යක සාද­ය­කට සහ­භා­ගිවී සිටි මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඔහුව මරා දම­මිනි.

පොඩි ලැසී පාතා­ලයේ චරි­ත­යක් බවට පත්වන්නේ ඒත් එක්ක­මය. වැඩි කලක් ලැසියා පොලි­සි­යට කට්ටි පනි­න්නට ගියේ නැත. මනෝජ් මෙන්ඩිස්ගේ සත් දින දාන පිංකම් දව­සේම නීතීඥ මණ්ඩ­ල­යක් සමග පැමිණ ඔහු කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට භාර වූයේය. ඔහු කළු­ත­රට යන්නේ ගාල්ලට ගිය­හොත් මනෝජ් මෙන්ඩිස්ගේ ගෝල­බා­ල­යින් තමන්ව මස් කරන බව දැන සිටි බැවිණි.

රිමාන්ඩ් සිර­ක­රු­වෙක් ලෙස වස­ර­කට ආසන්න කාල­යක් බන්ධ­නා­ගා­ර­ගත ව සිටි පොඩි ලැසී 2016 වසරේ පෙබ­ර­වාරි 16 වෙනිදා එළි­යට එන්නේ කොන්දේසි 11 ක ඇප­යක් මතය. මනෝජ් මෙන්ඩිස්ගේ සග­යන් ඇඟිලි ගනි­මින් බලා සිටියේ ඒ දවස උදා වන තුරුය. ලැසියා හැරුණු කොට මනෝජ් මෙන්ඩිස්ගේ ඝාත­න­යට හවුල් වූ කිහිප දෙනෙක්ම ඒ වන විටත් සිටියේ ඔහුගේ ගෝල­යින් අතින් පර­ලොව ගොසිනි. ඇප ලබා ලැසියා එළි­යට එන තුරු මනෝජ් මෙන්ඩිස්ගේ ගෝල­යින් එදා ගාල්ල මහා­ධි­ක­ර­ණය අවට රැඳී සිටියේ අවි අමෝරා ගෙනය. ඒ ගැන කල් තියාම දැන සිටි ලැසියා ගාල්ලෙන් පනින්නේ ඒ හැමෝ­ටම වසන් වෙමිනි. ඒ ගාලු කොටුවේ පැරණි ජැටි­යෙන් ධිවර බෝට්ටු­වක නැගීය. බොහෝ අය සිතන්නේ ලැසියා එතැ­නින්ම ඉතා­ලි­යට පැන ගියා යැයි කියාය. එහෙත් ඔහු පැන්නේ ඉතා­ලි­යට නොව, කොස්ගො­ඩ­ටය. ඒ කොස්ගොඩ සුජීගේ රැක­ව­ර­ණය පතාය. ඒ වන විට කොස්ගොඩ සුජීද සිටින්නේ සැග­වුණු ජීවි­ත­යක් ගත කර­මිනි. ඔහු සූදා­න­මින් සිටියේ සිය පෙම්ව­තිය විවාහ කර ගනි­මින් රටින් පළා යන්න­ටය. එබැ­වින් සුජි­යාගේ රැක­ව­ර­ණය පතා පැමිණි ලැසි­යාට රැක­ව­ර­ණය ලැබෙන්නේ කර­න්දෙ­ණියේ හිත හොඳ දොස්තර මැරූ සුදු මල්ලී­ගෙනි. .

කොස්ගොඩ සුජීගේ කල්ලියේ රැක­ව­ර­ණය එසේ ලැසි­යාට ලැබෙන විට අනා­ර­ක්ෂිත වන්නේ එදා ඔහුට ගාල්ලෙන් කොස්ගො­ඩට නිරු­ප­ද්‍රි­තව පැන ගන්නට බෝට්ටු­වක් සූදා­න­ම්කර දුන් ධීවර ව්‍යාපා­රි­ක­යාය. සුසන්ත නැමැති ඔහුට ජීව­ත්වීමේ වාස­නාව තිබුණේ සති දෙකක් පමණි. අම්බ­ල­න්ගොඩ ධිවර වරා­යේදී ඔහු ඝාත­නය වන්නේ මනෝජ් මෙන්ඩිස්ගේ ගෝල­යින්ගේ වෙඩි ප්‍රහාර හමු­වේය.

ලැසි­යාගේ එක්වී­මත් සමග සුජීගේ හයිය තවත් ඉහළ ගියේය. ඒ නිසාම සුජී හා ලැසියා නිහඬ කර­න්නට දකුණේ ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යෙක් සූදා­නම් වන්නේ පොලිස් ලොක්කෙ­කුට ලක්ෂ 50 ක කොන්ත්‍රා­ත්තු­වක් දෙමිණි. ඒ සුජීගේ ගෝල­යින් අතින් එම ව්‍යාපා­රි­ක­යාගේ පවුලේ සාමා­ජි­ක­යින් කිහිප ‍දෙනකුම ඝාත­නය වී තිබුණු බැවිණි. එහෙත් එම පොලිස් ලොක්කාට පෙර ඉස්සර වෙන්නේ සුජීය. ඊට මුල්වන්නේ 2016 පෙබ­ර­වාරි 29 වෙනිදා මහ­ර­ගම පැත්තේ උත්සව ශාලා­වක සුජීගේ විවා­හය සිදු­වන අව­ස්ථා­වේදී ඔහුව මරා දම­න්නට පාතා­ලයේ කණ්ඩා­ය­මක් එම ව්‍යාපා­රි­කයා විසින් එවා තිබී­මය. එම ව්‍යාපා­රි­ක­යාගේ ඝාත­න­යත් සමග සුජී සිය බිරිඳ සමග රටින් පැන ඩුබායි බලා යන්නේ ව්‍යාජ විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කිනි. ඒත් සමග ලැසියා අම්බ­ල­න්ගො­ඩින් අතු­රු­දන් වන්නේ බලං­ගො­ඩින් මතු­වෙ­මිනි. ගංජා සහ මත්කුඩු ජාවා­රමේ ජය­ටම නිර­තවූ ඔහු ඒ අතර කොන්ත්‍රාත් ඝාත­නද මෙහෙ­යැ­වූ­යේය. අම්බ­ල­න්ගොඩ ඉඩ­ම්තො­ටදී 2016 වසරේ දෙසැ­ම්බර් 05 වෙනිදා රාත්‍රි­යේදී ව්‍යාපා­රික අඹු සැමි යුව­ලක් සහ ඔවුන්ගේ සිව් හැව­රිදි දරු­වාට වෙඩි තබා ඝාත­නය කිරීම ලැසියා අතින් සිදු­වුණු මිල­ච්ඡ­තම ඝාත­න­යකි. කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව එදා ඔහු එම පවු­ලම ඝාත­නය කරන්නේ බලං­ගොඩ සිට පැමි­ණය.

නැව­තත් ඔහු ඝාත­න­ය­කට අර අදින්නේ ප්‍රති­වා­දි­යෙක් වූ තනි ඇට­යා­ටය. ඔහුට ඉව අල්ල­මින් ලැසියා බලං­ගොඩ සිට සුඛෝ­භෝගී ජිප් රථ­ය­කින් මීටි­යා­ගො­ඩට 2017 වසරේ පෙබ­ර­වාරි 28 වෙනිදා එන්නේ සිය සගයා වූ තෙල්වත්තේ උදා­රත් සම­ගිනි. තනි ඇට­යාට ජීව­ත්වීමේ වාස­නාව තව­දු­ර­ටත් උදා­කර දෙමින් එව­කට අම්බ­ල­න්ගොඩ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටි ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහින්ද විල්ලො­ව­ආ­රච්චි ලැසි­යාව කොටු­කර ගන්නේ ඔහුට ලද ඔත්තු­ව­කට අනු­වය. තනි ඇට­යාට කොකා ගස්ස­න්නට රැගෙන ආ ටී 56 ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝ­ල­යක්ද සුඛෝ­ප­භෝගී ජිප් රථයේ සඟවා තිබි­යදී මහින්ද විල්ලො­ව­ආ­රච්චි ඇතුළු කණ්ඩා­යම විසින් සොයා ගත්තේය. ලැසියා අද­ටත් ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිටින්නේ එදා එසේ පොලි­සි­යට හසු­වී­මෙන් පසු­වය.

ලැසී ගෙදර මාරු කිරීම

ගාල්ල බන්ධ­නා­ගා­රය ලැසීට දැන් ඔහුගේ නිවස බඳුය. ලොක්කාගේ ආශි­ර්වා­දය නිසාම ඇප ලැබු­ණත් ලැසියා බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට යන්නේ නැත. ඒ ඔහුට හැම පැත්තෙන්ම ගිනි අවි එල්ලවී ඇති බැවිනි. ලැසියා හැම අප­රා­ධ­ය­කම නිර­තව සිටින්නේ බන්ධ­නා­ග­රයේ සිටය. ඒ සඳහා ඔහුට නිද­හසේ ජංගම දුර­ක­තන පරි­හ­ර­ණය කිරී­මට ගාල්ල බන්ධ­නා­ගා­රය තුළ ඇති පහ­සු­කම් තිබේ. හෙළි­වෙ­මින් ඇති ආකා­ර­යට අනුව ජේලර් ජය­ර­ත්නව ඝාත­නය කර­න්නට ලැසියා සැළ­සුම් කරන්නේ ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිටය. ඊට ලොක්කා හසු නොව­න්නට වග බලා­ගන්නේ සියල්ල සැල­සුම් කිරී­මෙන් පසු ලැසියා මැග­සින් බන්ධ­නා­ග­ර­යට මාරු­වක් ලබා ගනි­මිනි. ඒ තමාට ගාල්ල බන්ධ­නා­ගා­රය තුළ ජීවිත අව­ධා­න­මක් ඇතැයි කිය­මිනි. එම මාරුව පිටු­පස සිටි­න්නේද බන්ධ­නා­ගාර ලොක්කෙකි. ඔහු සිටින්නේ කොළ­ඹය. ඒ අනුව ලැසියා ගාල්ලේ සිට මැග­සින් බන්ධ­නා­ගා­ර­යට එන්නේ ජේලර් ජය­රත්න ඝාත­න­යට දින කිහි­ප­ය­කට පෙරය.

මැග­සින් බන්ධ­නා­ගා­රයේ ඔහුගේ නවා­තැන බවට පත්වන්නේ දීර්ඝ­කා­ල­යක් තිස්සේ මත්කුඩු ජාවා­ර­ම­කට බන්ධ­නා­ගාර ගතව සිටින රත්ම­ලානේ බේක­රියා රැඳී සිටින වාට්ටු­වය. බේක­රියා සිටියේ එම වාට්ටුව හොල්ලා­ගෙ­නය. ලැසි­යාද දකුණේ වැඩ්ඩෙක් බැවින් බේක­රි­යා­ගෙන් ලැසි­යාට ලැබුණේ ගෞර­ව­නීය පිළි­ගැ­නී­මකි. ඒ නිසාම බේක­රියා ඇතුළේ පරි­හ­ර­ණය කළ ජංගම දුර­ක­ත­න­යෙන් ඇම­තුම් ගන්නට ලැසි­යාට බාධා­වක් නොවීය. ලැසියා එම දුර­ක­ත­න­ව­ලින් ඇම­තුම් කිහි­ප­යක්ම ගත්තේය. ඇතැම් විට එම ඇම­තුම් ගන්නට ඇත්තේ ජේලර් ජය­රත්න ඝාත­නය කර­න්නට යොදවා සිටි වෙඩි­ක්ක­රු­වාට විය හැකිය. නැති­නම් බන්ධ­නා­ගාර ලොක්කාට වන්නට පුළු­වන. ඒ කාට හෝ ඔහු ඇම­තුම් ගත්තේය.

සැල­සුම් ප්‍රකා­රව ජේලර් ජයරත්න ඝාත­නය වන්නේ 03 වෙනි­දාය. ඊට පසු දින ලැසියා රඳවා සිටි වාට්ටුවේ ලොකු සාද­යකි. එම සාදය බේක­රි­යාගේ උප­න්දි­නය වෙනු­වෙනි. මත්ද්‍ර­ව්‍ය­ව­ලින් අඩු­වක් නොමැ­තිව පැවැත්වූ එම සාද­යට ලැසි­යාද සම්මා­දන් වී තිබි ඇති බව සඳ­හන්ය. සාදය අව­සා­න­යේදී බන්ධා­නා­ගර බුද්ධි අංශ නිල­ධා­රීන් මෙහෙ­යු­මක් දියත් කරන්නේ ඉහළ නිල­ධා­රි­ය­කුගේ නියෝ­ග­ය­කින් රැඳ­වි­යන් සතුව ඇති ජංගම දුර­ක­තන සොයාය. ලැසියා ඇම­තුම් ගත් බේක­රි­යාගේ දුර­ක­තන කිහි­ප­යක්ද එම මෙහෙ­යු­මේදි හමුවී තිබු­ණේය. එම ජංගම දුර­ක­තන සිය­ල්ලක්ම දැන් ඇත්තේ බන්ධ­නා­ගාර ලොක්කෙ­කුගේ මේස ලාච්චු­වේය.

ජේලර් ජයරත්නගේ ඝාත­ක­යන් පසු පස හඹා­යන පොලිස් විම­ර්ශ­ක­යන්ට එම ජංගම දුර­ක­තන තරම් විද්‍යා­ත්මක සාක්ෂි­යක් තවත් නැති තරම්ය.

අදහස්