ලෝක බොදු ඉතිහාසය ලිඛිතව සාධනය කළ පූජනීය සාක්ෂිය | Page 2 | සිළුමිණ

ලෝක බොදු ඉතිහාසය ලිඛිතව සාධනය කළ පූජනීය සාක්ෂිය

 ෆාෂි­යන් හිමි­යන්ගේ සංවා­ද­යට ලක් නොවුණු ශාස­නික මෙහෙ­වර පිළි­බඳ කෙරෙන විම­සී­මකි

සේවා සම්මානිත

මහාචාර්ය ටී.ජී.කුලතුංග

මධ්‍යම සංස්කෘතික අරමුදල,

අභයගිරි හා මහාවිහාර ව්‍යාපෘති අධ්‍යක්ෂක

කිසියම් දේශයක අභිමානයට හේතු වන ජාතික වීර චරිත බිහි කිරීමේ ලා වීර චරිත පිළිබඳ ජනතාවට කියවීමට අවස්ථාව සැලසීමත් වෙනත් අයුරින් එවැනි වීර චරිත අගයමින් මහජනතාව දැනුවත් කිරීමත් බෙහෙවින් වැදගත් වේ. එවැනි වීර චරිත අතර දේශාටකයන්ගේ චරිත ද ඇතුළත් ය. ශ්‍රී ලංකාවට පැමිණි එවැනි වීර දේශාටකයෙකු වශයෙන් ක්‍රිස්තු වර්ෂ 410 අනුරාධපුරයට වැඩම කොට දෑ අවුරුද්දක් අභයගිරි විහාරයේ වැඩ සිට බෞද්ධ ධර්මය හා විනය අධ්‍යයනය කළ චීන ජාතික ෆාෂියන් හිමියන් සඳහන් කළ හැකි ය. උන් වහන්සේ විසින්ම දැක බලා රචිත සිය ගමන් විස්තරය ලංකා ඉතිහාසය හදාරන වියතුන් විසින් පමණක් නොව චීනයේ සිට මධ්‍ය ආසියාව හරහා ඉන්දියාවේ වයඹ දිග කපොල්ල දක්වාත් වයඹ දිග හා මධ්‍ය ඉන්දියාවේත් එවකට බුදු දහම පැතිරී තිබූ ප්‍රදේශ හා ස්ථානත් ඒවායේ තත්ත්වයත් බෞද්ධ ස්මාරකත් පිළිබඳ අධ්‍යයනය කරන සියලු වියතුන්ට ද අමිල මූලාශ්‍රයක් වී තිබේ.

උන් වහන්සේ සිය චාරිකාව අවසන් කොට ක්‍රි.ව.414 දී පෙරළා චීනයට වැඩම කිරීමෙන් පසු ආරම්භයේ සිට අවසානය දක්වා සිය ගමන් විස්තරය ලියා තැබීය. චීනයේ සුං රාජවංශ පුස්තකාලයේ තිබී හමුවූ එම විස්තරය Foguoji චීන බසින් ද කොරියානු ප්‍රංස ඉංග්‍රීසි මෙන් ම සිංහල බසින් ද දැනට මුද්‍රණය වී ඇත්තේ එහි සුවිශේෂී වැදගත්කම නිසාම ය. උදාහරණ වශයෙන් 1836 රෙමුසා –- ක්ලැප්‍රොක් හා ලැන්ඩෘස් විසින් ප්‍රංස බසින් ද 1848 ලෙඩ්සේ, 1885 දී සැමුවෙල් බීල් හා 1886 ලෙගෙ විසින් ද, ඉංග්‍රිසියට මෙය පරිවර්තනය කර මුද්‍රණය කර තිබේ.

සිංහල පාඨකයා උදෙසා එම ග්‍රන්ථය ප්‍රථම වතාවට සිංහල භාෂාවට පෙරළා පරිකථාවක් ද සහිත ව 1921 ජේ.එන්.කුරේ සමාගම මගින් ප්‍රකාශයට පත් කළේ අධිනීතිඥ චාල්ස් ද සිල්වා සූරීන් විසිනි. ඉනික්බිතිව 1957 මහාචාර්ය විමල් බලගල්ල විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ලංකා ගමන

චීනයේ සිට ප්‍රථමයෙන්ම ලංකාවට පැමිණ දේශාටන වාර්තාවක් ලියූ තැනැත්තා ලෙස සැලකෙන්නේ ෆාෂියන් හිමිය. චීන ජාතික හියුං ත්සාං භික්ෂූව ද ලංකාව ගැන විස්තරයක් ලියා ඇතත් ඒ මීට බොහෝ කලකට පසුව 7 වන සියවසේ ඉන්දියාවේ සිට ලංකාව ගැන අසා දැනගත් තොරතුරු ඔස්සේ ය. ෆාෂියන් හිමියන් ලංකාවට වැඩම කළේ ක්‍රි.ව. 410 දී ය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහානාම රජතුමා ය. (ක්‍රි.ව.410 -431) එතුමා අභයගිරි විහාරයේ ප්‍රබල අනුග්‍රාහකයෙක් විය. මහනාම රජු ක්‍රි.ව. 428 දී දළදා වහන්සේගේ ආකෘතියක් ද සහිතව චීන අධිරාජයා වෙත දූතයන් යවා ඇති බව චීන මූලාශ්‍රයන්හි සඳහන් ය.

එම දූත ගමනේ අරමුණ කුමක් දැයි පැහැදිලි නැතත් අභයගිරි භික්ෂූන් භාරයේ තිබූ දළදාවේ ආකෘතියක් යැවී ආදියෙන් එම දූත ගමනට අභයගිරි විහාරයේ වැඩවාසය කළ ෆාෂියන් හිමිගේ කිසියම් සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැලකීමේ වරදක් නැත.

තවද මෙතැන් පටන් චීනය හා ලංකාව අතර ශාසනික සම්බන්ධතා වර්ධනය වීමක් පෙන්නුම් කරයි. පි -චියා -නි-චුවාන් (භික්ෂුණී චරිතාපදානය) හි දැක්වෙන පරිදි චීනයේ භික්ෂුණී උපසම්පදාව සඳහා ලංකාවෙන් භික්ෂුණීන් යන්නේ ෆාෂියන් හිමි පෙරළා චීනයට වැඩම කිරීමෙන් වසර 9 -10ක් ගිය පසු වීම දෙස බලන කල්හි එයට මුලපුරන්නට ඇත්තේ 414 චීනයට පෙරළා වැඩම කොට විනය ග්‍රන්ථ චීන බසට පෙරළූ මේ හිමියන්නේ ලැබුණ අනුග්‍රහය විය හැක්කේ උපසම්පදාව සඳහා අභයගිරියෙන් භික්ෂුණීන් ගෙන ඒමට කටයුතු කළ සර්වාස්තිවාදී නිකායට අයත් ගුණවර්මන් හිමි ද අභයගිරියේ කපාරාරාමයේ ( ක-පො-ලි) සිට සකෘදාගාමී ඵලයට පත්ව ජාවාරට හරහා චීනයට වැඩම කළ බව චීන කෝ-සෙන් -චුවාන් නම් ග්‍රන්ථයේ සඳහන් වන හෙයිනි.

චීනයට ගිය උපසම්පදාව

මෙම භික්ෂුණීන් නන්තෙ ( නන්දි) නමැති වෙළෙන්දෙකුගේ නැවකින් චීනයට ගිය බව කෝ සෙන් චුවාන් නම් ත්‍රෛෂො ත්‍රිපිටකයේ සඳහන් ය. 5 වන සියවසේ පමණ රචනා වීම ඇරඹි සහාස්සවත්ථුපකරණයෙහි ලංකාවේ එවකට ප්‍රධාන වරාය වූ මහාතිර්ථයේ සිටි නන්දි නම් ධනවත් වෙළෙන්දෙකු හා ඔහුගේ රූමත් බිරිය ගැනත් නන්දි විදේශගතව වසර තුනක් සිටි අතරදී ප්‍රදේශාධිපති එම බිරිය හා සම්බන්ධ වීමට දැරූ ප්‍රයත්නයත් දැක්වේ.

චීන මූලාශ්‍රයවල සඳහන් නන්දි ඔහු විය හැකි ය. උපසම්පදාව ලබාදීම සඳහා නැන්කිංහි චිං ෆූ ආරාමය වෙත ගිය එම දූත ගමනේ විශාල කොටසක් ෆාෂියන් හිමියන්ගෙන් ඉටු වන්නට ඇතැයි යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිව් සංග්‍රහයට ලිපියක් සපයන ඩබ්ලිව් පෂො ද සඳහන් කර ඇත.

එ ගමන් හා සම්බන්ධව කටයුතු කළ ගුණවර්මන් හිමි ක්‍රි.ව 426 වර්ෂයට පෙර අභයගිරියේ කපාරාරාමයේ වැඩසිටීම අනුව ෆාෂියන් හිමි ද සිටින්නට ඇත්තේ කපාරාරාමයේ යැයි සැලකිය හැකි ය.

පූජාවලියේ සඳහන් වන්නේ කපාරාරාමය කරවූයේ දෙවන දාඨොපතිස්ස රජතුමා ( ක්‍රි.ව. 659-667- වෙනත් නම් හත්ථදාඨ ලමැණි දළුපතිස්) විසින් බව සඳහන් වුවද පාලකකාරකාදීන් අභිනවයෙන් ආරාමයක් සෑදීමේදී පමණක් නොව පෙර තිබූ ආරාම නවීකරණය කිරීමේදීත් කරවීය යනුවෙන් යෙදීමත් නැතහෙත් එම අරුත දෙන කාරාපෙසි යන පාලි වචනය යෙදීම මහාවංසයේත් වෙනත් ග්‍රන්ථවලත් බොහෝ තැන්වල යෙදා තිබීම කපාරාරාමයේ ආරම්භය සෙවීමේදී සැලකිල්ලට ගත යුතු ය.

මහානාම රජතුමා 410- 412 කාලයේ දී නව සංඝාරාමයක් කරවා ඊට සීමා ලකුණු කරවා භික්ෂූන්ට පූජා කිරීමක් ද ෆාෂියන් හිමි විසින් සවිස්තරව දක්වා තිබීම ද මෙහිදී අවධානයට යොමු කළ යුත්තකි.

උන් වහන්සේ ලංකාවෙන් පිටපත් කරගෙන ගිය ග්‍රන්ථ වශයෙන් මහීශාසක විනය පිටකය දීර්ඝාගම සංයුක්තාගම හා සංයුක්ත සංචය පිටක යන සංස්කෘත ග්‍රන්ථ සඳහන් ය.

 

පැවිදි වීමට පෙර දිවිය

ක්‍රි.ව. 334 වර්ෂයේදී චීනයේ පිං-යාං පළාතේ චූ- යොහි දී උපත ලද උන් වහන්සේගේ ගිහි නාමය වූයේ කුං ය. ඔහුට වැඩිමහල් සොයුරන් තිදෙනෙකු සිටියත් බාල අවධියෙදීම ඔවුන් මිය යෑම නිසා බියට පත් පියා තුන් හැවිරිදි කුං සසුනට භාර දුන්නේ ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමේ අදිටනෙනි. ඔහුට ලැබුණ පැවිදි නාමය වූ ෆාෂියන් යන්නෙහි අරුත ධර්මයේ ව්‍යාප්තිය හෝ ධර්මයේ බැබළීම යන්නයි. වචනාර්ථයෙන්ම ඒ නාමය උන් වහන්සේගේ ශාසනික කාර්ය සිද්ධිය හා සහමුලින්ම ගැළපේ.

උන් වහන්සේගේ නොපසුබස්නා වීර්යය දැඩි අධිෂ්ඨානය පසක් වන්නේ උන් වහන්සේගේ ගමන් විස්තරය නැවත නැවත පරිශිලනය කරන කල්හි ය. චීනයේ නොතිබූ බෞද්ධ විනය ග්‍රන්ථ ලබාගැනීමටත් බුදුන් උපන් දේශයේ බුද්ධ චරිතය හා බැඳුණු ස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමටත් තවත් භික්ෂූන් පස් නමක් සමඟ ෆාෂියන් හිමියන් චීනයෙන් ගමනාරම්භ කළේ ක්‍රි.ව. 399 දී ය. සැතපුම් දහස් ගණනක් දුරින් වූ මධ්‍ය ආසියාව හරහා වැල්ලෙන් වැසීගිය ගෝබි තක්ලමකාන් කාන්තාරත් හිම පතිතවන ප්‍රදේශත් මහා පර්වත ගිරි ශිඛර තරණය කරමින් දරුණු සතා සිවුපාවුන්ගෙන් යුක්තවූත් ප්‍රදේශ ඔස්සේ වූ සිදුකළ එම ගමනේ දුෂ්කරතාව පැහැදිලි වන්නේ භාරතයට ගමන අවසන් වන තුරු රැඳී සිටිමට වාසනාව ලද්දේ ෆාෂියන් හිමියන් පමණක් වීමෙනි. කෙනෙකු අතරමඟ දී මියගිය අතර සමහරු ආපසු හැරී ගියහ. ගෝබි කාන්තාරයේදී එම පිරිස මඟ සලකුණු වශයෙන් දැක ඇත්තේ පෙර ගමන්වල දී මියගිය අයගේ මහමඟ තිබූ ඇටසැකිලි ය.

උන් වහන්සේගේ චාරිකාවේදී මධ්‍ය ආසියාවේ පිහිටි ඛෝටානය ඇතුළු බොහෝ ස්ථානවල භික්ෂූන් සහිත බෞද්ධ ආරාම ක්‍රියාත්මකව තිබූ ආකාරය පිළිබඳ කර ඇති විස්තර පස්වන සියවසේ බුද්ධාගමේ ඉතිහාසය හා පළමු වන සියවසේ කනිෂ්ක රජතුමා යටතේ මහායාන බුදුදහම මධ්‍ය ආසියානු ප්‍රදේශවල පැතිරීම පිළිබඳ හදාරන්නටත් අතිශය වැදගත් මූලාශ්‍රයකි.

ආගම්වාදීන් විසින් විනාශ කළ අඩි 180ක් උසැති බාමියන් බුද්ධ ප්‍රතිමාව එසේ විස්තර වූ ආරාම සන්තකව තිබූ එක් ප්‍රතිමාවක් පමණකි. එවැනි ප්‍රතිමා සහිත බෞද්ධ ආරාම සිය ගණනක් උන් වහන්සේ විසින් දැක සිය ගමන් විස්තරයේ අන්තර්ගත කර තිබේ.

පසු කාලයේ කෝසලබිම්බ වර්ණනාවේ සඳහන් වන ප්‍රවෘත්තිය උන්වහන්සේ ද සඳහන් කරමින් කෝසල රජතුමා විසින් නිමවූ බුද්ධ ප්‍රතිමාවක් හා එය ලොව නිර්මානය කළ පළමු බුද්ධ ප්‍රතිමාව බව ද දක්වයි.

වයඹදිග ඉන්දියාවේ කාබුල් ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළු වී නැගෙනහිර ඉන්දියාවේ ත්‍රාමලිප්ති වරයෙන් ලංකාව බලා පිටත් වන තෙක් උන්වහන්සේට හමු වූ සියලුම බෞද්ධ ස්ථාන පිළිබඳත් ඒවායේ ඉතිහාසය හා ඒ වන විට භික්ෂූන්ගෙන් පිරී පැවැති ආකාරයත් බෞද්ධ ක්‍රියාකාරීකම් ගැනත් සවිස්තරව දක්වා තිබීම අතිශය වැදගත් ය.

එකල උත්තර භාරතයේ පාලකයා වූයේ දෙවැනි චන්ද්‍රගුප්ත ය. පසු කාලයේ විවිධ දේශපාලන හා ආගමික ව්‍යසනයන්ට භාජනය වී වර්තමානයේ නටබුන් බවට පත්ව ඇති එම ස්ථාන අද වන්දනාකරුවන් හා ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ඇදී යන තැන් බවට පත් වී තිබුණත් පස් වන සියවස වන විට එම ආරාම හා සම්බන්ධව පැවැති සක්‍රිය බෞද්ධ ප්‍රබෝධය පසක් කරගත හැකි ය.

බුද්ධ චරිතයට හා පසුව බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ වන උත්තර භාරතයේ පිහිටි සියලු ස්ථාන සම්බන්ධව එකල පැවැති තත්ත්වය පමණක් නොව එම ස්ථාන හා සම්බන්ධ ඉතිහාස කතා ඒ වන විටත් එම ප්‍රදේශවල ජනතාව අතර මතකයේ තිබීම විශේෂයෙන් වැදගත් ය. ඉන්දියාවේ තිබූ සර්වඥ ධාතු හෝ උන් වහන්සේ පරිභෝග කළ වස්තු හෝ සථාන පිළිබඳ ෆාෂියන් හිමි දක්වන විස්තර මහාපරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් පුරාණයේ රචනා වී ඇති බුද්ධවංසයේ 8 - 10 ගාථාවල ද සඳහන් වීම ෆාෂියන් හිමිගේ වාර්තාවේ විශ්වාසනීයත්වය සෙවීමේදී වැදගත් ය. තවත් නිදසුනක් වන්නේ අශෝක අධිරාජයා ධාතු ලබාගැනීම සඳහා ස්තූප බිඳීමේ කථා ප්‍රවෘත්තිය පස් වන සියවසේදී රචිත සුමංගලවිලාසිනියේ ද සංස්කෘත ග්‍රන්ථයක් වන මහාවස්තුවේ ද සඳහන් වීම ය. එම විස්තරයේ අඩංගු වැදගත් තොරතුරු අතර අශෝක අධිරාජයන් විසින් ප්‍රතිෂ්ඨාපනය කළ සෙල්ලිපි මෙන් ම මුදුනෙහි සිංහ රූප ආදියෙන් යුක්ත මහා ශිලාස්ථම්භ දුටු බව ද ඇතුළත් ය.

වීන ජාතිකයෙකු වූ ෆාෂියන් හිමියන් එම සංචාරයේ දී විශේෂයෙන් උත්තර භාරතීය භික්ෂූන් සමඟ කතා කළ භාෂාව සංස්කෘතය බවට සාක්ෂ්‍ය ඇත. හීනයාන භික්ෂූන් පාලි බසින් ග්‍රන්ථකරණය කළා සේම මහායාන භික්ෂූන් සංස්කෘත බසින් ග්‍රන්ථකරණය කළ හෙයින් එම භික්ෂූන් සංස්කෘත භාෂාව පිළිබඳ දැනුම ඇත්තන් වන්නට ඇත. ෆාෂියන් හිමි මධ්‍ය ආසියාවේ සමහර ආරාම ගැන සඳහන් කිරීමේ දී ඔවුන් ඉන්දීය භාෂාව භාවිත කළ බව සඳහන් කර ඇත. උන් වහන්සේ වැඩම කළේ චීනය දෙසට වූ වෙළඳ මාර්ගයේ නිසා ඒ ප්‍රදේශවල චීන භාෂාව දත් අය ද සිටින්නට ඇත. උන් වහන්සේ පාඨලීපුත්‍රයේ දී වසර තුනක් සංස්කෘත භාෂාව කතා කිරීමට හා ලිවීමට උගත් බව සටහන් කර ඇත.

ඒ දක්වා උන් වහන්සේගේ කටයුතු සලකා බැලීමේ දී සංස්කෘතය කතාබහ කිරීමට මූලික අවබෝධයක් වත් පෙරදී ලබාගෙන තිබෙන්නට ඇතයි සිතිය හැකි ය. කෙසේ වෙතත් ආපසු චීනයට යෑමෙන් පසු තමා රැගෙන ආ සංස්කෘත ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළුවේ යැයි සඳහන් වී ඇති හෙයින් උන් වහන්සේගේ සංස්කෘත භාෂා දැනුම පිළිබඳ පටුත්වය අවබෝධ කරගත හැකි වේ. ඉන්දියානු සංස්කෘතිය පැතිරුණ ප්‍රදේශවල සංස්කෘත බස අන්තර්ජාතික භාෂාවක්ව තිබී ඇත. ඒ හැර උන් වහන්සේ පාලි භාෂාව ප්‍රගුණ කළ බවක් සඳහන්ව නැත.

 

ෆාෂියන් දුටු දළදා පෙරහර

උන් වහන්සේගේ ගමන් විස්තරයේ ලංකාව ගැන සඳහන් කරුණු අතර වැඩියෙන් දක්නට ඇත්තේ අභයගිරිය හා සම්බන්ධ තොරතුරු වන්නේ මේ හිමි අභයගිරියේ වැඩවාසය කළ නිසා විය යුතුය. අගෝස්තු මාසයේදී අනුරාධපුර දළදා මාලිගයේ සිට අභයගිරි විහාරය දක්වා පැවැත්වෙන දළදා පෙරහර හා ඉන් පසුව දින 90ක් අභයගිරි විහාරයේ මහජන දළදා ප්‍රදර්ශනය වන බව දක්වා ඇත. සවිස්තරාත්මකව දක්වා ඇති එය මෙරට දළදා පෙරහර පිළිබඳ සඳහන් වන පැරණිතම විස්තරයයි. අභයගිරියේ දළදාව තැන්පත් කළ ගොඩනැගිල්ල නිශ්චිතව දැක්විය නොහැකි වුවත් මෙම විහාර භුමියේ ඇති පොදු භූමියේ බෝධිඝරය දානශාලව හා රත්නප්‍රාසාදය අතර හුනුගලින් කළ මණ්ඩපයක් සහිත ඉපැරණි සුවිශේෂ ගොඩනැගිල්ලක් සොයාගෙන ඇත. ඒ අසල පිහිටි ගලක කොටා තිබූ අක්ෂර වියැකී ඇතත් ඉන් දළදා යන්න කියැවී ඇති බව කිව හැකි ය. මේ දළදා විස්තරය මෙරට දළදා පෙරහැර පිළිබඳව ඇති ඉපැරණි විස්තරයයි.

දැනට එම විස්තරය අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 1997 වර්ෂයේ සිට ආරම්භ කළ ෆාෂියන් හිමියන් ද සිහිපත් කරමින් වාර්ෂික අනුරාධපුර ඓතිහාසික දළදා පෙරහර අලි ඇතුන්ද සහිතව උත්කර්ෂවත් අන්දමින් නොකඩවා පවත්වන්නේ එහි පළමු දිනයේ පෙරහර ඇතුළු නුවර පිහිටි දළදා ගෙයට ද ගොස් පූජා පවත්වා එතැනින් අභයගිරි විහාරයට පැමිණීමෙනි.

දඹදිව ශ්‍රී මහා බෝධියෙන් බීජයක් ( ශාඛාවක් නෙවේ) ගෙනවුත් අභයගිරියේ රෝපණය කළ බෝධීන් වහන්සේ අද දක්නට නැතත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි ගොඩකුඹුර විසින් ආසනඝරයක් ලෙස වැරදියට හඳුන්වා දුන් අභයගිරියේ පැරණිතම බෝධිඝරය බව මෑත කාලයේ කළ කැණීම්වලින් අනාවරණය වී ඇත.

එම බෝධි සෙවනේ වූ විශාල ශාලාවක තිබූ විශාල ජේඩ් බුදු පිළිමයක් ගැන උන් වහන්සේ සඳහන් කරති. ඉහත කී කැණීම්වල දී විශාල ශාලාවක ටැම් සිටුවීම සඳහා වූ අධාරක ගල් පුවරු ද ඊට ආසන්න ස්මාරකයක් කැණීමේදී ජේඩ් වර්ණයට සමානැති හරිතවර්ණ ගල් කැබලි විශාල ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිව ඇත.

ලංකාව වෙළෙන්දන්ගෙන් ජනාවාස වීම٫ පාත්‍රා ධාතුව٫ අභයගිරි ස්තූපය٫ දළදා මාලිගය٫ දිවයිනේම හා එක් එක් ආරාමවල සිටි භික්ෂූ සංඛ්‍යාව٫ මහාවිහාරයේ භාණ්ඩාගාරය٫ මිහින්තලේ වැඩසිටි රහතන් වහන්සේ නමක් ٫ ශ්‍රී පාදස්ථානය٫ රහත් නමකගේ ආදාහනය හා ආදාහන මළුව මහාපාලි දාන ශාලාව ඇතුළු තවත් බොහෝ තොරතුරු මෙම විස්තරයේ අන්තර්ගත ය.

ඉන්දියාණු භික්ෂූවක විසින් මෙහි දී කරන ලද ධර්මදේශනාවක් ලෙස පැහැදිලිවම දක්වා ඇත්තේ අනාගත වංශ දේශනාව ය. ඉහත කී ආදාහන මළුව පිහිටියේ මහාවිහාරයට නැගෙනහරින් ආසන්නයේ බව දක්වා ඇති අතර එම ග්‍රන්ථය පළමුවෙන් සිංහලට පරිවර්තනය කළ අධිනීතිඥ චාල්ස් ද සිල්වා මේ ශ්‍රී මහා බෝධියට යාර 500ක් නැගෙනහිරින් බව කියයි. මිහිඳු මාහිමියන්ගේ ආදාහනය ද ලෝවාමහාපායට නැගෙනහිරින් බව වංශකථාවල සඳහන් වීම එම ප්‍රකාශයට රුකුලකි.

පස් වන සියවසේ මධ්‍ය ආසියාවේත් උත්තර භාරතයේත් ලංකාව හා ජාවා රටේත් ඉතිහාසය අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් මෙන්ම අනිකුත් විද්වතුන් විසින් ෆාෂියන් හිමිගේ ගමන් විස්තරයට දැනට වඩා අවධානයක් යොමු කිරීම වැදගත් ය.

 

අදහස්