රජගල, දෝව, රැස්වෙහෙර තුන් හිටි ප්‍රතිමා අඩක් නෙළුවේ ඇයි? | සිළුමිණ

රජගල, දෝව, රැස්වෙහෙර තුන් හිටි ප්‍රතිමා අඩක් නෙළුවේ ඇයි?

කේ. උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර

පුරාණ ලක්දිව ප්‍රතිමා ශිල්පියා නිර්මාණය කරන ලද විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමාව ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ අනුරාධපුර අභයගිරි පරිශ්‍රයේ වැඩහිඳින සමාධි බුද්ධ ප්‍රතිමාවය. එසේම මෙරට ප්‍රතිමා ශිල්පියාගේ විශිෂ්ටත්වය කියාපාන හිඳි, හිටි හා සැතපෙන බුද්ධ ප්‍රතිමා රාශියක් රට පුරා විසිර පවතී. ඒ අතරින් තොළුවිල හිඳි බුදු පිළිමය, අවුකන හිටි බුදු පිළිමය, මාලිගාවිල හිටි බුදු පිළිමය, පොලොන්නරුවේ ගල් විහාරයේ හිටි, හිඳි හා සැතපෙන බුද්ධ ප්‍රතිමා කැපී පෙනේ.

අතීත ලාංකේය ප්‍රතිමා ශිල්පියා මෙවන් පරිපූර්ණ ප්‍රතිමා නිර්මාණය කළා සේම වැඩ අවසන් නොකළ ප්‍රතිමා පිළිබඳ ද මෙරටින් සාධක ලැබී ඇත. එසේ අසම්පූර්ණ ලෙස නිර්මාණය කරන ලද හිටි ප්‍රතිමා ත්‍රිත්වයක සාධක බදුල්ල දෝව විහාරය, අම්පාර රජගල විහාරය හා කුරුණෑගල රැස්වෙහෙර විහාරයෙන් ලැබේ.

රැස්වෙහෙර

රැස්වෙහෙර හෙවත් සැස්සේරුව පුරාණ විහාරය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මෙහි ඉතිහාසය සොයාබලන විට දේවානම් පියතිස්ස රාජ සමය (ක්‍රි.පූ. 250-210) දක්වා දිවයන බව පෙනේ. අලි ඇතුන් බහුලව ගැවසෙන කඳුයායක් අසබඩ පිහිටා ඇති එම විහාර සංකීර්ණය ආශ්‍රිතව ලෙන් 59ක් පමණ හමුවී තිබේ. එම ලෙන්හි බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි 14ක් පමණ සොයාගෙන ඇත. විහාරය ආශ්‍රිතව දක්නට ලැබෙන සිරිපතුල් ගල්, පියගැටපෙළ, පොකුණු, සක්මන් මළු ආදිය කියාපාන්නේ විහාරයේ අතීත තේජසය.

දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් බෝධියක් එම විහාරයේ රෝපණය කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. එම බෝධීන් වහන්සේගෙන් රැස් විහිදුණු නිසා එම විහාරය රැස් වෙහෙර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම රහින ලද ගලක් ඇසුරෙන් බුදුරුවක් නිර්මාණය කළ නිසා “රැස් සේරුව” වූ බවටද මත ඇත.

මෙරට පුරාණ ප්‍රතිමා ශිල්පියා වැඩ අවසන් නොකර භාගෙට අතහැර දැමූ පර්වතයක නෙළන ලද හිටි බුද්ධ ප්‍රතිමාවක් එම විහාරය ආශ්‍රිතව දැකගත හැකි වේ. මෙම ස්ථානයට සමීප දුරක පිහිටි කලා වැව ඉස්මත්තේ බැබළෙන සුප්‍රසිද්ධ අවුකන ප්‍රතිමාවට බොහෝ සෙයින් සමාන රැස්වෙහෙර ප්‍රතිමාව අවුකන ප්‍රතිමාව නෙළු ශිල්පීන් ඊට පෙර අත්හදා බැලීමක් ලෙස නිර්මාණය කළ බවට ජනප්‍රවාදයක් පවතී.

ගල් පර්වතය ඇතුළට හාරා නිර්මාණය කර ඇති එම ප්‍රතිමාව අඩි 39 අඟල් 3ක උසකින් යුක්ත වේ. රැස්වෙහෙර ප්‍රතිමාව මහසෙන් රජුගේ කාලයේදී (ක්‍රි.ව.274-301) නිර්මාණය වී ඇතැයි නුමාන කෙරේ. “මහාසේන ප්‍රඨිමා’‘ ලෙස ප්‍රකට වූයේද එම ප්‍රතිමාව බවට මතයක් ඇත. පිළිමයේ නිර්මාණ කටයුතු අවසන් කිරිමට පෙර රජු මියගිය හෙයින් එහි වැඩකටයුතු අතරමඟ නැවතුණු බවට ජනප්‍රවාදයේ පවතී.

දෝව රජමහා විහාරය

දෝව රජමහා විහාරය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි යුග කිහිපයකට අයත් නටඹුන් දැකගත හැකි වේ. බෝධීන්වහන්සේට ඉදිරියෙන් ඇති ලෙන් විහාරය කුටි 3ක් ආකාරයට නිර්මාණය කර තිබේ. ප්‍රධාන ද්වාරයේ ගල් උළුවස්සේ 1880 වර්ෂය යන්න කොටා ඇත. ඉන් පිවිසුණු විට ඇති පළමු කුටියේ මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම්ද අනෙක් කුටීර දෙකෙහි ඊටත් පෙර අවධියක අඳින ලදැයි විශ්වාස කළ හැකි සිතුවම්ද දක්නට ලැබේ. මේ ලෙන අසලම රාවණා ගුහාව නම් උමං ගුහාව දැකගත හැකිය. එය වර්තමානයේ වසා ඇත.

ලෙන් විහාර සංකීර්ණයට හා උමං ගුහාවට ඉහළින් වම් පසින් වූ හුනුගල් මිශ්‍රිත ගල් පර්වතයෙහි හිටි බුදු පිළිමයක් නෙළා තිබේ. අවුකන ප්‍රතිමාවට සමානත්වයක් දක්වන එම ප්‍රතිමාව අඩි 36ක් පමණ උසකින් යුක්තය. එය වැඩ අවසන් නොකරන ලද පිළිමයකි. පිළිමයේ නෙළීමට හැකි වී ඇත්තේ ශීර්ෂය, අත් සහ පපු ප්‍රදේශය පමණි. අනෙක් සියලු කොටස්වලට පසු කාලයෙදී බදාම යොදා පුරවා ඇත. එම පිළිමය නෙළීම අතරමග ඇනහිටීමට හේතුව ලෙස හඳුනාගන්නේ පර්වතයේ නුසුදුසු ස්ථානයක් පිළිමය නෙළීමට තෝරාගැනීමය.

රජගල

රජගල විහාර සංකීර්ණය පිහිටා ඇත්තේ නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් වැව්ගම් පත්තුවේ බක්කි ඇල්ලට නුදුරින් අම්පාර මහඔය මාර්ගයට කි.මී. 1ක් පමණ දුරිනි. පොළොවෙන් නැඟි සිටින කඳු පන්තියක් පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙහි අක්කර 300ක පමණ ප්‍රදේශයක් පුරා ආරාමික නටඹුන් පැතිර පවතී. ක්‍රිස්තු පූර්ව අවධියේ ආරම්භ වෙතැයි සැලකෙන එම ආරාම සංකීර්ණය වර්තමානයේ රජගල හා රාස්ස හෙළ ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත. නමුත් අතීතයේදී කුම්භීල වාපි තිස්ස පර්වත මහා විහාරය (ක්‍රි.ව.4) හා අරියාකර ගිරිකුම්භීල වාපි තිස්ස පර්වත මහා විහාරය (ක්‍රි.ව.4) ලෙස හඳුන්වා ඇති බව හමු වී ඇති ශිලා ලේඛනවලින් පැහැදිලි වේ. එම විහාර පරිශ්‍රය තවමත් පූර්ණ වශයෙන් මතු කරගෙන නැත. ස්තූප, පොකුණු, වැව්, කැසිකිළි, භික්ෂූන් භාවිතා කළ ලෙන් හා තවත් ගොඩනැගිලි අවශේෂ රාශියක් දැකගත හැකි වේ.

විහාර පරිශ්‍රයෙන් හමු වී ඇති නටඹුන් අතරින් පොළොව මත ඇද වැටුණු ස්වභාවයකින් දක්නට ලැබෙන හිටි බුද්ධ ප්‍රතිමාව සුවිශේෂය. දකුණතින් අභය මුද්‍රාව නිරූපණය කිරීමට ගත් උත්සාහයක් හඳුනාගත හැකි එම බුද්ධ ප්‍රතිමාව පිළිබඳ විද්වතුන්ගේ අදහස වන්නේ එය නෙළා අවසන් නොකරන ලද ප්‍රතිමාවක් බවය. මුහුණේ රළු ස්වභාවය, සිවුරේ රැලි මතු නොකර තිබීම හා දෙපා පූර්ණ වශයෙන් මතු කර නොතිබීම යන ලක්ෂණ මෙහිදී කැපී පෙනේ. එම ලක්ෂණ හා ප්‍රතිමාවේ පිහිටීම දෙස බැලීමේදී එම මතය නිවැරදි බව වටහාගත හැකි වේ. එම හිටි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් නොවීමට බලපෑ හේතුව පිළිබඳ විද්වතුන් අතර එකඟතාවක් නැති අතර පරසතුරු ආක්‍රමණ නිසා රාජධානියේ බිඳවැටීම එයට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. උක්ත ප්‍රතිමා මෙරට හිටි බුද්ධ ප්‍රතිමා නෙළිමේ ඉතිහාසයේ සුවිශේෂ වන්නේ අවුකන බුදු පිළිමය, මාලිගාවිල බුදුපිළිමය මෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඔප් නන්වන විශිෂ්ට වූ පූර්ණ නිර්මාණ ලක්ෂණ නිසා නොව ප්‍රතිමා නිර්මාණය කරගෙන යෑමේදී අතරමඟ වැඩකටයුතු නතර වී ඇති නිසාය.

කලා විචාරයේදී පූර්ණ ප්‍රතිමා වන්ගේ විශිෂ්ටත්වය පමණක් ඉස්මතු කර දක්වන හෙයින් වැඩ අවසන් නොකළ එම ප්‍රතිමා පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ අවම වශයෙන් බව පෙනේ.

අදහස්