මීරි­ගම මළ­ගෙ­යක් කළ විස කසිප්පු කංචන | Page 2 | සිළුමිණ

මීරි­ගම මළ­ගෙ­යක් කළ විස කසිප්පු කංචන

දිනය පසු­ගිය දෙවැ­නිදා ය. මීරි­ගම රෝහ­ලෙන් තැති­ග­න්වනසුලු ඛේද­වා­ච­ක­යක් වාර්තා වෙමින් තිබිණි. සාමා­න්‍ය­යෙන් රෝහ­ලෙන් දින­කට වාර්තා වන්නේ මර­ණ­යක් හෝ දෙකකි. එහෙත් රෝහලේ එදින මරණ හයක් ම වාර්තා වුණේය. මෘත ශරී­රා­ගා­රය තුළ මිනී ගොඩ­ගැ­සෙත් ම ඒ පිළි­බඳ පුවත අවට ගම්මාන පුරා පැතිර ගියේ තටු ලබ­මිනි.

ඒ අතරේ මීරි­ගම රෝහ­ලේදී මිය­ගිය රෝගීන්ගේ රෝග ලක්ෂණ ම පිළි­බිඹු කර­මින් තවත් පිරි­සක් මිය ගොස් ඇති බවට බඳු­රා­ගොඩ, පොත්තෙ­වෙල, වත්තෙ­මුල්ල, ගස්පෙ, මඩි­ති­ය­වල ආදි ගම්ව­ලින් වාර්තා විය.

දැන් අවට ගම් සිසාරා හා-හූවක් පැතිර යන්නට වූයේ ය.

'කසිප්පු බී පිරි­සක් මිය ගිහින්...' තතු දත් ගැමියෝ මේ කතාව කීවේ කැට දමා ය. පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය විය.

දින දෙක තුනක් ඉක්ම යද්දී මේ ව්‍යස­න­යෙන් 13 දෙනෙක් මිය ගිය බව වාර්තා විය. ඉකුත් 07 වැනිදා තවත් අයෙක් මේ රෝග තත්ත්ව­යෙන් ම මිය ගියේය. මියගිය මිනි­සුන් ගණන දැන් 14 කි. ගැමි­යන් කී කතාව නිවැ­රදි බව තහ­වුරු වෙමින් තිබේ. මේ මිනි­සුන් මිය ගොස් ඇත්තේ කසිප්පු විස වීමෙනි. ඒ විස කසිප්පු විකුණා තිබුණේ මීරි­ගම කංචන මුද­ලාලි නැමැති කුප්‍ර­කට කසිප්පු ජාවා­ර­ම්ක­රු­ව­කුවා ය. මේ මිනී­මරු විස කසිප්පු ජාවා­රම්කාරයා ගැන දැන් රට ම දන්නේ ය.

මියගිය සියලු දෙනා අවු­රුදු 40ට වැඩි වයසේ පසු­ව­න්නන් ය. කසිප්පු විසෙන් මියගිය වය­ස්ග­තම පුද්ග­ල­යාට අවු­රුදු 82 කි. මේ මිනිස්සු මීරි­ගම අවට බඳු­රා­ගොඩ, වත්තෙ­මුල්ල, වල­ව්වත්ත, ගස්පෙ, ලක්ජ­ය­ගම, මඩි­ති­ය­වල ආදි ගම්වල විසූ එදා වේල කුලී­වැ­ඩ­කින් සරි කර­ගන්නා දුප්පත්තු වෙති. සුම­න­දාස, සරත් කුමාර, දයා­රත්න, පුෂ්ප­කු­මාර, ජයන්ත, කාරි­අ­ප්පන්, සුමිත්, ශාන්ත­ලාල්, මංජුල, ඇන්ටනි, මහින්ද, සුනිල්, ඇලෝ­සි­යස් සහ සුමිත් ආබෲ යන පිරිස එසේ මර­ණ­යට වූවන් ය.

කසිප්පු ව්‍යාපාරිකයාගේ නිවෙස

කසිප්පු බී ඇස් පනා­පිට ම මිනිස්සු මැරී වැටෙද්දී ගම්වැ­සියෝ කෝප වූහ. වම­නය, පාච­නය, ඇස් නොපෙනී යෑම වැනි රෝග ලක්ෂ­ණ­ව­ලට රෝහ­ල්ගත වූවන් පෙට්ටි­යෙන් ගෙව­ල්ව­ලට එනු දුටු මීරි­ගම අවට ගම්වල මිනිස්සු පසු­ගිය තුන්වැ­නිදා කොට­දෙ­නි­යාව පොලි­සි­යට අස­ලට වැල නොකැඩී ඇදෙ­මින් උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූහ. ඒ විස කසිප්පු ජාවා­ර­ම්කාර කංචන මුද­ලාලි අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස බල කර­මිනි. එහෙත් කංච­නගේ කසිප්පු ඉසව්ව අයත්ව තිබුණේ පල්ලෙ­වෙල පොලි­සි­යට ය. ජනයා පල්ලෙ­වෙ­ලට නොගියේ පල්ලෙ­වෙල පොලි­සිය කංච­න­ගෙන් 'ජරාව' කන හොර ගුහා­වක් ලෙසට ප්‍රකට ව තිබූ හෙයිනි.

කොට­දෙ­නි­යා­වෙන් ලැබුණු පැමි­ණිලි කන්ද­රාව මත 14 දෙනෙක් මරා දැමූ විස කසිප්පු ජාවා­රමේ සැක­ක­රු­වන් ලෙස කංචන සහ ඔහුගේ ගෝල­යෙක් වන සුබ­සිංහ හෙවත් කළු මල්ලි මෙන්ම විස කසිප්පු පෙරූ බවට සැල­වෙන මීරි­ගම ලෝලු­වා­ගොඩ කැමි­ල­ස්වත්තෙ වෙසෙන ලය­නල් අබේ­සිරි නමැත්තා ද අත්අ­ඩං­ගු­ව­ට­ගෙන රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි.

සිදුවූ ඛේද­වා­ච­කය ගැන සොයා බල­න්නට පසු­ගි­යදා මීරි­ගම අවට ගම්ව­ලට ගිය අපට බොහෝ දෙනෙක් පැව­සුවේ එක ම කතා­වකි. “අහිං­සක මිනි­ස්සුන්ට දහ­ජ­රාව පොවලා කරපු විනා­ශ­යට... මේ අප­රා­ධය කළ­වුන්ට හොඳ­ක්නම් වෙන්න එපා” . ඇත්තට ම සිදුවී තිබුණේ මෙවැ­න්නකි.

වසර තිස්ප­හ­කට අධික කාල­යක් වෙනත් ව්‍යාපා­ර­ව­ලට මුවා­වෙන් බඳු­රා­ගොඩ, ගස්පේ­හේනේ කසිප්පු ජාවා­ර­මක් කර­ගෙන යන මහා පරි­මාණ ජවා­රම්කාර­යෙක් ගැන ප්‍රදේ­ශය ම දැන­ගෙන සිටියේ ය. මේ ජවා­ර­ම්කා­රයා කිත­ලව කංකා­න­මගේ කංචන අජිත් නමැත්තා ය. පළාත ම දන්නා කසිප්පු රස්සාව ඔහුට උරුම වී තිබුණේ සිය පියා­ගෙනි. ගම්මු පව­සන පරිදි කංච­නට අම­ත­රව ඔහුගේ තවත් ඥාති හිත­ව­තුන් පිරි­සක් කසිප්පු ජාවා­රමේ යෙදෙති. මේ ව්‍යස­නය සොයා යන ගම­නේදී අපට එක් පුද්ග­ල­යෙක් හමු විය. ඔහු පසු­ගිය පළමු වැනිදා පාන්ද­රම සුපු­රුදු පරිදි 'කසිප්පු අඩි­යක්' ගැසී­මට කංච­නගේ හොර පොළට පැමි­ණෙන බේබදු කණ්ඩා­යමේ සිට එළොව ගිහින් මෙලොව පැමිණි අයෙකි. බඳු­රා­ගොඩ පදිංචි 65 හැවි­රිදි මේ පුද්ග­ලයා අපට කීවේ මෙවන් කතා­වකි.

“උදෙන්ම කංචන මුද­ලා­ලිගේ ගෙද­රට ගියා. දහ­පා­ළොස් දෙනෙක් ඒ වෙලා­වෙත් හිටියා. එදා විකු­ණුවේ කංච­නගේ ගෝලයා කළු අයියා. මම රුපි­යල් සීයක බිව්වා. බොන­කොට වෙන­දට වඩා වෙන­සක් දැනුණා; අමුතු රහක් ආවේ; ඒ නිසා වැඩිය බිව්වෙ නෑ; ගෙදර ගියා. පස්සෙ ඇඟට පණ නැති ගති­යක් දැනුණා. අමාරු තියා­ගෙන රස්සා­ව­ටත් ගියා. ඇස් පෙනී­මත් අඩු වෙලා...වම­නෙත් ගියා. කරන්න දෙයක් නැති තැන දිවු­ල­පි­ටිය ඉස්පි­රි­තා­ලෙට ගියා. අන්ති­මට මාව කොළඹ ජාතික රෝහ­ල­ටත් ගෙනිච්චා. යන්ත­මට ජීවි­තය බේරුණා. ආයෙත්නම් ජීවි­තේට ඔය දහ­ජ­රාව බොන්නෙ නෑ.” කසිප්පු වඩි­ය­කින් කට හෝදා­ගෙන උදේම වැඩ පටන් ගන්නා බේබ­ද්දන්ට මර­ණ­යෙන් පාඩම් උගන්වා තිබිණි. උදේ පාන්දර සිට එළි­පිට ගෙදර ම කසිප්පු විකු­ණන මේ අශි­ක්ෂිත අම­නු­ස්සයා වෙනු­වෙන් නීතිය ක්‍රියා­ත්මක කර­න්නට පල්ලෙ­වෙල පොලි­සිය කට­යුතු කර නොති­බිණි. මේ හොර කසිප්පුකාරයා මිනිස්සු මැරී වැටුණු පළමු වෙනිදා පම­ණක් නොව, දෙවෙ­නි­දාත් තම නිවසේ විස කසිප්පු විකුණා තිබිණි. දෙවෙ­නිදා විස කස්පිපු විකු­ණන විට පළ­මු­වෙ­නිදා ඒ කසිප්පු ම පානය කළ පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නෙක් මිය ගොස් තිබුණේ ය. වාර්තා වන ආකා­ර­යට මේ දවස් දෙක ඇතු­ළත පන­හ­කට අධික පිරි­සක් විස කසිප්පු බී ඇත. මිය ගිය පිරි­සත් හෙළි­ද­රවු වූ පිරි­සත් හැරුණු විට තවත් පිරිස් මේ වන විටත් සිදුවූ දේ සඟ­ව­මින් රෝහ­ල්ග­තව ය.

ගම්මු කසිප්පු විස­වීම ගැන නොයෙක් කතා කියති. ඇතැ­මෙක් පව­සන්නෙ කසිප්පු පෙරී­මට යොදා­ගත් බැර­ල­යක කිසි­යම් විස රසා­ය­න­යක් තිබෙ­න්නට ඇති බවකි. එසේම තවත් පිරි­සක් කියන්නෙ කසිප්පු පෙරී­මට ගත­වන දින හය, හතක සම්මත ක්‍රියා­ව­ලි­යෙන් බැහැ­රව ක්ෂණි­කව කසිප්පු පෙරී­මට කංචන මුද­ලාලි මෑතක සිට විෂ රසා­ය­නික කුඩක් පාවිච්චි කරන බවයි. ඒ කුඩ අධි මාත්‍රා­වෙන් යෙදීම නිසා මේ විනා­ශය වන්නට ඇතැයි ද කියති. මර­ණ­යට පත්වූ පිරිස පානය කළ ඉතිරි කසිප්පු ප්‍රමා­ණයේ රස පරී­ක්ෂක වාර්තාව අනුව සිදු­වූයේ කුමක්ද යන්න ඉදි­රි­යේදී හෙළි­වනු ඇත.

කසිප්පු පෙරූ බවට හෙළිවන නිවෙස

එසේම තවත් තැන­කදී පිරි­සක් කීවේ මෙවැ­න්නකි.

“ඉස්සර මිනිස්සු කසිප්පු පෙර­න­කොට 'දෙයි­යන්ගෙ කොටහ' ලෙසින් කසිප්පු පැහෙන විටදී මුල් කොටස අයින් කර­නවා. ඒක බොන්නෙ නෑ. මැද කොට­සයි බොන්නෙ. ඔය මිනි­හාගේ කසිප්පු පෙරන ගෝලයෝ ඒවත් මිනි­ස්සුන්ට බොන්න දෙන­වලු.”

එසේ ගම්වැ­සි­යන් පව­සන්නෙ කසිප්පු පෙරී­මේදී මුලින් නිප­ද­වෙන මෙත­නෝල් හෙවත් මීත­යිල් ගැන ය. මීත­යිල් ශරී­ර­යට අධික විස­කින් යුක්ත ය. නූතන කසිප්පු ජාවා­ර­ම්ක­රු­වන් ඒ කොටස ඉවත් නොකොට ලාභ පර­මා­ර්ථ­යෙන් විකු­ණන බව නොයෙක් අව­ස්ථා­ව­ලදී වාර්තා විණි. මීට වසර දහ­හ­ත­ර­කට පමණ පෙර එනම් 2005 දෙසැ­ම්බර් මාසයේ මාතර කැක­ණ­දු­රදී කසිප්පු පාන­ය­කොට 14 දෙනෙකු මිය ගියේය. එදින ඒ කසිප්පු පානය කළ 105ක් පමණ රෝහ­ල්ගත විය. මේ මරණ සිදු­වූයේ මීත­යිල් මිශ්‍ර වූ කසිප්පු පානය කිරී­මෙන් බවට තහ­වුරු විණි.

කෙසේ හෝ පොලි­සිය, සුරා­බදු නිල­ධා­රින් මිලදී ගනි­මින් දේශ­පා­ලන රැක­ව­ර­ණය සහි­තව මහා පරි­මා­ණ­යෙන් කසිප්පු ජාවා­රම කළ කංචන යාන­වා­හන, ඉඩ­ක­ඩම් යහ­මින් ඇති බල­යක් සහිත තැනැ­ත්තෙක් වූයේ ය. ඔහු සිය බිරිය ද කසිප්පු ජාවා­ර­මට හවුල් කර­ගෙන තිබිණි. මෑත­කදී කංච­නගේ පුත්‍රයා විවාහ වී තිබුණේ මීරි­ගම අවට ලෝලු­වා­ගොඩ ප්‍රදේ­ශ­යෙනි. ඔහු මේ ජාවා­ර­මට විරුද්ධ ව සිටියේ ය. එහෙත් කංචන කෙත­රම් කූට වංච­නි­ක­යෙක් ද යත් තම පුත්‍රයා විවාහ වී සිටි නිවෙසේ ද කසිප්පු පෙරීම ආර­ම්භ­කර තිබෙන අතර විස කසිප්පු පෙරා ඇති බවට සැල­වන්නෙ ලෝලු­වා­ගොඩ කංච­නගේ පුත්‍ර­යාගේ බිරි­යගේ මහ­ගෙ­දර නිවෙසේ ය.

මංජුල හා ඇන්ටනි යනු කසිප්පු පානය කොට මිය­ගිය දෙදෙ­නෙකි. මේ දෙදෙ­නාගේ දේහ රැගෙන එක්තරා පිරි­සක් පසු­ගිය 4 වැනිදා කංච­නගේ නිවෙ­සට ගියේය. ඒ මොහොතේ විසි­ප­හක, තිහක පමණ පිරි­සක් එ් නිවෙසේ රැඳී සිටි­යේය. ඔවුන් මේ මිනී රැගෙන පැමිණි පිරි­සට විරෝ­ධය පා තිබිණි. මේ පිරිස කසිප්පු ජාවා­රමේ නිරත කාංච­නගේ ගෝල­යන් ය.

ඔහුට කසිප්පු පෙරා දුන් පිරිස ‍කොතෙක්ද යන්න දන්නේ ඔහු ම පම­ණක් බව කියන ගම්මු කංච­නට කසිප්පු සැපයු පිරිස මීරි­ගම අවට පම­ණක් නොව රටේ සතර දිග්භා­ගයේ ම සිටින බව කියති. එසේම කංච­නගේ කසිප්පු දින­කට විශාල තොග­යක් රට­පු­රාම බෙදා­හැර ඇති බවට සැල වේ. ඒ නිසා විස කසිප්පු පාන­යෙන් මිය­ගිය පිරිස ද නිශ්චි­තව කිව නොහැක්කේ කසිප්පු බෙදා­හැරි තැන් කිසි­වෙක් හරි­හැටි නොදන්නා නිසා ය.

කූට ජාවා­රම පට­න්ගත් දා සිට ම දේශ­පා­ලන 'හයි­යෙන්, මුදල් බල­යෙන් පොලිස් නිල­ධා­රින් ව, සුරා­බදු නිල­ධා­රින් ව 'නම්මා' ගත් මේ ජාවා­ර­ම්කා­ර­යාට එරෙ­හිව නීතිය අකු­රට ම ඉටු වූයේ වර්ෂ 2013/ 2014 කාල­යේදී ය. එව­කට මීරි­ගම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළේ එරික් පෙරේරා ය. ඔහු අද සේවය කරන්නේ සංවි­ධා­නා­ත්මක අප­රාධ නිවා­රණ කොට්ඨා­සයේ ය.

“ඒ කාලේ පල්ලෙ­වෙ­ලත් මීරි­ගම පොලි­සි­යට අයිති. ඔය මිනිහා තැන් තැන්වල කියලා තිබුණා, කිසිම ඕඅ­යිසී කෙනෙක් යට­තේ­වත් මම කසිප්පු පෙරීම නතර කර­ලත් නෑ, නතර කර­න්නෙත් නෑ කියලා. මේ පුද්ග­ලයා ඒ දව­ස්වල බලයේ හිටිය දේශ­පා­ල­න­ඥ­යන් හරහා මට කතා කළා. මාසි­කව ලක්ෂ ගණ­නින් මුදල් දෙන්නත් ආවා. තමන් එක්ක ඔයිට වඩා කට්ටිය හැප්පෙන්න පැමිණි බවත් වෙන දේ බලා­ගත හැකි බවත් කියලා තිබුණා. මං මිනිහ ව පොලි­සි­යට ගෙන්නලා කිව්වා ඔය වැඩේ නතර කරන්න, මට දේශ­පා­ල­න­ඥ­යන් මඟින් බල­පෑම් කරන්න එන්න එපා කියලා. ඒත් හරි ගියේ නෑ... දෙපා­රක් ම අලල්ලා රිමාන්ඩ් කළා. අන්ති­මට මිනිහා කසිප්පු පෙරන එක නව­ත්වන්න පොරොන්දු වුණා. ලොරි තුන­කින් කසිප්පු පෙරන බඩු­භාණ්ඩ සියල්ල පොලි­සි­යට බාර දීලා, නැව­තත් කිසිම දිනෙක කසිප්පු පෙරන්නෙ නෑ කියා මාධ්‍ය­ය­ටත් ප්‍රකා­ශ­යක් කර­ලයි ගියේ. ” එහෙත් ඒ තත්ත්වය පවත්වා ගැනී­මට නීතිය ක්‍රියා­ත්මක කරන පිරිස සමත් වී නැත. යළිත් කසිප්පු ජාවා­රම පට­න්ගත් කසිප්පු කංචන පොලි­සිය මිලදී ගත හැකි බව මිනි­ස්සුන්ට පෙන්නුවේ ය.

මේ වන විට පල‍්ලෙ­වෙල හිටපු පොලිස් ස්ථානා­ධි­පති කමල් රත්නා­යක සහ තවත් පස්දෙ­නෙකු සමඟ අත්ත­න­ගල්ල වැඩ­බ­ලන සහ­කාර පොලිස් අධි­කාරි තුසිත කුමා­රද ස්ථාන මාරු­කොට ඇත. කංච­නගේ කසිප්පු ජාවා­රම ගැන ගම්පහ කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යෙන් විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ. පල්ලෙ­වෙල ස්ථානා­ධි­ප­ති­ව­රයා නීති­වි­රෝධී මද්‍ය­සාර ජාවා­රම් මැඬ­ලී­මට ගන්නා ලද ක්‍රියා­මාර්ග ගැන පොලිස් මූල­ස්ථා­නයේ විශේෂ විම­ර්ශන ඒක­ක­යෙන් ද පරී­ක්ෂ­ණ­යක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක පොලිසි අධි­කාරි නීතිඥ රුවන් ගුණ­සේ­කර කීවේය.

පොලි­සිය සේම නීති­වි­රෝධි මත්පැන් පිළි­බඳ වග­කීම තිබෙන්නෙ සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­ව­ටයි. එහෙත් සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව වසර තිස්ප­හක කාල­යක් ගජ­රා­මෙට කසිප්පු ජාවා­රම කළ කංච­නට එරෙ­හිව කිසිදු නඩු­වක් ගොනු­කර නැත. සිදුවූ ඛේද­වා­ච­ක­යෙන් පසු නිවේ­ද­න­යක් නිකුත් කරන සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ, නීති විරෝධි මත්පැන් විකි­ණීමේ මධ්‍ය­ස්ථා­නය පව­ත්වා­ගෙන ගිය පුද්ග­ලයා ව්‍යාපා­රි­ක­යකු බව පැව­සෙන අතර, ඒ මත්පැන් ජාවා­රම ඔහුගේ සේව­ක­යන් යොදවා සිදු කර­ගෙන ගොස් ඇති බවට වාර්තා වන බවයි; පසු­ගිය වසර තුන තුළදී ජාවා­රම් කිරී­මට යොද­වන ලද ගෝල­යන් 21 දෙනෙ­කුට එරෙ­හිව නඩු පවරා ඇති බව ය. රටක් දන්නා කසිප්පු කංචන සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව දන්නේත් නැත; පල්ලෙ­වෙල පොලි­සියෙ ඕ.අයි.සී දන්නෙත් නැත. මෙවැනි මුග්ධ­යන් සමඟ මතින් තොර රටක් ගැන අපට සිහින දකි­න්න­ට­වත් නොහැකි බව නම් ලියා තැබිය යුතුම ය.

සේයාරූ එම්. පී. කුමාර  
කොට­දෙ­ණි­යාව සමූහ

Comments