ඇසළ පෙරහරට දිව්‍ය­මය වටි­නා­ක­මක් ගෙනා වෙස් නැටුමේ නෑසුණු කතාව | Page 2 | සිළුමිණ

ඇසළ පෙරහරට දිව්‍ය­මය වටි­නා­ක­මක් ගෙනා වෙස් නැටුමේ නෑසුණු කතාව

හ­නු­වර ඇසළ පෙර­හර මුළු­ම­නින්ම විචි­ත්‍ර­වත් වන්නේ කන්ද උඩ­රට පාර­ම්ප­රික ගායන, වාදන හා නර්තන අංග­ව­ලිනි. ඒ කලාංග අත­රින් උඩ­රට වෙස් නැටු­මට හිමි වන්නේ සුවි­ශේෂි ස්ථාන­යකි. වෙස් බැඳි ශිල්පි­යෙකු සාමා­න්‍ය­යෙන් සල­කනු ලබන්නේ නර්ත­නයේ කෙළ පැමි­ණි­යෙකු ලෙසය. පඬු­වස් දෙව් රජ සමයේ මෙර­ටට ලැබුණු බව කියන වෙස් නැටුම කොහොඹා කංකාරී ශාන්ති­ක­ර්මයේ ප්‍රධාන නර්ත­නාං­ග­යකි.

මහ­නු­වර ඇසළ පෙර­හ­රට වුවද වෙස් නැටුම අාවාට ගියාට යොදා ගන්නේ නැත. කුඹල් පෙර­හ­රේදී වෙස් නැටුම් දැකිය හැක්කේ දළදා මාලිගා පෙර­හ­රේදී පමණි. දේවා­ල­ව­ලට වෙස් නැටුම් එක් වන්නේ රන්දෝලි පෙර­හ­රේ­දීය. සධා­තුක කර­ඬුව වැඩම කරන මංගල හස්ති රාජයා හා දිය­ව­ඩන නිලමේ ඉදිරි පිට පම­ණක් දළදා පෙර­හ­රේදී වෙස් නැටුම් දැකිය හැකිය. දේවාල පෙර­හ­රේදී වෙස් නර්තන ශිල්පීන් රැඟුම් දක්වන්නේ දේව ආභ­රණ වැඩම කරන හස්තියා හා බස්නා­යක නිලමේ ඉදි­රි­යේය.

දළදා වහන්සේ මෙර­ටට වැඩම කළ දා පටන් උන්ව­හ­න්සේට පූජෝ­ප­හාර පිණිස පෙර­හර මංගල්‍යය පැවැ­ත්විණි. මහ­නු­වර රාජ­ධානි සමය වන විට උප­ස­ම්පදා ලත් භික්ෂූන් වහන්සේ නැති වීමෙන් ශ්‍රී ලාංකික භික්ෂු ශාස­නය පරි­හා­නි­යට පත් වී තිබිණි. වැලි­විට සර­ණං­කර සංඝ­රාජ හිමි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් කීර්ති ශ්‍රී රාජ­සිංහ රජ දවස සියම් දේශ­යෙන් උප­ස­ම්ප­දාව වැඩම කර ලක්දිව යළි භික්ෂූ ශාස­නය පිහි­ටවූ බව ඉති­හා­සයේ සඳ­හන්ය. නාය­ක්කාර වංශි­ක­යන් මෙරට රජ කළ බැවින් ඒ වන විට මහ­නු­වර කේන්ද්‍ර කර­ග­නි­මින් පැව­තියේ දේවාල පෙර­හර පමණි. දළදා පෙර­හර දේවාල පෙර­හර හා එක් වූයේ මහා සංඝ­ර­ත්නය රජු­ගෙන් කළ ඉල්ලී­ම­කට අනු­වය.

මුල් යුගයේ වෙස් නැටුම මහ­නු­වර ඇසළ පෙර­හර හා එක් කර නොති­බුණු අතර ඊට හේතු වූයේ එය ශාන්ති­කර්ම සඳහා යොදා ගන්නා නර්ත­න­යක් වීමය. එම මහඟු නර්තන විලා­සය මුල් වරට මහ­නු­වර ඇසළ මංග­ල්‍ය­යේදී දක්නට ලැබුණේ 1919 වස­රේ­දීය.

එව­කට දිය­ව­ඩන නිලමේ ධුරය හෙබවූ පුංචි බණ්ඩා නුග­වෙල මහ­තාගේ තීර­ණ­ය­කට අනුව මහ­නු­වර ශ්‍රී දළදා මාලිගා පෙර­හ­රට වෙස් නැටුම එකතු වී මේ වස­රට සිය­ව­සක් සපි­රෙයි. වසර සිය­යක් තිස්සේ මහ­නු­වර පෙර­හර හැඩ කරන වෙස් නැටුම ලක්දි­වට හිමිවූ කතා­වද අපූරු එකකි.

විජය රජු කුවේ­ණිය විවාහ කර­ගැ­නී­මෙන් අන­තු­රුව දරු­වන්ද සමඟ ඇයව නොස­ලකා හැරීම නිසා කුවේ­ණිය මැණික් ගලක් මත දිවුරා ලක්දිව රාජ පර­ම්ප­රා­වට ශාප­යක් කළ බව ජන­ප්‍ර­වා­දයේ එයි.

එම ශාපයේ බල­පෑ­මෙන් රෝගී වූ බව කියන පඬු­වස් දෙව් රජු සුව­පත් කළ හැක්කේ මලය දේශයේ රජ තුන් කට්ටු­වට පම­ණක් බව දැන ශක්‍ර දේවේ­න්ද්‍ර­යන් උපාය මාර්ග­ය­කින් මලය රජු මෙර­ටට ගෙන­විත් අනු­රා­ධ­පුර මහ මෙව්නාවේ කොහොඹා කංකාරී ශාන්ති­ක­ර්ම­යක් පවත්වා තිබේ.

රජු සුව­පත් වීමෙන් පසු මෙරට ජන කොට­ස­කට එම ශාන්ති­කර්ම කිරීමේ බල වරම මලේ රජු ලබාදී තිබෙන්නේ තමන්ගේ සූසැට අබරණින් සැඳුම් ලත් ඇඳුම් කට්ට­ලයේ අඩක්ද සම­ඟිනි.

එලෙස සකස් වුණු උඩ­රට වෙස් ඇඳුම් කට්ට­ලය ආභ­රණ 32කින් සම­න්වි­තය. දිව්‍ය­මය ඇඳුම් කට්ට­ලය ඇඳ නර්තන ඉදි­රි­පත් කරන වෙස් නැටුම් ශිල්පියා උඩ­රට නර්ත­නයේ ප්‍ර‍ති­මූ­ර්තිය ලෙස සැල­කෙන අතර ඔවුන් වෙස් ඇඳුම් කට්ට­ල­යට දක්වන්නේ අසී­මිත ගෞර­ව­යකි.

වෙස් නැටුම් පර­ම්පරා

නිත්ත­වෙල, අමු­ණු­ගම, තිත්ත­ප­ජ්ජල හා තල්ග­හ­ගොඩ යනු උඩ­රට සාම්ප්‍ර­දා­යික ගායන, වාදන හා නර්තන පර­ම්පරා හත­රය. ඒවා­යින් ශාස්ත්‍රය උගෙන උප පර­ම්ප­රා­ ගණ­නා­වක් අද බිහි වී ඇතත් ප්‍රධාන පර­ම්පරා හත­රට ඇති ගෞර­වය අද ද නොනැසී පවතී. වර්ෂ 1919 දී උඩ­රට වෙස් නැටුම් ශිල්පීන් ලෙස මුලින්ම පෙර­හ­රට එක්ව තිබෙන්නේ ඇඹු­ල්පුරේ සින්දුවා, හිජ්ගොඩ සුරඹා, නිත්ත­වෙල සුරඹා හා මාල­ග­ම්මන රන්කිරා යන ගුරු­න්නා­න්සේ­ලාය. තිත්ත­ප­ජ්ජල සුරඹා ගුරු­න්නා­න්සේගේ පියා වන සෙව්රංගා ගණි­ත­සාර ගුරු­න්නාන්සේ ඊට එක්ව ඇත්තේ බෙර වාද­න­යෙනි.

මහ­නු­වර ඇසළ පෙර­හ­රට 1919 වන තෙක්ම නර්ත­න­යෙන් එකතු වුණේ නයි­යන්ඩි ශිල්පීන් පම­ණකි. වෙස් බැඳ නැති නිසා මේ ශිල්පීන් අඩ වෙස්ක­රු­වන් ලෙසද හඳු­න්වනු ලබයි. අද වන විට ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ ඉදි­රි­පස නර්තන ඉදි­රි­පත් කරන වෙස් කණ්ඩා­යමේ වාදන ශිල්පීන්ද සමඟ හැත්තෑ­වක පමණ පිරි­සක් සිටිති. සෙසු වෙස් කණ්ඩා­යම්ද ඒ හා සමාන පිරි­ස­ක­ගෙන් සම­න්වි­තය.

“වෙස් නැටුම ශාන්ති කර්ම හා බැඳී තිබූ නිසා එය පෙර­හ­රට එක් කර ගැනීම සම්බ­න්ධව විවිධ මත තිබුණා. පසු­කා­ලී­නව පෙර­හර කෙරෙහි ජනතා ආක­ර්ෂ­ණය එන්න එන්නම වැඩි වීමත් සමඟ මේ රටේ නර්තන කලාවේ අන්‍ය­න්‍ය­තාව ලොවට කියා­පාන වෙස් නැටුම පෙර­හ­රට එක් කර­ගැ­නීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යක් වුණා.

ඒ ඔස්සේ පෙර­හ­රට සම්බන්ධ වූ වෙස් නැටුම් ශිල්පීන් මුල් කාලයේ නර්ත­නයේ යෙදුණේ ගජගා වන්න­මට අනු­වයි. ඒ සධා­තුක කර­ඬුව වැඩම කරන හස්ති රාජ­යාගේ ගම­නයි.

නර්තන ශිල්පි සුසන්ත සූර­සේන මහතා

එහෙත් දැන් ගොඩක් දේවල් කාල­යත් එක්ක වෙනස් වෙලා. අද වන විට වෙස් ඇඳුම් කට්ට­ලයේ දක්නට ලැබෙන්නේ අබ­රණ විස්සක පමණ සංඛ්‍යක් ” මහ­නු­වර ශ්‍රී දළදා මාලිගා පෙර­හරේ අඩ­සිය වස­ක­ටත් වැඩි කාල­යක් රැඟුම් පෑ උඩ­රට කීර්ති­මත් වෙස් නැටුම් ශිල්පි පීටර් සූර­සේන මහතා එසේ පව­සයි.

ජටාව, ජටා­වැල (ඒකා­වැල, ජටා­ප­ටිය), පායිම් පත, ශිඛා බන්ධ­නය (වෙස් තට්ටුව), නෙත්ති­මා­ලය, තෝඩු­පත්, කර­මා­ලය (කර­ප­ටිය), අවු­ල්හැ­රය, දෙඋ­ර­බාහු, බන්දි වළලූ, කෛමෙත්ත, හස්ත­කඩ, ඉණ පටිය, ඉණ හැදය, දෙවල්ල (නරු), හඟල,

පොත් පොට, උල්උ­ඩය, මේස් කලි­සම, සිල­ම්බු­ව­ලින් වර්ත­මාන වෙස් ඇඳුම් කට්ට­ලය සම­න්වි­තය. උඩ­රට වෙස් නර්තන ශිල්පි­යෙ­කුගේ නර්තන දිවියේ අම­ර­ණීය මොහොත ලෙස සැල­කෙන්නේ වෙස් බඳින අව­ස්ථා­වය. උපන් වේල­වට අනුව සකස් කරන සුබ නැක­තට අනුව හිස වෙස් තැබීමේ මංග­ල්‍යය සිදු කිරීම අතී­තයේ පටන් අද දක්වා නොනැසී පැවත එන චාරි­ත්‍ර­යකි. මහ සංඝ­ර­ත්නයේ පිරිත් සජ්ඣා­යනා මධ්‍යයේ නර්තන ශිල්පි­යකුගේ හිස මත වෙස් තට්ටුව තබනු ලබන්නේ ඔහුගේ නර්ත­නා­චා­ර්ය­ව­රයා විසිනි.

කාන්තා­වන්ට ඇකැප උඩ­රට වෙස් නැටුම හැදැ­රීම පිණිස පුරු­ෂ­ය­කුට හෝ කැමැත්ත තිබූ පම­ණින්ම අව­කාශ ලැබෙන්නේ නැත. ඒ සඳහා ඔහුගේ දේහ ලක්ෂණ විශේෂ සැල­කි­ල්ල­කට ලක් කිරීම පාර­ම්ප­රික නර්තන ගුරු­ව­රුන්ගේ සිරි­තය. ශරී­රයේ සියලු අඟ පසඟ මනාව පිහිටා නොති­බුණ හොත් තම පුතුට වුවත් ශිල්පය නොදී ඉන්නට තරම් උඩ­රට පාර­ම්ප­රික වෙස් නර්ත­නා­චා­ර්ය­ව­රයෝ මෙම නැටු­මට ආදර කරති.

නිත්ත­වෙල උක්කුවා, නිත්ත­වෙල ගුණයා, තිත්ත­ප­ජ්ජල සුරඹා, අමු­ණු­ගම සුරඹා, හීන් බණ්ඩා ධර්ම­සිරි, පීටර් සුර­සේන, ඥාන­දාස රාජ­පක්ෂ යන ගුරු­න්නා­න්සේලා සිය­ව­සක් පැරණි මහ­නු­වර ඇසළ පෙර­හරේ නම රැන්දු වෙස් නැටුම් ශිල්පීන් කිහිප දෙනෙකි.

කොහොඹා කංකා­රි­ය

“කොහොඹා කංකා­රි­යේදී වෙස් ඇඳුම් කට්ට­ලය කොහොඹා දෙවි­යන්ගේ ඇඳුම් කට්ට­ලය ලෙසින් සල­කනු ලබ­නවා. වලි­යක් මංග­ල්‍යය ශාන්ති­ක­ර්ම­යේදී එය වලි­ය­කුන්ගේ ඇඳුම ලෙසින් පිළිගන්නවා. මෙහි දේව බල­යක් ගැබ්වී ඇතැයි බොහෝ යක්දෙ­ස්සන් සහ සිංහල බෞද්ධ ජන­තාව විශ්වාස කර­නවා.

අස­නී­ප­යක් හෝ කර­ද­ර­යක් වූ විට වෙස් ඇඳු­මක් ඇති තැන­කට ගොස් දෙවි­යන් සිහි කොට පඬුරු බැඳීම අදත් නොනැසී පව­තින චාරි­ත්‍ර­යක්. වෙස් ඇඳුම් බහා­ලන පෙට්ටිය ඉතා ගරු සැල­කි­ල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නේ. එය සෑම විටම තැන්පත් කරන්නේ හිස් මට්ට­මට ඉහ­ළින් වූ ස්ථාන­ය­කයි.

අතී­තයේ වෙස් ශිල්පියා තමන් නිව­සින් පිටත සෑදූ දේවා­ල­යක තමයි ආභ­රණ තැන්පත් කරලා තියෙන්නේ. අවශ්‍ය මොහො­තක එම දේවා­ලය තුළදී වෙස් ඇඳුම් ඇඳ අව­සා­නයේ එහිම තැන්පත් කිරී­මෙන් ඒ ඇඳු­මට ඔවුන්ගේ තිබූ ගෞර­වය මනාව ඉස්මතු වෙනවා.

වර්ත­මා­නයේ එම චාරි­ත්‍රය තර­මක් වෙනස් වුණත් වෙස් ඇඳුම් සහිත පෙට්ටි­යට කරනු ලබන ගරු සැල­කිල්ල එදා වගේම අදත් ඒ විදි­හ­ටම තිබෙ­නවා” යැයි සූර­සේන කලා­ක­රුවා ප්‍රකාශ කරයි. වෙස් ඇඳුම සඳහා භාවිත කරන ශීර්ෂ ආභ­රණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටා­වයි.

දැව­යෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පල­ඳින ජටාව මහා බ්‍රරහ්මයා පැල­ඳ­ගෙන සිටින සිළු­මිණේ අනු­රු­වක් බව­ටත් එහි බ්‍රහ්ම­යාගේ වරම ඇති බව­ටත් විශ්වා­ස­යක් පවතී. දුක­කින් කර­ද­ර­ය­කින් අත් මිදෙ­න්නට පම­ණක් නොව බලා­පො­රො­ත්තු­වක් සඵල කර­ගැ­නී­ම­ටත් වෙස් ශිල්පියා ජටාවේ පඬුරු ගැට­ග­සයි.

මලය රජුගේ ඔටුන්න සකසා ඇත්තේ රාවණ රජුගේ ඔටු­න්නට අනුව බව­ටද මත­යක් තිබේ. එ නිසා වෙස් තට්ටුව රාවණ රජුගේ ඔටුන්නේ නිරූ­ප­ණ­යක් ලෙස පිළි­ගැ­නී­මක් වෙස් ශිල්පීන් අතර පවතී. වෙස් නැට්ටු­වාගේ කන් වැසී­මට ගන්නා කර්ණා­භ­ර­ණය තෝඩු­ප­තයි. එහි පත්තිනි දේවි­යගේ වරම් ඇති බව යක්දෙස්සෝ විශ්වාස කරති. ජනප්‍රර­වා­ද­ව­ලට අනුව පත්තිනි දෙවි­යන්ට උප්පත්ති ගණ­නා­වක් තිබේ.

ඇය එක් අව­ස්ථා­වක උපත ලබා ඇත්තේ අඹ ගෙඩි­ය­කිනි. සාම්ප්‍ර ­දා­යික වෙස් නැට්ටු­වාගේ තෝඩු පත ද බොහෝ විට අඹ ගෙඩි­යක හැඩය ගන්නා නිසා එහි පත්තිනි දෙවි­යන්ගේ වරම් ඇතැයි විශ්වා­ස­යක් පවතී. මේ ආකාර දෙවි­යන් හා බැඳුණු විශ්වාස ගණ­නා­වක් වෙස් ඇඳුම හා බද්ධ වී තිබේ.

“වෙස් ඇඳුම් නිර්මා­ණය කිරීම හැමෝම කරන්නේ නැහැ. ඒක­ටත් පර­ම්ප­රා­වක් ඉන්නවා. සුරඹා ගුරු­න්නා­න්සේගේ මල්ලී තමයි වෙස් ඇඳුම් නිර්මා­ණය කළේ.

ජටාවේ පඬු­රක්

වෙස් තට්ටුව කැට­යම් සහි­තව නිර්මා­ණය කරනු ලබන්නේ රිදි­යෙන්. වෙස් ඇඳුම පර­ම්ප­රා­වෙන් හිමි වන දෙයක්. ශරීර ප්‍රමාණ අනුව ඒක තාත්තා­ගෙන් පුතාට අඳින්න බැරි වුණත් වෙස් නැටුම් කලාව පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට බාර දෙන්නේ වෙස් ඇඳුම් කට්ට­ලය මඟි­නුයි.

“මම පෙර­හ­රට යන්න කලින් කිසිම කර­ද­ර­යක් බාධා­වක් නැතුව පෙර­හර කරන්න ලැබෙන්න කියලා ජටාවේ පඬු­රක් ගැට ගහ­නවා. ඒක ගල­වන්නේ පෙර­හර අව­සන් වුණා­මයි. අදත් උදේට වැඩ පටන් ගන්නේ වෙස් තට්ටු­වට දුම් අල්ලලා. පවුලේ කෙන­කුට ළම­යෙක් ලැබෙන්න ඉන්න කොට වෙස් පෙට්ටි­යට පඬුරු අයින් කර­නවා. වැස්ස නැතිව නිය­ඟය කාල­යක් පව­තින කොට වැස්ස ප්‍රාර්ථනා කරලා කොහොඹා කංකාරී නැටීම අදත් කර­නවා. වෙස් බැඳීම කියන්නේ සාම­ණේර හිමි­න­මක් උප­ස­ම්පදා වෙනවා වගේ වැඩක්.

වෙස් ඇඳුම ඇඳගෙන කව­දා­වත් පිනුම් ගහන්නේ නැහැ... ඒ මේක දෙවි­යන්ගේ ඇඳු­මක් නිසයි“ පීටර් සූර­සේන මහ­තාගේ ජ්‍යෙෂ්ඨ පුත් සුසන්ත සූර­සේන පව­සයි.

ඡායා­රූප - රුවන් මීග­ම්මන

අදහස්