සොනාක්ෂිගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් | සිළුමිණ

සොනාක්ෂිගේ ගෙදරට පොලිසියෙන් ඇවිත්

මගේ යාළුවෝ හුඟ දෙනෙක් දැන් කසාද බැඳලා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ජීවිතයට නම් සමහර දේවල් ලැබුණෙ නැහැ.

මගේ රංගන කටයුතු ගැන වගේ ම විවාහය ගැනත් මම කල්පනා කරනවා. ඒත්, තාම විවාහය ගැන ස්ථිරත්වයක් නැහැ

‘ආර්. රාජ්කුමාර්’ චිත්‍රපටය මෙරට බොලිවුඩ් සිනමා රසික පිරිස අතර බෙහෙවින් ජනප්‍රිය වූ නිර්මාණයක්. මේ චිත්‍රපටයේ නම කියැවෙන විටදීම නිතැතින් ම සිහියට එන්නේ එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ සුරූපිනියයි. ඇය තමයි, සොනාක්ෂි සිංහ. ඇය ‘රාජ්කුමාර්’ චිත්‍රපටයේ ශාහිඩ් කපූර් සමඟ නිරූපණය කළ ගීතමය නර්තන ජවනිකාව කිසිවෙකුටවත් අමතක වන්නේ නැහැ.

සොනාක්ෂිගේ එවැනි ආකර්ෂණීය නර්තන, රංගනයක් මෑතකදී රූගත වුණා. ‘භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්ඩියා’ නම් ව‍ූ නවතම බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් තමයි, මේ ගීතමය ජවනිකාව රූගත වුණේ. සොනාක්ෂි සමඟ අජේ දේව්ගන්, පරිනීටි චොප්රා සහ සන්ජේදත් ප්‍රධාන චරිත රඟන මේ චිත්‍රපටයේ එක් අදියරක් පසුගියදා හයිද්‍රබාද්හිදී රූගත කර අවසන් වුණා. මේ රූගත කිරීම්වලදීයි, සොනාක්ෂිගේ මෝහනීය නර්තනයන් මුසුවූ දර්ශනත් නිරූපණය වුණේ. ඇය ඒ නර්තන රැඟුම ඉදිරිපත් කළේ අජේ දේව්ගන් සමඟයි. මේ දෙදෙනාට තවත් නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් 300 ක් දෙනා එක්වී තිබෙනවා. මේ රූගත කිරීම් සිදුවෙද්දී ඒ වෙනුවෙන් ආරක්ෂාවට හමුදා නිලධාරීන් රැසක් ද එක්වූ බවයි බොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ.

රංගන ශිල්පිනියක හැටියට සොනාක්ෂි ඒ අයුරින් ඉදිරියටම ගමන් කරද්දී බොහෝ දෙනෙකු ඇගේ පෞද්ගලික ජීවිතයටත් එබී බලමින් නොයෙකුත් දේ ප්‍රකාශ කරනවා. ඒ අතරින් ප්‍රධානම මාතෘකාව වී ඇත්තේ සොනාක්ෂි විවාහ වන්නේ කවදාද? යන ප්‍රශ්නයයි. දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ අනුෂ්කා ශර්මා වැනි ඇගේ සමකාලීන සුපිරි තරු විවාහ දිවියට එළඹෙද්දී ඇය පමණක් තවම තනිකඩව වෙසෙන්නේ ඇයි දැයි මේ අය විමසනවා. සොනාක්ෂිට පෙම්වතෙකුවත් නැති බවයි පැවසෙන්නේ. මේ විමසුම්වලට උත්තර දෙන සොනාක්ෂි “මගේ යාළුවෝ හුඟ දෙනෙක් දැන් කසාද බැඳලා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ජීවිතයට නම් සමහර දේවල් ලැබුණෙ නැහැ. ඒවා මග හැරුණා. මටත් අනිත් ගෑනු ළමයින්ට වගේ බලාපොරොත්තු සහ සිහින තියෙනවා. විශේෂයෙන් ම, ආදරය සහ ප්‍රේම සම්බන්ධතා ගැන‍. මටත් මීට කලින් මේ වගේ ආදර බැඳීම් ගැන අත්දැකීම් තියෙනවා. නමුත්, මේ මොහොතේ නම් මම ආදරය හොයාගෙන ඒ පස්සේ ලුහුබඳින්න කැමැති නැහැ.”

සොනාක්ෂිගේ ජීවිතයට ආදරය ආගන්තුක නැහැ. තමන් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු සමඟ පෙම් සබඳකමක් පවත්වා ඇති බවයි පසුගියදා ඇය හෙළි කර තිබුණේ. “මම එක කාලෙකදි ජනප්‍රිය බොලිවුඩ් තරුවකට පෙම් බැන්දා. ඒ කතාව ලෝකයා දැනගෙන හිටියෙ නැහැ. ඒ කවුද කියල මම කිව්වෙත් නැහැ. මගේ දෙමවුපියන්ට නම් ඕනෑ කෙරුවෙ සුශීල් ලඩ්කාව මට ළං කරන්න. බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ඒ වගේ තවත් කෙනෙක් නම් හිටියෙ නැහැ” සොනාක්ෂි පැවසූ සුශීල්, බොලිවුඩ් තරුවක්. ඇය, ධනවතෙකු වූ බන්ටි සජ්දේ සමඟ පෙමින් බැඳී සිටියේ යැයි පැවසෙනවා. ‘ඩාබාන්ග්’ චිත්‍රපටය රූගත කරන කාලයේදී තමයි, සොනාක්ෂි සහ බන්ටි මුලින් ම මුණ ගැසී ඇත්තේ. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ඔහු සහ සුපිරි නළු සල්මන් ඛාන් අතර ඥාති සබඳකමක් පවතිනවා. සොනාක්ෂි, බන්ටිව හඳුනාගෙන ඇත්තේ සල්මන් ගේ හිතවත්කම නිසාලු. (සල්මන්ගේ සොහොයුරු සොහේල් ඛාන්ගේ බිරිය ගේ සොහොයුරා තමයි, බන්ටි) මේ කතාව දස අත පැතිරී ගියත් තමන් සහ බන්ටි අතර එවැනි පෙම් සබඳකමක් නොතිබූ බවයි, සොනාක්ෂි පවසන්නේ.

“එහෙම දෙයක් තිබුණොත් ඒ ගැන ලෝකයටම මම කියනවා. මේ වගේ දේවල් හංගලා වැඩක් නැහැ. මගේ රංගන කටයුතු ගැන වගේ ම විවාහය ගැනත් මම කල්පනා කරනවා. ඒත්, තාම විවාහය ගැන ස්ථිරත්වයක් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයකදී සමහරු කට කතා හදන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ.” සොනාක්ෂි ඉන්දීය පුවත් සේවයක් සමඟ පැවැත්වූ කෙටි සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

පෞද්ගලික ජීවිතයේ බරපතළ ප්‍රශ්නවලට පවා මුහුණ දෙන්න සොනාක්ෂිට සිදුවෙලා. පසුගියදා ඇගේ නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණීමත් එවැනි එක් ප්‍රශ්නකාරී අවස්ථාවක්. බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නම් පොලිස් කණ්ඩායමක් එලෙස පැමිණ ඇත්තේ ඇය විසින් එක්තරා ආයතනයකින් අත්තිකාරම් මුදලක් ලබාගෙන එයට පොරොන්දු වූ පරිදි එම ආයතනය සංවිධානය කළ ප්‍රසංගයට සහභාගි නොවීම ගැන ප්‍රශ්න කරන්නයි.

සොනාක්ෂි ලබාගත් මුදල රු. ලක්ෂ 24ක් ලු. ඇය පොරොන්දු වී ඇත්තේ දිල්ලි නුවර පැවැති මේ ප්‍රසංගයට සහභාගි වෙනවාය කියලයි. නමුත් ඇය පැමිණ නැහැ. මේ පිළිබඳව ඇගෙන් ප්‍රශ්න කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා දිනයකදී උත්තර් ප්‍රදේශ් පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබෙනවා. ඒ මොහොතේ ඇය නිවසේ සිටියේ නැහැ. ඇය එනතුරු පැය කිහිපයක් රැඳී සිටි පොලිස් නිලධාරීන්, පසුව පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන විමසූ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ සොනාක්ෂිගේ සහායකයෙකු පැවසුවේ රු. ලක්ෂ 24ක් ලබාගත් බවට චෝදනාවක් නගා ඇත්තේ ඇගේ ප්‍රතිරූපය විනාශ කිරීමට බවයි. “සොනාක්ෂි, එයාගෙ අවුරුදු 9 ක් වුණු වෘත්තීය ජීවිතයේ දී කිසිම වෙලාවක වංචාවක් කරල නැහැ. ඉතාම අවංකව සහ අව්‍යාජවයි වැඩ කරල තියෙන්නෙ. ඔය චෝදනාවල කිසිම පදනමක් නැහැ” සහ­ායකයා එලෙස පැවසුවා.

අදහස්