ලෝකයට පේන්න ආගම අදහලා වැඩක් නෑ | Page 2 | සිළුමිණ

ලෝකයට පේන්න ආගම අදහලා වැඩක් නෑ

විටෙක සැර පරුෂ... විටෙක අහිංසක පුංචි තිරයේ සෙනෙහෙබර අම්මා... හයසින්ත් විජේරත්න

හිතට එකඟව ජීවත්වීමයි වටින්නේ...

අලුත් අයට කියන්නේ අපේ ජීවිත දෙස බලලා එන්න. එවිට ජය ගත හැකියි...

අඬන චරිත කරද්දි කවදාවත් මම ග්ලිසරීන් දාලා කඳුළු අරගෙන නෑ...

රුව දුටු පමණින් ඇය කවුරුන්දැයි ඔබ හොඳින් හඳුනයි. දහස් සංඛ්‍යාත රසික ආදරයත්- ගෞරවයත් ඉහළින්ම ලබන්න තරම් ඇය පිං කර ඇත. මේ රටේ ලොකු - කුඩා කවුරුත් ඇගේ රංගනයට පෙම් බඳින්නේ හදවතට සමීප වූ ස්වාභාවික රංග ප්‍රතිභාවයක් ඇය ප්‍රකට කරන නිසාය.

මේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය විටෙක සෙනෙහස උතුරන පෙම්බර මවකි. තව විටෙක සැර පරුෂ... නපුරු... මවකි... හැබැයි සැබෑ ජීවිතයේ ආදරයෙන් වැලඳගන්න තරමටම කරුණාවන්ත මවකි. දහම තුළ ජීවිතය ගෙනයන මවකි. ඉතිං කාලයකට පසුව රසඳුන අපි ඇය හා දොඩමලු වූවා. මොකද ඇය ගැන දැනගන්න බොහෝ දෙනෙක් කැමැති නිසා.

කොහොමද ඉතිං?

කලා ලොවේ වැඩ කටයුතුත් ගේ දොර වැඩ කටයුතුත් ‍හොඳින් කරගෙන පවුලේ අය එක්ක සතුටින් ඉන්නවා. දැන් ජීවිතේ මැදි වයසට අපි ඇවිත්නේ දරුවෝ...

(ඇය එහෙ ම කියන්නේ බොහෝම සෙමින්...)

ඒ වුණත් ඔබ තාමත් හොඳින් රංගන කටයුතුවල යෙදෙනවා අපි දකිනවා.

රඟපෑම ඇ‍ගේම තිබෙන දෙයක්නේ. නිර්මාණයේ චරිතය ඇඟට දාගත්තහම අලුත් පිබිදීමක් ඉබේම ඇතිවෙනවා. ඉතිං දෙවියන්ට ස්තුති වෙන්න තාමත් රංගන කටයුතු හොඳින් සිදු කරන්න පුළුවන්.

මේ දිනවල කලා කටයුතුවලට

දායක වෙනවාද?

ඔව්; ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ. විකාශනය වෙන්නත් කරපු නිර්මාණ කිහිපයක් තිබෙනවා. මෑතකදී විකාශනය නිමා වූ ස්වාධීන රූපවාහිනියේ දිග හැරුණු ‘එමී’ ටෙලි නාට්‍යයටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. පුංචි දරුවන් එක්කනේ වැඩ කළේ. හරිම ප්‍රබෝධයක් දැණුනා.

‘‍හෝ ගානා පොකුණ චිත­්‍රපටයේ ඔ‍බේ රංගනය මතක් වුවා.’

(සිනාසෙමින්)

ඒක හුඟ දෙනෙක් බලපු ..හුඟ දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබුණු හොඳ චිත්‍රපටයක්. එහෙම හොඳ චිත්‍රපටවල රඟපාන්නත් ආසයි.

හැබැයි මෑතකදී ඔබ රඟපෑ විකට ගණයේ චිත්‍රපටයකුත් අපි දැක්කා.

හානේ ...ඔව් නේ ‘අප්පටසිරි’ චිත්‍රපටයත් හොඳ ප්‍රතිචාර ලැබුණා. එහි පොස්ටරයට යොදලා තිබුණේ මගේ ඇස් ගෙඩි එළියට ඇවිත් තිබුණු ෆෝටෝ එකක් නේ. ඉතිං ලොකු - කුඩා හැමෝම උනන්දුවෙන් චිත්‍රපටය නරඹා තිබුණා.

මට මතකයි මෑතකාලේ පිළිගත් සම්මාන උලෙළක ඔබට සම්මානයක් ලැබුණා.

ඔව් සිග්නීස් සම්මාන උලෙළේදී ජීවිතේ එක්වරක් පමණක් පිදෙන සම්මානය හිමිවුණා. ඊට පසු දස්කොන් ටෙලි රංගනයට ඇත්තටම මම සම්මාන බලාගෙන රඟපාන්නෙ නම් නැහැ. හැකියාව අගය කරලා ජූරිය ලබා දුන් මේ සම්මාන සඳහා මම ඒ අයට නැවත ස්තුති කරනවා. මම ලැබෙන දේ සතුටින් අරන් ජීවත් වෙන කෙනෙක්.

අහලා තියෙන හැටියට ඔබ, නිළියක් වෙන්න ගිය කෙනෙක් නෙමේ.

ඔව්; කන්‍යා සොයුරියක් වෙන්න ගිය ගමනයි මම කලාවට යොමු වුණේ. සුගතපාල සෙනරත් යාපා මහතාට මගේ ගෞරවය මම ලබා දෙන්නේ මුලින්ම මාව ‘පෙම්බර මධූ’ හරහා සිනමාවට හඳුන්වා දුන්නේ ඔහු නිසා. සුවහසක් රසික ආදරය ලබන්න ආ ගමනක් වෙන්න ඇති මේ...

(ඇගේ මුහුණ දීප්තිමත් වෙයි)

කරුණාබර සිතක් ඇති ඔබ තිරයේ නපුරුකම් කරනවා අපි දැක තිබෙනවා. එවන් චරිත කරද්දී කොහොමද එයට පිවිසෙන්නේ...

(සිනාසෙයි) .. මාව යම් නිර්මාණයකට අරගන්නේ මම ගැන ලොකු විශ්වාසයක් තබලානේ.. සිතට අරගෙන එයට පිවිසෙනවා. සැර පරුෂ චරිත කිහිපයක් කළා තමා. ඔය ‘බට්ටි’ නාට්‍ය යන කාලේ සමහරු මගේ ළඟටවත් එන්නේ නෑ. හැබැයි කවුරුත් දන්නවා ඒ නිර්මාණයට පමණක් කියලා..

ඒ වාගේමයි ඔබ අහිංසක මවගේ චරිත කරද්දී ආදරයෙන් වැලඳගන්න හිතෙනවා කියලා කියන අයත් ඉන්නවා.

ඔව්... එහෙම කියනවා. මගේ රංගන ජීවිතයේ අඬන චරිත කරද්දී කවදාවත් ග්ලිසරින් දාලා කඳුළු අරගෙන නෑ. ස්වාභාවිකව කඳුළු එනවා. ඒක තමා රඟපෑම හැටියට මම දකින්නේ..

‘දහමට ළැදි චරිතයක් නිසා ජීවිතය නිවැරදිව ගළපාගන්න පුළුවන් වෙන්න ඇති’

ඇත්තටම ඔව් පුතා. දෙවියන් වහන්සේ ඉන්නේ අපේ හිතේ. හිත පිරිසිදු කරගත් විට දෙවියන් වහන්සේ වැඩ ඉන්නවා. හිතට එකඟව ජීවත් වීමයි වටින්නේ. මම ලෝකයට පෙන්න ආගම අදහන්නේ නෑ. කතෝලික වුණත් මම පන්සලට යනවා. බණ අහනවා. තව කෝවිලට යනවා. ආගම මගින් නිවැරැදි මග ජීවිතේ සොයා යා හැකී.

‘පවුලේ අයගෙන් ලැබෙන උදව් කොහොමද’

මාව ජීවත් කරවන තැන පවුලයි. මට ලැබෙන උදව් ඉහළයි. මගේ ‍පොඩි අක්කා, ලොකු අක්කා, නංගි - මල්ලී පුදුම විදිහට මට උදවු කරන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ මහත්තයාගේ අම්මා. මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න ඇය යෝධ ශක්තියක් වුණා. ඒ වාගේම මහත්තයා හොඳ සහයෝගයක් ලබාදෙනවා. මගේ ලේලි මගේ පුතා - මගේ චූටි මුනුහුරෝ මේ අය හරි ආදරයෙන් මතක් කරන්න ඕනා.

‘කලා ලොවේ පාඩුවේ ඉන්න චරිතයක් හැටියට නවකයන්ට කියන්න බොහෝ දේ ඇති.’

හැමෝම එක්ක හොඳින් ඉන්නයි ඕනා. කා - කොටාගෙන යා යුතු ගමනක් නෙමේ; මේ. අදටත් හැමෝම මට ආදරෙයි. මාලිනි - වීණා - අනෝජා - නදීකා - දීපානී - සබීතා මට සියලු නම් මතක නෑ. මේ හැමෝම තාමත් මං ගැන සොයනවා... බලනවා. අපි මේ ගමන සංයමයකින් යා යුතුයි. එවිට රැදෙන්න පුළුවන්. අලුත් අයට කියන්නේ අපේ මේ ජීවිත දෙස බලලා චුට්ටක් හිතලා එන්න. එවිට ජය ගත හැකියි.

‘පෙම්බර මවක් ලෙස අවසානේ දෙයක් කියන්න’

කාසාද බැන්දායින් පසු මට මගේ අම්මාගේ අගය හරියට දැණුනා. අද ඇතැම් දරුවෝ මවුපියන්ව වැඩිහිටි නිවාසවලට යොමු කරනවා. ගෙදර එකට සිටිද්දී කරදර .. ප්‍රශ්න... ඇතිවිය හැකියි. එහෙම කියලා මවුපියන් වැඩිහිටි නිවාසවල අතරමං කරන්න එපා. එයාලා ආසයි අවසාන කාලය දූ - දරුවන් හා ගත කරන්න. අපි කවුරුත් වියපත් වෙනවා. වියපත් මවුපියන්ට සලකන්න; ඒ පිනෙන් ඔබව බබළවාවී.

එහෙම නම් ඔබ කලා ලොවේ තව බොහෝ කල් රැඳෙන්න අවැසි ශක්තිය දෙවියන් වහන්සේගේ පිහිට අපි ප්‍රාර්ථනා කරනවා.

ඡායාරූප- ඩයන් ප්‍රදීප්

 

Comments