ලොවට දෙන පෙම නොමැත නිම්මා ඒ පෙමට නම තමයි අම්මා... | Page 2 | සිළුමිණ

ලොවට දෙන පෙම නොමැත නිම්මා ඒ පෙමට නම තමයි අම්මා...

නව පරපුරින් බිහි වූ අරුත්සරු මවු ගුණ ගීයක්

නිමක් නැති පෙමක් ලොව

තිබේ නම් පිදුම් ලද

ඒ පෙමට නම තමයි අම්මා

ඒ පෙමට නම තමයි අම්මා

ලොවම එරෙහිව නැඟෙන

පැයක හදවත නිවන

මහරු ඔසු පැන් වඩන පෙම්මා

ඒ පෙමට නම තමයි අම්මා

රැයට පුර සඳ ලෙසින

හිරුට සවි බල පුදන

ලොවට දෙන පෙම නොමැත නිම්මා

ඒ පෙමට නම තමයි අම්මා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

පද රචනය - රවී සිරිවර්ධන

සංගීතය - රෝහණ වීරසිංහ

සිත රිදෙන බිඳෙන සැනසෙන ඕනෑම මොහොතක සිහි වන්නේ අම්මාය. පාසල් වියේ සිටම දවසේ සිදු වීම් එකින් එක පෙළගස්වා කීවේ අම්මා සමඟය. ඇය මගේ හොඳම යෙහෙළියයි. අපේ ඇතැම් කතා මහ රෑ වන තුරු තිබිණි. ඒ පුරුද්ද ඈ මිය යන තුරුම අත්හැරගැනීමට නොහැකි විය. වයසට යන විට ඕ වැඩි වැඩියෙන් මැසිවිලි නගන්නට වූවාය: “ඔහොම කරන්න එපා. අපි නැති දවසක ඔයාට දරාගන්න බැරි වෙයි.” එහෙත් ඈ පාමුල වාඩි වී, ඇයගේ දණහිස් අතර හිස හොවාගෙන කියවන කියවිල්ල ඇය මිය යන මොහොත දක්වාම නතර නොවිණි.

එක් දරුවකු වෙනුවෙන් නොව, අම්මා තම කුසින් වැඩූ දරුවන් පස්දෙනකු වෙනුවෙන් ඕ අපමණ දුක් වින්දාය. ඇය අප උස්-මහත් කරන්න ගත් වෙහෙස අපමණය.

“කොහොමද අපි හැමෝටම එක වගේ ආදරේ කරන්නේ?”

පාසල් වියේදී මම ඇයගෙන් ප්‍රශ්න කළෙමි.

“මට ඕගොල්ලලෝ ඔක්කෝම එකයි.”

අම්මා කියන්නේ මා හිස පිරිමදිමිනි.

“ඔයා වැඩියෙන් ආදරේ කාටද?”

“එහෙම එකක් නෑ ළමයා... මට ඕගොල්ලෝ ඔක්කෝම එකයි. හැමෝම ඉපදුණේ මගෙ බඩෙන්.”

අපේ අම්මා පමණක් නොව, තම කුසින් වැදූ දරුවන්ට පමණක් නොව අහල පහළ දරුවන්ටද තම දරුවන්ට සේ ආදරය කළ හැකි බොහෝ අම්මාවරුන් මට හමුව තිබේ. ඒ ඈත පිටසර ගම්මානවලදීය; නගරයේදීය. කෑම කෑමට කඩයක් නැතිව හේහාමත් වී ගිය ඈත පිටිසර ගම්මානවලදී ලහිලහියේ බතක් උයා කන්නට දුන් අම්මලාගේ ආදරය මෙපමණකැයි කියන්න වචන නැත. දරුවන්ට මේ තරම් ආදරය කරන්න අම්මලාගේ හිත්වලට ආදරය කොහෙන් ලැබෙනවා ඇතිද? එය නම් විශ්වයේ කිසිදිනෙක තේරුම් ගත නොහැකි ධර්මතාවකි. එදා මෙදා තුර වූ ලොව පහළ වූ නිර්මාණකරුවන් අම්මාගේ ආදරය ගැන බොහෝ කව්-ගී ලියා ඇත. ඇතැම් නිර්මාණ රස විඳීමේදී නිර්මාණකරුවා පිළිබඳ ඇති වන්නේ ගෞරවයකි. පසුගිය දශක කිහිපය තුළ අප ඇසූ මවු-පිය ගුණ ගී බොහෝය. අලුත් ගීතයක් බිහි වුණද අසන්න මාධ්‍යයක් නැති තැන දැන් අප යොමු වී ඉන්නේ අන්තර්ජාලයෙන් ගී ඇසීමටය. මෑතකදී යූ-ටියුබයෙන් ඇසුණු මේ ගීතය ගැන සිත ඇති කළේ අපූරු හැඟීමකි. මගේ අම්මා ගැන පමණක් නොව, සුවහසක් වූ අම්මලා ගැන ඇති වූයේ ආදරයකි. ගී පද මාලාව මෙන්ම එහි සංගීත සංයෝජනයද අගය කළ යුතුමය. එමෙන්ම ඇගේ ලයාන්විත මධුර හඬ ගීතයට සැබැවින්ම ආලෝකයකි. රවී, රෝහණ වීරසිංහයන් හා දීපිකා ප්‍රියදර්ශනිගේ මේ සුසංයෝගය බිහි කළ ගීතයේ අපූරු බව මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

ගී පද රචක රවී සිරිවර්ධන තම නිර්මාණය පිළිබඳ පවසන්නේ මෙවන් කතාවකි:

“අපේ අම්මා අප වෙනුවෙන් විඳි ගැහැට අපමණයි. තාත්තා නැති වෙනකොට මට වයස අවුරුදු දහතුනයි. අයියයි, මමයි, මල්ලියි හැදුණේ අපේ තාත්තාගේ ඥාතියෙක් ළඟ. අම්මා විදේශගත වෙලා හිටියේ. අපට ආදරේ දෙන්න අම්මා ඒ වෙලාවේ ලංකාවට ආවා නම් අපිට ආර්ථික ආරක්ෂාව නැතිව යනවා. අම්මා බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරමින් අපේ අනාගතය හැදුවා. ඇය අපව සුරක්ෂිත කෙරුවා. මම මගේ අම්මා වෙනුවෙන් ලියපු එකම ගීතය මෙයයි. අද මගෙ අම්මා මෙහෙණින් වහන්සේ නමක්.

රෝහණ වීරසිංහ මහතා මේ ගීතයට අපූරු තනුවක් නිර්මාණය කර දුන්නා. ගායන ශිල්පිනි දිපිකා ප්‍රියදර්ශනී කියන්නේ දුවක, බිරියක විදිහට ඒ චරිතයට ආත්මගත වෙන්න පුළුවන්, හරි අපූරු හඬ පෞරුෂයක් හිමි කෙනෙක්. ඇය මේ ගීතයට උපරිම දායකත්වය දක්වා තිබෙනවා.”

ඒ ගී පද රචක රවීගේ හඬය.

දිපීකාගේ හඬ හද පතුල සියුම්ව පිරිමදී. විටෙක එය කඳුළක්ද තවත් විටෙක සුසුමක්ද තවත් විටෙක මගේ අම්මා ගැන පමණක් නොව, මේ මිහිපිට සිටින සියලු අම්මලා ගැන අප්‍රමාණ ආදරයක් කරුණාවක්ද ඇති කරයි.

“නිමක් නැති පෙමක් ලොව

තිබේ නම් පිදුම් ලද

ඒ පෙමට නම තමයි අම්මා

ඒ පෙමට නම තමයි අම්මා...”

Comments