අනුරපුර හැඩ කරන විස්මිත ලෙන් සංකීර්ණය වෙස්සගිරිය | සිළුමිණ

අනුරපුර හැඩ කරන විස්මිත ලෙන් සංකීර්ණය වෙස්සගිරිය

රත්වුණු හිරු යවටක් වගේ අහසේ ගිනිගෙන දැවෙන්නේ වැහි බිඳක සුමුදු තෙතමනය ගැන පවා මතකය ඉතිරි නොකරමින්. වැස්ස ඒ තරම්ම අනුරාධපුරේට ඈතයි. තෙතමනය බි‍ඳෙන් බිඳ වියළී මහ වැව් පතුල පවා ඉරිතලා යෑමට පටන් ගෙන. ඒත් ඒ කාෂ්ටක ගිනියම් බවට සැදැහැවත් සිත් වියළී යන්නේ නැහැ. ඒ නිසාමයි අනුරාධපුර ශුද්ධ භූමිය කෙදිනකවත් ජනශුන්‍ය නොවන්නේ. ජය ශ්‍රී මහා බෝධියටත්, රුවන්වැලි මහා සෑයටත්, අවට සියලු සිද්ධස්ථාන, පෞරාණික නටබුන් ඇති තැන් කිසිවකටත් පැමිණෙන බැතිමතුන් අඩු කරන්නට හිරුගේ ගිනියම් බවට හැකි වූයේ නැහැ.

පාසල් නිවාඩුව ආරම්භ වී ඇති නිසා බොහෝදෙනා ලක ලෑස්ති වෙන්නේ කොහේ හෝ සංචාරය කරන්නටයි. ඒ සංචාරක ගමනාන්ත අතර වඩාත් ම ආකර්ෂණීය හා ජනප්‍රිය ගමනාන්තයක් වන්නේ අනුරාධපුරය. අනුරාධපුරේ යන ඔබට ඉසුරුමුණියට යෑම අමතක වෙන්නේ නෑ නේද? මා මේ ඔබට කියන්නට යන අපූරු ස්ථානය පිහිටා තිබෙන්නේ ඉසුරුමුනිය අසලමයි. ඒත් එය තවමත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් නම් නොවෙයි.

මා ඔබට මේ කියන්නට යන්නේ අපූරු ලෙන් සංකීර්ණයක් ගැන. මේ ලෙන් සංකීර්ණය හඳුන්වන්නේ "වෙස්සගිරිය" නමින්. අනුරාධපුරය කියන්නෙ ම ශේෂ වී ගිය නටබුන් සහිත රාජධානියක්. මේ රාජධානියේ ඇති කෞතුක පුරාවිද්‍යාත්මක වටිනාකම ගණනය කරන්නට බැහැ. ඔබ දන්නවා ඇති සමහර නටබුන් තවම සොයාගෙනවත් නෑ.

වෙස්සගිරි ලෙන් සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඉසුරුමුණි විහාරයට දකුණු දෙසට වන්නටයි. ක්‍රි. පූ. තුන්වන සියවසේ පමණ සිට ලෙන් ආරාම සංකීර්ණයක් අනුරාධපුර අටමස්ථානය අවට ම පැවැතියත් එය සංචාරකයන්ගේ වැඩි අවධානයට ලක්වී නැහැ. බොහෝ අය අනුරාධපුරේ යන්නේ වන්දනාමාන කරන්න විතරමයි. ඒත් අපේ පැරණි ඓතිහාසික දේ වගේම පාරිසරික වෙනස්කමුත් සොයා යන්නට කාලය එළැඹිලා කියලයි අපට නම් හිතෙන්නේ.

වෙස්සගිරිය අක්කර 20ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. මෙහි පර්වත තුනකින් සෑදුණු ගල්ගුහා විසිහයක් පමණ දක්නට ලැබෙනවා. මහා වංශයේ සඳහන් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වූ අරිට්ඨ කුමරු ඇතුළු පන්සියයක් භික්ෂූන් වහන්සේලා එකල මෙහි වාසය කළ බවයි. මෙතරම් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක් සංචාරක අවධානය දිනා නොගැනීම පුදුමයක්.

වෙස්සගිරියේ පිහිටීම විශේෂයි. ගල්ගුහාවලට ඉහළින් වැටෙන වැසි ජලය ගුහාව ඇතුළට නොයා පහළ තනා ඇති කටාරම්වලට වැටෙන්නට සැලැස්වීමත්, ඊට අමතරව වැටෙන ජලය ගලා යෑම සඳහා ගලේම කාණු සකස් කර තිබීමත් අතීත ඥානය පිළිබඳ සලකුණු අපට කියාපානවා. එහි මැද පිහිටි පර්වතයේ ප්‍රධාන ගල් කුළු දෙකම රඳා පවතින්නේ පහළින් ඇති කුඩා ගල් කැබලි කිහිපයක ආධාරයෙන් පමණයි. ඒ ගල්කුළු දෙකට වම්පසින් ඇති කුඩා ගුහාවක වහල ලෙස ඇත්තේ කුඩා තැන් තුනකින් පමණක් රඳවා ඇති විශාල සෘජුකෝණාස්‍ර ගලක්. මේවා ස්වභාවික පිහිටීම්. මේ විස්මයජනක පිහිටීම් බලන්න නම් ඔබ අනිවාර්යයෙන් වෙස්සගිරියට යා යුතුමයි. ගලෙන් ම කොටන ලද පියගැටපෙළ වගේම සඳකඩපහනක් ද මෙහි දක්නට ලැබෙනවා. මෙවැනි අති රමණීය විස්මයජනක තැනක් අනුරාධපුරයේ තියෙනවා කියලවත් ගොඩක් අය දන්නේ නෑ.

දේශීය, විදේශීය සංචාරකයන් ඉඳහිට පැමිණියත් ඒ අයගෙන් බහුතරයක් මෙහි ඓතිහාසික වටිනාකම ගැන අවබෝධයෙන් පැමිණි අය නොවෙන බවයි පෙනෙන්නේ. ඒ නිසාම එහි වටිනාකම ගැන ඔබට කියන්නට සිතුණා.

එකල පැවිදි දිවියට පිළිපන් දහස් ගණන් ස්වාමීන් වහන්සේලාට ආරාම ඉදිකිරීම පැවරුණේ දේවානම්පියතිස්ස රජතුමාටයි. එබැවින් මෙවැනි ස්වභාවික පිහිටීම් ගැන රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටියේ බොහොම සෙවිල්ලෙන්. ඒ නිසයි මේ ස්වභාවික පිහිටීම ඔවුන් ඇස ගැටෙන්නේ. අනතුරුව මේවා නිසි පරිදි පිළිසකර කර භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා එකල ලබා දී තිබෙනවා. වෙස්සගිරිය එසේ පිරිනැමුණු ලෙන් ආරාම අතරින් පැරණිම ආරාමයයි.

සාමාන්‍ය සංචාරකයන්ගෙන් මඟහැරුණත් නිර්මාණකරුවන්ගෙන් නම් වෙස්සගිරිය සැඟවී නැති බවක් පෙනී යනවා. වර්තමානයේ තිරගත වුණු ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක් රූපගත කර ඇත්තේ වෙස්සගිරිය අවටයි.

මේ ලෙන් සංකීර්ණය අවට පරිසරයේ දැඩි නිහඬ බව බිඳී යන්නේ පරිසරයේ ම කොටසක් වුණු රිලවුන්, ලේනුන් වැනි සතුන්ගේ ක්‍රියාකාරී බව නිසා පමණයි. දැඩි නිහඬ බව මේ භූමියට ආභරණයක්. එදා භික්ෂූන් වහන්සේලා නිහඬ සුන්දර මේ පරිසරයේ ඉ‍ඳගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්නට වෙර දරන්නට ඇති; අවට පරිසරය නම් උන්වහන්සේලාට ආශීර්වාදයක් විනා ගැහැටක් නොවන්නට ඇති.

වසර සිය දහස් ගණන් පැරැණි වෘක්ෂලතා, ක‍‍ඳේ සිට ම එල්ලා වැටෙන මුල් සමඟ දැවැන්ත ගස් මේ භූමියේ පෞරාණික බව තවත් ඔප් නංවනවා. බරණ, ගහපති, පරුමුක ආදී නම්වලින් හැඳින්වූ ප්‍රභූන් විසින් මේ ගල් ලෙන් පිළිසකර කළ බැව් ඒ ගුහා ඉදිරිපිට කොටා තිබෙන සෙල්ලිපිවලින් තහවුරු වන බැව් ඉතිහාසඥයන් පවසනවා. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ක්‍රි. ව. පළමු සියවසේදී දෙමළ ආක්‍රමණවලින් බේරෙන්නට වට්ටගාමිණී කුමරු මෙහි සැඟවී ඇති අතර චන්ද්‍ර, මුඛසිව, වසභ, වෝහාරික තිස්ස ආදී රජවරු මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, කාශ්‍යප රජතුමාත් මෙහි ආරාම ප්‍රතිසංස්කරණය කර තම දියණියන් දෙදෙනාගේ නම් වන බෝධි හා උත්ජවණ්ණා නමින් ආරාම දෙකක් නම් කළ බවක් මහා වංශයේ සඳහන් වෙනවා.

අනුරාධපුරයට යන ඔබ වෙස්සගිරි ලෙන් සංකීර්ණය බලන්නට යා යුතු යැයි අප පවසන්නේ අපේ පැරණි රාජධානී සමය වගේම භික්ෂු පිළිවෙත වටහාගන්නත් ඒ මඟින් හැකිවන නිසයි. ඒ වගේම මෙය පරිසරයේ ඉතා ම සංකීර්ණ පිහිටීමක්; සොබාදහම කෙතරම් විස්මිත ද යන්න පෙන්වා දෙන නවාතැනක්; නිහඬ පරිසරයක ඒකාත්මික බව පහදන අපූරු ස්ථානයක්. ඉතිහාසය ගවේෂණය කරන්නකුට නම් දැනුම් නිධානයක්. ඒ නිසා අනුරාධපුරයට යන ඔබ වෙස්සගිරියට යන්න අමතක කරන්න එපා. මේ නිවාඩු සමයේ ඔබේ දරුවන්ට අපේ පෞරාණික ප්‍රෞඪත්වය කියාදීමට ලැබෙන මේ මහඟු අවස්ථාව මඟහැර ගැනීම අපරාධයක්.

ඒ විතරක් නොවෙයි; ඒ අපූරු නිහඬ පරිසරය දූෂණය වන්නට ඉඩ දෙන්න එපා. මතක තබාගන්න; සොබාදහම ආශීර්වාද කරන්නේ ඇයට ආදරය කරන්නන්ට පමණක් බව.

අදහස්