තායි­ලන්ත නව ශ්‍රී ලංකා තානා­ප­තිනි වැඩ බාර­ගනී | සිළුමිණ

තායි­ලන්ත නව ශ්‍රී ලංකා තානා­ප­තිනි වැඩ බාර­ගනී

තායි­ල­න්තයේ නව ශ්‍රී ලංකා තානා­ප­ති­නිය සමන්තා කේ. ජය­සූ­රිය මහ­ත්මිය, පසු­ගිය 8 දා ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ රාජ­කාරි භාර ගත්තාය. සිය කාර්ය මණ්ඩ­ලය ඇමතූ නව තානා­ප­ති­නිය ඉදිරි කාලය වෙනු­වෙන් සිය දැක්ම හා වැඩ­පි­ළි­වෙළ පහැ­දිලි කළ අතර ශ්‍රී ලංකාව සහ තායි­ල­න්තය අතර පව­තින දිගු කාලින මෙන්ම පොහො­සත් සංස්කෘ­තික හා ආග­මික සබ­ඳතා ඉදි­රි­ය­ටත් ගොඩ­නඟා ගැනීමේ අව­ශ්‍ය­තාව මෙන්ම, වෙළ­ඳාම, ආයෝ­ජන, සංචා­රක කට­යුතු තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම මඟින් දෙරටේ සහ ජන­තා­වගේ අභි­වෘ­ද්ධිය සඳහා, අන්‍යෝන්‍ය උන­න්දු­වක් දක්වන ක්ෂේත්‍ර­යන්හි තාක්‍ෂ­ණික සහ­යෝ­ගී­තාව පුළුල් කිරීම පිළි­බ­ඳ­වත් අව­ධා­ර­ණය කළාය.

තානා­ප­තිනි ජය­සූ­රිය මහ­ත්මිය වසර 21 ක පළ­පු­රු­ද්දක් ඇති වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිල­ධා­රි­නි­යකි. 1998 දී ශ්‍රී ලංකා විදේශ සේව­යට බැඳුණු ඇය කොළඹ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ සහ එහි විදේශ දූත මණ්ඩ­ල­වල විවිධ තන­තුරු හොබවා ඇත. තායි­ල­න්තයේ තානා­ප­ති­නිය ලෙස පත්වී­මට පෙර ඇය 2014 සැප්තැ­ම්බර් මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යෙහි ජිනීවා කාර්යා­ලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත මණ්ඩ­ල­යෙහි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝ­ජි­ත­ව­රිය ලෙස සේවය කළාය. ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩ­ල­වල ඇයගේ වෘත්තීය සේවා කාලය තුළ බෙල්ජි­යමේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය, ලක්ස­ම්බර්ග් සහ යුරෝ­පීය සංග­මය සදහා අමාත්‍ය තන­තු­රෙ­හිද, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මුල­ස්ථා­නයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජිත මණ්ඩ­ල­යෙහි අමාත්‍ය උප­දේ­ශක සහ උප­දේ­ශක ලෙස සහ ස්වීඩ­නයේ ස්ටොක්හෝම් හි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ තුන්වන ලේකම් ලෙසත් කට­යුතු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ එක්සත් ජාතීන්, බහු­පා­ර්ශ්වීය කට­යුතු, මානව හිමි­කම් සහ සම්ම­න්ත්‍රණ අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ , මහ­ජන සන්නි­වේ­දන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහ දකුණු ආසි­යාවේ සහ සාර්ක් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ යන තන­තුරු හොබවා ඇත .

ජය­සූ­රිය මහ­ත්මිය ජපාන අන්ත­ර්ජා­තික විශ්ව­වි­ද්‍යා­ල­යෙන් අන්ත­ර්ජා­තික සබ­ඳතා පිළි­බඳ ශාස්ත්‍ර­පති උපා­ධි­යක් ලබා සිටී. විදේශ සේව­යට බැඳී­මට පෙර, ජය­සූ­රිය මහ­ත්මිය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨයේ ආර්ථික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ, කෘෂි ආර්ථික විද්‍යාව පිළි­බද සහ­කාර කථි­කා­චා­ර්ය­ව­රි­යක ලෙස සේවය කළාය. ජන­මාධ්‍ය පිළි­බඳ ඩිප්ලෝ­මා­වක් ලබා ඇති ඇය කෙටි කලක් නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙකු ලෙසද කට­යුතු කර තිබේ.

Comments