මගේ ප්‍රබන්ධ කතාවල මගේ ළමා කාලයේ අත්දැකීම්, බර්ගර් ජීවන රටාව ප්‍රකාශිතයි | සිළුමිණ

මගේ ප්‍රබන්ධ කතාවල මගේ ළමා කාලයේ අත්දැකීම්, බර්ගර් ජීවන රටාව ප්‍රකාශිතයි

ඕලන්ද බර්ගර් සම්භවයකින් පැවත එන ඕ ජීන් සොලමන්ස් ලෙස 1931 දෙසැම්බර් 02 දින මහනුවර දී උපත ලැබුවා කඩුගන්නාවේ ගම්බද පරිසරයක වැඩුණා ය. 1961 දී ඕ තමා මෙන්ම ලේඛකයකු ද චිත්‍ර ශිල්පියකු ද වන, ත්‍යාගරාසා අර්සනායගම් සමග විවාපත් වූවා, දේවසුන්දරී සහ පාර්වති නම් නිවුන් දියණියන් බිහි කළා ය. ඔවුහු ද දෙගුරුන් අඩි පාරේ යමින් චිත්‍ර සහ සාහිත්‍ය නිර්මාණකරනයේ යෙදෙති. ත්‍යාගරාසා 2015 ග්‍රේෂන් සම්මානය දිනා ගත් ඉංගිරිසි බසින් නිර්මාණකරණයේ යෙදුණු ප්‍රකට ශ්‍රී ලාංකික කවියෙකි.

ජීන් සිය මූලික අධ්‍යාපනය පෞද්ගලික මෙතෝදිස්ත මීසම් පාසලක දී ලද්දා ය. කොළඹ ලංකා විශ්වවිද්‍යාලයයේ උපාධිධාරිනියක් වන ඇය උපාධියට හැදෑරූ විෂයයන් වූයේ ඉංගිරිසි, ලතින් සහ ඉතිහාසයයි. 1964 දී ඕ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ලැබුවා ය. ඉන්පසු ඇය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි ස්ට්‍රත්ක්ලයිඞ් විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්තා ය. ඕ කුරුණෑගල කතෝලික කන්‍යාරාමයක සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ ඉංගිරිසි බස සහ සාහිත්‍යය ඉගැන්වූවා ය. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ දුම්බර මණ්ඩපයේ, නුවර බහුතාක්‍ෂණායතනයේ ඉංගිරිසි ඉගැන්වූ ඕ පේරාදෙනිය ඉංගිරිසි ගුරු අභ්‍යාස විද්‍යාලයයේ ද ආචාර්යවර්යක වූවා ය.

කෘතහස්ත ලේඛිකාවක් වන ඇයගේ වියෝව ශ්‍රී ලාකේය ඉංගිරිසි සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේ හිදැසක් නිර්මාණය කරයි.

මේ ඇය නාගසාකි විශ්වවිද්‍යාලයයට සම්න්ධව සිටි ආචාර්ය රෝයි රොබින්සන් සමග ‘ශ්‍රී ලාකික සංස්කෘතියේ Aspects of Culture in Sri Lanka නම් සංවාද මාලාවේ එක් අංකයක් වෙනුවෙන් 1988 වසරේ දිනෙක ඔහු සමග පැවසූ කරුණුවලින් ගත් උද්ධෘතයකි

රොබින්සන්: ඔබගේ යටත්විජිත උරුමය (A Colonial Inheritance) නම් පද්‍ය පන්තියේ ශ්‍රී ලාංකික බර්ගර් අයකු ලෙස ඔබගේ අනන්‍යතාව සොයා යන සෙයක් පෙනෙනවා. ලංකාවේ ඕලන්ද පසුබිම ගැන තොරතුරු සුඟක් අපට ලබා දෙන්නට ඔබට හැකි ද?

අර්සනායගම්: ලන්දේසීන් ලංකාවට ආවේ 1638 දී. ඔවුන් එවකට නුවර රජකළ දෙවන රාජසිංහ රජු සමග ගිවිසුමක් අත්සන් කළා. ඔවුන් මුහුදුබඩ පළාත් පෘතුගීසින් වෙතින් පැහැරගත් පසු නව ආඥාපතිත්වයක් යාපනයේ, ගාල්ලේ සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත කළා. ඒ නැගෙනහිර ඉන්දිය වෙළෙඳ සමාගම ලෙස පරිවර්තනය කළ හැකි Vereenidge Oost Indische Compagnie හෙවත් VOC ඔවුන් බලකොටු සහ කොටු (fortresses and forts) ගොඩ නැඟුවා, සන්ධාන සහ ගිවිසුම් ඇති කළා, ආණ්ඩුකාරයන් පත් කළා, නැව් සේනා තර කළා, හමුදා නඩත්තු කළා, රජුන් මෙන් ද ක්‍රියා කළා. බර්ගර් යන වදන නගර වැසියා යන අරුත් ඇතිBurgher fyda Free Burgher (Vrijburgher) යන ඒවායෙන් බිඳී ආවක්. මූලික වශයෙන් බර්ගර් යන්න ජනවර්ගයකට කිසිම සබඳතාවක් නෑ. එහි ඇත්තේ නාගරික වෙසෙසියාවක් පමණයි. එය යෙදුණේ VOC හි සේවය නොකළ එහෙත් නාගරික වාසය සඳහා සහතිකපත් හිමි සාමාන්‍ය සිවිල් පුරවැසියන් හැඳින්වීම සඳහායි. මේ සහතික ඔවුන්ට නගරවල වසන්නත් අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද භූක්ති විඳින්නටත් ඉඩ සලසා දුන්නා. ලන්දේසි සමයේ එකිනෙකට වෙනස් දෙආකාර ඕලන්දක්කාරයන් මෙහි සිටියා. පළමුවන කණ්ඩායම නම් VOC සමාගමේ වැටුප් ලැබූ සේවා නියුක්තීන්. දෙවැන්න සමාගමෙන් වටුප් නොලැබූ නිදහස් ලෙස තමන්ගේ ව්‍යාපාරික කටයුතු යනාදිය පවත්වා ගෙන ගිය අය. Free Burgher (Vrijburgher) යනුවෙන් හැඳින්වුණේ ඔවුන්. මේ පන්ති හෙවත් ප්‍රවර්ග දෙක තමා ඕලන්දක්කාරයන් (Hollandsche Natie)

රෙබින්සන්: ශ්‍රී ලංකාවේ ඔබගේ පවුලේ ඉතිහාසය කොහොමද?

අර්සනායගම්: අපගේ මව් පාර්ශ්වයේ මුත්තාගේ පාර්ශ්වයෙන් ඇඩ්රියන් ජේ. ජෑන්ස් සිටිනවා. ඔහු වීඕසී සමාගමේ නිලධාරියෙක්. සේවය කළේ ගාල්ලේ. මව් පාර්ශ්වයේ අත්තම්මාගේ පාර්ශ්වයෙන් සිටිනවා ග්‍රේනියර්ලා. ග්‍රේනියර් ලංකාවට ආවේ ශෝන් ප්‍රැන්කෝ ලෙස. ඔහු නෝමන් - ප්‍රංස සම්භවය ඇත්තෙක්. 14 වන ලුයි රජු විසින් කල්විල්හි ඬේවිඞ් ග්‍රෙනියර් ලෙස වංශාධිපතිත්වයට පත් කරන ලද ඔහු මුහුදු සේනාධිනායකයෙක්. ඔහුගේ වංශාධිපතිත්වය පිලිබඳ හිමිකම් සහතිකයේ පිටපතක් Leaves from My Life නම් ඔහු විසින් ලියන ලද කෘතියේ ඇතුළත්. 1776 දී ඔහු මාතර දිශාවේ ආඥාපති ලෙස පත් කරනු ලැබුවා. ඔහු යටතේ මොහමදාන් සිපයි (Mohammedan Sepoys) රෙජිමේන්තු තුනක් තිබුණා. ඔහු ලන්දේසි කාන්තාවක් සරණ පාවා ගත් අතර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ද ඔහුට මෙහි නිවාසී ව සේවය කරන්නට අවසර දී තිබුණා.

රොබින්සන්: ඔබ සොලමන්ස් පරපුර ගැන කවි පන්ති කිහිපයක් ම පබඳා තිබූ බව මතකයි. සොලමන්ස් නාමය ලංකා ඉතිහාසයේ වැදගත් ලෙස දක්නා ලැබෙනවා?

අර්සනායගම්: සොලමන්ස් නාමය ශ්‍රී ලංකවේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ වැදගත් තැනක් ගන්නවා. ඒ අය පැවතෙන්නේ පෘතුගිසි පාලන සමයේ දිවයිනට සැපත් වූ දොන් සොලමන්ගෙන්. ඔහු පෘතුගිසි යුදෙව්වකු විය හැකියි. එක් පවුලක් දෙකට බෙදීමක්. ඒ අත්තක්.Don යන්න මුලට භාවිත කරන අතර අනෙක් පාර්ශ්වය Solomon ලෙස භාවිත කරනවා.

ඔවුන් ගුරුවරුන් සහ නීතිවේදීන්. බ්‍රිතාන්‍ය පාලනය යටතේ කෝපි වගාව සාර්ථක වු සමයේ ඔවුන්ට විශාල වාසනාවක් පෑදුණා. ඔවුන්ගෙන් එක් අයෙක් මහජන බැංකුවේ නිර්මාතෘ. ඔවුන් දැඩි මෙතොදිස්ත ලබ්ධිකයන්. මගේ සීියා වන විලියම් හෙන්රි සොලමන්ස් උගත්තේ ගල්කිස්සේ සාන්ත තොමසුවේ. එය ඇංග්ලිකානු සභාවට අයත් මුදුන් මට්ටමේ අධ්‍යාපන ආයතනයක්. ග්‍රීක්, ලතින් සහ ඉංගිරිසි භාෂාවල හසල විද්වතකු වූ ඔහු මදුරාසි විශ්වවිද්‍යාලයයෙන් උපාධි ලැබූ මුල් කණ්ඩායමේ කෙනෙක්. නිතිඥයකු ද වූ ඔහු පසුව ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පති වුණා. නුවර කිංස්වුඩ් විද්‍යාලය දැන් පිහිටා ඇති ඉඩමේ මුල් අයිතිකරු වූයේ මගේ පියාගේ සීයා වූ ෆ්‍රෙඩ්රික් සොලමන්.

මගේ නැන්දනිය වූ එලිසා සොලමන්ස් මෙනෙවිය ලංකාවේ මුල්ම පාඨශාලා පරීක්‍ෂකවරුන් 106 දෙනාගෙන් එක්කෙනෙක්. ඇයට මහා බ්‍රිතාන්‍යය විසින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජික (MBE) නම්බු නාමය ප්‍රදානය කරනු ලැබුවා.

රොබින්සන්: ඔබ කොහොමද සිතන්නේ මේ සියලු ප්‍රකට ශ්‍රී ලාංකික ලන්දේසි බර්ගර් ජනයා සමග ඔබ ගැළපුනා ය කියා? කලාත්මක ව?

අර්සනායගම්: අප උරුමයක් බෙදා හදා ගත්තා. පළමුවැනව ඒ පිටුපස වු සාධකය තමා යටත් විජිත ආදි පරපුර. බලපෑම යුරෝපීයයි; ඉංගිරිසි. අප ඉංගිරිසි ලියුවා; ලියනවා. බලපෑම විශාල වශයෙන් ම යුරොපීයයි සහ බ්‍රිතාන්‍යමයයි. බොහෝ බර්ගර් ජනයා භාවිත කළ ඉංගිරිසිය ඒ බස වහරන රටවල ස්වදේශිකයන්ගේ භාෂා භාවිත ස්වරූපයෙන් වෙන් කොට හඳුනා ගත නොහැකි තරම්. මම උදාහරණයක් කියන්නම්. බී.ආර්. බ්ලේස්ගේ The Prodigal Son and Other 108 Poems නමැති කවි පොත. ඔබ එය කියවන විට ඔබට හැඟේවි මේ කියවන්නේ ඉංගිරිසි කවියකුගේ කෘතියක් ම ය කියා. සමහරවිට තරමක් දුරට ඍණාත්මක ලක්ෂණත් තිබෙනවා. ඔවුන් අනුගමනය කළ ආදර්ශ රොමාන්තික ගුරුකුලයේ හෙයින් තමන් ජිවත්වන පරිසරයේ සංස්කෘතියට ඇති අදාළත්වය අඩුයි. තවමත් ඔවුන් එසේයි ලියන්නේ. එය වැදගත් කාරණයක්. මේ රටේ මුලින්ම ඉංගිරිසියෙන් කවි ලියූවේ බර්ගරුන්. ඔවුන් බස නිර්මාණාත්මක ලෙස භාවිත කළා. ඔවුන් භාවිත කළ බස වෙනත් දේශයකට අයත් එකක්, දේශීය නෑ. එය නිලධාරීන් වැහැරූ බස. එය හරිම සිත්ගන්නා සුලුයි. එහි අපට සබඳතාවක් ඇති සේ දැනුණා. මෙරට බර්ගරුන්ගේ පළමු බස ඉංගිරිසියයි. අප සාමාන්‍යයෙන් භාවිත කළේ ප්‍රමිත ඉංගිරිසියයි. එය යටත් විජිත සංවිධාන ව්‍යුහයේ අපගේ අධ්‍යාපනයේ මූලිකාංගය වූවා. මට දැන් වැටහෙනවා මා මේ භාෂාව දෙස වෙනස් ආකාරයකින් බලන්නට පුරුදු ව සිටිනා බව. පශ්චාත් යටත් විජිත සන්දර්භය තුළ අලුත් ඉංගිරිසි භාෂාවල් පහළ වී තිබිම ගැන අවධානාත්මක ව; මේ භාෂාව ඉදිරිපත් කෙරෙන කථනයෙන් (speech) ප්‍රයෝජ්‍ය කැර ගන්නට මා උත්සාහ කරනවා. එහෙත් මා විශ්වාස කරන පරිදි මගේ පූර්වගාමීන් වඩාත් අනුකූලතාව දැක්වූවන්. ඔවුන් අනුගමනය කළේ ඔවුන්ගේ යුගයේ සාහිත්‍යමය සම්ප්‍රදායයන්. අප අකුරු කළ පෞද්ගලික මිෂනාරි පාසැල් ද ඊට බලපාන්නට ඇති.

රොබින්සන්: අනෙක් ලන්දේසි බර්ගරුන් සමඟ ඔබගේ සමායෝජනය කවරාකාර ද?

අර්සනායගම්: හොඳයි, මට ජෝජ් කීට් හමුවුණාම ඔහු සමග කතා කරන්නට බොහෝ දේ තිබුණා. කලාව, ආගම, පුරාවෘත, ජනප්‍රවාද, අපේ පෞද්ගලික සිතිවිලි සහ හැඟීම්, මේ හැම දෙයක් ම. අප අතර අන්‍යොන්‍ය පාසුවක් තිබුණා. හැඟීම්වල සහ චින්තනයේ පොදු බවක් හුවමාරු වුණා. එතැන බැඳීමක් තිබුණා. එය කිසියම් විශේෂිත ආකරයක සංවේදනීයතාවක්. ඒත් බර්ගර් අයට පමණක් සීමා වුණේ නෑ. කලාත්මකව විශ්වයීය භාෂාවක් හුවමාරු කැර ගන්නට හැකියාව තිබුණා. ගැළපීම ගැන නැවත කියනවා නම් ඒ කලාත්මක ධාරාවේ (artistic stream) අංශුවක් ලෙස මා ගැළපුණා. කලාත්මක ධාරාව යනුවෙන් මා අදහස් කළේ ලියන්නට හෝ අඳින්නට අප මෙහෙයවන උත්පාදන ධාරාවයි. අපගේ සමාජයීය, සංස්කෘතිකමය සහ භාෂාමය පසුබිම ඇත්තටම එකක් ම වුණා. මගේ නදිය නොයෙකුත් අතුවලට බෙදී ඒවා මගින් මා වෙනස් ආකාර භූමිභාග වෙත කැඳවා ගෙන යන බව හඟින්නට මා කැමතියි, සමහරවිට කටුක දුෂ්කර, සමහරවිට සරුසාර. අප සැමට ම ඇත්තේ එක් භූමි දසුනක් පමණයි, එහෙත් අප එය විස්තර කිරීමේ දී භාවිත කරන වාං මාලා වෙනස්. මා සමහරවිට බොහෝ දෙනෙකුට වඩා වෙනස් වන්නට පිළිවන්. වෙනස් රටවල දී මා ලැබූ මගේ ඇත්ත අත්දැකීම් මට බලපෑවා.

ඉන්දියාව, යුරෝපය, මහා බ්‍රිතාන්‍යය. මේ සියලු රටවල් මට බලපානවා. මේ පෞද්ගලික හැඟීම්බර චාරිකා ගැන මා ලීවා. ඒවා විස්තර කරන්නට මා රූපක සොයනවා. ඉන්දියාව ජෝජ් කීට්ට බලපෑ බව මා දන්නවා. අනෙක් අයට බටහිර සිදුවන සහ පවතින දේවල් බලපාන්නට ඇති. ඒත් අප සියල්ලන් අයත් මේ රටටයි. අප සැවොම ශ්‍රී ලාංකිකයන්. අපගේ ප්‍රාථමික දිවිපෙවෙත සහ මූලික අත්දැකීම් ඇත්තේ මෙහි. අප නෙදර්ලන්තයේ හෝ ජර්මනියේ හෝ ප්‍රංසයේ හෝ මහා බ්‍රිතාන්‍යයේ හෝ අපගේ ‘මවුරට’ට ආපසු යන අදහසක් නෑ. අප අපගේ ම කලාත්මක සමාජ පරිසරය මෙහි සකසා ගත්තා.

රොබින්සන්: ඔබගේ කවිවල ඔබගේ ඕලන්ද බර්ගර් පසුබිම ප්‍රකටයි?

අර්සනායගම්: ඔව්. ඒ බව වැඩිපුර ප්‍රකට තමා, ඒත් අනෙක් බලපෑම් ද ඒවායේ නොමඳ ව දිස්වනවා. ස්වජ වටපිටාව. මගේ විවාහය සිදු වූයේ දමිළකු සමඟ. යාපනේ දමිළයෙක්.

ජිවිතේ වැඩි කාලයක් කොළඹ සහ නුවර ගත කළ ඇංගලිකන් ලබ්ධිකයෙක්, ඔහුගේ තිබුණේ සාම්ප්‍රදායික උතුරේ දෙමළ හැදියාව. එහෙත් මගේ කෘතිවල බර්ගර් පසුබිම නොමඳව තිබෙන්නට හේතුව විය හැක්කේ මා මගේ අනන්‍යතාව ගැඹුරින් ප්‍රශ්න කිරීම විය හැකියි.

අතීතයේ සිය මව් රට ගේ දොර අත්හැර විදෙස් බලා නැව් නඟින්නට තරම් දිරිමත් වීමට ඔවුන් පෙළඹ වූ හේතුව තමා මගේ ගැටලුව වූයේ. මා අනන්‍යතා කවි පන්ති සමූහයක් ම ලියා තිබෙනවා. ‘පළා යාම පිළිබඳ සටහන්’, ‘මුල්’, ‘බෙදුණු පරවේනිය’, ‘වංශාවලි’, සහ තවත් ඒවා. මගේ ප්‍රබන්ධ කතාවල මගේ ළමා කාලයේ අත්දැකීම්, ප්‍රබල ලෙස යටත්විජිත පසු බිමේ, බර්ගර් ජීවන රටාව ප්‍රකාශිතයි. එය ඉතා විශේශිත ජීවන රටාවක්.

අදහස්