ප්‍රතිවිරුද්ධ දෑ ප්‍රතිමුඛ කිරීම | සිළුමිණ

ප්‍රතිවිරුද්ධ දෑ ප්‍රතිමුඛ කිරීම

ජීවිතයේ අරුත කුමක්ද? හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකු ම නියමින් හෝ අනියමින් අසන්නේ මේ ප්‍රශ්නය ය. ඇත්තට ම ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම් ඒ කුමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිභාසම්පන්න ලේඛකයකු වූ විට ඔහු අතින් බිහිවන්නේ සුන්දර නවකතාවකි. මෙසේ කියන්නේ හර්මන් හෙසගේ සුප්‍රකට ගද්‍ය නිර්මාණය වන "සිද්ධාර්ථ" පරිවර්තනය කරමින් ඒ වෙනුවෙන් ඩබ්ල්යු. ඒ. අබේසිංහයන් ලියන කෙටි ප්‍රස්ථාවනාවේ ය.

ජීවිතයේ අරුත හැම කෙනකුටම අදාළ යැයි හෝ හැම කෙනකු ම සොයන්නේ යැයි හෝ කිව නොහැක්කේ ය. ජීවිතයක අරුත සොයන්නේ ජීවත් වීමේ කලාව ගැන අවබෝධයක් ඇත්තා ය. ඒ කලාව දන්නා තැනැත්තා මේ අනේකවිධ දෑ නිසා කම්පාවට හෝ සංතෘෂ්ටියට පත්වන්නෙක් නොවේ. හේ මේ සමාජයේ අල්ලා ගැනීම වෙනුවට අත්හැරීම ප්‍රගුණ කරන්නා ය. කලා නිර්මාණ ද මේ දෙවර්ගයෙන් ම වෙති. එකක් ජීවිතය අල්ලා ගැනීමට උදව් කරන අතර තවකක් ජීවිතය අතහැරීමට උදව් කරයි. එහෙත් අල්ලා ගැනීමට උදව් කරමින් අතහරින්නට බල කෙරෙන නවකතාවක් වේද ඒ හර්මන් හෙසගෙ සිද්ධාර්ථ බැව් කියන්නට මැළි නෙවෙමි. එය රති කාමයෙහි ආස්වාදයේ ගිල්වමින් ඒ හා ක්ෂණික ව ම ඒ ආස්වාදයේ නිස්සාරත්වය කියන්නේ ය.

"දිනපතාම කතා කරගත් හෝරාවකදී සිද්ධාර්ථ කමලා බලන්නට ගියේ ය. හොඳ වතින් සැරසී, උසස් මිරිවැඩි පයලාගෙන ඔහු ඇය බලන්නට ගියේ නොයෙක් තෑගි බෝග ද රැගෙන ය. ගැහැනුන්ට ප්‍රේම කිරීමේ කලාවේදී තාමත් කොලු ගැටයකු ව සිටි සිද්ධාර්ථට ඇය දින දින ප්‍රේම කලාවේ - අනුරාග කලාවේ රහස් තැන් කියාදෙමින් ඔහු එහි නිපුණයකු බවට පත් කළා ය. කෙනකුට සංතුෂ්ටිය ලබාගත හැක්කේ කෙසේද; එය ප්‍රදානය කිරීමෙන් බව ඇය ඔහුට ඉගැන්වූවා ය. හැම බැල්මක ම, හැම මුදු වදනක් ම, හැම ආලිංගනයක් ම සිරුරේ හැම පුංචි තැනක් ම කම් සුවය පිළිබඳ අපූරු රහසක් සඟවා සිටින බැව් ඔහුට කියා දුන්නේ ඇයයි"

බුදුන් වහන්සේ ම වරක් කියනා පරිද්දෙන් සිද්ධාර්ථ සොයා යන්නේ තමාගේ ම විමුක්තිය ය. ප්‍රතිවිරුද්ධ දෙකක් අතරමැද බිහිවෙන සාම්‍යය කෙබඳු ද යන්න රන්සුණු සොයන අපට ඉතා වටිනා හෙයින්ම ලියා තබමි. රතියේ සෑම සියුම් ම තැනක් සොයමින් රති සාගරයේ ගිලෙන ඒ සිද්ධාර්ථ ම ගෞතම බුදුන් වහන්සේ ගැන මෙසේ සිතයි.

"මමත් ඒ වගේ වෙන්න ඇත්නම්. ඒ වගේ හිනාවෙන්න, ඉඳගන්ඩ, ඇවිදින්න පුළුවන් නම්. ඒ තරම් නිදහස්ව උදාර ව, සංයත ව, අවංක ව පොඩි දරුවෙක් වගේ ගුප්ත ව ඉන්න හැකි නම්. කෙනෙක් ඒ වගේ වෙන්නෙ, ඒ වගේ ඇවිදින්නේ, තමා ජයගත් පසුවයි. මමත් මා ජයගන්නවා"

‍එසේ කියන, සිතන සිද්ධාර්ථ නැවත කමලාගේ රති පාශයෙහි බැ‍ඳෙන්නේ ඉන් මිදී ගත නොහැකිව ගිහි ජීවිතයේ කම් සුවයෙහි බොහෝ දුර යන්නේ ය.

ශුර ආඛ්‍යානයක්, පරිකල්පනයක් හා ගොඩනැඟීමක් කරමින් හර්මන් හෙස රතියෙහි සුව විඳිනා සිද්ධාර්ථ හා කමලා අතරට ජීවිතය යනු කුමක්දැයි නැවත නැවත කියවන්නට පෙලඹවීමක් ඇතිකරයි. එනිසාම හර්මන් හෙස කමලාගේ චරිතය සිත්තම් කරන්නේ හුදෙක් කාම රතියෙහි ගැලුණු ඉහළ පෙළේ නගර ශෝභිනියක හැටියට නොවේ ය; ඇය ද ලෝකායත සංතෘප්තියට ඉහළින් නැ‍ඟෙන ආධ්‍යාත්ම සංතෘප්තිය සොයන්නියක බැව් හෙස ඉතා ශූර ව පාඨක අපට දැනෙන්නට හරියි. සිද්ධාර්ථගේ සිතේ තවමත් සිටිනා "අත්හැරීමට මාන බලන්නා" ඈ හඳුනාගන්නේ ඒ නිසා ය. එනිසාම සිද්ධාර්ථට කමලා හා එක් ව ජීවිතයේ වන අත්හැරීම හා අනියත බව ගැන කතා කරන්නට හැකි වෙයි.

"කමලා බොහෝ මිනිස්සු ගැලවී වැටෙන තුරුපත් වගෙයි. සුළ‍ඟේ පාව ගොස් සැලී, සැලී බිමට වැටෙනවා. නමුත් ඉතාම ස්වල්ප දෙනෙක් තීරණය කරගත් දිසාවට ගමන් කරන තාරකා වගෙයි. කිසිම සුළඟකින් ඒවා සැලෙන්නේ නෑ. ඒ තාරකා තුළ ඒවායේ මාර්ගෝපදේශකයාත්, මාර්ග පථයත් දකින්න පුළුවන්. මා දැන සිටි නුවණැති මිනිසුන් අතර, ඒ කාරණාවේදී අති විශිෂ්ටත්වයට පත්වුණු කෙනෙක් ගැන මා දන්නවා. මට ඔහු අමතක කරන්න බැහැ, ඒ තමයි ගෞතමයෝ. තමන්ගේ දහම දේශනා කරන ගෞතමයෝ. දහස් ගණන් තරුණයෝ ඔහුට සවන් දෙනවා; ඔහු අනුගමනය කරනවා. නමුත් ඔවුනුත් ගිලිහී වැටෙන තුරුපත් හා සමානයි. ඔවුන් තුළ ප්‍රඥාවත්, මාර්ග දේශකත්වයත් නැහැ"

"සිද්ධාර්ථ" කතාවෙහි ප්‍රතිවිරුද්ධ දෑ ප්‍රතිමුඛ කරන්නේ පාඨකයාට නොදැනෙන පරිද්දෙනි. පාඨකයා දෙතැනම අතරමං වෙයි. හර්මන් හෙස නම් ජර්මානු ජාතික ලේඛකයා මුතු පටක් අමුණන්නාක් මෙන් බි‍ඳෙන් බිඳ සිද්ධාර්ථ චරිතය නිර්මාණය කරන්නේ; ඔහු තමා ජයගන්නට කළ භෞතික වූත්; ඊට වඩා ආධ්‍යාත්මික වූත්, අපූරු වූත් අරගලයේ ස්වභාවය රමණීය ව විවරණය වන අයුරිනි. සිද්ධාර්ථ කොතරම් වාරයක් කියවූවත් හද චමත්කාරයෙන් පිරී යන්නේ ඒ නිසා ය. රසයෙන් ද, අරුතින් ද, ප්‍රබන්ධයෙන් ද, පරිකල්පනයෙන් ද හදවත උතුරා යන්නේ ඒ නිසා ය. මේ වැනි හැඟීමක් ඇතිවන ප්‍රබන්ධ ලෝකය පුරාම ඇත්තේ අතේ ඇඟිලි ගණනට වගේ ය. හැම ගසක ම මිහිරි වන්නේ එහි අතු අග හැදෙන ඵල ය; ළපලු පත් මත ‍පිපෙන මල් ය. එහෙත් "සිද්ධාර්ථ" ගසක් නම් එහි මුල්, පොතු, කොළ, දලු, මල් සහ ඵල සය පංගුව ම මිහිරි ය.

සංසාර ගමනේ නෙක ගමනාන්ත කරා ළංවන සිද්ධාර්ථට බුදුන් හමුවූ මොහොතේ තමා සමඟ සිටි ගෝවින්ද නැවත වාරයක් හෙස මුණගස්වයි. ඒ ගංගාවේ තොටියකු ලෙස සිද්ධාර්ථ සිටියදී ය. ඕම්...කාරයේ වන පූර්ණත්වය වටහාගෙන සිටියදීය. තොටියා සිද්ධාර්ථ බව හඳුනාගන්නා ගෝවින්දට සිද්ධාර්ථ කියන්නේ මෙවදන් ය.

"මම තොටියෙක් වෙලා. බොහොම මිනිස්සුන්ට හුඟක් වෙනස් වෙන්න සිදුවෙනවා. නොයෙක් වර්ගයේ ඇඳුම් අඳින්න සිදුවෙනවා"

සංසාරය ඒ වගේ ය. ප්‍රතිවිරුද්ධ දෑ ප්‍රතිමුඛ කිරීමේ කලාවේ හෙසගේ හැකියාව ලේඛනයේ රන්සුනු සොයන අප හැදෑරිය යුතු ම ය. ඔබ "සිද්ධාර්ථ" කියවාගත යුත්තේ ඒ නිසා ය. එය ජර්මන් බසින් කෙලින් ම දයාරත්න ගුරුසිංහ සිංහලට පරිවර්තනය කර ඇති අතර ඉංග්‍රීසි බසින් සිංහලට නඟා ඇත්තේ ඩබ්ලියු. ඒ අබේසිංහයන් ය. මා කියැවූයේ අබේසිංහයන් සිංහලට නැඟූ කෘතියයි. ඒ අති රමණීය බව ඒ ආකාරයෙන් ම රැකගැනීම ගැන අබේසිංහයන්ට කෘතඥපූර්වක ස්තූතිය පුද කරන්නේ ලේඛනයේ රන්සුනු සොයන අපට එය කෙතරම් වැදගත් ද යන්න ගැන දන්නා නිසා ය.

[email protected]

 

අදහස්