හොඳ සටනක් දෙන්න වෙනවා | සිළුමිණ

හොඳ සටනක් දෙන්න වෙනවා

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වූ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එතෙක් පුහුණුකරුවකු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ගැටලු මතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස හතුරුසිංහගේ සහායකයන් ලෙස කටයුතු කළ කිහිප දෙනකුගේ ම සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේ ය. හතුරුසිංහ සම්බන්ධයෙන් තීරණාත්මක අවධානයක් යොමු කළ ක්‍රීඩා අමාත්‍යවරයා මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව ඉවත් කිරීමට කටයුතු කළ නමුත් ඒ සම්බන්ධයෙන් ද ගැටලු මතුවිය‍. හතුරුසිංහ මෙහිදී කියා සිටියේ තමාගේ ගිවිසුම්ගත කාලය අවසන් වීමට පෙර ඉවත් කිරීමට කටයුතු කළහොත් නීති මඟින් කටයුතු කරන බවය‍.

කෙසේ වෙතත් හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් කර ජෙරොම් ජයරත්න ඒ සඳහා පත් කළ නමුත්, ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් සහ විස්සයි 20 තරගාවලියේ අන්තර් පුහුණුකරුවකු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය. රුමේෂ් පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

හතුරුසිංහ නවසීලන්ත සංචාරයෙහි පුහුණුකරු ලෙස සම්බන්ධ නොවෙයි කියලා හිතනවා. පුහුණුකරු බේරාගන්න ගිහින් ක්‍රිකට් මේ තියෙන තැනින් තවත් පහළට දා ගන්න බෑ.” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. මොනවා වුණත් වැඩි විස්තර කියන්න අමාරුයි. නීතිමය ගැටලුවක් මතු වෙන්න පුළුවන් නිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ හතුරුසිංහ යන්නේ නැත්නම් අපට නීතිමය ක්‍රියා මාර්ග ගන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනත් කාර්යයක් පවරන්න වෙනවා.

හතුරුසිංහට මසකට ගෙවන ඩොලර් 40,000 ක වැටුපට වඩා අඩු මුදලකට විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබාගන්න පුළුවන්. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නවසීලන්ත ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලි දෙකෙහි අපට හොඳ සටනක් දෙන්න වෙයි. නවසීලන්තය මේ තරගාවලියට එන්නේ එක්දින ක්‍රිකට් ලෝක අනුශූරයන් විදියට. ඔවුන්ට හොඳ සටනක් දෙන්න අපට හැකියාව තියෙනවා.

අප අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙක ඉතාමත් හොඳින් අවසන් කලා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට හොඳ ක්‍රිකට් තරගාවලියක් නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා යැයි නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ඉතාමත් ප්‍රබල කණ්ඩායමක්. විශේෂයෙන් ඔවුන්ගේ රටට ඇවිත් ඔවුන් එක්ක ක්‍රීඩා කිරීම ලෙහෙසි පහසු නෑ. ආසියානු තණතීරු විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට හුඟක් හිතකරයි‍. අපි දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන්න ඕනෑ. අපට ඒ සඳහා හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා යැයි නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි.

නවසීලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි සහ ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවෙයි. විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය හය වැනි සහ ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ පසුවෙයි.

Comments