සිව් වසරක් අඛන්ඩව කමාන්ඩෝ අභිමානය අශාන්ට | සිළුමිණ

සිව් වසරක් අඛන්ඩව කමාන්ඩෝ අභිමානය අශාන්ට

කමාන්ඩෝ ධාවන පථයේදී අඛණ්ඩව සිව්වන වසරටත් තම කීර්තිය නොවෙනස්ව තබාගැනීමට අශාන් සිල්වා සමත් වෙත්දී දක්ෂතම ධාවකයා ලෙස ජාක් ගුණවර්ධන අභිෂේක ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ බළකාය සිව්වන වරටත් සංවිධානය කරන ලද කමාන්ඩෝ චැලෙන්ජ් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගිය දා ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ කමාන්ඩෝ ධාවන පථයේදී අවසන් විය. එහිදී සිව්වන වරටත් එස්.එල්./ජී.ටී. ශූරතා තරග ඉසව් දෙකෙන්ම ජයගෙන දක්ෂතම රියදුරා ලෙස අශාන් සිල්වා තම ස්ථානය සුරැකිව රැකගත් අතර දක්ෂතම ධාවකයා ලෙස 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) ශූරතා පළමු තරගයෙන් දෙවැන්නා වෙමින් දෙවන තරගයෙන් පළමුවැන්නා වෙමින් පළමු වරට ජාක් ගුණවර්ධන දක්ෂතම ධාවකයා ලෙස අභිෂේක ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව “හච්“ ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස් 2019” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දෙවන අදියර ලෙස කමාන්ඩෝ චැලේන්ජ් තරගාවලිය සංවිධනය විය. මෝටර් රථ හා යතුරුපැදි තරග ඉසව් 20ක් වෙනුවෙන් තරග කරුවන් 185 දෙනෙකු මෙරට වේගවත්ම ධාවන පථයට පිවිස සිටි අතර ප්‍රවීණයන් නවකයන් හා ආධුනිකයන් උරෙන් උර ගැටී එකට තරග කළහ.

සම්ප්‍රදාය ඔස්සේ යමින් පෙරදින කාල ගණනයන් අනුව පෙළ ගැසුණු පළමු එස්.එල්./ ජී.ටී. 3500සී.සී.මෝටර් රථ ශූරතා තරග ඉසව්වේ පෙරමුණේ පසුවුයේ අශාන් සිල්වායි. ඔහු පෙර දින කාල ගණනයේදී කමාන්ඩෝ ධාවන පථයේ එක් වටයක් නිමකිරීමට වැයකර තිබුණේ මිනිත්තු 1යි තත්පර 11ක කාලයකි. ඒ අනුව අශාන් පෙරමුණ ගත් අතර දෙවන හොඳම කාළය වාර්තා කරමින් කුෂාන් පීරිස් ( මිනිත්තු 1යි තත්පර 13) දෙවැන්නා ලෙසත් තෙවන හොඳම කාලය වාර්තා කර සිටි උෂාන් පෙරේරා (මිනිත්තු 1යි තත්පර 15) තෙවැන්නා ලෙසත් ඉෂාක් වහාබ් සිව්වැන්නා ලෙසත් (මිනිත්තු 1යි තත්පර 15) රෝසි ප්‍රනාන්දු (මිනිත්තු 1යි තත්පර 17) පස්වැන්නා ලෙසත් කපිල නිශාන්ත (මිනිත්තු 1යි තත්පර 18) හයවන ස්ථානයේත් රැදෙමින් තරගය ආරම්භ විය.

වට අටකින් සමන්විත තරග ඉසව්වේ දි තරගය අවසන් වන තුරුම තම ස්ථානය රැකගනිමින් අනෙකුත් තරග කරුවන් සමග දිගු පරතරයක් තබා ගනීමින් පළමු තරගයෙන් ප්‍රථමයා ලෙස අශාන් ජය වාර්තා කීරීමට සමත් විය. එම ඉසව්වේ දෙවන ස්ථානය වෙනුවෙන් කුෂාන් හා උෂාන් අතර තියුණු සටනක් පැවැති අතර අවසන් මිනිත්තු කිහිපයේදී උෂාන්, කුෂාන් පසුකරයමින් දෙවන ස්ථානය දිනාගැනිමට සමත් විය. කුෂාන් තෙවැන්නා ලෙස තරගය නිමා කළ අතර ඉෂාක්ට හිමිවුයේ සිව්වන ස්ථානයයි. පස්වැන්නා ලෙස තරගය ආරම්භ කළ රෝසි ප්‍රනාන්දු පසුකරයමින් නිශාන්ත පස්වැන්නා ලෙස තරගය නිමා කළ අතර රෝසිට හමිවුයේ හයවන ස්ථානයයි.

පළමු තරගයේ ස්ථානයන් අනුව යමින් දෙවන තරගය පෙළ ගැසුණු අතර අශාන්, උෂාන්, කුෂාන්, ඉෂාක් හා නිශාන්ත පළමු පස්දෙනා අතර විය. නමුත් දෙවන තරගය ආරම්භ වී වට හතරක් යන තෙක්ම කිසිදු ස්ථානයක වෙනසක් සිදු නොවු අතර පස්වන වටයේදී කුෂාන්ගේ සිදුවු පුංච්ම පුංචි ප්‍රමාදය තම වාසියට හරවාගත් ඉසාක් වහාබ් කුෂාන්ව පසුකරයැමට සමත් විය. නැවතත් ධාවන පථයට පිවිසි කුෂාන්, ඉෂාක්ට තියුණු තරගයක් දියත් කළත් අවසන තරගය අවසන්වන විට කුෂාන්ට හිමිවුයේ සිව්වන ස්ථානයයි. අශාන්, උෂාන් හා ඉෂාක් ලෙස ඉෂාක් තෙවන ස්ථානය හිමිකරගත්තේය. කුෂාන් සිව්වැන්නා ලෙස තරග නිමා කළ අතර නිශාන්ත පස්වැන්නා ලෙස පළමු තරගයේ ස්ථානය රැකගැනීමට සමත් විය.

දිනයේ දෙවන වේගවත්ම තරග ඉසව්ව වු එස්.එල්./එච්.කාණ්ඩයේ 2000සී.සී. සුභාරු ලෙගසී තරග ඉසව්වෙන් මල්ලික කුරුවිටආරච්චි සුපුරුදු ලෙස ජයගත් අතර නයිජල් පෙරේරාට හිමි වුයේ දෙවන ස්ථානයයි. හේෂාන් පීරිස් තෙවැන්නා ලෙස තරගය නිමා කළේය. පෙරදින කාළ ගණනයන් අනුවද මල්ලික කුරුවිටආරච්චි හොඳම කාලය වාර්තා කිරීමට සමත්ව සිටියේය. මල්ලික වාර්තා කළ කාලය මිනිත්තු 1යි තත්පර 18කී.

සකීර් වහාබ් පෙරදින හොඳම කාලය වාර්තා කරමින් එස්.එල්. - එච්.කාණ්ඩයේ 1600 සී.සී. මෝටර් රථ තරග ඉසව්වේ පෙරමුණේ පසු වු අතර තරගය ආරම්භ වෙමින් වට‍ හයකින් සමන් විත තරග ඉසව්ව නිම වෙන තුරුම තම ස්ථානය සුරැකිව රැකගත් අතර රන්දික නිරෝෂන දෙවැන්නා ලෙසත් උපුල්වන් සේරසිංහ තෙවැන්නා ලෙසත් තරගය නිමා කළේය.

උපුල්වන් සේරසිංහ එස්.එල්. - එච්.කාණ්ඩයේ 1600 සී.සී. මෝටර් රථ තරග ඉසව්වේන් තුන්වැන්නා ලෙස තරගය නිමා කළත් සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් උපුල්වන් එස්.එල්. - එන් 1300සී.සී. ෆොඩ් ලේසර් / මැස්ඩා තරග ඉසව්වෙන් ජයගැනීමට සමත් විය. උපුල්වන්ගේ පුත් දෙවින් සේරසිංහ තෙවැන්නා ලෙස එම තරග ඉසව්ව නිමා කළ අතර කුෂාන්ගේ සොහොයුරු ප්‍රවීණ මෝටර් රථ ධාවක ධම්මික පීරිස්ගේ පුත් මිහාන් පීරිස් එම ඉසව්වෙන් දෙවැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත් විය.

දිනයේ ආකර්ෂණියම තරග කරුවා වු ළාබාල ධාවක කේෂර ගොඩගේ එස්.එල්.ඊ. කාණ්ඩයේ 1000සී.සී. නිසාන් මාච් තරග ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්. - ඊ. 1300සී.සී. ෆොඩ් ලේසර් / මැස්ඩා තරග ඉසව්වෙන් දෙවැන්නා විය. එම ඉසව්වේ ජය හිමිවුයේ කොලිත එදිරිසිංහටයි. කේෂර මෝටර් රථ තරග ඉසව් දෙකක් නියෝජනය කළ අතර යතුරුපැදි තරග ඉසව් දෙකක්ද නියෝජනය කිරීම කමාන්ඩෝ තරගාවලියේ කැපීපෙනෙන සිද්ධියක් විය.

අශාන්, මල්ලික, උපුල්වන්, සකීර් හා කේසර මෝටර් රථ තරග ඉසව්වලින් ජයගෙන කමාන්ඩෝ වර්ණවත් කිරීමට සමත් වු අතර සනුක, දේශාන්, සමීර, මධුර, ඉවෝන්, ජාක් යතුරුපැදි තරග ඉසව් වලින් ජයගෙන අභියෝගාත්මත තරගාවලියකට නව ජවයක් එක් කළේය.

ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ ස්ථානයන් අනුව යමින් පෙරදින පුහුණු සැසිය නිමා කරමින් ධාවන පථයට පිවිසි එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) තරග කරුවන් පළමු තරගයට ඉතාමත් ජව සම්පන්නව මුහුණ දුන්නේය. වට 10කින් සමන්විත එම ඉසව්ව නිම වන තුරුම ප්‍රවීණ යතුරුපැදි ධාවක ඉන්දික ගුරුසිංහගේ පුත් ඉවෝන් බියාජී ගුරුසිංහ තම පරිනත අත්දැකීම් විදහාලමින් තරග කළ අතර ඔහුට ඉතා සමීපයෙන් ජාක් ගුණවර්ධන තරග කළේය. ජක්ට පසුපසින් සමීරත් සමීරට පසුපසින් ශානුක ජයනාත් තරග කළ අතර ඔවුන් අතර විටක දිගු පරතර ද විටෙක කෙටි පරතරද දිස් වුවත් කිසිවෙක් කිසිවිටෙක අතපසුවීම් නොකර දිගු පිමි කෙටි පිමි තරණය කරමින් තරග කළේය.නමුත් අවසන ඉවෝන් තම පරිණත අත්දැකීම් විදහාලමින් පලමු තරගය ජයගැනීමට සමත් විය. දෙවැන්නා ලෙස දිගු නිහැඩියාවකින් පසුව ධාවන පථයට පිවිසි ජාක් තරගය නිමා කළ අතර තෙවැන්නා වුයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ සමීර ප්‍රේමරත්නයි. රුමේෂ් බුල්ජන්ස් සිව්වැන්නා ලෙස තරගය නිමා කළ අතර ශානුක ජයනා සඳරුවන්ට හිමිවුයේ පස්වන ස්ථානයයි.

පෙරදින පුහුණු සැසියේදී සිදුවු අනතුර හේතුකොටගෙන ඉවෝන් බියාජී ගුරුසිංහගේ දකුණතට සිදුවී තිබූ ශාරීරික අබාධයද නොතකා තරග කරමින් පලමු තරගය ජයගැනිම ඉතාමත් පැසෑසිය යුතු කරුණකි. නමුත් දෙවන තරගයේදී තියුණු උපක්‍රමශීලී තරගයක නියැලෙමින් තරග කළ ජාක් ගුණවර්ධන ඉවෝන් සමග කරට කර සටනක් දුන්නේය. තරග වට 10කින් සමන් විත තරග ඉසව්වේ 9වැනි වටය තෙක් ඉවෝන්ගේ සමීපයේ තරග කරමින් කෙටි පරතරයක් තබාගනිමින් උපායශීලි උපක්‍රමයක් අනුගමනය කළ ජාක් අවසන් තත්පර කිහිපයේදී ඉවෝන් පසුකර යමින් ජය තහ වුරු කළේය. ජාක් වසරකට වැඩි කාලයක ධාවන පථයෙන් ඉවත්ව සිට නැවතත් පසුගිය ෆොක්ස්හිල් ධාවන පථයෙන් ධාවන පථයට පිවිසියේය. ප්‍රවීණ මෝටර්ක්‍රොස් ධාවකයෙකු වන ඩ්වේන් ගුණවර්ධනගේ පුතා වන ජාක් 2017වසර තෙක්ම ඉතාමත් හොඳ දක්ෂතා ප්‍රදර්ශණය කළ ධාවකයෙකි. ජාක් ජයගත් දෙවන ශූරතා තරග ඉසව්වෙන් ඉවෝන් දෙවැන්නා වු අතර සමීර තෙවැන්නා විය. ශානුක ජයනා සඳරුවන් සිව්වැන්නා වු අතර රුමේෂ්ට හිමිවුයේ පස්වන ස්ථානයයි.

තරගාවලියේ නීති රීති ප්‍රකාරව ශූරතා තරග ඉසව් දෙකෙන් ප්‍රසාද ලකුණු සම වීම හේතු කොට ගෙන දෙවන තරග ඉසව්වෙන් ජයගත් ජාක්ට කමාන්ඩෝ යතුරුපැදි ශූරතාව හිමි වුවත් ඉවෝන්ද සම ලකුණු ලබාගනිමින් පෑ දක්ෂතාවන් සුළුපටු නොවෙයි.

දිනයේ පළමු යතුරුපැදි තරග ඉසව්ව වු එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 125සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් මධුර පීරිස් ජයගත් අතර එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250 – 750සී.සී.(4ටී.)/ 125 – 500 සී.සී.(2ටී) මෝනෝ සිලින්ඩර් තරග ඉසව් දෙකෙන්ම ජයගැනීමට දේශාන් සොලංකී සමත් විය. ඉමල් මංචනායක පළමු තරගයෙන් දෙවැන්නා වු අතර දෙවන තරගයෙන් සචිර රාජකරුණා‍ දෙවැන්නා විය. පළමු තරගයෙන් සචිර රාජකරුණා තෙවැන්නා වු අතර දෙවන තරගයෙන් ඉමල් මංචනායක තෙවැන්නා විය.

එන්.කේ. ඉමාෂ ජේ. කාණ්ඩයේ එම්. එක්ස්. 50සී.සී. අවුරුදු 5 - 9 අතර තරග ඉසව්වෙන් හා ජේ. කාණ්ඩයේම එම්.එක්ස්. 50 – 65සී.සී. (2ටී.) අවුරුදු 7 – 10 අතර තරගයෙන්ද ජයගැනීමට සමත් විය.

ඉරෝෂ සුමණසේකරට ජේ. කාණ්ඩායේ එම්.එක්ස්. 65 - 85සී.සී.(2ටී) 12න් පහළ තරග ඉසව්වෙන් ජයගත් අතර කේසර ගොඩගේ ජේ. කාණ්ඩයේ එම්.එක්ස්. 65 - 85සී.සී. (2ටී.)/150සී.සී.(4‍ටී.) 15න් පහළ තරගයෙන් ජයගත්තේය. සානුක ජයනා සඳරුවන් එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. 175 - 250සී.සී.(4ටී.)/ 100 – 125සී.සී.(2ටී.) තරග ඉසව් දෙකෙන්ම ජයගත් අතර ඉවෝන් බියාජී ගුරුසිංහ තරග දෙකෙන්ම දෙවැන්නා විය. ළහිරු ජීවන්ත තරග දෙකෙන්ම තෙවැන්නා විය.

සමීර ප්‍රේමරත්න එම්.එක්ස්. රේසිං කාණ්ඩයේ රේසිං මෝටර් ක්‍රොස් යතුරුපැදි 100 – 125සී.සී. (2ටී) තරග ඉසව්වෙන් ජයගත් අතර ලහිරු ජීවන්ත දෙවැන්නා ද එම මිතුන් ජයසංඛ සිගේරා තෙවැන්නා ද විය. එම ඉසව්වේ පළමු දෙවන හා තෙවන ස්ථාන තුනටම හිමිකම් කීවේ යුද්ධ හමුදා කණ්ඩායමයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා සුපර් සීරීස් යතුරුපැදි ධාවකයා ලෙස විරුදාවලිය ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් බුද්ධික කසුන් සිල්වා කමාන්ඩෝ තරගාවලියේ පුහුණු සැසියේදී සිදු වු අනතුරෙන් බරපතල තුවාල හේතුකොට ගෙන රෝහල් ගත කළේය. තරගය ආරම්භ කල පසු දිනත් ඔහු සුවය නොලබා සිටිම නිසා කමාන්ඩෝ චැලේන්ජ් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය. බුද්ධික කසුන් සිටින්නට කමාන්ඩෝ චැලේන්ජ් මීට වඩා තීව්ර වනවාට කිසිදු සැකයක් නැත.

ඉතාමත් වේගවත් තරගාවලියක් නවමු අත්දැකීම් සමග නිමා කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) , ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රිඩා සමාජය (AMRC) හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ බලකාය සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකර තිබුණී. පසුගිය වසරට සාපේක්ෂව බරපතල නොවන අඩු අනතුරු සංඛ්‍යාවක් වාර්තා වීම කැපීපෙනුනි.

අදහස්