ඉතාලියේදී ලාංකි‍කයෝ ජය කෙහෙළි නංවති | සිළුමිණ

ඉතාලියේදී ලාංකි‍කයෝ ජය කෙහෙළි නංවති

ඉතාලි ජාතිකයන් සහ ඉතාලියේ වෙසෙන විදේශීය ජාතිකයන් අතර සුහදතාව වර්ධනය කිරීම ඉලක්ක කරගෙන දසවැනි වරටත් පැවැති විදේශීකයනගේ ක්‍රීඩා උ‍ෙලළේ මෙවර වැඩි දස්කම් ප්‍රදර්ශනය කිරීමට ලාංකිකයන් සමත්ව තිබේ. මෙකි ක්‍රීඩා උලළේ මූලික ඉලක්කය වී ඇත්තේ ඉතාලි ජාතිකයන් සහ ඉතාලියේ වෙසෙන වෙනත් ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමය.

ක්‍රිකට් සහ වොලිබෝල් තරගාවලියේ ශුරතාවන් සමග අනුශුරතාවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කළ කණ්ඩායම් ජය ගැනීම විශේෂත්වයකි. මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, අප්‍රිකානු කලාපයේ රටවල්, සහ දකුණු ඇමෙරිකානු කලාපයේ රටවල් නියෝජනය කරමින් ක්‍රිකට්, වොලිබෝල්, බාස්කට් බෝල් සහ පාපන්දු තරග සඳහා කණ්ඩායම ඉදිරිපත් වී තිබේ. ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ පැවැති මේ තරගාවලිය සඳහා නගර සභාව අනුග්‍රහය දක්වා තිබේ. සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ජාතිකයන්ගේ සමන්විත කණ්ඩායම් ඉදිරිපත් වී ඇති අතර එහිදී පාලිත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ලාංකේය කණ්ඩායම ශුරතාව දිනාගෙන ඇති අතර, අනුශුරතාව ඉන්දීය කණ්ඩායමට හිමි ව තිබේ. වොලිබෝල් තරගාවලියේ ශුරතාව ගයාන් මදුරප්පෙරුමගේ නායකත්වයෙන් යුත් ලාංකේයන්ගේ කණ්ඩායම ජය හිමි කර ගනිද්දි, එහි අනුශූරතාවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන‍්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට හිමිව තිබේ.

“පසුගිය වසරවල අඛණ්ඩව ක්‍රිකට් තරගවලි ජය ගැනීමට අපේ රට නියෝජනය කළ ක්‍රීඩකයන් සමත් වුණා. වොලිබෝල් තරගාවලියේ පසුගිය වසර දෙකම අපේ කණ්ඩායම් ජය ගත්තේ. ඉතිරි තරගාවලිවල ජය ඉන්දියාවට හිමි වුණා.“ මේ පිළිබඳ අදහස් දක්වමින් ජීවක වීරසිංහ පවසයි. ජීවක වැඩිදුරට‍ත් පැවැසුවේ “ඉතාලි ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ. අපේ ළමයි පවා ක්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව ගැන අව‍බෝධයක් ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා. පාපන්දු ක්‍රීඩාව තමයි ඔවුන්ගේ එකම ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන්නේ.“ ශ්‍රී ලංකා ජාතිකයන් ලක්ෂයකට වඩා නිත්‍යානුකූලව ඉතාලියේ ජීවත්වන අතර ඉතිරි පිරිස නීත්‍යනුකූල නොවන (අනවසරයෙන්) ආකාරයෙන් ඉතාලියේ දිවි ගෙවති.

Comments