ගීතයක අරුමය | සිළුමිණ

ගීතයක අරුමය

මද්‍රිදේවි මමයි හිමියනේ

පෙරුම් පුරනා බෝසතුන් නැති

අතු පැළට දුකිනේ

පලවැල ගෙනාවෙමි නොරටිනේ

කෝ කියාපන් දරු අනේ

මගෙ දරු අනේ

දෙගුරුන් ගුරුන් සිත් නොරිදවා

වෙසෙනා කලේ

මපුතු දන් දුන් හිමියනේ

මගෙ දහබිඳු ද මත් විස වුණේ

ඒ මත් වනේ වල් මත් වුණේ

වහන් වූ දා පිතු සෙනේ

දරු අනේ මගෙ

දරු අනේ

සියපත් ලෙසින් දරු රැක ගතිම්

මම නෙත් විලේ

දියණි දන් දුන් හිමියනේ

දරු සෙනේ කොතැනද වැළලුවේ

රොන් සුනු තැළී විසුරුණු දිනේ

මියැදුණේ කිම පිතු සෙනේ

පිතු සෙනේ

ගායනය - නිලක්ෂි හැලපිටිය

පද රචනය - මාලනි හෙට්ටිආරච්චි

සංගීතය - අමිත් ලියනගේ

දරුවන්ගේ ලෝකය සුන්දරය. ඒ සුන්දර දරුවන්ගේ ලෝකය අසුන්දර කරන්නේ වැඩිහිටියන් විසිනි. දරුවකුගේ ජීවිතය සාර්ථක වීමට නම් අම්මා තාත්තා දෙදෙනාම දරුවා ළඟ සිටිය යුතුය. නමුත් අද සමාජයේදී අපට හමුවන බොහෝ දරුවෝ විවිධ ගැටලුවලට මුහුණ පා සිටිති. දරුවන් සිටින ළමා නිවාස බොහෝය. මේ දරුවන් සමඟ කතා කිරීමේදි අපට දැන ගන්නට ලැබෙන්නේ එක්කෝ මව නැති බවය. නැත්තම් පියා නැති බවය; එහෙමත් නැත්නම් අම්මා තාත්තා දෙදෙනාම අහිමි බවය; ඇතැම් දරුවන් ගේ අම්මලා සිටින්නේ මැද පෙරදිගය. මව මැද පෙරදිග ගිය පවුල්වල දරුවන්ගේ ජීවිත සාර්ථක වූයේ නම් ඒ කලාතුරකිනි.

මැදපෙරදිග රටවල දහදුක් විඳින ශ්‍රී ලාංකික කාන්තාවන් සාර්ථක ජීවිත ගත කරන්නේ නම් එයද අල්ප වශයෙනි. පසුගිය දශක කිහිපය ගැන සිතා බලන විට මෙරටින් මැද පෙරදිග ගෘහ සේවයට ගිය පිරිස සුවිශාලය.

ඔවුන්ට විදෙස්ගත වන්නට සිදු වූයේ දහසකුත් ප්‍රශ්න නිසාය. ඇතැම් කාන්තාවන් විදෙස් ගතව ඇත්තේ බේබඳු සැමියාගෙන් ගැලවීමටය. ඇතැම් කාන්තාවක රට ගොස් ඇත්තේ දුප්පත්කම නිසාය. දරුවන් පෝෂණය කිරීමටය. නමුදු දුප්පත්කමත් බේබදු සැමියාගේ කරදරයත් නිසා රට ගිය කාන්තාවකට ජීවිතයේ සැනසිල්ලක් අත්විදින්නට ලැබුනේ නම් ඒ කලාතුරකිනි. ඇතැම් විට දරුවන්ගේ අවුල් වූ ජීවිත සමඟ ඇයට සිදු වුයේ පඹගාලක පැටලීමටය. අම්මා නැති නිවසේ තනිවුණ දරුවන් හැදෙන්නේ ඒ අයට ඕනෑ විදිහටය. බීමට ඇබ්බැහි වුණ තාත්තා දරුවන් ගැන සොයන්නේ බලන්නේ නැත. දරුවන්ගේ ජීවිත වැනසුන විට ඒ දුක ද දරන්නට වෙන්නේ නොරටදි දුක් විදි අම්මාටම ය. එවන් වූ අම්මලාගේ හද කැකෑරෙන දුක පද පෙළකට ලියුවේ ඇයයි. ඇය මාලනී හෙට්ටිආරච්චි ය. මාලනී ලියූ ගීතය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පිනියක වන නිලක්ෂි හැලපිටිය විසිනි. මේ පද පෙළට වඩාත් ආලෝකයක් ලැබෙන්නේ ඇගේ හඩ පෞරුෂයත්, අමිත් ලියනගේ ගේ තනු නිර්මාණයත් සම්මිශ්‍රණය වීමෙනි.

“අපිට මතක ඇති කාලයේ ඉඳලා අපේ රටේ කාන්තාවෝ විදේශ ගතවෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල ගෘහ සේවයට යනවා. මේ ගිය අයගෙන් ඇතැම් දෙනා ඒ රටවලදි බොහෝ කරදරවලට ලක්වෙනවා. ඇතැම් අය එහෙත් දුක් විඳිනවා, ලංකවේ සිටින තම දරුවෝ ගැන සිතින් විඳවනවා. මේ තත්ත්වය උදාවෙන්නේ දරුවෝ කාගෙ ළඟ හරි දාලා ගියාම. සමහරු යන්නේ දරුවන්ව තමන්ගේ අම්මාට එහෙමත් නැත්නම් ඥාතියෙක්ට බාරදී එක්කෝ තාත්තාට දීලා. එහෙම විදෙස් ගතවුණ අම්මලාට මම හිතන්නේ නැහැ එක මොහොතක් හෝ සැනසිල්ලේ ඉන්න ඇති කියලා. මම දැක්ක ඛේදවාචකය තමයි මගේ අතින් ලියැවුණේ. අම්මලා ලංකාවට එනකොට දරුවෝ අයාලේ ගිහිල්ලා. ඒක අම්මා කෙනෙකුට දරා ගන්නට අමාරුයි. මගේ හිත සසල කරපු දේ තමයි මගේ හිතේ වේදනාව තමයි මේ විදිහට ලියැවුණේ.“

පද රචිකා මාලනී පවසන්නේ තම අත්දැකීම් ගීයක් වූ ආකාරයයි.

අම්මලා විදෙස්ගත වීම නිසා දරුවන් අයාලේ යෑම අද සමාජයේ සුලබ සිදුවීම්ය. නමුදු ගී පද රචිකාව මීට ගළපන්නේ වෙස්සන්තර ජාතක කතාවයි. මන්ද්‍රි දේවිය කැලේ පලවැල නෙළන්නට ගිය විට වෙස්සන්තර රජු දරු දන් දෙන්නේ බුදුබව පතාගෙනයි. එහෙත් කුටුම්බය රැක ගැනීමට, දරුවන් පෝෂණය කිරීමට විදෙස්ගත වූ මව එන්නට පෙර පියා දරු දන් දෙන්නේ මේ බිහිසුණු සමාජයටයි. සමාජයේ කෘර බව විසින් බිලිගත් දරුවන් සොයා ඈ හඩා වැලපෙන්නීය. මේ අපේ රටේ විදෙස් ගතවන අම්මලාට විදින්නට සිදුව ඇති ඛේදවාචකයයි.

Comments