ලෝක නෙට්බෝල් කිරුළේ යෝධ තර්ජනය | සිළුමිණ

ලෝක නෙට්බෝල් කිරුළේ යෝධ තර්ජනය

අත්දැකීම් නැතිව බෑ

ට්‍රික්සි නානායක්කාර

හිටපු සභාපතිනි / කළමනාකාරිනී

 

අපි කණ්ඩායමක් විදියට ලොකු ටාගට් එකක් තියා ගෙන ලෝක කුසලාන තරගාවලියට ගියේ. අපිට තිබුණු මූලික ඉලක්කය වුණේ ලෝකයේ පළමු 10 දෙනා අතරට එන එක. ඒත් ලෝකයේ හොඳම කණ්ඩායම් 16 එක්ක ක්‍රීඩා කරන කොට තමයි අපිට අපේ අඩුපාඩු පෙනෙන්නේ. ලෝකය එක්ක තරග කරන කොට අපට තව තවත් අන්තර්ජාතික වශයෙන් තරග අත්දැකීම් ඕනෑ කියලා තේරුණා.

මේ තරගාවලියට යන්න කලින් අපි සැලසුම් කළ විදියට සහ පුහුණුකාරියගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න උත්සහ කළා. විදේශ තරග සංචාර, පුහුණු තරග සියල්ල ලබා දුන්නා. හැබැයි අපිට ලෝකය එක්ක තරග කරන්න නම් ඔවුන්ගෙන්ම ඉගෙන ගන්න වෙනවා. ඒ සඳහා තරග කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ.

2009 ට පස්සේ ආසියානු ශූරතාව දිනාගෙන තමයි ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14ට ආවේ. 14ට ආවාම තමයි අපි 10 ටාගට් කරන්නේ. මේ තරගාවලියේදි අපි දැක්ක මූලිකම දේ තමයි හුඟක් කණ්ඩායම් සීඝ්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. අපි සහ සිංගප්පූරුව තවමත් ආසියානු මට්ටමින් එළියට යන්න ඕනෑ. එහෙම එළියට යන්නේ නැතුව ලෝකය එක්ක අපට ඉදිරියට යන්න අමාරුයි. ආසියානු මට්ටමේ අපි උපරිම තැනක ඉන්න නිසා තමයි මේ තරගාවලි‍ෙය් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩිකාව විදියට ‍තර්ජනි ඉදිරියට එන්නේ. 2009 අපි ලෝකයේ 14 වැනියා. 2017 වන කොට 27 වැනියා දක්වා පසුබසිනවා. අපි ආසියානු ශූරතාව දිනාගෙන තමයි ආයෙත් ආසියාවේ එක වෙලා, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ.

------------------------

එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති ක්‍රිකට් ලෝක කුසලානය නවසීලන්තයෙන් ගිලිහෙන විට, එංගලන්තයේ ම සත්කාරකත්වයෙන් ම පැවැති නෙට්බෝල් ලෝක කුසලානය සිය රට ගෙන යාමට නවසීලන්තයට හැකිවිය. නවසීලන්තය මෙවර නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගත්තේ 2003 ට එනම් වසර 16කට පසුව වීමද විශේෂත්වයකි. තියුණු තරගයක් අවසානයේ 52-51ක් ලෙස ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කළ නවසීලන්තය නෙට්බෝල් කිරුළ සිය රට ගෙන යෑමට සමත්විය.

1963 දක්වා දිවෙන නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව 11 වතාවක් කිරුළ දිනාගෙන ඇති අතර, නවසීලන්තය පස් වතාවක් නෙට්බෝල් කිරුළ දිනා ගෙන තිබේ. මෙවර ලෝක නෙට්බෝල් කිරුළ නවසීලන්තය (රන් පදක්කම), ඔස්ට්‍රේලියාව අනුශූරතාව (රිදී පදක්කම) සහ සත්කාරක එංගලන්තයට තෙවැනි ස්ථානය (ලෝකඩ පදක්කම) හිමිවිය. මෙවර තරගාවලියට රටවල් 16ක් එක්වූ අතර ශ්‍රී ලංකාවට 15 වැනි ස්ථානය සහ 16 වැනි ස්ථානය සිංගප්පූරුවට හිමිවිය. මේ අනුව ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.

නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී මෙවර ප්‍රථම වරට වැඩිම ගෝල් ලාභිනිය තෝරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ තර්ජිනි ශිවලිංගම් තරගාවලියේ වැඩි ම ගෝල් ලාභිනිය වූයේ තරග 7කදී ගෝල් 348ක් රැස් කරමින්ය. මූලික වටයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේදී ශ්‍රී ලංකාවට 79 - 49ක පරාජයක් හිමි විය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ගෝල් 49න් 44ක්ම රැස් කළේ තර්ජිනීය. එහිදී තර්ජිනී උත්සාහක අවස්ථා 45න් 44ක්ම සාර්ථක කර ගැනීමට සමත් වූවාය. අයර්ලන්තය සමඟ පැවැති තරගයෙන් ද ශ්‍රී ලංකාවට 67 - 50ක පරාජයකි. ශ්‍රී ලංකාව රැස් කළ ගෝල් 50න් 47ක්ම රැස් කළේ තර්ජිනීය. එහිදී උත්සාහක අවස්ථා 52කදි 47ක්ම සාර්ථක ‍කර ගැනීමට තර්ජිනී සමත් වූවාය.

ඔස්ට්‍රේලියාව හමුවේද ශ්‍රී ලංකාවට 94 - 24ක පරාජයකි. එකී තරගයේදි උත්සාහක අවස්ථා 19න් 16ක් ම සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය.

පරාජිතයන් අතර කාණ්ඩයේදී එනම් ඊ කොටසින් තරග කළ ශ්‍රී ලංකාව එහිදී සිංගප්පූරුව හමුවේ 88-50ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම තරගයේදී උත්සාහක අවස්ථා 78න් 76ක් සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය. සැමෝවා හමුවේද ශ්‍රී ලංකාවට හිමි වූයේ පරාජයකි. ඒ ගෝල් 65-55ක් ලෙසය. මෙම තරගයේදි උත්සාහක අවස්ථා 58කින් 52ක්ම සාර්ථක කර ගැනීමට තර්ජිනී සමත් වූවාය. ෆීජි හමුවේද ශ්‍රී ලංකාව 59-44ක් ලෙස පරාජය වූ අතර, තර්ජිනී එහිදී උත්සාහක අවස්ථා 39න් 36ක් සාර්ථක කර ගැනීමට සමත් වූවාය. අවසානයේ පැවැති සමස්ත තරගාවලියේ ස්ථාන තෝරා ගැනීමේ (ශ්‍රේණිගත තරගාවලියේ) තරග වටයේදි සිංගප්පූරුව 78-57ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තීරණාත්මක තරගයේදී ද සාර්ථකව පෙරමුණට පැමිණි තර්ජිනී උත්සාහක අවස්ථා 84කින් 77ක් සාර්ථක කර ගැනීමට සමත් වූවාය. මේ අනුව ශ්‍රී ලංකාව තරග කළ තරග 7දී තර්ජිනී ශිවලිංගම් ඉදිරියේ සටහන් වූ ගෝල් සංඛ්‍යාව 348කි. ඒ උත්සාහක අවස්ථා 375කින්ය. ශ්‍රී ලංකාව තරග 7දී ගෝල් 388ක් වාර්තා කර ගත් අතර ඉන් ගෝල් 348ක් ම තර්ජනිගේ නම ඉදිරියේ සටහන්වීම ද විශේෂත්වයකි.

සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැති එකළොස්වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ වසර නවයකට පසුවය.

"ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැගී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93% ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි."

2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ගැන අන්තර්ජාතික විස්තර විචාරකයන් අදහස් දක්වා තිබුණේ එලෙසිනි. තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් වී තිබුණි.

"සෙන්ටිමීටර 208ක් උසැති ලාංකේය 'ෂූටර්' ආසියානු ශූරතාව සහ හොංකොං අතර තරගයේ බාධකයක් ලෙස නැගී සිටියා," යැයි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීම ගැන ‘සවුත් චයිනා මොර්නින්ග් පෝස්ට්‘ පුවත්පත වාර්තා කර තිබිණි.

තර්ජිනී ශිවලිංගම් අන්තර්ජාතික තරග බිමේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකේ. උස අඩි 6 අඟල් 10 කි. අන්තර්ජාතිකව තරග නොකළ උසම ක්‍රීඩිකාව ජැමෙයිකාවේ මාර්වාඩේන් ඇන්ඩර්සන්ය. උස අඩි 6 අඟල් 11 1/2 කි. උසට අමතරව සාර්ථකව ගෝල විදීමට ඇති හැකියාව තර්ජිනීගේ සාර්ථකත්වයට හේතු වී තිබේ. මෙවර තරගාවලියේ දී ඇය ගෝල විදීමේදී 93%ක සාර්ථකත්වයක් පෙන්නුම ්කර තිබිණි.

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම් සහගතව ක්‍රීඩාකළ අතර තර්ජිනී වෙත පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේ ද ඇගයීමට ලක්විය.

ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන හ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් වසර නවයකට පසු සිය ප්‍රබලම ප්‍රතිවාදියා වූ සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

2012, 2014, 2016 වසර වලදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියන්හිදී ශ්‍රී ලංකාවට හිමිවුයේ අනුශූරතාවයි. ඒ සිංගප්පූරුව හමුවේය.

මෑත යුගයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩිකාව වනුයේ තර්ජිනි ශිවලිංගම්ය. එසේ වුවත් දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමඟ හටගත් ගැටලු මත ඇය 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වූවාය. ඊට පසුව ඇය මේ තරගාවලිය වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැත.

එකී කාලය තුළදී ඇය සිය රැකියාව කරනු ලබන සෙලාන් බැංකුව නියෝජනය කරමින් වෙළෙඳසේවා දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූවාය. එමෙන්ම සුපුරුදු පරිදි දස්කම් ද දැක්වූවාය. ආසියානු ශූරතාවලිය අවසානයේ තර්ජිනි ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව ගියාය.

තර්ජිනි පසුගිය වසරේද කැන්ගරු දේශයට ගියේ මාස හයක කාලයක් සඳහාය. එම කාලය තුළදී ඇය වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර සිටි වෙස්ට් ෆෝල්කන්ස් කණ්ඩායම නියෝජනය කිරීමටය. එමෙන්ම ශාන්ත ඇල්බන්ස් දැල්පන්දු සමාජයටත් ක්‍රීඩා කළ අතර දැල්පන්දු ක්‍රීඩාවට අදාළව විශේෂ පුහුණුවක් ද ලැබුවාය.

ඔස්ට්‍රෙලියාව යනු ලෝක දැල්පන්දු ශූරතා 11 ක්ම හිමිකර ගත් අන්තර්ජාතික දැල්පන්දු ක්‍රීඩාවේ සුපිරිතම රටය. එවැනි රටක තරගාවලියකට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට අවස්ථාවක් ලැබීම අතිදුලබ එමෙන්ම අතිසුවිශේෂි සිදුවීමකි..

"මම මේ අවස්ථාවේදී මගේ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස සහ කළමනාකරු වන ගෝබිනාත්ටත් මට උදව් කළ අනෙක් අයටත් ස්තූතිවන්ත වෙනවා. මේ මාස හයක කාලයෙන් පසුව මම නැවතත් මගේ මවුබිමට එනවා. ඊට පසුව ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවට උදව් කරන්න සූදානම්" තර්ජිනි පසුගිය වසරේ ඔස්ට්‍රෙලියානු ගමනට පෙර පැවැසුවාය.

ඔස්ට්‍රෙලියාවේ දී තර්ජිනි ක්‍රීඩා කළේ නිකොල් රිචඩ්සන්ගේ අධීක්ෂණය යටතේය. නිකොල් යනු ඔස්ට්‍රෙලියාව නියෝජනය කළ දුලබ ක්‍රීඩිකාවකි. 1970 ජුනි මස 26 වැනිදා ඇය උපත ලැබුවාය. නිකොල් 1999 සිට 2003 දක්වා අන්තර්ජාතිකව දැල්පන්දු ක්‍රීඩා කළාය. 2002 වසරේ පොදු රාජ්යව මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවකි. එමෙන්ම ඇය 1996 අමෙරිකාවේ පැවැති ඇට්ලන්ටා ඔලිම්පික් උලළේ සැහැල්ලු පන්දු (බේස්බෝල් ක්‍රීඩාවට අදාළ තවත් ක්‍රීඩාවක්) ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත් කණ්ඩායමටත් ක්‍රීඩා කළාය.

දශක තුනක් තිස්සේ දිවගිය ශාපලත් යුද ගිනිදැල් මැද යාපනයේ පුන්නලායිකට්ටුවාන් ප්‍රදේශයේ දී තර්ජිනි උපත ලැබුවාය. ඒ 2003 වසරයි. යාපනය දැල් පන්දු කණ්ඩායමක් නියෝජනය කරමින් මඩකලපුවේ පැවැති තරගයකට පැමිණි ගමන තර්ජිනිගේ ක්‍රීඩා දිවිය මෙතරම් දුර රැගෙන යාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත.

තර්ජිනි සිය උස ප්‍රයෝජනයට ගනිමින් දැල්පන්දු ක්‍රීඩාවේ නියැළුණා මිස ක්‍රීඩාව ප්‍රගුණ කර නොතිබුණි. කොටින් ම පාවහන් යුගළක් පැළැඳ ක්‍රීඩා කිරීමද තර්ජිනිට නුහුරු අත්දැකීමක් විය. මේ සියල්ල වෙනස් වන්නේ 2005 දී ගෙන්දගම් පො‍ෙළා‍වට පය ගැසීමත් සමඟමය. එහෙත් එකී මඟෙහි මල් විසිරි නොතිබුණි. නුහුරු නුපුරුදු ගෙන්දම් පොළොවේ සියලුම අත්දැකීම්ද එක මිටකට තර්ජිනි ගොනුකර ගත්තාය. අදට ද එහි වෙනසක් නැත. අදටත් නේවාසිකව දිවි ගෙවන තර්ජිනි ඇගේ ආරෝහ පරිණාහ දේහය මේ ගෙවෙන දිවියට සම්පූර්ණයෙන් වදයක් වුවද ඒ සියල්ල ලාංකේය නාමය ඉදිරියේ විඳදරා ගැනීමට සූදානම්ය.

"මගේ මවුබිම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ නිසා තමයි." ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇය නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. 2005 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතිකව ක්‍රීඩා කළාය. ඇය ක්‍රීඩා කළේ ගෝල් විදින්නියක් (ගෝල් ෂූටර්) ලෙසටයි.

සිය උසත් ක්‍රීඩා හැකියාවත් මනාව ප්‍රයෝජනයට ගනිමින් තර්ජිනි ගත වූ කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය. 2009 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඇය ක්‍රීඩා කළාය. ඇගේ දක්ෂතාව කෙතරම් ද යත් 2005, 09 සහ 2012 වසරවල ආසියාවේ දක්ෂතම විදින්නිය ලෙසටත් තේරුණාය. එමෙන්ම 2011 ලෝක දැල්පන්දු ශූරතාවලියේදී දක්ෂතම විදින්නිය වූයේත් තර්ජිනිමය. එමෙන්ම ඇය ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වයටත් පත් වූවාය.

විශේෂයෙන්ම 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දරුවෙ තර්ජිනී ශිවලිංගම් විසිනි. 2009 ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද තිලකා ජිනදාසය. ඉන්පසු ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ ඇතිවූ ගැටලු හේතුවෙන් විදේශගත වූ ඇය, බෘනායිහි දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස වසර හතක් සේවය කළාය. ඇය බෘනායි දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කළ වසර හත තුළ එම කණ්ඩායමේ ෂීග්‍ර වර්ධනයක් දැකිය හැකි විය. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තිලකා ජිනදාස ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට යළි පැමිණියේ බෘනායිහි ඇයට ලැබුණු විශාල වැටුප පවා කැපකිරීමෙන් බවය.

"සමහර අය හිතනවා, අව්වේ හිටියම, බොහෝ කණ්ඩායම් පුහුණු කළාම ඒ අය පුහුණුකරුවෝ කියලා. ඒක නෙවෙයි වෙන්න ඕනෑ දැනුම යාවත්කාලින කරගන්න ඕන සහ හරියට තේරුම් ගන්න ඕන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියලා. තිලකා ජිනදාස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස පත්වීමෙන් පසු එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටි තර්ජිනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවෝ නැවත කණ්ඩායමට සම්බන්ධ වූහ.

Comments