හදේ හිටියත් අතින් අල්ලන් ඔබ මා ළඟ නෑ තනිවම මං විතරයි | සිළුමිණ

හදේ හිටියත් අතින් අල්ලන් ඔබ මා ළඟ නෑ තනිවම මං විතරයි

අත් අල්ලා - අපි දිව්වා මේ පාරේ

ඉඳගත්තා - ගස් සෙවණේ අද වාගේ

මම කිව්වා - නවතින්නැයි මගේ බාරේ

අත ගත්තා - ඔබ මාගේ කරමින් අගේ

අපි තාමත් තරුණයි - වෙනදා වගේ

ඔබේ සිත තාමත් තරුණයි

මගෙ සිත තාමත් තරුණයි

අපෙ සිත් තාමත් තරුණයි - වෙනදා වගේ

අපි උන්නා - ළං වීලා වැහිදාක

දැනුණේ නෑ - ඒ හැඟුමන් පෙරදාක

නැති වුන්නෑ ඒ හැඟුමන් කිසිදාක

යළි අත් අල්ලන් දිව යන්නේ කවදාක

එක එක පාට මල් පිරුණු - පාරක් නෑ

අපි දෙන්නාට හෙවණක් දුන් - ගසකුත් නෑ

මතකේ මෙන් ජීවිතයේ - සුවඳක් නෑ

හදේ හිටියත් අතින් අල්ලන්

ඔබ මා ළඟ නෑ

තනිවම මං විතරයි

පද රචනය සහ ගායනය - ආයුෂ් මනාකිල්

සංගීතය - දුනුදෙව් චාග එදිරිසිංහ

 

“කවදහරි ඔයාට කලින් මම මැරෙන්න ඕන” අම්මා තාත්තාට එසේ කියා ඇත්තේ ඔවුන් විවාහ වූ අලුතය. තාත්තා ද ඇයට එසේම කියා ඇත. දරුවන් දීග ගිය පසු නිවෙසේ වූයේ අම්මා තාත්තා හා මා පමණි. මා ද රැකියාවට ගිය පසු ඔවුන් පමණක් නිවෙසේ ඉතිරි විය. මල් වැවීම දෙදෙනාගේම විනෝදය විය. ඉතිරි කාලය ගෙවුණේ නවකතා කියවීමට, ගුවන් විදුලිය ඇසීමට ය. වයසට යන්නට යන්නට අම්මා මුල් කාලයේ තාත්තාට කියූ අදහස වෙනස් කර ගත්තාය.

“මට කලින් තාත්තා මැරෙන්න ඕන.”

අම්මා දිනෙක දුක්බර හඬින් කීවාය.

“ඇයි?”

“මම නැති වුණාම තාත්තාට පාළුව දරා ගන්න බැරි වේවි. තාත්තා කා එක්කවත් වැඩිය නැහැනේ.”

අම්මා වැඩිදුරටත් එසේ පැහැදිලි කරන්නට විය. කාලය ගෙවි ගියේය. අම්මා ප්‍රාර්ථනා කළ ලෙසම තාත්තා අම්මාට පෙර මිය ගියේය. අම්මා සියල්ල දරා සිටින්නට විය.

ඒ වන විට ඇය හැත්තෑ හතර වැනි වියේය. අම්මා විටෙක සාලයේ ඇති තාත්තාගේ ඡායාරූපය දෙස බොහෝ වේලා බලා සිටින්නීය. තවත් විටෙක තාත්තා විසින් දිය පොහොර යොදා උදේ සවස අතපත ගා සෑදු මල් ගස් දෙස බලා හිඳී. තවත් විටෙක ඇය නවකතා පොතක් අතට ගෙන බලයි. අම්මා දවස ගෙවූයේ එසේය. “මට තාත්තා මතක් වුණා. තාත්තා ඒ කාලේ මෙහෙමයි,,, අම්මා තාත්තා පිළිබඳ බොහෝ අතීත කතා කියන්නට විය. ඇය ජීවත් වුයේ තාත්තාගේ මතකය සමඟය. ඔවුන්ගේ තරුණවිය සමඟය. ඔවුන්ගේ ජීවිත හරි අපූරුය. නමුදු තාත්තාගේ මරණයෙන් පසුව අම්මා හු‍ෙදකලා වූ සේය. ඒ මගේ අම්මාය.

මා දන්නා තවත් අම්මා කෙනෙක් හිඳී. දැන් වයෝ වෘද්ධය. නමුදු ගෙවෙන හැම තත්පරයකම ඇය සිහි කරන්නේ සිය සැමියා සමඟ ගෙවූ දවස්ය. ජීවිතේ දුක සතුට සම සිතින් විද ගන්නා ඇය ජීවත් වන්නේ අතීත මතකයන් සමඟය. දරුවන්, දරුවන්ගේ දරුවන් සිටිය ද ඇයගේ මතකයේ සිටින්නේ ඔහුය. ඔහු මිය ගියේ ඈ තරුණ වියේදීමය. දරුවන් හදාවඩා ගත්තේ ඇගේ ධෛර්යයෙනි. ලෙඩ ඇඳේ සිටිය ද ඇගේ මතකයේ සිටින්නේ ඉස්සර ඔහු හා ගිය ගමන් බිමන්, කළ කතා බහ ගැන අද ද ඇය අප හා පවසන්නේ සතුටිනි. ඒ වියපත් දෑස අතීත මතකයන් හමුවේ ප්‍රභාවත් වන අයූරු අපූරු ය. මේ විශ්වයේ ගැහැනුන්ගේ පිරිමින්ගේ සබඳතාව බොහෝ අපූරුය. කවුරුන් කෙසේ කීව ද මානසිකව ඇති වන බැඳිම් කායිකව ඇති වූ බැදිම්වලට වඩා දැඩිය. ඔවුහු ජීවත් වන්නේ සිය හදවත්වල බැඳිමෙනි. වසර ගණන් එක්ව හිඳ එකිනෙකා වෙන් වන්නට ආසන්න යැයි දැනෙන විට ඔවුන්ගේ සිත්වල ඇතිවන හැඟිම් කෙබඳුදැයි මා විඳ ඇත. ඒ විඳවීමම ඔවුන් ආසන්නයේ සිටි අප සිත්වලට ද තදින් දැනී ඇත. තාත්තාගේ වියෝවෙන් පසු අම්මා ජීවිතයට මුහුණ දුන් ආකාරය දැනුදු මැවි පෙනෙයි. ඒ නිසාම මේ ගීතය ඇසුණු මොහොතේ හිත මොහොතකට නතර විණි. මට ජීවිතයේ සැඳෑ සමයේ තනිව දිවිගෙවන අතරේ තම යෞවන විය සිහිකරමින් දවස ගෙවා දමන අපමණක් වූ ගැහැනුන් පිරිමින්ගේ ජීවත යළි යළිත් සිහිපත් විය.

ගීතය ලියා තිබුණේ නව පරපුරේ තරුණ නිර්මාණ ශිල්පියෙකි. ඔහු ආයූෂ් මනාකිල්. සිය සොහොයුරා වූ දුනුදෙව් චාග එදිරිසිංහ විසින් තනු නිර්මාණය කරන ලද ගීතය ගයන්නේ ආයූෂ් විසින්මයි. මේ ගීතය පිළිබඳ කළ විමසුමකදි ආයූෂ් පවසන්නේ මෙවැනි කතාවක්.

“දවසක් මම UP animation එක බැලුවා. ඒ මහල්ලන් දෙන්නගේ නිහඬ ආදරය මම දැක්කා. ඔවුන්ගේ ආදර කතාවේ දෙබස් නෑ. ඒ වෙනුවට කතා කළේ ඔවුන්ගේ සුන්දර මතකයන් පමණයි. එක්වීම එකවිටම සිදුවුණත් දවසක වෙන්වීමේදී කවුරුන් හෝ ඉස්සර වෙනවා. කෙනෙක් තනි වෙනවා; තනිවෙන්නේ මතකයන් සමගයි. මෙතෙක් සුන්දරත්වය පමණක් ගෙනදුන් මතක දැන් සුන්දරත්වය සමඟ හදවත කකියවනවා. සමහර වෙලාවක මම පාරේ ඇවිදගෙන යනකොට එක් පසෙකින් මහලු යුවළකුත් තවත් විටෙක තරුණ යුවළකුත් ගමන් කරනවා. එක්වීමත් වෙන්වීමත් අතර ඇති හැඟීම් මැද මම තනි වුණා. ඒ හැඟීම් ගෙන ආ තනුව වචන සමඟ ගීතයක් වුණේ එලෙසයි. චින්ගීස් අයිත්මාතොව්, පාවුලෝ කොයියෝ, හෙන්රික් ඉබ්සන් වැනි කතුවරුන්ගේ පොත්වල පපුවට දැනෙන ලෙස ආදරය සහ දුක, විරහව ගැන කරන ලද පිළිබිඹුව සමහර විට මගේ හදවත තුළ දනවන දේත් මේ ගීතයට බලපෑවා වෙන්න පුළුවන්.,,

Comments