කණ්ඩායම් සංගීත කලාවේ ආදරණීය රිද්මය මහරගම යූ-ටර්න් | Page 2 | සිළුමිණ

කණ්ඩායම් සංගීත කලාවේ ආදරණීය රිද්මය මහරගම යූ-ටර්න්

අපේ රටේ කණ්ඩායම් සංගීත කේෂ්ත්‍රයට මහරගම නියෝජනය කරමින් එක්වුණ යූ-ටර්න් සංගීත කණ්ඩායම මෙවර BAND OF THE WEEK සමඟ කතා බහට එක්විණි. එහි නායක දමින්ද තිලකරත්න ඔවුන් ආ ගමන් මග ගැන මෙලෙස කතාබහක නියැළිණි.

ඔබ කවුද ?

මම යූ ටර්න් සංගීත කණ්ඩායමේ නායක දමින්ද තිලකරත්න

පාසල් ගියේ?

මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලයට

සංගීතයට යොමුවෙන්නේ?

පාසල් කාලයේදී තමයි මුලින්ම සංගීතයට යොමු වුණේ.

ඒ එක්කම උසස් පෙළ විෂයයක් විදිහට සංගීතය හැදෑරුවා

ඔබේ දක්ෂතාව තිබුණේ ගායනයටද? වාදනයටද ?

මගේ හැකියාව තිබුණේ ගායන අංශයට. එය සංසාරෙන් ආව දෙයක් කියල තමයි මම විශ්වාස කරන්නේ.

එතකොට වැඩිදුර සංගීතය හැදෑරීමක් කළාද?

පසලේදී ඉගෙන ගත්ත දේට එහා දෙයක් වෙන තැනකට ගිහින් ඉගෙන ගත්තේ නැහැ. ඒකයි මම කිව්වේ මෙය මට සහජයෙන් ලැබුණු දක්ෂතාවක් කියලා.

කණ්ඩායම් සංගීතයට යොමු වුණේ කොහොමද ?

පුංචි කාලේ ඉඳලා ආසාවක් තිබුණා ලොකු වුණාම සංගීත කණ්ඩායමක වැඩ කරන්න ඕනෑ කියලා. ඒ දේ පාසලෙන් ඉවත් වෙන කොට තදබල ලෙස දැනෙන්න ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට මාදිවෙල ගමේ තිබුණ සංගීත කණ්ඩායම් එක්ක එකතු වුණා.

ඒ කියන්නේ ඔබ දිගටම ඒ සංගීත කණ්ඩායමත් එක්ක ම වැඩ කළා?

නැහැ. මම ඉන් පස්සේ සංගීත කණ්ඩායම් හතරක විතර වැඩ කළා.

කිහිපයක වැඩ කලා කියන්නේ ඔබට එක තැනක වැඩි කාලයක් ඉන්න බැහැ කියන එකද?

ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. කොහොමත් එක තැනක දිගට වැඩ කරගෙන යද්දි විවිධ මත ගැටුම් එනවා. එහෙම තැනදි කිසි ප්‍රශ්නයක් ඇති නොකරගෙන සුහදව ඉවත් වෙන එක තමයි හොඳම දේ කියලා හිතුවා.

ඔබේම සංගීත කණ්ඩායමක් ආරම්භ වන්නේ කොහොමද?

මුලින්ම පටන් ගත්තේ ‘බාලස්ටස්‘ නමින්. ඒ නම වගේම සංගීත කණ්ඩායම පටන් ගන්න මූලික වුණේ රුවන් බණ්ඩාර මහත්මයා. එය කාලයක් හොඳින් කරගෙන ගියා. එහෙත් මගේ පෞද්ගලික හේතුවක් නිසා සංගීත කණ්ඩායම නතර කරලා දැම්මා.

ඔබේ වෘත්තිය සංගීතය නොවෙයිද?

නැහැ. මම බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ තමයි සේවය කරන්නේ. ඒ අතර තමයි සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යන්නේ. ඇත්තටම සංගීතයෙන් ලැබෙන තෘප්තිය නිසා තමයි ඒ පැත්තට යොමු වුණේ.

වෘත්තියට බාධාවක් නොවී සංගීතයට වේලාව යොදා ගන්නේ කොහොමද?

බොහෝ සංගීත සන්දර්ශන තිබෙන්නේ රාත්‍රී කාලයේ. මම කිසිම වෙලාවක මගේ රාජකාරියට ඉන් බාධාවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අපේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉඳලා සියලු දෙනා මට සහයෝගය ලබාදෙනවා. මම විතරක් නොවෙයි මගේ කණ්ඩායමේ අනෙක් සමාජිකයන් පවා වෙනත් රැකියාවල නිරත වෙලා ඉන්න ගමන් තමයි මෙහි වැඩ කරන්නේ.

කියමු බලන්න සංගීත කණ්ඩායම හැඩ කරන අනෙක් සාමාජිකයන් ගැන?

කී බෝඩ්- දිනේෂ් ගොඩවත්තගේ, ඔක්ටපෑඩ්- ගිහාන් උදයංග, ඩ්‍රම්ස්- හසිඳු මධුසංක, ලීඩ් ගිටාර්- අමිල ප්‍රසාද්, රිදම් ගිටාර්- සමන්ත පෙරේරා, බේස් ගිටාර්- ජානක හෙට්ටිආරච්චි, ගායනයෙන්- රෝෂාන් දි කොස්තා, කසුන් කෞශල්‍ය කටයුතු කරනවා.

යම් මොහොතක ඔබේ සාමාජිකයන් කිහිප දෙනෙක් ඉවත් වුණොත් සංගීත කණ්ඩායමට මොකද වෙන්නේ?

එහෙම වුණ අවස්ථා තිබුණා. ඒ කියලා මම කිසිම වෙලාවක කණ්ඩායම කඩා වැටෙන්න දෙන්නේ නැහැ. ගිය අයට වඩා හොඳ දක්ෂ අය අරගෙන කරගෙන යනවා.

සංගීත කණ්ඩායම නතර කරල දාන්න ඕන කියලා යම් වෙලාවක හිතුණොත්?

අනන්තවත් එහෙම හිතුණා. ඒත් ඒ සිතුවිල්ල තත්ත්පර ගානයි තියෙන්නේ. ඒ එක්කම ඒ සිතුවිල්ල නැති වෙලා යනවා. මම හිතන්නේ ඒ මේ කලාවට තිබෙන ආදරේ නිසා වෙන්න ඇති.

මේ දුර එන්න කවුරුද අත හිත දුන්නේ?

මනෝජ් වල්පොල මතක් කරන්න ඕන. ඔහු මේ සංගීත කණ්ඩායම කරගෙන යන්න සෑම අතින්ම සහයෝගය ලබාදුන්නා. ඒ වගේම නම් ගම් නොකියපු ගොඩක් අය ඉන්නවා. එක්කෙනෙක්ගේ නමක් අතහැරුණොත් එය ඔවුන්ට කරන අසාධාරණයක්. ඒ නිසා මට සහයෝගය ලබාදුන්න සියලු දෙනාට ස්තූතිය පළ කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

අනාගත බලාපොරොත්තු...

හරි දේ කරලා ඉදිරියට යෑම වගේම අපේම කියලා අලුත් නිර්මාණ කිහිපයක් එළි දැක්වීමයි.

Comments