බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය | සිළුමිණ

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායම සමීර (නායක), නවීන් (උපනායක), කෝසල, සඳුන්, මධුමාල්, අමිල, සාලිය, ඉෂාර, විමුක්ති, පසිඳු, ඩිල්ෂාන්, පුෂ්පසිරි, ඉඳුනිල්, අසංක, සම්පත්, ශෂික, ද සිල්වා, කමල්, රුමේෂ්, ධනංජය, සහන්, ගයාන්, ශ්‍රියා රත්න, අබේරත්න

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ‍යේ ලකුණු 5-4 ක් ලෙස පාකිස්තානය පරාජය කරමින්ය. බටහිර ආසියානු කිරුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව ජය ගත් දෙවැනි වතාව මෙය වන අතර අවසන් වරට 2017 පාකිස්තානයේදී පාකිස්තානය පරාජය කිරීමට සමත්ව තිබේ.

තරගයේ නීති රීති අනුව මෙම අවසන් තරගයේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වූ අතර ඒ අනුව මුලින්ම පිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. ඒ අනුව පළමු ඉනිමේ ලකුණු තුනක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දක්ෂ පන්දු රැකීම හා බාරදීම් හමුවේ පාකිස්තානයට සිය මුල් ඉනිම සඳහා එකදු ලකුණක් හෝ රැස් කර ගැනීමට ශ්‍රී ලංකාව අවස්ථාව ලබා නොදුන් අතර මේ අනුව ශ්‍රී ලංකාව 3 -0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයට ද ලකුණු රැස් කර ගැනීමට අවස්ථා උදා නොවීය. මේ අනුව ශ්‍රී ලංකාව තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් විය. තෙවැනි ඉනිමේදී ද ලකුණු තත්ත්වයේ වෙනසක් නොවීමට දෙපිළම වග බලා ගත්හ. සිවුවැනි සහ පස්වැනි ඉනිම්වලද ලකුණු පුවරුව ක්‍රියාත්මක නොවීය. මේ අනුව හය වැනි ඉනිම ආරම්භ වන විට ලකුණු පුවරුව දිස් වූයේ ශ්‍රී ලංකාව 3 පාකිස්තානය 0 වශයෙනි. හයවැනි ඉනිමේ පාකිස්තානය සිය ලකුණු පුවරුවට එක් ලකුණක් එක්කර ගැනීමට සමත් වුවද ශ්‍රී ලංකාවට එහි ලකුණු ප්‍රමාණයේම රැඳී සිටීමට සිදුවිය. හය වැනි ඉනිමේදී ද දෙපිලම ලකුණු රැස් කර ගැනීමට අපොහොසත් වූ අතර, ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව 3-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. අටවැනි ඉනිම දෙපිළම සම සමව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූ අතර එහිදී දෙපිලම ලකුණු දෙක බැගින් රැස් කර ගැනීමට සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාව ලකුණු 5ක් සහ පාකිස්තානය ලකුණු 3ක් ලෙස අටවැනි ඉනිම නිමා විය.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කිරුළ හිමි රට තීරණය කිරීමේ තීරණාත්මක අවසන් ඉනිම හෙවත් හය වැනි ඉනිම ආරම්භ වූ අතර පාකිස්තානය ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව වෙනස් කිරීමට ඉඩ ලබා නොදුන් නමුත් පාකිස්තානයට රැස් කර ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. ඒ අනුව 5- 4 ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවැනි වරටත් බටහිර ආසියානු බේස්බෝල් කිරුළ රැක ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ මෙවර තරගාවලියට ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ඉරානය එක්විය. මේ අනුව ඒ හා බී කාණ්ඩ වලින් පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් පූර්ව තරග දෙකට සුදුසුකම් ලබාගත් අතර එකී තරග වට ජය ගෙන අවසන් මහා තරගයට එක් විය.

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් මෙම තරගාවලිය ආරම්භ කරනු ලබන්නේ වර්ෂ 1995 දී ය. එම තරගාවලිය “ආසියානු බේස්බෝල් කුසලානය” ලෙස හැඳින්වූ අතර සෑම වසර 2කට වරක් පැවැත්විය.

මෙවැනි තරගාවලියක් ආරම්භ කිරීමට මූලික හේතුව වූයේ ඒ වන විටත් වසර 4කට වරක් පැවැත්වුණු, ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රධානම බේස්බෝල් තරගාවලිය ලෙස සැලකෙන “ආසියානු බේස්බෝල් ශූරතාව” සඳහා සහභාගී වීමට බේස්බෝල් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන තවත් ආසියානු රටකට අවස්ථාව සැලසීමය.

පළමු ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ 1995 වසරේ පිලිපීනයේ දී ය. පළමු තරගාවලියේ දී ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ සත්කාරක පිලිපීනය යි. එහි අනුශූරතාව තායිලන්තයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඉන්පසු 2010 දක්වා තවත් තරගාවලි 8ක් (1997, 1999, 2001, 2002, 2004, 2006, 2009, 2010) සාර්ථකව පැවැත්වීමට හැකි විය.

2010 වසරෙන් පසුව තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ 2012 වසරේ දී තරගාවලියේ ආකෘතිය වෙනස් විය. මෙතෙක් එක් තරගාවලියක් ලෙස පැවති ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” සහ “නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය” ලෙස තරගාවලි 2ක් ලෙස පැවැත්වීමට තීරණය විය.

ඒ අනුව 2012 වසරේ බටහිර ආසියානු බේස්බෝල් කුසලානය පාකිස්තානයේ ලාහෝර් නගරයේ දී පැවැත්වෙන විට නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය තායිලන්තයේ දී පැවැත්විය.

එහි දී බටහිර ආසියානු බේස්බෝල් කුසලානය තමන් සතුකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් වූයේ ශ්‍රී ලංකාවට අනුශූරතාවයත්, ඉරානයට තෙවන ස්ථානයත් හිමිකර දෙමිනි.

පිලිපීනය විසින් නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය හිමිකර ගැනීමට සමත් වූයේ සත්කාරක තායිලන්තය පරාජය කරමිනි. හොංකොං රාජ්‍යයට එම තරගාවලියේ තෙවන ස්ථානය හිමි විය.

ඉන්පසු පිළිවෙළින් 2013, 2015 සහ 2017 යන වසරවල දී බටහිර ආසියානු බේස්බෝල් කුසලානය පාකිස්තානයේ දී පැවැත්වුණු අතර 2013, 2015 යන වසර වල ශූරතාවය හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය.

අවසන් වරට 2017 වසරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති බටහිර ආසියානු බේස්බෝල් කුසලානය හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි. එහි අනුශූරතාවය සත්කාරක පාකිස්තානයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ඉරානයටයි.

ශ්‍රී ලංකාව පළමු වරට මෙම තරගාවලිය හා සම්බන්ධ වන්නේ 1995 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවති පළමු ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට තරගාවලිය තුළ මුල් ස්ථාන 3ට පැමිණීමට හැකිවන්නේ 2009 වසරේ සිටය. තායිලන්තයේ බැංකොක් නුවර පැවති 8 වැනි ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වෙද්දී එහි ශූරතාව ඉන්දුනීසියාවත්, අනුශූරතාව පාකිස්තානය හිමි කරගත්තේය..

2012 දී පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති බටහිර ආසියානු කුසලාන තරගාවලියේ දී අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේ දී සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත් වෙමිනි.

2013 වසරේ බටහිර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වූයේ ද පාකිස්තානයේ ලාහෝර් නුවර ය. එහි දී ද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී සත්කාරක පාකිස්තානය හමුවේ පරාජයට පත්වෙමින් අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

2015 වසරේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වැදුණේය. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන ස්ථානය හිමි වූයේ පිලිපීනය විසින් ශූරතාවත්, සත්කාරක ඉන්දුනීසියාව විසින් අනුශූරතාවත් දිනා ගැනීමට සමත් විය.

2017 වසරේ දී පැවති 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ තම පළමු ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවට හිමිකම් කියමිනි.

එවර තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉරාකය, ඉරානය සහ නේපාලය යන රටවල් සහභාගී විය. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මෙම තරගාවලියේ දී 2015 වසරේ නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව නැවත බටහිර තරගාවලියට පැමිණි අතර නේපාලය පළමු වරට බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වැදීම විශේෂ කරුණක් විය.

තරගාවලිය මූලික වටයේ තරග A සහ B ලෙස කාණ්ඩ දෙකක් පැවැත්විය. සත්කාරක පාකිස්තානය, නේපාලය සහ ඉරාකය A කාණ්ඩය යටතේ තරග කළ අතර ශ්‍රී ලංකාව සහ ඉරානය B කාණ්ඩය යට‍තේ තරග වැදිනි.

එහි දී පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉරානය සහ නේපාලය මුල් ස්ථාන 04 හිමිකර ගනිමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අතර පළමු අවසන් පූර්ව තරගය ලෙස පාකිස්තානය සහ ඉරානය තරග කළහ. එහි දී ලකුණු 11-00ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නේපාලය තරග වැදුණු අතර එහි දී ලකුණු 11-00ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ වන විට පවත්වා තිබූ බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලි 03 දී ම ශූරයන් වූ පාකිස්තානු කණ්ඩායමේ ආධිපත්‍ය බිඳ හෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය හිමිකර ගත්තේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 4-2ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත්විය.

දුෂ්කරයි. අත්හරින්න බෑ

ෆාසීල් හුසෙන්

සභාපති - ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය

පළමුවැනි වතාවට තමයි අපි මේ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියේ සත්කාරකයෝ වුණේ. ඒ බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියටයි. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉරානය සහ සත්කාරකයන් විදියට අපි මේ තරගාවලියට එකතු වුණා. පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ මේ තරගාවලිය ලංකාවේ පවත්වන්න එපා කිව්වා. එහෙත් අපි ත්‍රිවිධ හමුදාවේ උදව් උපකාර ඇතිව ඉතාමත් සාර්ථක තරගාවලියක් සංවිධානය කළා. විශාල රක්ෂණයක් අපි කණ්ඩායම්වලට ලබා දුන්නා. මොනවා වුණත් පාස්කු ඉරිදා සිද්ධියෙන් අපේ රටේ සංවිධානය කළ පළමු අන්තර් ජාතික ක්‍රීඩා තරගාවලිය විදියට බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය සංවිධානය කරන්න අපට පුළුවන් වුණා.

ක්‍රීඩා අමාත්‍යාංශය වගේම සංචාරක අමාත්‍යාංශයත් මේ තරගාවලිය සාර්ථික කර ගන්න උදව් කළා. ඒ වගේ පෞද්ගලික ආයතන පවා මේ තරගාවලිය සාර්ථික කර ගන්න උදව් උපකාර කළා. මිලියන 35-40 ක් විතර තරගාවලියට යට කරන්න සිද්ධ වුණා. මිලියන 25ක් ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශයෙන් ලැබුණා. අපේ මවු සංගමය වන ආසියානු බේස්බෝල් සංගමය වගේ ම ජපානය පවා මේ තරගාවලිය සාර්ථක කර ගන්න ගොඩක් උදව් උපකාර කළා. ඒ වගේම ඔවුන් අපේ මහන්සිය මහත් ඉහළින් අගය කළා. මේ තරගාවලිය ජය ගැනීම නිසා ඔක්තෝබර් මාසයේ තායිලන්තයේ පැවැත්වෙන ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ආසියානු තරගාවලියේ පළමු රටවල් හතරට 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ගන්නවා. දැනට රටවල් 127ක් බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි දැනට ලෝකයේ 41 වැනි ස්ථානයේ පසු වෙනවා. ආසියාවේ හත් වැනියා. අවසන් තරගයේ අපට පරාජය වූ පාකිස්තානය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 21 වැනි ස්ථානයේ ඉන්නේ. ආසියාවේ දැනට ජපානය තමයි පළමු ස්ථානය හිමි කර ගෙන ඉන්නේ. ඔවුන් ලෝකයේ දෙවැනියා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු දහ දෙනා අතර ආසියාවේ හතර දෙනෙක් ඉන්නවා.

අධ්‍යාපන කලාපවලට මුල්තැන දෙමින් ලංකාව පුරාම බේස්බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට දෙසීය ගණනකට ආසන්න අධ්‍යාපන කලාප සංඛ්‍යාවක් තියෙනවා. උතුරු - නැගෙනහිර පාසල් 10 ක් වෙන් කර ගෙන දැනට අප බේස්බෝල් ව්‍යාප්ත කරගෙන යනවා. ඒ අතර බාලක පාසල් හයක් සහ බාලිකා පාසල් හතරක් විදියට තමයි තෝරාගෙන තියෙන්නේ. දැනට සෙසු පළාත් විදියට ගත්තොත් බස්නාහිර - දකුණ සහ මධ්‍යම පළාත් තුන මූලික කරගෙන ව්‍යාප්ත වැඩසටහන් කරගෙන යනවා.

අපේ රටේ බේස්බෝල් ක්‍රීඩාව සාර්ථක කරගන්න ජපානයේ ජයිකා ආයතනය අපට හුඟක් උදව් කරනවා. නවීන වගේම භාවිත කළ ක්‍රීඩා උපකරණ ඔවුන් අපට ලබා දෙනවා. ඊට අමතර පුහුණුකරුවන් වගේ තාක්ෂණික උපදෙස් ආදිය මේ ක්‍රීඩා ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන් සහය ලබා දෙනවා.

සාමූහික ජයක් සමීර රත්නායක - නායක

බටහිර ආසියානු තරගාවලියට මෙවර අපි යන කොට 2017 පැවැති අවසන් තරගාවලියේ ශූරයෝ විදියට තමයි ගියේ. ඒ නිසා ම මානසිකවත් අපි ශක්තිමත් තැනක හිටියා. ඉන්දියාව - නේපාලය - මූලික තරගවලදි හම්බ වුණේ. අවසන් පූර්ව තරගයේදී ඉරානය මුණ ගැහුණේත් . මේ තරගවලදී ඉන්දියාව මුල්වතාවට හම්බ වුණේ. අවසන් තරගයේදී තමයි පාකිස්තානය මුණ ගැසුණේ. 2017 දී පාකිස්තානයේදී ඔවුන් පරාජය කරලා තිබුණු නිසා අපට ලොකු විශ්වාසයක් තිබුණා. අපි කණ්ඩායමක් විදියට එකාවන්ව ක්‍රීඩා කළ නිසා තමයි අඛණ්ඩව දෙවැනි වතාවටත් බටහිර ආසියානු ශූරයෝ වුණේ. වටිනාම ක්‍රිඩකයා විදියට සෂික දුල්ෂාන්, හොඳම පිටත පිටිය රකින්නා විදියට අමිල පුෂ්ප කුමාර, හොඳම ප්‍රහාරකයා විදියට මමත් වැඩිම ලකුණු ලාභියා විදියට නවීන් කස්තුරි මුදලිත් සම්මාන දිනා ගත්තා.

Comments