යක්කුත් එක්ක වැඩ කර දෙවි­යන් රව­ටන ඔඩ්ඩු­සු­ඩාන් මිනිස්සු | සිළුමිණ

යක්කුත් එක්ක වැඩ කර දෙවි­යන් රව­ටන ඔඩ්ඩු­සු­ඩාන් මිනිස්සු

දෙවි­යන් පිළි­බඳ මිනිස් සිත්හි ඇති විශ්වා­සය සුළු­පටු නොවේ. මිනි­සාට දේව සංක­ල්පය පිළි­බඳ යම් විශ්වා­ස­යක් පහළ වූයේ බ්‍රාහ්මණ යුග­ය­ටත් පෙර වූ උප­නි­ෂද් යුග­ය­ටත් පෙර බව බ්‍රාහ්මණ වේද ග්‍රන්ථ­යන්හි සඳ­හන් වෙයි. මිනිසා තුළ ඇති වූ මේ දේව සංක­ල්ප­යට වඩා වැද­ගත් වන්නේ මිනි­සුන් තම එක් එක් කාර්ය­යන් සඳහා වෙන වෙනම දෙවි­ව­රුන් තෝරා ගෙන සිටී­මය.

ඔවුන් තම කාර්ය­යන් සඳහා එක් එක් දෙවි­යන් තෝරා ගත්තේ කුමන පද­න­ම­කින්ද යන්න සිතා ගැනීම පවා අසී­රුය. සියලු දෙවි­ව­රුන් අත­රින් මේ කතා කරන දෙවියා දඩ­ය­මට අධි­පති වූ දෙවි­යෙකි.

මුල­තිව් ඔඩ්ඩු­සු­ඩාන් වැසියෝ එම දෙවි­යන් හඳු­න්වන්නේ ඊශ්වර දෙවි­යන් වශ­යෙනි. ඒ දෙවි­යන් වෙනු­වෙන් ඔඩ්ඩු­සු­ඩාන් කැලයේ ඇති දේවා­ලය තානේ­ඊ­ස්වර දේවා­ල­යයි. ඉතා කෙටි­යෙන් මේ මිනි­සුන් මේ දේවා­ලය හඳු­න්වන්නේ කැලේ දේවා­ලය වශ­යෙනි.

කැලේ දේවා­ල­යේදී දෙවි­යන් උදෙසා කෙරෙන දේව පූජා දේව කර්ම දින­පතා නිති­පතා සිදු වූවත් මිනි­සුන් විසින් දෙවි­යන් උදෙසා වූ බාර හාර ඔප්පු කිරීම වෙන් වන්නේ වස­ර­කට දින හතක කාල­ය­කට පමණි.

දඩ­ය­මට අධි­පති දෙවියා

අප විසින් සම­රනු ලබන ඇසළ පෝයත් සමඟ මේ ගෙවන්නේ ඒ බාර­හාර ඔප්පු කරන සති­යයි. සති­යම බාර හාර ඔප්පු කිරීම සදහා වෙන් වූවත් බාර ඔප්පු කිරී­මට පූජාව පටන් ගන්නේ මේ වෙන් වූ සතියේ පස්වරු හයයි හත­ළිස් පහත් හතත් අතර කාල­යයි.

මෙවර කැලේ දේවා­ලයේ බාර ඔප්පු කිරී­මට පැමිණ සිටි පිරිස කැලේ දේවා­ලයේ සිදු­වන මේ අරුම පුදුම බාර ඔප්පු කිරීම ගැන කතා කළේ මේ අන්ද­ම­ටයි.

''මේ දේවාලේ ඉති­හා­සය කොච්චර කලක්ද කියලා දන්නේ නෑ. අපේ සීයලා මුත්ත­ලාගේ කාලේ ඉඳලා මේ දේවාලේ තිබු­ණලු. අපි දන්න විදි­හට මේ දේවා­ලෙට ඉස්සර මිනිස්සු බාර වෙලා තියෙන්නේ ඔවුන්ගේ දඩ­යම් සාර්ථක වෙන්න කිය­ලයි.

මුල් කාල­ව­ලදී මිනිස්සු දඩ­යමේ ගිහින් තියෙන්නේ තුවක්කු අර­ගෙන නෙමෙයි. බල්ලොත් එක්කයි. වැඩි­යෙන්ම දඩ­යම් කරලා තියෙන්නේ තල­ගොයි හාවන් මීමි­න්නන් කබ­ල්ලෑ­වන් වගේ සත්තු. බල්ලන් ලවා ගෝන්නුත් මුව­නුත් දඩ­යම් කරලා තිය­නවා.

ඉතින් එහෙම මහ කැලේට යන­කොට මේ දේවා­ලෙට ගිහිං වැඳලා කොළ අත්තක් එල්ලලා බාර වෙලා තමයි ගිහිං තියෙන්නේ. මෙහෙම බාර වෙලා ගිය කිසිම කෙනෙක් වල් ඌරන් මරන්නේ නැහැ.

එහෙම කළාම අත­ර­ම­ඟදි කොටි­යෙක් ඇවිත් ඒ දඩ­යම් කළ කෙනා කාලා දානවා කිය­ලයි අපි පර­ම්ප­රාවේ අය­ගෙන් අහලා තියෙන්නේ.

කොහොම හරි ඒ කාලේ මිනිස්සු හැම­දාම දඩ­යමේ ගියත් මේ වගේ අවු­රු­ද්ද­කට එක සැර­යක් බාර ඔප්පු කරන්න තියන දවසේ තමයි බාර ඔප්පු කරන්නේ. ඒක තමයි සිරිත.

කැලේ දේවාලේ ඉන්න පූසා­රී­වරු කවද්ද දිනේ කියලා දැනුම් දෙනවා. එදා ඉඳලා මස් මාළු කන්නේ නැහැ. බාර ඔප්පු කරන මුළු සති­යෙම හව­සට ඇවිත් බාර ඔප්පු කරන මංග­ල්ලෙට සහ­භාගි වෙනවා.

දෙවි­යන් ඉදි­රියේ වෙස්ව­ළා­ගෙන

මේ බාර ඔප්පු කරද්දි දෙවි­යන්ට මේ කවුද කියලා හඳුනා ගන්න බැරි විදි­හට දඩ­ය­ක්කා­ර­යකු විදි­හට වෙස්වළා ගෙන ඇවිත් තමයි මේ බාර ඔප්පු කරන්නේ. උඩු­ක­යට මොන­වත් අඳින්නේ නැහැ. මුළු ඇඟම වැහෙන්න කොළ අතු­ව­ලින් සැර­සෙ­නවා.

මුහුණ හඳුනා ගන්න බැරි විදි­හට කළු­පා­ටින් අඳුරු කර­නවා .

එහෙම ඉඳන් තමයි මේ බාර ඔප්පු කරන්නේ. මේකෙන් එදා මිනිස්සු බලා­පො­රොත්තු වෙලා තියෙන්නේ දෙවි­යන්ට මිනිහා හඳුනා ගන්නට නොහැකි වන අන්ද­මට දෙවි­යන් ළඟට යෑමයි. ඒකට හේතුව වන්නේ ඔවුන් දඩ­ය­ක්කා­ර­යන් වීමයි.

දෙවි­යන් වුණත් තමන් දඩ­ය­ක්ක­රුවො විදි­හට සල­ක­න­වාට ඔවුන්ගේ කැමැ­ත්තක් නැහැ.

දෙවි­යන්ට බාර වෙලා තමන්ගේ දඩ­යම් සාර්ථක කර ගත්තත් ඔවුන් බාර ඔප්පු කර­න­දාට දෙවි­යන් රව­ට්ට­නවා.

දෙවි­යන් කිව්වත් ඒ යක්කු

මුල­තිව් දඩ­ය­ක්කා­ර­යින් කැලේ දේවා­ලෙට ගිහින් දෙවි­යන් වැඳලා බාර වෙලා දඩ­යමේ ගියාට ඔවුන් කැලේදී අද­හන්නේ වෙනත් දෙවි­යෙ­කුයි.

ඇත්තෙන්ම ඔවුන් කැලේදී අද­හන දෙවි­යන් දෙන්නෙක් හිටි­යත් ඒ දෙන්නම දෙවි­යන් නෙමෙයි. ඔවුන් යක්කු. රීරි යකා සහ මහ­සෝනා කියන දෙන්න තමයි ඔවුන් කැලේදී අද­හලා පුද පූජා තබන්නේ. දඩ­ය­මක් හරි ගිය ගමන් මුලින්ම කරන්නේ රීරි­ය­කා­ටයි මහ­සෝ­නා­ටයි කොළ අතු එල්ලන එක කියලා තමයි ඉස්සර මුතුන් මිත්තෝ කිව්වේ.

ඊට පස්සේ දඩ­ය­මෙන් මරා ගත්ත සතා මස් කරලා හෘදය වස්තුව අක්මාව කියන දෙක අර­ගෙන එව්වා වෙන් නොවෙන්න හත­රට පළ­නවා.

එහෙම හත­රට පළපු සත්තුන්ගේ අව­යව දෙක ඒ වෙලේම කපා ගත්ත ලී කෝටු දෙකක ගහ­නවා. ඒ ලී කෝටු දෙකත් හත­රට පළලා ඒ පළපු පැල්ම ඈත් වෙන්න පොඩි ලී කෝටු ගහලා ඒ මල වගේ උඩට හැදෙන එක උඩ තමයි සතාගේ අක්මා­වත් හෘදය වස්තු­වත් තියන්නේ.

ඉන් පස්සේ එත­නම ගිනි ගොඩක් ගහලා ඒ අව­යව ගින්නට අල්ලලා රත් කර­නවා. පුළුටු ගඳ එන­කල් රත් කරලා ආයෙත් ඒ ලී කරු උඩ තියලා දෙවි­යන්ට පූජා කර­නවා.

මේ වෙලා­වෙදි ඉස්සර දඩ­ය­ක්කා­රයෝ ඒ යක්කුන්ට කර­න­ක­න්න­ලව් මන්තර තිබිලා තිය­නවා. ඒත් ඒවා දැන් ඉන්න කවු­රු­වත් දන්නේ නැහැ.

ඉතින් කැලේ දෙවි­යන්ට බාර වෙලා ගිහින් දඩ­යම හරි ගියාට පස්සේ වෙනත් යක්කු ඇද­හීම නිසා කැලේ දෙවි­යන් ගැන ඇති­වෙන බය යන්න තමයි මේ මිනිස්සු ඒ කාලේ කොළ අතු ඇඳ­ගෙන මුහුණු කළු කරලා දෙවි­යන් ළඟට ඇවිත් තියෙන්නේ. ඔවුන් එහෙම කළේ දෙවි­යන් මේ අය හඳුනා ගනියි කිය­ලයි. අව­සා­නෙදි දඩ­ය­ක්කා­රයෝ කැලේ දෙවි­යන්ට බාර ඔප්පු කළේ දෙවි­යන්ව රව­ට්ට­මි­නුයි. ඒක මිනි­ස්සුන්ගේ විශ්වා­සය.

කැලේ දේවාලේ හාස්කම්

අද මුල­තිව් මිනිස්සු දඩ­යම් නොක­ළත් මේ කැලේ දේවාලේ ඉපැ­රණි චාරිත්‍ර ඒ ආකා­ර­ය­ටම සිද්ධ කර­නවා. ඉතින් මේ බාර ඔප්පු කරන කැලේ දේවාලේ එළි­ම­හනේ තිබු­ණට බාර ඔප්පු කරන තැන තියෙන්නෙ කැලේ­මයි. මිනිස්සු කැලේ ඇඳුම් ඇඳ­ගෙන මෙතන ඉන්න කොට පෙනෙන්නේ නැහැ. සම­හර පොඩි ළමයි මේ අය දැකලා බය වෙනවා.

යුද්ධ කාලේ මෙහෙම කැලෑ ඇඳුම් ඇඳ­ගෙන බාර ඔප්පු කරන්න ගිහින් ගොඩාක් ඇබැද්දි වුණා. ඒත් බාර ඔප්පු කළා.

මේ කැලේ දේවා­ලෙට ගොඩාක් බාර­හාර වෙන්නේ කාන්තාවො. දරු­වන් නැති කාන්තාවෝ තමයි ගොඩාක් බාර වෙන්නේ. මෙතැ­නින් ඒ අයට ලොකු පිහි­ටක් තිය­නවා කියලා ඒ අය කිය­නවා. කාන්තාවෝ බාර ඔප්පු කරන්න එන්නේ සාමාන්‍ය විදි­හට ඇද­ගෙ­නයි. ඒ අය කැලේ ඇඳුම් අඳින්නේ නැහැ.

අපි හිතන්නේ මුල් කාලෙදි දඩ­යම් කරන අය විත­රක් මේ කැලේ දේවා­ලෙට ගිහින් බාර වෙලා දඩ­යමේ ගිය නිසා ඒ කාලේ බාර ඔප්පු කළේ පිරිමි විත­රයි. දැන් කාන්තා­ව­නුත් බාර වෙනවා. අනෙක් කාර­ණය තමයි දැන් මේ පළාතේ දඩ­යම් කරලා ජීවත් වෙන අය නැති තරම්. එක්කෙ­නෙක් දෙන්නෙ­ක්වත් හොයා ගන්න නැහැ. ඒත් පිරිමි කැලේ දේවා­ලෙට බාර වෙනවා. ඒ බාර ඔප්පු කර­නවා.

මේ දේවාලේ වැඳලා මුල් කාලේදි බාර වුණේ දඩ­ය­ක්කා­රයෝ වුණත් පස්සේ පස්සේ තේරුණා මේ කැලේ දේවාලෙ මොනව හරි අමුතු හාස්ක­මක් තිය­නවා කියලා. ඊට පස්සේ තමයි දඩ­යමේ නොයන අයත් මේ දේවාලේ වඳින්න ගත්තේ.

මේ විදි­හට බාර ඔප්පු කරන්න දවස් හතක් වෙන් වෙනවා. හත් වෙනි දවසේ රෑට බාර ඔප්පු කරලා කැළේ දේවාලේ ඊශ්වර දෙවි­යන්ට ලොකූ පූජා­වක් තිය­නවා. ඊට පහු­වදා උදේම දේවාලේ ඉස්ස­රහා කිරි උතු­ර­වලා කිරි­බත් හදලා දෙවි­යන්ට පූජා කරලා ගමේම අයර ඒ කිරි­බත් බෙද­නවා.

දවල්ට මුළු ගමේම අය­ටයි එන අය­ටයි දේව දානය දෙනවා. ඒක උය­න්නෙත් මෙත­න­මයි. කාන්තා­වන්ට උයන්න බෙදන්න මොනම වැඩ­කට වත් එන්න දෙන්නේ නෑ. හැබැයි දානේ කන්න එන්න තහ­න­මක් නැහැ.

මේ දානෙට උයන්නේ මැල්ලු­මක්, වම්බටු සහ හොද්දක් විත­රයි. බත් කාලා ඉවර වුණාම අතු­රු­ප­සට කන්න පායා­සම් (සව්, හකුරු, පොල් කිරි, වියළි මිදි යොදා සක­සන අතු­රු­ප­සකි) හදලා දෙනවා. කැවුම් කෙසෙල් ගෙඩිත් දෙනවා. බිම පැදුරු එළලා කොළ­වල තමයි කන්න දෙන්නේ.

මේ ක්‍රියා­වත් එක්කම කැලේ දේවාලේ බාර ඔප්පු කරන මංග­ල්ලය අව­සන් වෙනවා. නමුත් දව­ස­කට තුන් වතා­වක් මේ දේවා­ලයේ සිදු­කෙ­රෙන අනෙක් දේව කාර්ය­යන් අවු­රුද්ද පුරාම පව­ති­නවා. ආයෙත් බාර ඔප්පු කරන මංගල්ල සමය එන්නේ ජූලි මාසේ පෝයත් එක්කයි.''

මිනිසා විශ්වය ජය­ගෙන අව­සන් වූවත් වසර දහස් ගණ­නක් මුළු­ල්ලේම පැවති දේව සංක­ල්ප­යත් දෙවි­යන් ඇද­හී­මත් මිනිසා වෙතින් පහව නොයන පරම සත්‍ය­යකි. ඊට හේතුව වී ඇත්තේ මිනි­සාගේ ඉන්ද්‍රි­ය­යන්ට ගෝචර වන්නා වූ දෙයින් ලැබෙන යම් යම් දේට හාත්ප­සින්ම වෙනස් හා බලා­පො­රොත්තු රහිත දේ නොපෙ­නෙන බල­වේ­ග­ම­ගින් මිනි­සාට ඉඳ­හිට හෝ ලැබී­මයි. ඔවුන් එය සල­කනු ලබන්නේ දෙවි­යන් විසින් තමන්ට දුන් දායා­ද­යක් ලෙසිනි.

විශේෂ ස්තූතිය-මුල­තිව් ඔඩ්ඩු­සු­ඩාන් තනේ­ඊ­ස්වර කෝවිලේ පී. සතා­සි­වම් හා ඉන්ද්‍ර­කු­මාර් කුරු­ක්ක­ල්තු­මන්ට හා සහ මුල­තිව් මුල්ලි­යා­ව­ලෙයි විද්‍යා­ලයේ විශ්‍රා­මික විදු­හ­ල්පති එස්. කන­ග­ර­ත්නම් මහ­තාට.

රසුල දිල්හාර ගමගේ

Comments