දෙහි­වල සතුන් වත්තට ගුව­නින් එන අලුත් යාළුවෝ | සිළුමිණ

දෙහි­වල සතුන් වත්තට ගුව­නින් එන අලුත් යාළුවෝ

* දෙහිවල තදබදය අඩු කරන්න තෝරාගත් සතුන් අනෙකුත් උද්‍යානවලට
* රටකින් රටකට සතෙක් ගෙනියන්න වියදම රුපියල් ලක්ෂ දහයක් 

“ඔන්න එක­මත් එක රටක හිටියා කොක්කු ජෝඩු­වක්...“ ආදි වශ­යෙන් කියා අව­සා­නයේ අහ­සින් ගිය ඉබ්බා ගැන කියන විට මම සිනාසුණෙමි. ඉබ්බෙක් කොහො­මද අහ­සින් යන්නේ?

“නෑ. කොක්කු දෙන්නා තමයි කෝට්ට මැද්දෙන් අල්ල­ගන්න කියලා ඉබ්බාව එක්ක­ගෙන ගියේ.“ අම්මා අප වට කර­ගෙන කියන විට අපි විවිධ ප්‍රශ්න ඇසු­වෙමු.

“මන්දන්නෑ ළමයි, ඔය­ගො­ල්ලන්ට උත්තර දෙන්න...“

එකල ඇසූ ජන­ක­තා­ව­ලට උත්තර දෙන්න අම්මා දැන සිටියේ නැත. එන­මුදු ඇය අපට අහ­සින් ගිය බොහෝ සතුන් ගැන කියා දුන්නාය. ඒ එදාය. දැන්ද අහ­සින් සත්තු රටින් රට යති. හැබැයි ඒ යන්නේ කෝටු­වල එල්ලී හෙම නොව; ගුව­න්යා­නා­වල නැඟී­ගෙ­නය! දැන් කාලයේ පොඩ්ඩකු සත්තු කොහො­මද ගුව­න්යා­න­යෙන් යන්නේ කියා ඇසු­වොත් ඒ ගැන කියා දෙන්නට කතා බොහෝය. පොඩ්ඩන්ට පම­ණක් නොව; ගුවන් මඟින් රටින් රට යන සතුන්ගේ කතා ගැන අප නොදන්නා තොර­තුරු බොහෝය. මේ තොර­තුරු ගැන සොයා බලන්න සිත් වූයේ දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­න­යට අලු­තින් ගෙන එන සතුන් පිළි­බඳ ලැබුණු තොර­තු­රත් සම­ඟය. අප දන්නා කාලයේ පටන් එහි සිටින අලි-ඇත්, රිළා, වඳුරු, ජීරාෆ්, මුහුදු සිංහ, නයි-පොළොං ඈ කී නොකී සිවුපා, උරග ආදි සතුන් අත­රට අලුත් යාළු­වන් රොත්තක්ද නුදු­රේ­දීම එනු ඇත.

අභය භූමි හැරුණ විට අපට නිතර දෙවේලේ යා හැකි, පුංචි දරු­වන්ට විනෝද විය හැකි, සතුන් බැලිය හැකි ස්ථාන­ය­කට කලක පටන් තිබුණේ දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­නය පමණි. දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­නය ආරම්භ කෙරෙන්නේ 1936 වස­රේ­දීය. පසු­කා­ලී­නව පින්න­වල අලි අනා­ථා­ගා­රය, පින්න­වල සත්ත්ව උද්‍යා­නය, රිදි­ය­ගම සෆාරි උද්‍යා­නය සහ ගෝණ­පොල ගොවි­පොළ නම් කර ඇත.

පින්න­වල සත්ත්වෝ­ද්‍යා­නය ආරම්භ වන්නේ දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­නයේ සිටි සතුන් පින්න­ව­ලට විතැන් කිරී­මත් සම­ඟය. ඉඩ­කඩ මඳ වීමෙන් දෙහි­වල සතුන් වත්තේ පැවැ­තියේ තද­බ­ද­යකි. මෙහිදී දෙහි­වල සිටි විදේ­ශීය සතුන් යාල සෆාරි උද්‍යා­න­යට මාරු කරන ලදි.

සතුන්ට හිත­කර ලෙස පරි­ස­රය සකස් කිරීම ගැන අද­හස් දක්වන සත්ත්වෝ­ද්‍යාන අධ්‍යක්ෂ ජන­රාල් ධම්මිකා මල්සිංහ මහ­ත්මිය:

“සතුන් අති­රි­ක්ත­යක් එක්ක සතුන් වත්ත නවී­ක­ර­ණය කිරීම අප­හ­සුයි. ඒ නිසයි අප සතුන් වෙනත් ඔවුන්ට හිත­කර උද්‍යා­න­ව­ලට මාරු කර යැව්වේ. කල­කට පෙර සතුන් හිටියේ කුඩා කුඩු­වල උන්ට ඉඩ මදි ඒ කුඩු. ඒත් දැන් එහෙම තත්ව­යක් නැහැ. ස්වාභා­වික ගහ­කොළ තියෙන විදි­හට අප කූඩු හදලා තියෙන්නේ. සාම්ප්‍ර­දා­යික විදි­හට තිබුණු කූඩු දැන් මෙහෙ නැහැ. බට­හිර රට­වල සත්තුන්ට තිබෙන කූඩු විදි­හට තමයි දැන් මෙහෙත් කූඩු සාදා තිබෙන්නේ. උදා­හ­ර­ණ­යක් විදි­හට කිව්වොත් චින්පන්සි ඉන්න කූඩුව අපි අලුත් විදි­හට හදලා තියෙ­නවා. කූඩු­වෙන් නිද­හස් කරලා ගස්ව­ලට නගින්න පුළු­වන් විදි­හට තමයි හදලා තියෙන්නේ. අලින්ට නිද­හසේ ඉන්නට පුළු­වන් විදි­හට ඒ පරි­ස­රය හදලා තියෙ­නවා. කොටියා, සිංහයා, ජගු­වර් වැනි මාංස භක්ෂක සතුන් සම්බ­න්ධව අපට ප්‍රශ්න තිබුණා. නමුත් දැන් සියලු ප්‍රශ්න නිරා­ක­ර­ණය වී තිබෙ­නවා. ඔවුන්ට අවශ්‍ය වතුර, පොකුණු ආදිය නිද­හස් පරි­ස­ර­යක සාදා තිබෙ­නවා. අද වන විට ස්වාභා­වික පරි­ස­ර­යක් ලෙසයි සත්ත්වෝ­ද්‍යා­නය සකස් වී තිබෙන්නේ. අපි මේ වැඩ පිළි­වෙළ ක්‍රියා­ත්මක කළේ සතුන් වත්ත මහ­ජ­න­තාව සදහා විවෘ­තව තබ­මින්. ඒ වගේම මහ­ජ­න­තාව සඳ­හාත් වෙන­දාට වඩා පහ­සු­කම් සලසා තිබෙ­නවා.” මල්සිංහ මහ­ත්මිය පව­ස­න්නීය.

දැන් සැබැ­වින්ම ඉස්සර වඩා සතුන් වත්ත වෙනස්ය. කැඩී-බිඳි ගිය පටු මාවත් වෙනු­වට පුළුල් මාර්ග ඉදි වෙමින් තිබේ. එමෙන්ම ඇතැම් සතුන් නැර­ඹීම සඳහා උස් ස්ථානද සකස් කර ඇත.

මේ වන විට සත්ත්වෝ­ද්‍යා­නයේ සේවක පිරිස 300ක් පමණ වේ. සත්ත්වෝ­ද්‍යා­නය ඇතු­ළත සැම තැනක්ම ආව­ර­ණය වන පරි­ද්දෙන් CCTVද සවි කර ඇත.

දෙහි­වල සත්ත්වෝ­ද්‍යා­නයේ මේ වන විට සත්ත්ව විශේෂ 250ක් පමණ වේ. සතුන් 2500යේ සිට 3000ක් පමණ සිටින අතර, සතුන් ගණන හරි­ය­ටම කිව නොහැකි වන්නේ පක්ෂි විශේෂ රැසක් සංක්‍ර­ම­ණික වන බැවිනි. දැන් මින් මැඳු­රද නවී­ක­ර­ණය කර­මින් තිබේ. ඊට අම­ත­රව අලුත්ම ආරං­චිය වන්නේ මෙර­ටට ආවේ­ණික නොවන තවත් සත්ත්ව විශේෂ කිහි­ප­යක් නුදු­රේ­දීම දෙහි­ව­ලට ගෙන ඒමය.

“තවත් මාස කිහි­ප­යක් ඇතු­ළත මේ සතුන් ගෙන්ව­නවා. සතුන් ගෙන ඒමට බාධක කිහි­ප­යක්ම තිබුණා. නුදු­රේ­දීම ඒ සම්බ­න්ධව ඇති පනත සංශෝ­ධ­නය කිරී­මට කට­යුතු කර­නවා. සතුන් ඇණ­වුම් කිරීම සඳහා අපට විශේෂ කැබි­නට් අව­ස­ර­යක් ලැබි තිබෙ­නවා. සතුන් ලංකා­වට ගෙන ඒමේ­දීද අව­සර ගන්නා ක්‍රම දෙකක් තියෙ­නවා. එකක් වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුව විසින් ලබා දෙන වෘක්ෂ­ලතා පන­තට අනු­කූ­ලද නැද්ද යන අව­ස­ර­ප­ත්‍ර­යයි. මෙයින් බලන්නේ අපේ රටේ නැති රෝග මේ ගෙන එන සතුන් මඟින් අපේ රටට පැමි­ණෙ­න­වාද යන්නයි.

සතුන් මෙර­ටට ගෙන ඒමෙන් පසු ඒ සතුන්ට නිරෝ­ධා­යන කාල­යක් තිබෙ­නවා. එය සතා­ගෙන් සතාට වෙනස් වෙනවා. ඉදි­රි­යේදී ඉන්දි­යාව, චීනය, ජපා­නය, නෙද­ර්ල­න්තය, රුසි­යාව, ඇම­රි­කාව ආදි රට­වල් වලින් සතුන් 200ක් පමණ මෙර­ටට ගෙන්ව­නවා. සීත රට­වල තිබෙන දේශ­ගු­ණ­යට වඩා ආසි­යානු රට­වල තිබෙන උෂ්ණ­ත්වය සහ පරි­ස­රය සතුන්ට උචිත බව සත්ව විද්‍යා­ඥ­යින්ගේ මත­යයි. මුළු ලෝක­යම නියෝ­ජ­නය වන පරිදි වූ වාසා නමැති සංවි­ධා­න­යක් තිබෙ­නවා . අප ඒ සංවි­ධා­නයේ සාමා­ජික රටක්. එම සංවි­ධා­නය ලෝකයේ රට­වල තිබෙන සත්ත්වෝ­ද්‍යා­න­ව­ලට ගිහිල්ලා සමී­ක්ෂ­ණය කර­නවා. මෑත­කදී ඔවුන් අපේ රට­ටත් ආවා. ඔවුන් අපේ සත්ව උද්‍යා­නය පිළි­බඳ බොහො අගය කළා. එය අපට සතු­ටක්.” මල්සිංහ මහ­ත්මිය පව­සන්නේ සත්ව උද්‍යා­නයේ නව ප්‍රව­ණතා පිළි­බ­ඳය.

තවත් ටික දව­ස­කින් පක්ෂි විශේෂ පහ­ළො­වක්, චීටා යුව­ළක්, ජිරාෆ්, ජගු­වාර් වර්ගයේ කොටි තිදෙ­නෙක්, නිල්ගයි ගව­යන් සිව් දෙනෙක්, බ්ලැක් බක් වර්ගයේ ගෝනුන්, ඇතුළු සත්ව විශේෂ රැසක් මෙර­ටට ගෙන එනු ඇත. මේ වන විටත් ගෙනැත් ඇති සතුන් කිහිප දෙනෙකු නිරෝ­ධා­යන ක්‍රියා­ව­ලිය සඳහා තබා ඇත. මේ අතු­රින් ඇතැම් සතුන් සත්ව හුව­මාරු ක්‍රමය යටතේ මෙර­ටට ගෙන්වනු ලැබේ. මෙලෙ­සින් සතුන් ගෙන්වී­මට එක් හේතු­වක් වන්නේ පසු­ගිය කාලයේ ස්වාභා­වික හේතුන් මත සත්ව­යන් මිය­ගොස් තිබී­මය.

රට­කින් රට­කට සතකු ගුව­නින් ගෙන ඒම පහසු නැත. ඒ සඳහා ගුවන් යානා­ව­ලට ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා මුද­ලක් ගෙවිය යුතුය. ඒ මිල ගණන් සතා­ගෙන් සතාට වෙනස් වේ. ගම­කින් ගම­කට හර­කෙක් පට­වා­ගෙන ගියද අපේ රටේ ඒ සතා ගෙන යෑමට නීති මාලා­වක් ඇත. රට­කින් රට­කට සතකු ගෙන ඒමේදී ද එවන් නීති මාලා­වක් ඇත. මෙහිදී ප්‍රධාන තැනක් දෙන්නේ සතාගේ සුව පහසුව සඳ­හාය.

සතාගේ ජීවිත ආර­ක්ෂා­වට පළමු තැන හිමි වේ. එනිසා ගුව­නින් ගෙන එන සත්ත්ව­යාගේ ප්‍රමා­ණ­යට සරි­ලන ගුවන් යාන­යක් ගුව­න්ගත වන මොහොත දක්වා අදාළ රටෙන් සත්ත්වයා ගෙන ඒමට ඉඩ නොදේ. විශේ­ෂ­යෙන්ම කුඩුව සුව පහසු විය යුතුය. යම් පැද්දී­මක් ගුව­නේදී සිදු වේ නම් කූඩුවේ වැදී­මෙන් සත්ත්වයා යම් හානි­යක් නොවීම සඳහා කූඩුව අන්ත­ර්ජා­තික ප්‍රමි­ති­ය­කට අනුව සකස් කර තිබිය යුතුය. මේ ක්‍රමය සත්ත්ව­යා­ගෙන් සත්ත්ව­යාට වෙනස් වේ. පිට­ර­ට­කින් මෙර­ටට සත්ත්වයා ගෙන ඒමෙන් පසු එම සතා රැගෙන ඒම සඳහා දෙහිවල සත්ත්වෝ­ද්‍යා­න­යෙන් කණ්ඩා­ය­මක් ගුව­න්තො­ටට යති. ඒ කණ්ඩා­ය­මට පශු වෛද්‍ය­ව­ර­යකු ඇතු­ළත් වේ. සත්ත්වෝ­ද්‍යා­න­යට ගෙනා ඉක්ම­නින් එම සත්වයා අදාළ කූඩුව වෙත දමන්නේ නැත. දව­සක් දෙකක් නොව සති කිහි­ප­යක් හෝ මාස­යක් ගත වන තුරු­වත් නවක සත්ත්වයා ඒ පරි­සර පද්ධ­ති­යට හුරු වන තුරු රඳවා තැබේ. සත්ත්වයා නවක පරි­ස­ර­යට හුරු වන්නේ ක්‍රම­යෙනි.

ඔහු බලා­ගන්නා කෙනාට හුරු වන්නේ ක්‍රම­යෙනි. කොටින්ම කිව හොත් අලුත් සතුන් බැලී­මට නර­ඹ­න්නන්ට සෑහෙන කාල­යක් බලා සිටී­මට සිදු වේ.

ඉබ්බකු අහ­සින් ගියා යැයි කියා කුඩා කල විශ්වාස නොකළ අපට දැන් අලි-ඇතුන් කොටි-වල­සුන් අහ­සින් එන බව විශ්වාස කර­න්නට පුළු­වන. එය තව­දු­ර­ටත් තහ­වුරු කර­ගැ­නී­මට අවශ්‍ය නම් අපිත් එක්ක එන්න යන්න දෙහි­වල සතුන් වත්ත වටේ රවු­මක්!

ඡායාරූප - රංජිත් අසංක

අදහස්