අපි වෙන පාරක යන්නේ අද ඊයෙක නෙවේනේ | සිළුමිණ

අපි වෙන පාරක යන්නේ අද ඊයෙක නෙවේනේ

ඔහු සිය විසි­පස් වස­රක ජීවි­තය මුළුල්ලේ කිසි­ව­කුට ස්තුති කර නැත්තේය. එමෙන්ම කිසි­වෙ­කු­ගෙන් සමාව අයැද නැත්තේය. අව­ශ්‍යතා මෙන් ම සිරිත් විරිත් ද සරල වූ අතර ප්‍රමා­ණය ඉක්මවා නොගි­යේය. ශිෂ්ට සම්පන්න සමා­ජයේ හුදු රැව­ටි­ලි­කාර ස්වභා­යෙන් අත් මිදී ව්‍යාජ­ත්ව­යට වහල් නොවී සිය තිරි­සන් සත්ත්ව­යාට වඩා යම් තර­ම­කින් පම­ණක් වෙනස්ව ජීවත් වන්නට සිදුවීම පිළි­බ­ඳව ඔහු නොතැ­වෙයි. බොහෝ සිති­විලි හෝ හැඟීම් ද පශ්ච­ත්තා­ප‍යන් ද ඔහුගේ හද­වතේ නොවෙයි. එහෙත් ඒ සියු­මැලි තරු­ණි­යගේ මත­ක­යෙන් මිදෙ­න්නට ඔහු මේ තාක් සමත් වූයේද නැත.

ප්‍රීති­මත් හා කෙළි­ලොල් අතී­ත­යක වග විත්තිය මේ මිදුලේ වැලි කැට පවා සිහි­පත් කර­නවා ඇතැයි ඔහුට සිතිණ. චම්පාගේ මවද මිත්ත­ණිය ද කාර්ය­ශූර සේම කරු­ණා­බර ගැහැනු වූහ. ඔවුන්ගේ වෙසෙස් ලක්ෂ­ණය වූයේ හාස්‍ය­ලොල් බවයි. නිබඳ සර­දම් තෙපුලින් හා සැහැ­ල්ලු­වෙන් කල්ගත කළ ඔවුහු ජීවි­තය දුකක් කොට නොසැ­ල­කූහ. අඳුර දුර­ල­න්නට පුන්සඳ මඬ­ලක්ම වුව­මනා නොවන බවද තරු එළි­ය­කට කලා­මැ­ඳිරි එළිය බිඳ­කට පවා අඳු­රෙන් ඇබි­න්දක් හෝ දුර­ලිය හැකි බවද විශ්වාස කළ ඔවුන් පිළි­බ­ඳ සිහි­පත් කිරී­මද සතු­ටකි.

“කට්ටිය ඇවි­දින්න ගිහි­ල්ලද?”

බ්‍රයන් නැව­තත් ප්‍රශ්න කළේ තැඹිලි ගෙඩි දෙකක් ඔස­වා­ගෙන ආ තරු­ණ­යා­ගෙනි.

“ගියා.. ආයෙත් එයි.”

“ඉතිං රාජු නොගියෙ ඇයි?”

කළුම කළු මුහුණේ දුඹුරු සිනා­වක් පැන නැඟිණ. නිතර බුල­ත්විට කෑමෙන් දුඹුරු පැහැ ගැන්වුණු දත් දෙපෙළ ඒ මුහුණේ පිය­කරු බව මඳ­කින් පළුදු කරයි.

“මාත් යන්ඩෝනෑ මාතියා...”

කණ්ඩා­යම සමඟ එක්ව ගමන් කර­නවා වෙනු­වට තනිව පිටව යන්නේ මක් නිසා­දැයි කුහු­ලක් මතු වුවද බ්‍රයන් තවත් කිසි­වක් නොඇ­සු­වේය. ඔහු තැඹිලි ගෙඩිය ගත්තේ ද ඕනෑ­වට එපා­වට මෙනි. පිපා­සි­තව හුන් සිරි­මාන්න තැඹිලි ගෙඩිය එක හුස්මට හමාර කළේය.

“ඔය ළම­යට බොහොම ස්තුතියි” යි ඔහු ශිෂ්ට සම්පන්න බව ගෙන හැර පෑ කල තවම මුළු­ම­නින් ම ශිෂ්ට නොවූ තරු­ණයා මුව කොන සලිත කළා පමණි. ඔහු සිය විසි­පස් වස­රක ජීවි­තය මුළුල්ලේ කිසි­ව­කුට ස්තුති කර නැත්තේය. එමෙන්ම කිසි­වෙ­කු­ගෙන් සමාව අයැද නැත්තේය. අව­ශ්‍යතා මෙන් ම සිරිත් විරිත් ද සරල වූ අතර ප්‍රමා­ණය ඉක්මවා නොගි­යේය. ශිෂ්ට සම්පන්න සමා­ජයේ හුදු රැව­ටි­ලි­කාර ස්වභා­යෙන් අත් මිදී ව්‍යාජ­ත්ව­යට වහල් නොවී සිය තිරි­සන් සත්ත්ව­යාට වඩා යම් තර­ම­කින් පම­ණක් වෙනස්ව ජීවත් වන්නට සිදු­වීම පිළි­බ­ඳව ඔහු නොතැ­වෙයි. බොහෝ සිති­විලි හෝ හැඟීම් ද පශ්ච­ත්තා­ප‍යන් ද ඔහුගේ හද­වතේ නොවෙයි. එහෙත් ඒ සියු­මැලි තරු­ණි­යගේ මත­ක­යෙන් මිදෙ­න්නට ඔහු මේ තාක් සමත් වූයේද නැත.

“අපි යනවා” යි සිනා­ව­කින් තොර­වම බ්‍රයන් මෝටර් රියට නඟි­න්නට සැර­සු­ණේය.

“මේ.. ඇයි මාතියා... ඒ නෝන මාති­යට මොකද වුණා..?” යි නො අසා සිටි­න්නට රාජු අපො­හො­සත් විය.

“නෑ අපි හිතුවා එයා මෙහෙ එන්න ඇති කියලා...”

ඒ පිළි­තු­රෙන් සෑහී­ම­කට පත් නොවූ­වද රාජු තවත් යමක් නොඇ­සු­වේය. කෙමෙන් නොපෙනී යන වාහ­නය වෙත යොමුවී තිබුණු යෞවන දෙනෙත මොහො­ත­කට අඳු­රුව ගියේය.

මේ රාත්‍රි­යෙහි සිය අඳුරු දෙන­යන පිරුණු කඳුළු සඟවා ගන්නට සිරි­මාන්න වෙහෙ­සු­ණේය. විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු ලෙස තමා භාවා­ති­ශය විය යුතු නැතැයි ඔහු සිතයි. එහෙත් දිය­ණිය එකම දිය­ණිය අතු­රු­දන් වූ කල නොතැවී නොසැලී සිටි­න්නට ඒ විදු­හ­ල්පති පද­විය රුකුල් නොදෙන බවද වටහා ගත්තේය.

“දැං අපි මොකද කරන්නෙ අංකල්?”

තමාට ප්‍රමාද වන බව නොකී බ්‍රයන් පහත් හඬින් ඇසු­වේය.

“තවත් බලා ඉඳලා බෑ බ්‍රයන්.. අපි පොලී­සි­යට යමු. ප්‍රින්සි­පල් කෙනෙක් විදි­යට බලා හිටියා හොඳට ම ඇති. දැං ඉතිං තාත්තෙක් වගේ පොලීසි දුව­න්නයි සිද්ධ වෙලා තියෙන්නේ.”

බ්‍රයන් හිස සැලු­වේය. කව­දත් තමා ප්‍රිය නොකළ මිනිසා පිළි­බ­ඳව යම් සුප­සන් හැඟී­මක් සිත පුරා පැතිර යන බවද අව­බෝධ කර ගත්තේය.

“මම බ්‍රයන්ව ගෙද­රට ඩ්‍රොප් කරලා පොලී­සි­යට යන්නං..”

තරු­ණයා නොස­න්සුන් විය.

“මා.. මාත් එන්නං අංකල්.”

“නෑ නෑ ඕන නෑ. බ්‍රයන් ගෙදර යන්න. දැන­ට­මත් ඔයාගෙ මමියි ඩැඩීයි මඟ බලා­ගෙන ඇති.”

බ්‍රයන් මඳ සිනා­වක් පෑවේය.

“මං මමීට කීවා අංකල් එක්ක ඉන්නෙ කියලා..”

සිරි­මාන්න වම­තින් නළල පිරි­මැ­ද්දේය. කිසි­වක් පව­ස­න්න වුව­මනා වුවද එයින් තමාගේ ගරු­ත්ව­යට හානි­යක් සිදු­වනු ඇත්දැයි සැක­යෙන් පීඩා වින්දේය.

“ඇයි අංකල්...?”

බ්‍රයන් වහා ප්‍රශ්න කළේ පළ­මුව බිරින්දෑ ද දෙව­නුව දිය­ණිය ද අහිමි වූ මිනිසා පිළි­බ­ඳව හට ගත් දයා­නු­ක­ම්පා­වෙන් මොළොක්ව ගිය හඬිනි.

“මං දෙයක් කිය­න්නම ඕන බ්‍රයන්. ඒක නොකියා හිටි­යොත් මං මහා කුහක මිනි­හෙක්..”

කුහු­ලින් දැල්වෙන දෑසින් ඔහු සිරි­මාන්න දෙස බලා සිටි­යේය.

“අපි හිතා­ගෙන ඉන්නෙ අපි නොදන්න දෙයක් නෑ කියලා මේ ලෝකේ.. ඒත් බලා­ගෙන යන­කොට අපි මොනාද දන්නෙ ඉල­න්දා­රියා...”

“ම.. මට තේ‍රුන්නෑ අංකල්..”

“ඔයාට නෙමේ බ්‍රයන් මටයි තේරුම් ගන්න බැරි ව‍ුණේ ඔයා­ලව.. කොල්ලෙ­කුයි කෙල්ලෙ­කුයි අතරෙ ආදර සම්බ­න්ධ­යක් ඇරෙන්න වෙන කිසි දෙයක් තියෙන්න බෑ කියලා හිතන්න තරම් ඔළ­මො­ට්ට­ල­යෙක් වුණානෙ මම.” යි කී සිරි­මාන්න සිනා­සු­ණේය.

තරු­ණ­යාගේ සිතට මහත් සැන­සු­මක් ගලා ආවේය. නොකළ වර­ද­කට චූදි­ත­යෙ­කුව සිට හදි­සියේ නිදොස් කොට නිද­හස් කළ සෙයින් ඔහුට සැහැ­ල්ලු­වක් දැනිණ.

“අමාලි හුඟක් වෙනස් ගෑනු ළම­යෙක් අංකල්. එයාට හැම­දාම ඕන වුණේ එයාගෙ අම්මව හොයන්න. වෙන ගෑනු ළම­යින්ට වගේ ආදර හුට­පට තිබ්බෙම නෑ අංකල් එයාට. ඒක මම හොඳට ම දන්නවා..”

සිරි­මාන්න හිස සැලු­වේය.

“වැඩි­හි­ටියො විදි­යට අපි කරන ලොකුම මෝඩ­කම තමා තරුණ අය කියන කිසි දෙයක් විශ්වාස නොකි­රීම. අපේ උද්ධ­ච්ච­ක­මට අහං­කා­ර­ක­මට අපි තව කෙනෙ­කුට ඇහු­ම්කන් දෙන්නෙම නෑනේ.. මොකද අපි සියල්ල දත් කිය­ලනෙ හිතා­ගෙන ඉන්නෙ.”

උඩඟු උද්දච්ච මිනි­සෙ­කුගේ පාපො­ච්චා­ර­ණ­යෙන් විම­ති­යට පත් තරු­ණයා ඇහු­ම්කන් දුන්නා මිසක කිසි­වක් නොපැ­ව­සු­වේය.

“අපි යමු. කෝක­ටත් මම ගෙදර ගිහිල්ලා ම තමා පොලි­සි­යට යන්න ඕන. මොකද මේ ළමයා ගෙදර ආවද කියන්න බෑනේ. නාවත් නංගිට කෝල් එකක් හරි දුන්නද කිය­න්නත් බෑනේ...” යි කිය­මින් සිරි­මාන්න මෝටර් රිය පණ­ග­න්ව­න්නට තැත් කළේය. ඒ සැණින් ඔහුට බාධා කර­මින් දුර­ක­ථ­නය නද දුන්නේය.

“ඔව්. කතා කර­නවා”

ඒ උදා­සීන ස්වරය මුළු­ම­නින්ම වෙනස් කර­න්නට අනෙක් පස සිටින්නා සමත් වූ වග පෙනිණ.

“මොනවා..? ඔය ඇත්ත­මද?”

ඔහුගේ විම­තිය ද අප්‍ර­මාණ උද්යෝ­ගය ද වටහා ගත නුහුණු බ්‍රයන් මුව විවර කළේය. එහෙත් සිරි­මා­න්නගේ උස් ස්වරය ඔහුගේ ප්‍රශ්නය ගිල ගත්තේය.

“හරි මම එනවා.. මේ දැන්මම එනවා..”

* * * * *

කිසි­වක් වග­වි­භාග කර­න්නට පෙර සුනන්දා හඬා වැටු­ණාය. ඇය අමාලි දකින්නේ දෙදි­න­කට පසුය.

“අමා... මගෙ රත්තරං දුවේ..” යි කොඳු­ර­මින් ඇය කෙල්ල වැලඳ ගත්තාය.

“අඬන්න එපා අනේ” යි අමාලි ඇස කඳු­ළ­කින් තොරව ඉල්ලා සිටි­යාය. එය ඉල්ලී­ම­කට වඩා අණ කිරී­ම­කට ළං විය.

“ඔයා අපිට මේ දීපු දුක කොයි තරම්ද කියලා ඔයා දන්න­වද... අයි­යයි මායි...”

අමාලි ඒ හැඬි­ල්ලට ඉඩ නොදු­න්නාය.

“ඔයාගෙ අයි­යයි ඔයයි දැං යන්න. මම අෂේන්ලා එක්ක එන්නම්..” යි ඇය පැව­සුවේ දැඩි හඬිනි. එහි නොරුස්නා සහ­ගත බවක්ද විය.

“ඇයි ඔයාට අපිත් එක්ක එන්න බැරි?”

“අපි වෙන වෙන පාර­ව­ල්වල යන්නෙ අදක ඊයෙක නෙමෙ­යිනෙ නැන්දෙ...”

පශ්ච­ත්තා­ප­යෙන් මිරි­කෙ­මින් ශෝක­යෙන් දැවෙන, කඳුළු ගංගා­වක ගිලෙන දිය­ණි­යක අපේක්ෂා කළ සිරි­මාන්න ආපසු හැරු­ණේය. ඔහු තව­මත් ඇගේ බැල්මක් හෝ නොල­ද්දේය.

ලබන සතියට‍...

අදහස්