ලොවක් කැලඹූ නිතඹක් | සිළුමිණ

ලොවක් කැලඹූ නිතඹක්

ලන්ඩනයේ සුප්‍රසිද්ධ පිකැඩලි සර්කස් භූමිය එදින අතුරුසිදුරු නැතිව පිරී තිබිණ. ප්‍රේක්ෂකයන් අතරින් වැඩිදෙනකු පිරිමින්ය. ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටියේ වේදිකාවේ තිරය දිගහැරෙනතුරුය. ඒ අවදියේ මහා බ්‍රිතාන්‍ය මුදලින් සිලිං දෙකක් යනු තරමක වටිනාකමකින් යුතු මුදලකි. ඔවුන් මුදල් ගෙවා මේ බලා සිටිනුයේ ජීවිතයේ පළමු වරට දකින අමුතුම දසුනක් බලා ගැනීමටය.

ප්‍රේක්ෂකයන් මෙතෙක් දෑස් දල්වා බලා සිටි මොහොත එළැඹී වේදිකාවේ තිරය එසවිණ. වේදිකාව මතින් දිස්වූ දසුනින් මුසපත්වූ ඇතැමුන් සිහි එළවාගත නොහැකිව බලා සිටියදී තවත් අයෙක් විසිල් හඬ නංවන්නට වූහ. දුටු දෙයින් විමතියට පත්ව කෑකෝ ගසමින් හඬ නංවන්නවුන්ට මැදිවූ තවත් පිරිසක් උත්සාහ කළේ වේදිකාවට ගොඩ වදින්නටය.

1810 හා 1811 අතර වකවානුව ලෝකයේ වහල් වෙළෙඳාම දැඩිව ප්‍රචලිත ව තිබූ කාලපරිච්ජේදයකි. කිසිවකු නොදැන සිටියත් එදා පිරිස විමතියෙන් බලා සිටියේ ලෝකයේ පළමු වරට සිදුවූ බව කියන කළු ජාතික කාන්තා මිනිස් ජාවාරමේ බිල්ල දෙසය.

දකුණු අප්‍රිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රදර්ශනය සඳහා එංගලන්තයට රැගෙන විත් සිටි ඇය 19 හැවිරිදිය. ප්‍රදර්ශන භාණ්ඩයක්වූ ඇය දැක ගැනීමට එදා හැකියාවක් තිබුණේ ද අතමිටේ යමක්කමක් ඇති අයට පමණි. වේදිකාව මත ගීයක් ගයමින් සෙමෙන් ඇවිද යන ඇය දුටුමතින් විමතියට පත්වීමට තරම් ඇගේ වූ විශේෂත්වය කුමක්ද? ඒ එකල වෙනත් කිසිම කාන්තාවකට නොවූ බව කියන අඟපසඟය. ඇගේ නිතඹ විශාලත්වයෙන් කිසිවකට සමාන කළ නොහැකි තරම්ය.

සුද්දන් මුසපත් කළ විශාල දෙතොල්

කාලවර්ණ ශරීරයත් සමඟ ඇගේ මහත් වූ දෙතොල් එකල සුදු ජාතිකයන් විමතියෙන් මුසපත් කරලීය. අඟල් දෙකක් පමණ ඝන වූ ඒ දෙතොල් විවර කරමින් ඇය ප්‍රේක්ෂකයන් වෙත පාන්නේ මඳ සිනාවකි. අති විශාල නිතඹ සොලවමින් වේදිකාවේ අනෙක් කොනට යන ඇය ප්‍රේක්ෂකයන් වෙත සිය නිතඹපාමින් යළි හැරී ආපසු එන්නේ ඇත් ගමනෙනි. එංගලන්තයේ සුදු ජනයා සැබැවින්ම එවන් ශරීරයක් ඒ වනතුරුම දැක නොසිටියහ. සිරුරේ ප්‍රමාණයට වඩා අති විශාල ලෙස වැඩී පිටුපසට නෙරාවිත් තිබූ ඇගේ නිතඹට ඇතැමුන් තමන් අතවූ එකල මෝස්තරයක් සේ භාවිත කළ හැරමිටිවලින් ඇන බලන්නේ තමන් මේ දකින්නේ සැබෑවක්ම දැයි සිතාගත නොහැකිවාක් මෙනි. ජන කන්දරාවකගේ නෙත්සර පහර කෙසේ වුව හැරමිටි පහරවත් වගේවගක් නොමැතිව ඇය සිහින් හඬින් ගීයක් මුමුනමින් වේදිකාවේ ඇවිද යන්නීය. ඒ යනෙන වාරයක් පාසා ප්‍රේක්ෂකයෝ විමතියෙන් මුසපත්ව හඬ නඟති. ඇය එලෙස දිනකට දර්ශන වාර දෙකකට පෙනී සිටින්නීය. මෙවන් පොදු ස්ථානයකට පැමිණ මේ අතිවිශාල පංචස්කන්ධය දැක ගැනීමට අකැමැති නම්බුකාර ඇත්තෝ විශාල මුදලක් ගෙවා ඇය සිය මන්දිරවලටම ගෙන්වා ගනිති. එසේ පැමිණ සිටියදී මිනුම් පටිවලින් ඇගේ නිතඹේ ප්‍රමාණය මැන බැලීමට ද ඔවුහු පෙලඹෙති.

යුරෝපයේ සර්කස් සංදර්ශන සතකුගේ තත්ත්වයට පත් අප්‍රිකානු කාන්තාව ලෙස පසු කාලයේදී ප්‍රසිද්ධියට පත් ඇය නමින් සාරා බාර්ට්මන්ය. දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් නුවර දී ඇය උපත ලබන්නේ 1789 වසරේදීය. ‘කොයිකොයි’ නම්වූ එඬේර ගෝත්‍රික දැරියක වන ඇය මවුපියන්ගේ ඇවෑමෙන් වයස අවුරුදු 16දී විවාහ වන්නීය. ඇය ලද දරුවා කුඩා කලදීම මිය යයි. මේ අවදිය දකුණු අප්‍රිකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක්ව තිබූ කාලයයි. සැමියා යටත් විජිතවාදීන් අතින් මිය යෑමෙන් පසු සාරා ලන්දේසින්ගේ නෙත ගැටෙන්නේ ඇගේ ආසාමාන්‍ය ශරීර ලක්ෂණ නිසාය. වහල් වෙළෙන්දකු වූ පීටර් සීසර් වහලියක ලෙසින් සාරා සිය සොහොයුරාගේ නිවෙසේ මෙහෙකාරකමට යොදවයි. සාරාගේ නම ලන්දේසි වහර අනුව වෙනස් කෙරෙන්නේද එහිදීය. මේ අතරේ ඇය සීසර් සොහොයුරන්ගේ මිතුරකුද වන ඉංග්‍රිසි නැවක වෛද්‍යවරයකු වූ විලියම් ඩන්ලොප් නමැත්තා ගේ බාරයට පත්වෙයි. එංගන්තයේ සුපිරි දිවියක සැප සම්පත් ගැන සාරාගේ සිතේ සිහින මන්දිරයක් මවන විලියම් අවසානයේ තමන් සමඟ එංගලන්තයට හා අයර්ලන්තයට යෑමට සාරා කැමති කරවා ගනී.

මිනිස් ජාවාරමෙන් ධනය

1810 ඔක්තෝබර් මසදී සාරා ඔවුන් සමඟ කොන්ත්‍රාත්තුවකට එළඹෙන්නීය. එම කොන්ත්‍රාත් ගිවිසුම අනුව එංගලන්තයට හා අයර්ලන්තයට යන ඇය මෙහෙකාරකමට හා විනෝදය සඳහා ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස වේදිකාවල පෙනී සිටීමට බැඳී සිටින්නීය. ප්‍රදර්ශනවලදී උපයන ආදායම ඇයට ද ලැබිය යුතු අතර පස්වසරක ගිවිසුම්ගත කාලයෙන් පසු ඇයට නැවත අප්‍රිකාව බලා යෑමට අවසර ලැබේ. එහෙත් සාරා බාර්ට්මන්ගේ කතාව ප්‍රසිද්ධ වීමත් සමඟ එකල එංගලන්තයේ සිදුවූ කෘෘර මිනිස් හිංසනයටන්ට විරුද්ධව හඬ නඟන්නෝ මේ ගිවිසුම් ගැන සැක සංකා මතුකරති. ගෝත්‍රික කාන්තාවක වන සාරා මළපොතේ අකුරක් හෝ නොදැන ගිවිසුම්වලට එළැඹීම එක් ප්‍රශ්නයකි. සීසර් පවුල මිනිස් ජාවාරම් මඟින් උපයා ඇති ධනය නිසා ඔවුන් සාරා ප්‍රදර්ශනය කරමින් විශාල මුදලක් උපයා ඇති බවටද බොහෝ දෙනා සැක කළහ. එහෙත් ඒ මුදලින් සාරා විඳි සැපයක් නම් නැත්තේය.

ශරීරයේ නිතඹ හා කලවා ප්‍රදේශයේ අධික ලෙස මේදය තැන්පත්වීමෙන් හටගත් අසාමාන්‍ය ශාරීරික තත්ත්වයක් කාමුක මිනිසුන්ගේ නෙත් පිනවීම සඳහා ‘ස්වභාව ධර්මයේ මහා විස්මයක්’ ලෙසින් දක්වමින් ප්‍රදර්ශනය කිරීම එකල වහල් මෙහෙයට විරුද්ධව හඬනඟන්නන්ගේ දැඩි විරෝධයට ද හේතුවී තිබේ. ලන්දේසි ජාතිකයකු නිදහස් එංගලන්තයේදී සිදු කළ මේ මිනිස් හිංසනය ගැන එකල නීතිපතිවරයාට ද පැමිණිලි කෙරිණි. මේ ගැන තොරතුරු හෙළි කරමින් 2008 වසරේදී බ්‍රිතාන්‍ය ජර්නලයකට ලිපියක් ලියූ ඇමෙරිකාවේ එමොරි විශ්වවිද්‍යාලයේ කාන්තා හා අප්‍රිකානු කටයුතු පිළිබඳ මහාචාර්යවරියක පවසන්නේ එංගලන්ත නීතිපතිවරයා සිද්ධිය ගැන එකල පරීක්ෂණයක් සිදු කර ඇති බවයි. සාරා බාර්ට්මන්ගෙන් මේ ගැන කරුණු විමසද්දී, තමන් ලන්ඩනයේ රැඳී සිටින්නේ මුදල් ඉපයීමට බවත් කෙතරම් අපහසුතාට ලක්වුවත් කේප්ටවුන් කරා ආපසු යනතෙක් එංගලන්තයේ රැඳී සිටීමට තමන්ට අවශ්‍ය බවත් ඇය පවසා ඇතැයි වාර්තාවී ඇතිබවත් මහාචාර්යවරිය සඳහන් කරයි.

ඇගේ නිදහස පතා හඬ නැංවූවන් සාරාගේ කතාව අධිකරණය කරා ගෙනයද්දී ඉන් ලද ප්‍රසිද්ධිය නිසා සිදුවූයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස සාරාගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යෑමය.

වහල් මෙහෙය තුරන් කළ පසු යුරෝපා ජාතීන් නිර්ලජ්ජීව සිදු කළ මේ මිනිස් හිංසනය දුටුවන් එදා එය වාර්තා කර ඇත්තේ මෙසේය.

වන සතකුමෙන් ප්‍රදර්ශනයේ

“අඩි දෙකක් පමණ උස්වූ වේදිකාවකට ප්‍රදර්ශකයා ඇය කැටුව පැමිණියේ සර්කස් වේදිකාවකට සතකු රැගෙන එන්නාක් මෙන්ය. වනසතකු හසුරුවන්නාක් මෙන් ඔහු කියන විටදී වේදිකාව හරහා ඇවිද යෑමටත් සිටගැනීමට අණ කරද්දී සිට ගැනීමටත් වාඩිවීමට අණ කරද්දී වාඩිවීමත් ඇය කළාය. නරඹන්නන් ඇය දකිමින් ඝෝෂා නැඟුවේ වනසතකු දුටුවිට කෑ ගසන්නාක් මෙනි.”

මෙලෙස ලන්ඩනයේ ප්‍රදර්ශනය කිරීමෙන් සිවු වසරකට පසු සාරා පැරිසියට විකුණා ඇත. එහිදී නැපෝලියන්ගේ ශල්‍ය වෛද්‍යවරයයකු වූ ජෝර්ජ් කුවියර්ගේ නෙතට ඇය ලක්විය. කුවියර් යනු ප්‍රංශ ස්වභාවික හා සත්ව විද්‍යාඥයෙකි.

ප්‍රංශයේදී කාමුක වීනස් ලෙසින් ප්‍රසිද්ධියට පත් සාරා සමඟ රංගනයක යෙදීමේ අවස්ථාව ලද කුවියර් ඇය විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කළේය. ඉන්පසු ප්‍රංශ විද්‍යාඥයන් කීප පොළක්ම ඇය විවිධ ජීව විද්‍යාත්මක පරීක්ෂණවලට භාජනය කළහ. ඇතැම් අවස්ථාවලදී ඇය ඔවුන් ඉදිරියේ නිරුවත් වෙමින් අවයව ප්‍රදර්ශනයට සිදුවීම ගැන විරුද්ධත්වය පළ කළාය. එහෙත් ඉනුදු ඇය ලැබුවේ හිංසාවක් පමණි. මේ කාලයේදී සාරා විවිධ සිත්තරුන් අතින් සිතුවමට ද නැඟිණි.

විද්‍යාෙව් නාමයෙන් අවයව ප්‍රදර්ශනයට

යස ඉසුරු සොයා අප්‍රිකාවෙන් යුරෝපයට පැමිණි සාරාට අවසානයේ සිදුවූයේ අඩු වයසින් දිවියෙන් සමු ගැනීමටය. මිය යද්දී ඇය 26 හැවිරිදි වූවාය. මරණයට හේතුව ලෙස සඳහන් වූයේ නිව්මෝනියා රෝගයය. තවත් සමාජ රෝග කීපයක නම්ද ඇගේ මරණයට හේතුව ලෙස සඳහන්ය. එහෙත් මරණයෙන් පසුව වුව සාරාට නම් නිදහසක් නොලැබිණ. කුවියර් මරණින් පසු ඇගේ ශරීර අවයව ලබාගෙන ඒවායේ අනුසාරයෙන් ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා සාරාගේ අනුරුවක් කරවීය. කුවියර් ඇගේ ඇට සැකිල්ල සංරක්ෂණය කරවා මොළය හා රහස් අවයව විද්‍යාවේ නාමයෙන් යැයි සඳහන් කරමින් වීදුරු බඳුන්වල බහා සංරක්ෂණය කරවීය. මරණයෙන් පසුවද සාරා යළි ප්‍රදර්ශන භාණ්ඩයක් වූයේ එම අවයව 1974 වසර වනතුරුම ප්‍රංශ මිනිස් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබූ බැවිනි.

1981 වසරේදී සාරාගේ කතාව කෘතියක් ලෙසින් පළ වෙද්දී ඇගේ නම යළි යුරෝපයේ රැව් පිළිරැව් දෙන්නට විය. යටත් විජිත සමයේ කළු ජාතිකයන්ට සිදුවූ සූරාකෑමේ හා වර්ගවාදයේ ගොදුරකට උදාහරණ ලෙස තවමත් සිහිපත් කෙරෙනුයේ සාරාගේ කතාවය. ඇගේ කතාව රැගත් කෘති ගණනාවක් ඉන්පසු ලොවපුරා නිකුත් විය. 1994 වසරේදී දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානු රජයෙන් සාරාගේ සිරුරේ ශේෂ කොටස් හා ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් නිර්මිත ඇගේ අනුරුව සිය රටට බාරදෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රංශ රජය ඉල්ලීමට අවනත වෙමින් සිරුරු කොටස් බාර දුන්නේ 2002 වසරේදීය. දකුණු අප්‍රිකාවේ නැගෙනහිරි කේප් ප්‍රාන්තයේදී එම සිරුරු කොටස් ගෞරවාන්විතව මිහිදන් කෙරුණේ මවුරට අතහැර සාරා යුරෝපයට ගොස් වසර 192කට පසුය.

2010 වසරේදී සාරා බාට්මන් ජීවිතය අළලා සිනමා පටයක් නිපදවිණ. එය ලෝකය පුරා ප්‍රසිද්ධ වූ අතර මෙතෙක් සාරා ගැන නොදැන සිටි උදවියද ඇගේ කතාව අසා විමතියට හා කම්පාවට පත්වූහ.

මෑත වසරක සාරාගේ කතාව යළි කරළියට පැමිණියේ ලෝක ප්‍රසිද්ධ ගායිකා ෆියොන්සේ ගේ හඬ සමඟ සාරා ගේ කතාව නැවතත් සිනමා පටයකට නැංවීමට යන පුවතත් සමඟය. අප්‍රිකානු කාන්තාර බිමක සිට යුරෝපයේ මහ මැදුරු කරා පිය නඟමින් ලොව මිනිස් ජාවාරමේ පළමු කාන්තා බිල්ල ලෙස ඉතිහාසගත වූ සාරාගේ කතාව වර්ගවාදයේ හා අධිරාජ්‍යවාදයේ පීඩනයට ලක්වූවන් ගැන කෙරෙන කතාබහේදී තවමත් පුරා මුලින්ම සඳහන් වේ.

අදහස්