ලංකාව කාගේවත් කුණුවළක් නොවන්නට වහ වහා නීති සකසමු | සිළුමිණ

ලංකාව කාගේවත් කුණුවළක් නොවන්නට වහ වහා නීති සකසමු

විදෙස් මුදල් ගලා ආවේ සිංහල කෝටිපතියකුගේ සාක්කුවට

පිරික්සුමින් නිදහස් වූ බහාලුම් අස්සේ ආවේ කැළි-කසළ විතරද?

මීට තෙවසරකට පෙර අලුත් අවුරුදු දවසක මීතොටමුල්ල කසළ කන්ද පුපුරායමින් ජීවිත ගණනක් බිලිගත්තේ මුළු මහත් ලෝ වැසියන්ට නව ප්‍රවෘත්තියක් එක් කරමිනි. ලෝක ඉතිහාසය පුරා කුණු කන්දක් පුපුරා මිනිසුන්ගේ ජීවිත රැසක් බිලිගත් අවස්ථාවක් වාර්තා වූයේ ලංකාවෙන් වීම සැබැවින්ම ඛේදයට කරුණකි. සංවර්ධිත මෙන්ම ලෝකයේ දියුණු වෙමින් පවතින බව කියන එසේත් නැත්නම් තුන්වන ලෝකයේ රටවල් නමින් නම් කර ඇති රටවලටද විශාල ගැටලුවක් වී ඇති ‘කැළි කසළ’ අර්බුදය මේ වන විට ශ්‍රී ලංකාවද වෙළාගන ඇති බවට භයානක නිදසුනකි, එය.

කොළඹ, නුවර, කුරුණෑගල, මඩකලපුව, යාපනය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව පමණක් නොව; ගම්මාන ආශ්‍රිතවද කැළිකසළ ගැටලුව උග්‍ර වෙමින් තිබේ. මේ වන විට මෙලෙස ප්‍රතිචක්‍රීකරණය කරගැනීමට නොහැකි වූ කුණු කඳු ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම දැකගත හැකි අතර, ඒවා අවට ජනතාව මහත් පීඩාවකට ලක්ව සිටිති. එයින් ගම්‍ය වනුයේ පැවති රජයන් මෙන්ම වර්තමාන රජයද මේ සඳහා නොයෙක් විකල්ප ඉදිරිපත් කරමින් ක්‍රියා කළද මෙය තවමත් නොවිසඳුණු ගැටලුවක්ව පවතින බවයි.

සොයාගත නොහැකි වූ බහාලුම් දෙකේ තිබුණේ මොනවාද? ගියේ කොහාටද?

මෙලෙස අපේ කුණුවලට විසඳුම් අපට සොයාගත නොහැකිව සිටින මොහොතක ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කර සිටියේ පිට රට කුණු කසළ කන්ටේනර් පිටින් මෙරටට‍ එමින් තිබෙන වගකි. ඒ එංගලන්තයේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ කසළ කන්ටේනර් 98ක් ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟිනි.

මෙලෙස එක්සත් රාජධානිය විසින් මෙරටට එවනු ලැබූ කුණු කන්ටේනර් තුළ භාවිත කළ යළි ප්‍රයෝජනයට ගත නොහැකි මෙට්ටා තොගයක්, පාපස්නා, ප්ලාස්ටික් මෙන්ම කුරුලු පිහාටු, දිලීර, දිරාගිය ශාක අපද්‍රව්‍ය, පොලිතීන්, රෝහල් ඝන අපද්‍රව්‍ය ඇතුළු තවත් නොයෙක් දිරා නොයන දෑ අඩංගු බව රේගුව පවසයි. දැනට සොයාගත් කන්ටේනර් 98ට අමතරව මේ සමඟ තවත් කන්ටේනර් 02 ක් මෙරටට ගෙනැවිත් ඇති බවට රේගුව සැක කරන අතර, ඒවා සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද මේ අතර සැල වේ. මෙතෙක් කරන ලද පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ කටුනායක ආයෝජන කලාපයේ පිහිටා ඇති පෞද්ගලික සමාගමක් විසින් මේවා ගෙන්වා ඇති බවයි.

මෙරට ප්‍රසිද්ධ වේදිකාවල සහ ජනමාධ්‍ය ඔස්සේ පෙනී සිටින කෝටිපති ව්‍යාපාරිකයකු කසළ සිද්ධිය පිටුපස සිටින බවද රේගුව සැක කරයි. මේ පහත් ක්‍රියාව 2017 වසරේ සිට සිදු වෙමින් තිබෙන බවට රේගුවට තොරතුරු ලැබී ඇති අතර, ‍එලෙස ගෙන්වූ කසළ කන්ටේනර්වලට කුමක් සිදු වූයේද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු තවත් ආයතනවල සහයෝගය රේගුවට ලැබී තිබේ.

කුණු-කසළ මෙලෙස ගෙන්වීමත් සමඟ අදාළ රජය විසින් කසළ භාර ගන්නා රටවලට විශාල වශයෙන් මුදල් ලබාදෙන බව අන්තර්ජාතික තොරතුරුවලින් හෙළිව තිබේ.

මීට අමතරව මේ කැළිකසළ අඩංගු කන්ටේනර් අතර වෙනත් කන්ටේනර් තුළ වටිනා භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය ගෙන එන බවද කියයි. ඒ අනුව මෙම ජාවාරම සිදු කරන පුද්ගලයාට හෝ සමාගමට මුදල් ක්‍රම දෙකකින් ලැබේ.

මේ අතර පෙනී යන්නේ ලෝකයේ සුපිරි රටවල් රටවල් රැසකින්ම ආසියාවේ රටවල් වෙත කැළිකසළ අඩංගු කන්ටේනර් ප්‍රවාහනය කිරීම සිදු කර ඇති බවයි.

මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිවානය, දකුණු කොරියාව, ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක්ම වෙනත් රටවල කැළිකසළ මෙලෙස තම රටට ගෙන්වා ගනිති.

ඒ කෝටි ගණනින් මුදල් ගලා ඒම හේතුවෙනි. ලෝකයේ දියුණු යැයි කියනු ලබන රටවල කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ඇතත් අන්තර්ජාතික නීති උල්ලංඝනය කරමින් මෙලෙස තුන්වන ලෝකයේ රටවල් වෙත කුණු කුසළ එවන්නේ තම රටවලදී මේවා ප්‍රතිචක්‍රීකරණය සඳහා වැඩි මුදලක් වැය වන බැවිනි.

රටක අණ-පනත් උල්ලංඝනය කරමින් රටකින් රටකට භාණ්ඩ ප්‍රවාහනය දැඩි නීති විරෝධී ක්‍රියාවකි. අප රට සම්බන්ධ සිද්ධියේදී අන්තර්ජාතික නීති පවා උල්ලංඝනය කිරීමට මහා බ්‍රිතාන්‍යය නැත හොත් එංගලන්තය කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි. එංගලන්තය තම රටේ කසළ වෙනත් රටකට යැවූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ඔවුන් දිගින් දිගටම රටවල් රැසකට කැළිකසළ යවා ඇති බවත් විදෙස් තොරතුරුවලින් අනාවරණය වේ. ලොව ධනවතුන්, බලවතුන් යැයි කියාගන්නා රටවල් මෙසේ ක්‍රියා කරයි නම්, ඊට එරෙහි වන්නේ කුමන රටද යන්න පිළිබඳව ගැටලුවක් මතු වෙයි‍. රේගුව විසින් මෙය පරීක්ෂා කර හඳුනාගැනීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය විසින් රේගුවට දන්වා ඇත්තේ මේ කන්ටේනර් තොගය ‍නැවත ප්‍රතිඅපනයනය කරන ලෙසය. දැන් ශ්‍රී ලංකා වැසියන් බලා සිටිනුයේ එංගලන්තයේ කුණු කන්ද නැවත එංගලන්තයටම යවන දිනය කවරදා දැයි කියාය.

මේ අතර සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා පවසන්නේ 2013 අංක 1818/30 දරන ගැසට් නිවේදනය රටට අහිතකර විදේශ විෂ අපද්‍රව්‍ය ආනයනය කිරීමට මඟ සලසා ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් සහ සැලසුම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ඔහු සතුව පැවති බලතල යොදාගෙන මේ ගැසට් නිවේදනය නිකුත් කළ බවත්, ඒ ගැසට් නිවේදනය හේතුවෙන් විදේශවලින් මෙරටට ගෙන්වන අපද්‍රව්‍ය ගැන පරීක්ෂා කර බැලීමට ශ්‍රී ලංකා රේගුවට අවසර නැති බවත් ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

එංගලන්තයේ සිට කැළිකසළ බහාලුම් 102ක් මෙරටට ගෙන ඒම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ ආකාරයට රටට එන නීති විරෝධී බහාලුම් පිළිබඳ විමර්ශනය කිරීමටවත් රේගුවට අවස්ථාවක් නැහැ.

ඉදිරි පරපුර සඳහා පරිසරය රැකගැනීමට නම් 2013 අංක 1818/30 දරන ගැසට් නිවේදනය අහෝසි කර අහිතකර අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කරන ලෙස අප මුදල් ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ගැසට් නිවේදනයෙන් රේගු ආඥා පනත, ආනයන අපනයන පාලන පනත සහ හුවමාරු පාලන පනත නිදහස් කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධීව සිදු කෙරෙන ආනයන සම්බන්ධයෙන් රේගුවට කටයුතු කිරීමට නොහැකි වී තිබෙනවා.

2013 වසරේ සිට මෙලෙස අපද්‍රව්‍ය ආනයන කර ඇති බවට තොරතුරු අපට ලැබී තිබෙනවා. මීට පෙර මෙලෙස ගෙන්වූ කන්ටේනර් 122ක් වරායෙන් පිට කර ඇති බවටත් අපට තොරතුරු ලැබී තිබෙනවා.

මෙවැනි අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අවසර නැති වීම විශාල අනතුරක්. මෙවැනි කසළ සමඟ න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ බිහිසුණු බැක්ටීරියා වුවත් ශ්‍රී ලංකාවට ගෙන ආ හැකියි. මේ අහිතකර අපද්‍රව්‍ය ආනයනය කරන ව්‍යාපාරිකයා පිළිබඳ වහා රටට හෙළි කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවට කිසිදු ‍රටකින් කුමන අයුරකින් කුණු අපද්‍රව්‍ය ගෙන ආවත් ඒවා බාර නොගන්නා බවත් වහා ක්‍රියාත්මක වී ඒවා ප්‍රතිඅපනයනය කිරීමට ක්‍රියා කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික අපද්‍රව්‍ය කළමනාකාර ඒකකයේ අධ්‍යක්ෂක අජිත් වීරසුන්දර මහතා කීවේය.

ජගත් සම්මුතියක් වූ ‘පාසල් සම්මුතිය’ හා ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය අනුව අප රටට පසු භාවිත අපද්‍රව්‍ය ගෙන්වීම සපුරා තහනම් බවත් පසුගියදා මෙරටට ගෙන්වූ පාවිච්චි කළ මෙට්ට, කාපට්, ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නැවත එංගලන්තයට ප්‍රතිඅපනයන කරන ලෙස නියෝග කළ බවද වීරසුන්දර මහතා පැවසීය. මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදු නොවන්නට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීම බවත් ඒ පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙසටත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

කන්ටේනර් මඟින් ගෙනෙන මේ කසළ එක්තරා පෞද්ගලික ආයතනයක් විසින් තමන්ගේ ආයතනයෙන් ඉවත ලන කසළ සමඟ එකතු කර කොළඹ ඇතුළු නගර සභා කසළ ඒකක වෙත භාර දෙන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී හෙළි වූ අතර, ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති හේතුවෙන් මෙලෙස අවසරයකින් තොරව කසළ කන්ටේනර් වැනි දේ ගෙන්වාගැනීමට අදාළ සමාගමට හැකියාව ලැබී ඇති බවත්, මෙලෙස කසළ මෙරටට ගෙන්වීමෙන් අදාළ සමාගම රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවත් පැහැදිලිය.

මේ පිළිකුල් සහගත ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය කරගත් රේගු විමර්ශන කණ්ඩායමට සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන්ට පින් සිදු වන්නට, පත් වීමට ගිය අවදානම් තත්ත්වයකින් ගැලවී ගන්නට අපේ අහිංසක මහ ජනතාවට හැකියාව ලැබිණි.

ඉදිරියේදී තවදුරටත් මෙවන් කුණු ගඳ පතුරවන තුච්ඡ ක්‍රියා මෙරට සිදු නොවන්නට මෙරට නීති ප්‍රතිපාදනවල පවත්නා හිඩැස් වසා ලීම මේ මොහොතේ අප රටේ පාලකයන්ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමයි.

Comments