මේ සසුනින්-මිනිස් බවෙන් උපරිම පල නෙළා ගනිමු! | සිළුමිණ

මේ සසුනින්-මිනිස් බවෙන් උපරිම පල නෙළා ගනිමු!

අද අප සාකච්ඡා කරන්නේ අක්ඛන සූත්‍රයයි. 'අක්ඛන' කියලා කියන්නේ 'අවාසනාවන්ත වූ අවස්ථා' කියන අදහසයි.

බුද්ධ සාසනයේදී අවාසනාවන්ත අවස්ථා අටක් පිළිබඳ සඳහන් වී තිබෙනවා. මේ අවස්ථා අටෙන් නිදහස් වූ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය ලැබු අවස්ථාව කියලා. අවාසනාවන්ත වූ අවස්ථා අට අපි පසුව කතා කරමු. මුලින් අපි ක්ෂණ සම්පත්තිය ගැන කතා කරමු. ක්ෂණ කියලා කියන්නේ මොහොතට; සම්පත්තිය කියලා කියන්නේ උතුම් වූ කියන එකයි. ඒ අනුව ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ උතුම් වූ අවස්ථාව කියන අදහසයි. මොකක් ද මේ උතුම් වූ අවස්ථාව නැත්නම් වටිනා මොහොත? මේ බුද්ධ සාසනයයි, මිනිස් ජීවිතයයි එකට එකතු වූ අවස්ථාව තමයි මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. එයයි වටිනා මොහොත.

අප හැමෝටම මේ මොහොත ලැබුණා. මනුස්සයෙක් වෙලා ඉපදුණාට වැඩක් නැහැ, අප අඩු-පාඩු ඇතිව ඉපදුණා නම්. අැස්-කන්-නාසය නැතිව, ගොළු බිහිරිව ඉපදුණා නම්? අත්-පා නැතිව ඉපදුණා නම්? එවැනි අවස්ථාවලදී මනුස්සයෙක් වෙලා ඉපදුණාට, ඒ මිනිස් ජීවිතය පරිපූර්ණ නැහැ.

ඔබටත්, අපටත් ලැබිලා තිබෙනවා වාසනාවන්ත ජීවිතයක්. මනුස්සයෙක් වෙලා ඉපදුණාම අපට අහන්න ලැබෙනවා බුද්ධ සාසනය පිළිබඳව. අපේ මිනිස් ජීවිතයට බුද්ධ සාසනයක් ලැබී තිබෙනවා. කැමැති නම් අපට පුළුවන් ‍මේ බුදු සසුනත් මිනිස් ජීවිතයත් එකට එකතු කරන්න. මේ බුද්ධ සාසනය මුල් කරගෙන ධර්මයට අව‍තීර්ණ වෙන වැඩපිළිවෙළකට අවතීර්ණ වන්න අපට පුළුවන්.

** දන් දුන් පින් දුන් පළියට දහම අවබෝධ වනවාද?

ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ දන් දීම, පින් දීම පමණක් නොවෙයි; පන්සල්වලට උපකාර කරන එක පමණක්ද නොවෙයි. එයින් පමණක් ධර්මය අවබෝධ කරගන්න බැහැ. විනාඩි ගණනක් භාවනා කරලා ධර්මය අවබෝධ කරගන්න බැහැ. භාවනා කිරීමට පැයක් දෙකක් වෙන් කරන්න පුළුවන් නම් ධර්මය අවබෝධ කරගන්න පැත්තට අපේ සිත යොමු කරන්න පුළුවන්කම අපට තිබෙනවා.

මේ සාසනයෙන් ‍ප්‍රයෝජන ගන්න තැනට අප පත් වනවා. මේ සාස‍නයෙන් ප්‍රයෝජන ගන්නේ නැති අයත් ඉන්නවා. දන් දීලා විතරක් තුටු වන අය ඉන්නවා. ඒත් භාවනා කරන්නේ නැහැ. සාසනය ගැන හිතන්නේ නැති, දන් පමණක් දෙන අයට කියන්නේ ක්ෂණ සම්පත්තිය ඉක්මවන පිරිස කියලයි. ඒ බුද්ධ සාසනයක් මිනිස් ජීවිතයක් ලැබිලත් ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නේ නැති පිරිසයි. ඒ පිරිසට බුදුන් අවවාදයක් දෙනවා: 'කනෝ ඕවා උපච්චවා' - 'ක්ෂණ සම්පත්තිය ගෙවිලා යන්න දෙන්න එපා' කියලා. ක්ෂණ සම්පත්තිය ගෙවිලා ගියාම ශෝක කරන්න වනවා; නිරයේ වැටිලා දුක් විඳින්න වනවා කියලා කියනවා. පින් කරන අයට සුගතියක් ලැබෙන්න පුළුවන්. බුද්ධ සාසනයක් ලැබුණු වෙලාවක ඉපදිලා ඉන්න අය සතර අපායට යන කෙලෙස් ටිකවත් ප්‍රහීන කළ යුතුයි. එය නැති වන්නේ සෝවාන් පලයට පත් වෙලා පමණයි. එය නැති කරගත්තේ නැති නම් ප්‍රයෝජන ගන්න බැරි වනවා මේ ආත්ම භවයෙන් වත්.

බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් කියලා දෙනවා මේ ක්ෂණ සම්පත්තිය අහිමි වන අවස්ථා අටක් පිළිබඳව. පළමු වන අවස්ථාව තමයි ලොවුතුරා බුදු කෙනකු ලොව පහළ වෙලා ධර්ම දේශනා කරනවා; නැති නම් බුද්ධ සාසනයක් ලෝකයේ පවතිනවා; එහෙත් මේ සත්ත්වයා ඉපදිලා ඉන්නේ නිරයේ. බුද්ධ සාසනයක් තිබුණත් නිරයේ ඉපදිලා ඉන්න විට ඔහුට ක්ෂණ සම්පත්තිය නැහැ.

දෙවැනි අවස්ථාව තමයි බුද්ධ සාසනය ලෝකයේ තිබෙනවා; ඒත් මේ සත්ත්වයා ඉපදිලා ඉන්නේ තිරිසන් යෝනියේ. එවැනි අවස්ථාවකත් ධර්මය අවබෝධ කරගන්න බැහැ. තිරිසන් ආත්මයේ ඉපදුණු අය කලාතුරකින් තමයි පින් කරගන්නේ. බොහෝ විට රැස් කරන්නේ පව්. තිරිසන් සතුන් පින් කරගත් අවස්ථා ධර්මයේ සඳහන් වනවා. එහෙත් ධර්මය අවබෝධ කරගෙන මාර්ග ඵල ලබා නැහැ. බුදු රජාණන් වහන්සේට දහවැනි වස් කාලේදී උපස්ථාන කළේ පාරිල්‍යෙය කියලා ඇතෙක්. ඌ පලතුරු කඩාගෙන ඇවිත් බුදුන්ගේ පාත්‍රයට පූජා කළා; ලී දණ්ඩක් අරගෙන කකුලෙන් පාගලා තව ලී දණ්ඩක් හො‍ඬෙන් අරගෙන කකුලින් පාගාගෙන සිටින දණ්ඩේ අතුල්ලලා ගින්දර උපදවා ගිනි මැල ගහලා ගල් දාලා රත් කරලා ලීවල ආධාරයෙන් ඒ රත් වූ ගල් ගෙනිහිල්ලා ගල්වළවලට දාලා වතුර උණු කළා. ඉන් පසුව නානකඩය ගෙන බුදුන් වහන්සේ ළඟ පෙනී සිටියා. උන් වහන්සේ දැනගත්තා ස්නානයට ජලය සූදානම් කර ඇති බව. එසේ වස් කාලයක්ම බුදු හිමියන්ට මේ ඇතා ඇප-උපස්ථාන කළා.

බුදු රජාණන් වහන්සේ දේශනා කළා මේ පාරිල්‍යෙය ඇතා මනුස්සයෙක් වෙලා හිටියා නම් සෝවාන් ඵලයට පත් වනවා කියලා. එසේ සමහර සතුන් ඉඳලා තිබෙනවා පින් කරගත් අය. හැබැයි ධර්මය අවබෝධ කරගන්න බැහැ.

** බුදු සසුනක් තිබුණත් පලක් නැති උත්පත්ති අටක්!

බුදු රජාණන් වහන්සේ අසලට දිනක් දෙවි කෙනකු ඇවිත් වන්දනා කළා. බුදුන් වහන්සේ ඒ දෙවි කෙනාගෙන් ඇහුවා: 'මේ දිව්‍ය පුත්‍රයා ඕෂධී තාරකාවක් වගේ බබළනවා; ආනුභාව සම්පන්නයි; ඍද්ධි බලයත් තිබෙනවා. ඔබ කවුරුද?' කියලා. එවිට ඒ දිව්‍ය පුත්‍රයා: 'මම පෙර අත් භවයේ මැඩියකුව ජීවත් වී සිටියෙමි. මම ඔබ වහන්සේ කියන බණ අසමින් සිටි විට හරක් බලන දරුවෙක් එතැනට විත් මගේ පිට උඩින් කෙවිට තැබුවා. ඒ ළමයා ඒ බව නොදැන බණ ඇසුවා.‍ ඒ අතරේ මම ඒ කෙවිටට යට වෙලා මැරුණා. ඔබේ බණ ඇසීමෙන් මා මෙවැනි දිව්‍ය ආත්මයක් ලැබුවා' කියලා සඳහන් කළා. එයින් අපට පෙනෙනවා තිරිසනුන්ටත් පින් කරන්න පුළුවන් කියලා. එහෙත් බොහෝම කලාතුරකින් පමණයි තිරිසනුන්ට පින් කරගන්න අවස්ථාව උදා වන්නේ. ඒ වුණාට තිරිසනුන්ට මාර්ග ඵල ලබන්න බැහැ. ඒ නිසායි තථාගතයන් වහන්සේ ධර්ම අවබෝධ කරගන්න බැරි ස්ථානයක් ලෙස තිරිසන් ලෝකය හඳුන්වන්නේ.

තුන්වනුව ධර්මය අවබොධ කරගන්න බැරි අවස්ථාව දක්වන්නේ මෙහෙමයි: සම්බුද්ධ සාසනය ලොව පහළ වෙලා තිබෙනවා. යම් පුද්ගලයකු ප්‍රේත ලෝකයේ ඉපදී ඉන්නවා ඒ කාලයේ. මේ ප්‍රේත ලෝකයේ ඉපදුණ අයටත් ධර්මය අවබෝධ කරගන්න බැහැ.

පරදත්තූප ජීවින් නම් ඒ අයට පුළුවන් පින් අනුමෝදන් වෙලා තමන් ඉන්න ප්‍රේත ලෝකය සැපවත් කරගන්න. ඒත් ඒ අයට පින් දුන්නත් ප්‍රේතලෝකයෙන් නිදහස් වන්න නම් බැහැ.

ධර්මය අවබබෝධ කරන්න බැරි හතර වැනි අවස්ථාව නම්: බුද්ධ සාසනයක් තිබුණත් සමහර දිව්‍ය ආත්ම තිබෙනවා බොහෝ දීර්ඝ ආයුෂ තිබෙන. එවැනි තැනක ඉපදුණ හොත් ධර්මය අවබෝධ කරගැනීමට නොහැකියි. ඒ වගේම සමහර බ්‍රහ්ම ලෝක තිබෙනවා ඒවායේ ඉපදුණාමත් ධර්මය අවබෝධ කරන්න බැහැ.

පස්වැනි අවස්ථාව: සමහරු උපදිනවා ප්‍රත්‍යන්ත දේශවල. ඒ කියන්නේ භික්ෂූන් නැති රටවල. සද්ධාවන්ත උපාසක උපාසිකාවන් නැහැ. ඒ අයට ධර්මය අවබෝධ කරන්න බැහැ.

ස-වැනි අවස්ථාව: බුද්ධ සාසනයක් ඇති කාලයකදී වුවත් අප මිථාදෘෂ්ටික වුණොත්, ඒත් අපට ධර්මය අවබෝධ කරගන්න බැහැ.

සත් වැනි අවස්ථාව: බුද්ධ සාසනයක් තිබෙන කාලයකදී වුවත් අප අන්ධ ගොළු බිහිරි මන්දබුද්ධික වුණොත්, වැන්දාට, බුදු බණ ඇහුවාට මාර්ග ඵල ලබන්න බැහැ.

අට වැනි අවස්ථාව: බුද්ධ සාසනයක් තිබෙන කාලයකදී වුණත් දුර්වලව, අත්-පා නැතිව, කන් නැතිව ඉපදුණොත් ඒත් ධර්මය අවබෝධ කරගන්න බැහැ.

මේ අවස්ථා අටෙන්ම අත්මිදිලා, 'අප වාසනාවන්ත උපතක් ලබා තිබෙනවා,

දුර්ලභ මිනිස් ජීවිතයක් හා බුද්ධ සාසනයක් කියන මේ දෙකම අපට ලැබී තිබෙනවා' කියලා සතුටු වෙලා, බුද්ධ සාසනයේ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, මේ ආත්මභවයේම සතර අපායෙන් අත්මිදීමට අපිත් අධිෂ්ඨාන කරගනිමු.

අදහස්