මුළු අහසම වැසුණු කළු ජූලියේ කළු දුමාරය | සිළුමිණ

මුළු අහසම වැසුණු කළු ජූලියේ කළු දුමාරය

අම්මා හරි තාත්තා හරි නැතැව පාසලෙන් එළියට යන්න තහනම්. ගෙදරින් කවුරුහරි ඇවිල්ලා ඉන්නවා නම් යන්න පුළුවන් . නැති ළමයි කාර්යාලය ගාවට එන්න.”

වෙන දා ඔසරියකින් සැරසි පාසලට එන අම්මා ආවේ ගෙදරට ඇඳ සිටි ගවුම පිටිනි. අලුතෙන් පැමිණි විදුහල්පතිවරයා වූ අල්විස් සර් හමු වූ අම්මා මාවත් ඇඳගෙන ගෙදර දුවන්නට විය.

“ඇයි මොකද වෙලා තියෙන්නේ? ”

“දෙමළ මිනිස්සුන්ට ගහනවලු. කඩ ගිනි තියනවලූ. කොළඹ පැත්තේ හරි කලබලලු. තාත්තා මඟ එනවා ඇති. පේනවද අර අහසේ තියෙන කළු දුම.”

අම්මා පෙන්වන්නේ පාමංකඩ වැල්ලවත්ත පැත්ත අහසයි. මිනිස්සු පාර දිගේ දුවන්නේ කලබලයෙනි.

සිදු වන්නේ කුමක්දැයි යන්න ගැන හරිහැටි අවබෝධයක් නොතිබුණු ඒ සිද්ධි මාලාව මට අලුත් අත්දැකීම් පෙළක් විය. නිවෙස අසල දෙමළ පවුල් දෙකකි. කිසිවෙකු ඔවුන්ට හිරිහැර කරන්නට ආ විට අවට වැඩිහිටියෝ එය වැළකූහ. දෙමළ කෝලාහල ගැන ඇති මතකය එසේය. ජූලි කලබල, අසූතුනේ කළු ජූලිය දැන් නොයෙක් නම් වලින් හැදින්වෙන තිස් වසරක යුද්ධය සාපයක් වූ ත්‍රස්තාවාදයේ ආරම්භය ළමා වියේ සිටි අපට දැනුණේ එලෙසිනි. නමුත් ඒ යට ඇති කතාව ඊට වඩා බිහිසුණුය.

ගැටවර වියේ විසු ප්‍රභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන් විසින් යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරන්නේ 1974 වසරේදීය. පසුව එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභාකරන් මුදා හරින්නේ ඔහුට විරුද්ධව සාක්කි දෙන්නට කෙනෙකු ඉදිරිපත් නොවූ හෙයිනි. ත්‍රස්තවාදීන් විසින් 1982 වසරේ ජූලි මාසයේදී යාපනය නෙල්අඩි හන්දියේදී මරා දැමුණු පොලිස් භටයන් හතර දෙනාගේ සිද්ධියත්, ඉන් පසු එම වසරේම ඔක්තෝබර් මාසයේදි චාවාකච්චේරියේ පොලිස් ස්ථානයට කඩා වැදි පොලිස් භටයන් තිදෙනෙකු මරා ආයුධ පැහැර ගැනීමේ සිද්ධියත් සමඟ විරසකය කෙමෙන් ඇවිළෙන්නට විය. අළු යට තිබූ ගිනි වඩාත් ඇවිළෙන්නට වූයේ 1983 ජූලි 15 වැනිදා හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කොටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මිය යෑමත් ජූලි 23 දා රාත්‍රියේ මාර්ග පරීක්ෂාවක නිරත වෙමින් සිටි යුදහමුදා සාමාජිකයන් දහතුන් දෙනෙකු බිම් බෝම්බ පුපුරා යෑමෙන් හා ත්‍රස්වාදීන්ගේ වෙඩි ප්‍රහාරවලින්න මිය යෑමත් සමඟය.

අසූ තුනේ කළු ජූලියේ අත්දැකීම් ඇති මාධ්‍යවේදී ශිවප්‍රකාසම් නාගේෂ්වරන් මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

ඒ වන විට මගේ වයස අවුරුදු විසි නවයක් විතර ඇති. මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළේ. භාෂා පරිවර්තක හැටියට. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබුණේ ජනාධිපති මන්දිරය අසල. මම බෝඩ් වෙලා හිටියේ මරදානේ. කලින් දවසසේ රෑ තමයි හමුදාවේ අය මැරිලා තියෙන්නේ. මම මේ මුකුත් දන්නේ නෑ. සඳුදා උදේ මරදානේ ඉඳලා කොටුවට පයින් වැඩට ආවා. උදේ දහය විතර වෙනකොට ආරංචියක් ආවා ගිනි තියනවා කියලා. කොටුව පැත්තේ ගිනි ගන්න පටන් අරගෙන. අපි කෑම කන කඩයක් තිබුණා ලක්ෂ්මි කියලා. ඒ කාලේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකාව වුණේ මානෙල් අබේරත්න මිස්. ඇය මට කිව්වා නාරාහේන්පිට කන්තෝරුවට යන්න කියලා. මෙතැන ඔෆිස් එකේ හිටිය තවත් අයත් සමඟ මම වෑන් එකේ නාරාහේන්පිට යන්න පිටත් වුණා. රියැදුරු ඇරෙන්න අනෙක් ඔක්කෝම අය කාන්තාවෝ . ලේක්හවුස් එක පහු කරලා යනවත් එක්කම හමුදාවෙන් අපේ වාහනය නතර කළා. හැමෝම කිව්වා මට ඔළුව පහත් කර ගන්න කියලා. මම කිව්වා කමක් නෑ කියලා. එක්කෙනක් ඇහුවා දෙමළ අය ඉන්නවද කියලා. මම කිව්වා නෑ කවුරුවත් නැහැ කියලා. අපිට යන්න දුන්නා. අපි නාරාහේන්පිටට ගියා ඒත් එතැන ඉන්න බෑ. අධ්‍යක්ෂක තුමියට ඒ බව කිව්වාම ඇය මට කිව්වා ආයේ කොළඹ ඔෆිස් එකට එන්න කියලා. මම කොළඹ ඔෆිස් එකේ දවස් තුනක් හිටියා. කැන්ටිමේ මනුස්සයා විතරයි හිටියේ. එකම එක දවසයි තාත්තා මට දුරකතනයෙන් කතා කළේ. දවස් තුනකට පස්සේ පොලිස් නිවේදනයක් නිකුත් කළා අනාථ වුණ අයට ළඟම පොලිසියට එන්න කියලා. මමත් කොල්ලුපිටිය ගියා. පස්සේ මම මඩකලපුවට ගියා. ඒ මගේ ගම. ආයෙත් රස්සාවට ආවා. ඇවිත් මම බෝඩිමට ගියා.

අය කවුරුවත් නෑ. බෝඩිමත් කඩලා. තැන් තැන්වල වැටිලා තිබුණ මගෙ පොත් දෙක තුන ඇහිද ගත්තා. කොළඹ ආවට පස්සේ මම සුබ්‍රමනියම් කියන මිත්‍රයාගේ නිවෙසේ නතර වුණා. ඔහු හිටියේ වැල්ලවත්තේ. නමුත් කෝලාහල දවස්වල ඔහුගේ නිවෙසටත් ගිනි තියලා තිබුණා

නාගේශ්වරන් අතීත සිදු වීම් පවසන විට පසෙකින් සිටි ඔහුගේ බිරිය මංගලා ද තම හඬ අවදි කළාය.

“ඒ කාලේ මම හිටියේ රත්මලාන ජලසම්පාදන ආයතනයේ. අක්කා හිටියේ කොල්ලුපිටියේ. මම වැල්ලවත්තේ නතර වෙලා හිටියේ. කලබල ඇති වුණාම පොලිසියට ගියා පොලිසියෙන් රත්මලානේ එයාර්පෝට් එකේ කඳවුරට යැව්වා. පස්සේ අපිව බස් එකකින් වරායට ගෙනිච්චා. එතැනින් නැවකින් තමයි යාපනයට ගියේ. ඒ ගමන හරිම දුෂ්කරයි. නැවේ ගොඩක් මිනිස්සු හිටියා. පලාලි යන්න දවස් තුනක් ගත වුණා. පස්සේ මගේ ගම වන වඩමාරච්චියට ගියා. ටික කාලයක් මම ජලසම්පාදනයේ යාපනය ශාඛාවේ වැඩ කළා. ඒ අතීතය හරිම දුක්බරයි.

එදාට වඩා අද වැල්ලවත්ත නගරය ද බොහෝ සෙයින් වෙනස්ය. වසර තිස් හයක් යනු දිගු කාලයකි. ඇතැමුන් මියගොස්ය. වැල්ලවත්තේ දී අපට එච්. ඩබ්ලිව් චන්ද්‍රෙස්න හමු විය. ඔහු අසූ තුන ජූලි කලබල ඇති වන විට තරුණයෙකි.

“ඔය සිද්ධිය වූ දවසේ අන්න අර හරියේ තිබුණා සයිවර් කඩයක්. පිටින් ආව මිනිස්සු වගයක් සයිවර් කඩේ බඩු ඇදලා එළියට දැම්මා. පාරේ ගිය මිනිස්සු ඒවා අරගෙන ගියා. එදා හවස පහේ ඉදලා ඇඳිරි නීතිය දැම්මා. ඇදිරි නීතිය හවසට නිසා මම ගියා යාළුවෙක් මුණ ගැහෙන්න. ඒ වෙන කොට මම දැන ගෙන හිටියේ නැහැ ඒ ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි කියලා. කොහොම හරි පාරේ හිටිය මාව පොලිසියෙන් ඇල්ලුවා. දවස් හතරක් හිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඉන් පස්සේ මීගමුව බන්ධනාගාරයේ මාසයක් හිටියා. මාවත් කලහකරුවෙක් විදිහටයි අත්අඩංගුවට ගත්තේ. අන්තිමට දන්නෙම නැතුව නිදහස ලැබුණා. ”

චන්ද්‍රෙස්න පවසන්නේ තුරුණු වියේදි තමන් ලැබූ අත්දැකීම්ය.

මේ සිදු වීම් වන විට මනිවානන්ගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇත. ඔහුගේ වැඩිමහල් සොයුරියන් සිය අත්තම්මාගේ නිවසේ එනම් ලුණූගල පදිංචිව සිට ඇත. ඔහු මවත් පියාත් සමඟ සිටියේ බණ්ඩාරවෙලය.

“අපේ තාත්තට සිංහල මුස්ලිම් යාළුවෝ හිටියා. තාත්තා ඡායාරූප ශිල්පියෙක්. මමයි අම්මයි විතරයි එදා ගෙදර හිටියේ. තාත්තා හදිස්සියෙන් ගෙදර ආවා ඇඳගෙන හිටිය ඇඳුම් පිටින්ම අපිවත් එක්ක ගෙන ගියා. ප්‍රධාන පාරෙන් ගියේ නැ . කුඹුරුවලින් පැන පැන ගියේ. මට මතකයි මම තාත්තා පස්සෙන් දිව්වා. තාත්තා ගියේ එයාගේ මුස්ලිම් යාළුවෙකුගෙ ගෙදරට. ඒ ගෙදර ඇතුළේ කාමරයක අපි හිටියේ. තාත්තා ඒ ළමයින්ට ඉංග්‍රිසි ඉගැන්නුවා. ඔවුන් අපට හොඳින් සැලකුවා. මිනිස්සු ඇවිල්ලා දෙමළ මිනිස්සු ඉන්නවද කියලා අහනකොට එහෙම අය නෑ කියලා ඒගොල්ලෝ අපිව බේරාගත්තා . පස්සේ අපි බදුල්ලේ කෑම්ප් එකට ආවා. කලබල ඉවර වෙනකම් වගේ එතැන හිටියේ. අක්කලයි ආච්චි අම්මයි අනෙක් නෑයෝ ඔක්කෝම එකට හමු වුණේ ඒ කෑම්ප් එකේදි.”

දැන් කොළඹට ආසන්නයෙන් පදිංචිව සිටින මදිවානන් පවසන්නේ තම බාල වියේදි අත්දුටු වේදනාකාරි අත්දැකීම් ගැනය.

සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් වේවා සමාන්‍ය ජනතාව කවදත් එකිනෙකා කෙරෙහි ළෙන්ගතුය. නමුදු අවුළන තරමක් ගිනි අවුළන්නේ පසෙකින් සිටින්නවුන්ය. ඒ තම අරමුණු කරා.

“ඒ කාලේ බදුල්ලේ හිටියා බොහෝම හොඳ දෙමළ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රෝගීන් බොහෝ ගණනක් සුවපත් කළා. නමුත් කලබල කාලෙදි ඔහුත් සමඟ ඔහුගේ බිරිඳ දරුවෝ මෝටර්රථය පිටින්ම ගිනිතියා මරා දැමුවා. එහෙම කළේ ජාතිවාදි අදහස් දැරුවන් විසින් අවුළුවා ලු මිනිසුන්.”

මා මිත්‍රයකු කිවේ අසූතුනේ ජූලි කලබලවලදි ඔහුගේ ගමේදී ඔහු ඇසූදුටුදෙයය.

දුර දිග නොබැලු බල තණ්හාවෙන් පෙළුණු මිනිසුන් තම අවශ්‍යතා වෙනුවෙන් හැම විටම බිල්ලට ගත්තේ මේ රටේ මිනිස්සුය. ලොක්කන් වැජඹෙන විට පොඩි මිනිසා විඳෙව්වේය. තිස්වසරක යුද්ධයෙන් තැළුණේ පොඩි මිනිස්සුය. කළු ජුලියට අවුරුදු තිස් හයකි. කොතරම් දියුණු රටක් යැයි කීවත් අප තවමත් ම්ලේච්ඡත්වය අත්විඳිමින් සිටින්නෙමු.

ඡායාරූප - රුවන් ද සිල්වා

අදහස්