පොතේ දැනුමින් එහා ගොස් ලොව ජය ගත් අයෝධ්‍ය | සිළුමිණ

පොතේ දැනුමින් එහා ගොස් ලොව ජය ගත් අයෝධ්‍ය

සුභාෂිණි ජයරත්න

පොතපතින් එහා ගිය දැනුමින් සන්නද්ධව, පුංචි සිතකින් මහා ලොකු දේවල් කරන්නට වැර දරන දරුවෝ රටේ සම්පත්ය. පෙළපොතට පමණක් සීමා වූ, විභාග සමත් වීම ඉලක්ක කරගත් දරුවන් අතර මෙවන් දරුවෝ ලෝකයක් තුළ අලුත් දෙයක් සොයන්නට වැර දරති.

අයෝධ්‍ය පංචාල ද සිල්වා, අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විදුහලේය. තවමත් සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබුවද අයෝධ්‍යට සිතන්නට විභාගයෙන් එහා ගිය ලොවක් තිබිණි. ඔහුට ඇවැසි වූයේ සමාජයේ පීඩාවට පත් පුද්ගලයන්ට සහනයක් ගෙනෙන ලෙස සිය දැනුම හසුරුවන්නටය. කොළඹ නාලන්දා විදුහල ඔහුට ඒ සඳහා සුදුසු තෝතැන්නක් සැපයීය. කොළඹ නාලන්දා විදුහලේ පර්යේෂණ සංගමයට බැඳුණු අයෝධ්‍ය වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වන ග්‍රාමීය ජනතාවට පිහිටක් වන්නට සිය පර්යේෂණ දැනුම මෙහෙයවන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ලොව බලවත් රටවල් 31ක් අබිබවමින් ලෝකයේම ඇගැයීමට පාත්‍ර වන්නේ සිය නිමැවුම වෙනුවෙන් මැලේසියාවේ පැවැති අන්තර්ජාතික තරුණ විද්‍යාඥයන්ගේ පර්යේෂණ තරගාවලියේ (International Young Scientist Innovation Exhibition) පරිසර විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හා රන් පදක්කම දිනාගනිමිනි.

අයෝධ්‍ය පංචාලගේ පර්යේෂණයට පදනම් වන්නේ මෙතෙක් ප්‍රතිකාර සොයා නොගත් වකුගඩු රෝගය වැලඳීමට බලපාන ජලයේ ඇති ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කරන නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් සොයාගත් බැවිනි.

“මම පොඩි කාලේ සිටම රසායන විද්‍යාව හදාරන්න ගොඩාක් ආසාවෙන් හිටියා. මගේ නැන්දා ආචාර්යවරියක්. ඒ වගේම මගේ තාත්තා නාවික අංශයේ ඉංජිනේරුවෙක්. පොතපතට වඩා මම ගොඩාක් ආසයි පර්යේෂණ අංශයෙන් ඉදිරියට යන්න. මේ නිසා 9 වසරේ සිටම මම පර්යේෂණවලට සහභාගි වුණා. මට ඕනෑ වුණා අපේ රටේ ග්‍රාමීය පළාත්වල ජනතාව විඳින ප්‍රශ්නයකට විසඳුම් දෙන්න. අපේ රටේ සමහර පළාත්වල වතුර ඇති රසායකින කාරක නිසා නිසා වකුගඩු රෝගය පහසුවෙන් ජනතාවට වැලඳෙනවා. ඒත් ඒ අයට ඒ වතුර බොනවා හැර වෙන විකල්පයක් නැහැ. මගේ පර්යේෂණයට පදනම් වන්නෙත් එයයි. මේ ජනතාවට තමන් බොන වතුර ටික පිරිසුදු කරලා විස රසායනිකවලින් තොරව බොන්න පුළුවන් නම් එය ලොකු දෙයක් වනවා. මගේ මේ පර්යේෂණයේදී එවැනි විස සහිත බැර ලෝහ වතුරේදීම නැනෝ තාක්ෂණය භාවිතයෙන් ඉවත් කරන නැනෝ ක්ලේ එකක් මම සොයාගත්තා. මෙය කුඩක් වැනි දෙයක්. මේ නැනෝ ක්ලේ කියන්නේ මෙතෙක් ලංකාවේ සොයා නොගත් දෙයක්. එය මම හැඳින්වූයේ Aksnite කියලා. මෙය අපේ ලංකාවේ පොළොවෙනුත් සොයාගන්න පුළුවන්. මෙය ෆිල්ටර් ක්‍රමයක්. ඒ වගේම ජලයේ දිය නොවන්නක් හා විස රහිත දෙයක්. මෙය වැඩිදියුණු කරන්න අවස්ථාවක් මට ලැබුණොත් මෙය අපේ රටේ ග්‍රාමීය ජනතාවටම අඩු මුදලකින් සකස් කරගන්න පුළුවන් දෙයක් බවට පත් කළ හැකියි...’’ අයෝධ්‍ය පවසයි.

මෙය අයෝධ්‍යගේ පළමු පර්යේෂණය නොවේ. පසුගිය වසරේ ඔහු ජලයේ අහිතකර ක්ලෝරෆෝම් ඉවත් කරන ක්‍රමයක්ද සොයාගත් අතර, එයද පසුගිය වසරේ මැලේසියාවේ පැවැති මේ අන්තර්ජාතික තරුණ විද්‍යාඥයන්ගේ පර්යේෂණ තරගාවලියට ඉදිරිපත් කිරීමෙන් රිදී හා ලෝකඩ සම්මානයන්ට පාත්‍ර විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සහාය අයෝධ්‍යට පර්යේෂණ කටයුතුවලට ලැබුණු අතර කාර්මික තාක්ෂණ ආයතනයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ සහායද නොඅඩුව ලැබිණි.

“නාලන්දා විදුහලේ දරුවෝ සැම වසරකම අන්තර්ජාතික සම්මාන ලබාගන්නවා. 2011 වසරේ තමයි පාසලේ පර්යේෂණ සංගමය ආරම්භ වුණේ. මේ නිසා පොඩි පන්තිවල දරුවන් පවා පර්යේෂණ කටයුතුවලට සිත යොමු කරනවා. අපේ රටේ පාසල් දරුවකු වශයෙන් මේ තරගයට මෙවර ඉදිරිපත් වුණේ මේ දරුවා පමණයි. මේ තරගයට රටවල් 31ක් ඉදිරිපත් වුණා. නාලන්දා විදුහල අද පර්යේෂණ අංශයෙන් ඉදිරියටම ගිහින්. පාසල් දරුවන් අන්තර්ජාතික තලයට ගොස් අත් කරගත් ඉහළම සම්මානය හිමි කරගත්තේත් නාලන්දා විදුහලේ දරුවෙක්. ඒ මහ රැජනගේ තරුණ නායකත්ව සම්මානය. ඒ වගේම මේ පාසලේ දරුවන් ඩෙංගු රෝගයට පිළියමක්, ලියුකේමියා එච්අයිවී ආසාදනයට ප්‍රතිකාර, මල්වල පරාගවලින් ඇදුම සෑදෙන ආකාරය, ගර්භාශ බිත්ති පිළිකාවලට පිළියම්, සාම්ප්‍රදායික සහල් භාවිතයෙන් දියවැඩියාවට පිළියම් වැනි පර්යේෂණ කර අපේ දරුවන් අන්තර්ජාතිකව ඉහළම සම්මාන හිමි කරගත්තා. විදුහලේ විද්‍යා පර්යේෂණ භාර ආචාරිනි ලෙස කටයුතු කරන්නේ, දරුවන් දිරිගන්වන්නේ උපේක්ෂා අබේසේකර මහත්මියයි.

අපේ දරුවන් පසුගිය වසරේ අන්තර්ජාතික තත්ත්ව යටතේ ඇගයීමට පවා ලක් වණා. හැම ළමයකුටම මෙවන් සුවිශේෂ හැකියා උරුම වන්නේ නැහැ. ඒ නිසා අපේ පාසලේ දරුවන් කුඩා කාලයේ සිටම මෙවැනි දෙයට අප යොමු කරනවා...’’ ඒ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වාත්තුහේවා මහතාය.

අයෝධ්‍ය වැනි දරුවන් රටට සම්පතක් බව අමුතුවෙන් නොකිව මනාය. “මම ඉදිරියේදී රසායන විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා මෙවැනි පර්යේෂණ කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පිළිකා සෛල විනාශ කරන්න හැකි ප්‍රතිකාරයක් සොයාගැනීම මගේ ඊළඟ බලාපොරොත්තුවයි...’’ පුංචි සිතේ ගොඩනැඟුණු ඒ මහලොකු බලාපොරොත්තුව තුළ ඉදිරියේදී ලොවක් ජය ගැනීමේ හැකියාව රැඳී නැතැයි කිව හැක්කේ කාටද?

සේයාරූ - කැලුම් ලියනගේ

අදහස්