තෙත් කලාපය කැලඹෙයි; ඒත් වියළි කලාපය තවමත් වියළියි | සිළුමිණ

තෙත් කලාපය කැලඹෙයි; ඒත් වියළි කලාපය තවමත් වියළියි

දකුණේ උදම් රළ තවත් වැඩි වෙයි

මේ දවස්වල සුළං වැඩියි-මුහුදු යන්න එපා!

දකුණු - බස්නාහිර ධීවරයන්ට අනතුරු ඇඟවීම්

1997 දී ත්‍රිකුණාමලයට අඩි 24ක් උස උදම් රළ ඇවිත්

පසුගිය සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය වෙනදාටත් වඩා පුදුම අයුරකින් වෙනස් වෙමින් පවතියි. වියළි කලාපය දැඩි නියඟයකට ලක් වී ඇති අතර, තෙත් කලාපයට දැන් ඉහළ වර්ෂාවක් ලැබෙමින් පවතියි. ඒ අතර වියළි කලාපයේ උෂ්ණත්වය වෙනදාටත් වඩා ඉහළ ගොස් ඇති අතර, තෙත් කලාපයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. ලෝක දේශගුණ විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන් මෙන්ම අපේ රටේ පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙසද මෙවැනි විෂම කාලගුණ තත්ත්ව ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතයයි.

පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා රටේ දකුණු, බස්නාහිර හා සබරගමු පළාත්වලට මි.මී. 100කට වඩා වැස්සක් ලැබිණි. ඒ නිසා කළු, කැලණි ගංගාවල ජල මට්ටම වැඩි වූ අතර රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල නාය යෑමේ අවදානමක්ද හටගෙන වී ඇත.

18 වැනිදා රත්නපුර කුඩව ප්‍රදේශයට මි.මී. 172ක්ද නුවරඑළිය ඩන්කල් ප්‍රදේශයට මි.මී. 120ක්ද අයුරින් වැඩි වර්ෂාවක් ලැබී ඇත. මේ වැසි අධික වීම හේතුවෙන් විශේෂයෙන් රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කවල නායයෑම් ඇති වීමේ ඉඩ-කඩ ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ පසුගිය දිනවල ඇදහැලුණු වැස්ස නිසා කළු ග‍ඟේ ජල මට්ටම පිටාර මට්ටමට ළං වෙමින් පවතින බවයි. මේ නිසා ඇලපාත, කිරිඇල්ල, අයගම වැනි ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

21 වනදා දක්වා මේ තත්ත්වය පැවතිය හැකි බවත් විශේෂයෙන් මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සිදු කළ යුතු සුළං වේගය පැයට කි.මී. 80-90 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. මේ නිසා විශේෂයෙන් වෙරළ ආශ්‍රිත පදිංචිකරුවන්ට හා කළු ග‍ඟේ හා කැලණි ග‍ඟේ අවට පදිංචිකරුවන් කාලගුණ විද්‍යා අනතුරු ඇඟවීම් පිළිබඳ දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව දන්වා සිටී.

තෙත් කලාපයේ තත්ත්වය මෙසේ වුවත් වියළි කලාපය හා ඉහළ කඳුකර ප්‍රදේශවලට වැසි නැත. මේ නිසා තවමත් මහවැලි විදුලි බලාගාර පද්ධතියේ ජලාශවල මට්ටම පහළ තත්ත්වයෙන් පවතී. එමෙන්ම වියළි කලාපයේ උෂ්ණත්වයද වෙනදාට වඩා වැඩි වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව 18 වැනිදා රටේ උෂ්ණත්වය වාර්තා වූයේ වවුනියාවෙනි. එය 37.6ocකි. මෙය තිබිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා 4ocකින් වැඩි වීමකි. 19 වැනිදා උෂ්ණත්වය යාපනයේ තිබිය යුතු මට්ටමට වඩා 4ocකින්ද මඩකලපුව සහ වවුනියාවේ උෂ්ණත්වය තිබිය යුතු මට්ටමට වඩා 3ocකින්ද වැඩි වී තිබිණි.

මේ දිනවල ගාල්ලට, කළුතරට, කොළඹට නිතර වැසි වසියි. ඒ අතර සුළං වේගයද පැයට කි.මී. 70-80 දක්වා ඉහළ යන අවස්ථාද ඇත. මේ නිසා ඇතිවූ අලුත් ස්වාභාවික ආපදාව උදම් රළය. නැත් නම් මුහුද ගොඩගැලීම්ය.

පසුගිය 15 වැනිදා ගාල්ලේ අකුරල හික්කඩුව හම්බන්තොට වෙරළ තීරයට පමණක් නොව, ඒ අසල මහා මාර්ගයටත්, වෙළෙඳ ව්‍යාපාරවලටත් මේ උදම් රළ හේතුවෙන් අලාභ-හානි සිදු විය. උදම් රළ අපට අලුත් දෙයක් නොවේ. එය අතීතයේ සිටම පැවත එන අපට බලපෑම් කරන සාගරය ආශ්‍රිත සුවිශේෂ සංසිද්ධියකි. සරලව පැවසුවොත් උදම් රළ යනු සූර්යාගේ හා චන්ද්‍රයාගේ උදම් ශක්තිය හේතුවෙන් සාගර මත ඇති වන ජල මට්ටම ඉහළ යෑම හා පහළ බැසීමයි. කාලය හා අවකාශය සමඟ වෙනස් වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් සහිත ඕනෑම වස්තුවක් මත මේ උදම් සංසිද්ධිය ඇති විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ කියති. පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශ ඊට උදාහරණ ලෙස ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුවත් උදම් රළ හා සුනාමි රළ වෙනස්ය. උදම් රළ සුළඟ නිසා ඇති වුවත් සුනාමි රළ ඇති වන්නේ භූමිකම්පාවක් හෝ සාගරයට උල්කාපාත වැටීමක් නිසා ඇති වන මුහුදේ කම්පනය නිසාය. උදම් රළ යනු චක්‍රීයව සිදුවන මුහුදු මට්ටමේ වෙනස්වීමක් ලෙසද අර්ථ දක්වනු ලැබේ. පැය කිහිපයක් මුළු ජල මට්ටම ඉහළ නැඟීමෙන් ජල ගැල්මක ස්වරූපයක් වෙරළට ළඟා වීමද මේ මඟින් සිදුවිය හැකිය. ජලය එහි ඉහළම මට්ටම වන බඩදිය මට්ටමට ළඟා වීම එහිදී සිදු වූ විට මුහුදු රළ මී. 4-6 දක්වා ඉහළ යෑමට ඉඩ ඇත. පසුගිය දිනවල මේ තත්ත්වය අකුරල ප්‍රදේ‍ශ‍යේ සිදු විය.

උදම් රළ මඟින් මහා පරිමාණ විදුලි බලාගාරද ඉදි කළ හැකිය. ලොව රටවල් ගණනාවක් ඒවා ඉදි කර ඇත. අසල්වැසි ඉන්දියාවේ ද ඒවා තිබේ. ගතික උදම් බලය මෙහිදී උපයෝගි කෙරේ. සාමාන්‍යයෙන් මුහුදේ වෙරළට සමාන්තරව කි.මී. 30 - 50 දිග විවෘත වේලි බැඳ, එමඟින් ඇතිවන රළ උපයෝගී කරගෙන අඛණ්ඩ බලශක්තිය නිපදවීම මෙමඟින් සිදු කෙරේ. මේ ක්‍රමය තනිකරම පුනර්ජනනීය බලශක්ති ක්‍රමයකි; වියදම් අවමය.

ඒ අනුව අපේ රටේ විවිධ ප්‍රදේශවලට පසුගියදා හානි කළ මේ උදම් රළ හෙවත් මුහුද ගොඩගැලීමේ සංසිද්ධිය උපයෝගි කර පර්යේෂණ සිදු කළ හොත් අපේ රටටද උදම් බලය මඟින් විදුලිය නිපදවන විදුලි බලාගාර ඉදි කළ හැකිය. දැනට වසර කිහිපයකට පෙර ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) කළ පර්යේෂණ මඟින් උදම් රළ විදුලිය පිළිබඳ විශේෂ ශක්‍යතාව රටට පෙන්වා දී ඇත. නිරිතදිග මෝසම් සමයේ මැයි, ජුනි, ජූලි මාසවලදී ගාල්ලේ උණවටුන ප්‍රදේශයේ මේ උදම් බල රළ බල ශක්තිය ඉහළ මට්ටමක පවතින බව නාරා ආයතනය කළ පර්යේෂණ මඟින් හෙළිව තිබේ. නාරා ආයතනයේ සමුද්‍ර භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය කමල් තෙන්න‍කෝන් දිගුකලක් මේ පර්යේෂණ සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හා හිටපු කාලගුණ විද්‍යා කේ.ආර්. අභයසිංහ මහතා පවසන පරිදි පසුගියදා දකුණේ ඇති වූ උදම් රළ අඩි 10ක් පමණ ඉහළට ගොස් තිබිණි. එහෙත් ඔහු පවසන පරිදි 1997 හා 2001දී දෙසැම්බර්, ජනවාරි මාසවල ඊසාන දිග මෝසම් සුළං නිසා ත්‍රිකුණාමලයට මඩකලපුවට අඩි 24ක් දක්වා ඉහළට උදම් රළ ඇති විය. මේ අනුව ඊසානදිග සුළං ඇති කාලයට න‍ැඟෙනහිර පළාතේ උදම් රළ බහුලව ඇති වේ. ඉන් මුහුද ගොඩගැලීම්ද සිදු වේ. මැයි, ජුනි, ජූලි මාසවල දකුණ, බස්නාහිර හා වයඹ පළාත්වල බහුලවට උදම් රළ ඇති වේ.

බලශක්ති ගැටලු ඇති අපේ රටට උදම් රළ උපයෝගි කරගෙන රළ බල විදුලිය නිපදවීමට කටයුතු කළ හොත් එය අපේ රටට ඉතා ලාභදායි බලහක්ති ප්‍රභවයක් වනු ඇතැයිද මීට වසර ගණනාවකට පෙර නාරා විද්‍යාඥ ආචාර්ය කමල් තෙන්නකෝන් පෙන්වාදී තිබිණි. එම පර්යේෂණය පිළිබඳව අවධානය යොමුකොට සැලසුම් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කරනු ඇතැයිද අපි සිතමු. එය අපේ රටට ලොකු සෙතකි.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ මේ උදම් රල ඉහළ නැඟීමට ප්‍රධාන හේතුව බස්නාහිර, දකුණු ප්‍රදේශවල මේ දිනවල හමනු ලබන ‍පැයට කි.මී. 60-70ක වේගයක් ඇති සුළං ධාරා බවයි. ඒ අනුව සුළං වේගය හා වැස්ස පිළිබඳව දකුණ, බස්නාහිර ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් දැනුම්වත් කරන බවත් ඔහු පැවසීය. කෙසේ වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ උදම් රළවල උස පිළිබඳව මිනුම් ලබාගැනීම කරන්නේ නැත. කෙසේ වුවත් මේ පිළිබඳ පර්යේෂණ කරන අයට මේ උදම් රළ උස පිළිබඳ තොරතුරු වැදගත් වේ. ජූලි 21 දක්වා මේ පිළිබඳ අනතුරු අඟවන බවත් ඊට පසුව වුවත් මේ කාලගුණ විදයා උපදෙස් පිළිපැදීම වැදගත් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

චන්ද්‍රයාත් සූර්යයාත් පොළොවත් පසුගිය පසළොස්වක දින එකම රේඛාවේ පිහිටීම නිසාත් 16 වැනිද‍ාට පසළොස්වක පොහොය දිනය යෙදීම නිසාත් වඩදිය බාදිය නිසාත් මේ උදම් රළ ඇතිවූ බව සමුද්‍ර පරිසර දූෂණ ආරක්ෂක අධිකාරියේ සාමාන්‍යාධිකාරි හා රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

“මේ තත්ත්වය දවසකට දෙවරක් ඇති වෙන්න පුළුවන්. මුල් උදම් රළ ඇති වී සාමාන්‍යයෙන් පැය 12කට පසු ඒක සිදු වෙනවා. මේ නිසා මේ දිනවල ධීවරයන් හා විශේෂයෙන් වෙරළ තීරුවල සවසට විවේකය ගත කරන අය මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

උදම් රළවලට ලොකු බලයක් තිබෙනවා. ඒවා ගොඩබිමේ මීටර් ගණනාවක් ඇතුළට යන්න පුළුවන්. ඒ බලය දෙවැනි වන්නේ සුනාමි රළවලට පමණයි. මේ නිසා හදිසියේ උදම් රළකට අසු වුණොත් කළ යුත්තේ වෙරළේ ඇති ලොකු ගලකට ගොඩබිම පැත්තේ සිට මුවා වී සිටීමයි. එවිට ඒ පුද්ගලයාට අර උදම් රළ මුහුදට යන විට මුහුදට ඇදී යෑම වළකිනවා. උදම් රළ එනවා පෙනි පෙනී ගල් අස්සේ හා වැල්ල මත දිව යෑම ඉතා අනතුරුදායකයි,” ටර්නි ප්‍රදීප් කුමාර මහතා අප සමඟ පැවසුවේ ඔහුගේ සාගරය පිළිබඳ විශේෂඥ දැනුමද අපට පෙන්වා දෙමිනි.

පෙරවරු 9 සිට රාත්‍රි 10 අතර කාලයේ අපේ දකුණු පළාතට මේ මුහුද ගොඩගැලීම් සිදුවීමට ඉඩ ඇති බවත්, මේ තත්ත්වයට ලොව කාලගුණ විපර්යාසවල යම් බලපෑමක් ඇති බවත් ටර්නි ප්‍රදීප් මහතා පවසයි.

මේ අතර මුහුදු රළ ගොඩගැලීම නිසා ආපදාවට ලක් වූ අකුරළ සීනිගම අම්බලන්තොට ප්‍රදේශවල ජනතාව පවසන්නේ වෙරළට කළුගල් බැම්මක් යොදා මුහුදු රළ මාර්ගයට ඒම වැළැක්වීමට හැකි බවයි. වෙරළ සංරක්ෂණ දෙපාර්ත‍මේන්තුව මේ පිළිබඳ ඉක්මනින් අවධානය යොමු කළ යුතුව ඇත.

අදහස්