තුන්මාසයක් තිස්සේ මරණයේ අඳුරම දකින කටුවාපිටියේ මිනිස්සු | සිළුමිණ

තුන්මාසයක් තිස්සේ මරණයේ අඳුරම දකින කටුවාපිටියේ මිනිස්සු

අභිනවයෙන් දෙව්මැඳුර කැප කිරීම අගරදගුරු අතින්
නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබී‍මත් අද
මිය ගිය 114 සංකේතවත් කිරීමට දේවදූතයන් ලෙස සැරසුණු දරුවන්
දානයට සහල් කිලෝ 500ක්

හර්ෂා සුගතදාස

අද ජුලි 21 වැනි ඉරිදා ය. අදින් මාස තුනකට පෙර, එනම් අප්‍රේල් 21 වැනි ඉරු දින රටම කඳුළින් නැහැවුණු මළවුන්ගේ ඉරිදාවක් වූයේ රටේ ස්ථාන 8 කදී මිලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් බෝම්බ පුපුරවා හැරිය නිසා ය. මෙම ස්ථාන අටෙන් බරපතළ ආකාරයට ජීවිත හානි සිදු වූයේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය තුළ පුපුරා ගිය බෝම්බයෙනි. මෙයින් සිදු වූ ජීවිත හානිවලට අමතරව ආබාධිත තත්ත්වයට පත් වූ අය ද තවමත් මෙම ප්‍රදේශයේ සිටිති. මේ වන විට සිරුරු පසාරු කරගෙන ගිය යකඩ කැබලිවලින් ඇති වූ තුවාල බොහෝ දෙනකුගේ සුවපත් වී තිබුණ ද ඔවුන්ගේ මනසේ ඇති වූ තුවාල සුවපත් නොවුයේ මාස තුනක කාලය කෙටි කාලයක් වූ නිසා විය හැකිය. ඔවුන්ගේ ජන ජීවිතය තවමත් යථා තත්ත්වයට පත් වී නැත. විටෙක ඔවුහු සුසුම් හෙළති. විටෙක හූල්ලමින් හඬා වැටෙති. ඒ, සිය පවුලේ කවුරුන් හෝ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී සිටින බැවිනි.

එහෙත් සිය ආදරණීයයන්ගේ ජීවිත සිත් පිත් නැති බෝම්බය උදුරා ගෙන ගොස් මාස 3ක් සපිරෙන අද දවසේ ඔවුන් සියලුදෙනාම එකතු වී තෙමස් පූර්ණ පිංකම් පවත්වති. විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙති. විශේෂ දානමය කටයුතු සිදු කරති. ඒ වෙනුවෙන් කටුවාපිටිය ගම ම එකතු වී පෙළ ගැසී සිටිති.

අප කටුවාපිටිය දේවස්ථානයට පා තබන විට මුළු ගමම එකතු වී ලහි ලහියේ සූදානම් වන අයුරු දැක ගත හැකි විය. දේවස්ථාන භූමියේ දකුණු පසින් ඇතුළට යන විට කොණ්ඩ කැවුම් බැදෙන සුවඳ නාස් පුඬුවලට දැනිණි. ඒ ඔස්සේ ගිය විට දක්නට ලැබුණේ කාන්තාවන් 25 දෙනකු පමණ එකතු වී කොණ්ඩ කැවුම් බදින ආකාරයයි. මෙම සද් කාර්යයට කටුවාපිටිය මීසමේ අය පමණක් නොව තිඹිරිගස්කටුව ශාන්ත ආනා දේවස්ථානයේ මීසමේ කාන්තාවෝ ද මහහුණුපිටිය ශාන්ත ලාසරස් දේවස්ථානයේ මීසමේ කාන්තාවෝද මහිමගොඩැල්ල වත්ත කුරුස පල්ලියේ මීසමේ කාන්තාවෝද එකතු වී සිටිති. ඔවුන් ඊට පෙරදින පිටි කිලෝ 50 ක කොකිස් සාදා තිබුණි. සම්පූර්ණ කොකිස් ගණන 3500 කි. අප යන විට පිටි කිලෝ 60 ක කොණ්ඩා කැවුම් පිළියෙල කරමින් සිටියහ. ගෑස් ළිප් 09 ක් කැවුම් බැදීම සඳහා ගෙනැවිත් තිබිණි.

“අපි කැවුම් කොකිස් 3000 ගණනේ සූදානම් කරනවා. දවල් දානයක් 3000 කට පිළියෙල කරනවා. සහල් කිලෝ 500 ක් උයන්න බලාපොරොත්තු වෙනවා. වෑංජන, මස් මාළු වර්ග 10 ක් විතර ලෑස්ති කරනවා. ගමේ අය තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මුදලින් උපකාර කළේ. ඉවුම් පිහුම් කටයුතු කරන්නේ හමුදාව. දානයට අවශ්‍ය භාජන, බුෆේ සෙට්, හට්, පුටු උත්සව භාණ්ඩ සපයන අය අපිට නොමිලේ දෙනවා. කටුවාපිටියෙ බෝම්බයෙන් මිය ගිය අය සිහිපත් කරලා ඔවුන්ට පින් පිණිස තුන් මාසෙ දානමය පිංකම අපි උපරිම අන්දමට කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසුවේ කටුවාපිටිය ග්‍රාමවාසියකු වන ඩිනාල් ප්‍රනාන්දු ය.

අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ගිය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිළිසකර කිරීමෙන් අනතුරුව අභිනවයෙන් දෙව්මැඳුර කැප කිරීම සිදු කරනු ලබන්නේ ද ඉන් තෙමසක් ඉක්ම ගිය අද දවසේය. ඒ සඳහා අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියකගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ අද දින උදෑසන 8.00 ටය. සම්භාවනීය අමුත්තන් පිළිගැනීමෙන් පසුව දෙව්මැදුර වෙත කැඳවාගෙන යනු ඇත. මෙම අවස්ථාවේදී දේවදූත ඇඳුමෙන් සැරසුණු දරුවන් 114 දෙනකු දැල්වූ ඉටිපන්දම් අතින් ගෙන දෙව්මැඳුර වෙත නිහඬවම පිය නඟගන්නේ කටුවාපිටිය මීසමේ පමණක් මිය ගිය 114 දෙනා මරණින් මතු ස්වර්ගයට ගිය බව සංකේතවත් කිරීමටය. ඉන්පසුව දේව මෙහෙය ඇරඹේ. මේ අතරවාරයේදී දෙව්මැඳුර තුළ ස්ථාන 12ක තැන්පත් කර ඇති කුරුස 12 අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ආශීර්වාද කර දේවස්ථානය කැප කරනු ලබයි. ඉන් අනතුරුව අල්තාරය ද කැප කෙරෙනු ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් කටුවාපිටිය දේවස්ථානයේ මිය ගිය අයගේ නම් සඳහන් කළ ස්මාරකයට මිය ගිය අයගේ ඥාතීන් විසින් මල් කළඹ තබා ඉටිපන්දම් දල්වා විවෘත කිරීමට නියමිත ව තිබෙන්නේ පෙරවරු 10.00 ටය.

“පල්ලියේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද දවසේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අතින් සිදු කෙරෙනවා. ඊටපස්සේ විපතට හා හානියට පත් පවුල්වලට අදාළ ප්‍රදානයන් මීසම භාර මංජුල නිරෝෂන් පියතුමාට භාරදීම සිද්ධ වෙනවා. දරුවන් 140 කට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙනවා. විපතට පත් පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීමට සැලසුම් කළ ස්වශක්ති මානව සංවර්ධන විශේෂ වැඩසටහන් ප්‍රතිලාභ දීම සිද්ධ වෙනවා. කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය මිහිදන් කළ ඩේවිඩ්වත්ත විශේෂ සුසාන භූමියේ විශේෂ යාච්ඥාවක් පැවැත්වෙනවා. දවල් 12.15 ට දවල් දානය ආසිරි ගැන්වීමෙන් පසුව දානමය කටයුතු ආරම්භ වෙනවා. පස්වරු 1.30 ට මිය ගිය ජනතාව සිහිපත් කරලා යාච්ඥාව පවත්වනවා.” යනුවෙන් කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා වෙනුවට අද දවසේ පැවැත්වෙන තෙමස් පූර්ණ පිංකම් පිළිබඳ අදහස් දැක්වුයේ මහිම ගුණවර්ධන පියතුමාය.

කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් අය උදෙසා ඉදි කිරීමට අපේක්ෂිත නිවාස යෝජනා ක්‍රමයට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් මුල්ගල තැබීම ද අද දවසේ සිදු වන තවත් සුවිශේෂි කාර්යයකි. මේ සඳහා ඩේවිඩ්වත්ත ආසන්නයෙන් ඉඩම් 2ක් අගරදගුරු මැඳුරෙන් මිල දී ගෙන තිබේ. ඉන් එක් ඉඩමක නිවාස 15ක් ද අනෙක් ඉඩමේ නිවාස 8ක් ද ඉදි කෙරෙනු ඇත. නිවෙස් ඉදි කිරීමේ කටයුතු නිවාස ඉදි කිරීමේ අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිතය.

ඊට අමතරව කටුවාපිටිය ග්‍රාමයේ පදිංචි ප්‍රවීණ කලාකරු ක්ලීටස් මෙන්ඩිස්ගේ මූලිකත්වයෙන් නළු නිළි සංගමයෙන් ඉදි කළ නිවස ද අද දින භාර දීමට නියමිතය.

“මමත් බෝම්බයෙන් අසරණ වුණු පවුලකට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණේ භාරයක් ඔප්පු කරන්න. මොකද මගේ දුව බෝම්බයට අහුවෙලා සිහි නැතිව ගොඩාක් අමාරුවෙලා හිටියා. මම දෙවියන් වහන්සේට භාරයක් වුණා, මගේ තියෙන දේවල් උන්වහන්සේ වෙනුවෙන් කැප කරන්නම්, මගේ දුවව විතරක් මට දෙන්න කියලා. මගේ දුව සනීප වුණා. ඉතින් මම අසරණ පවුලකගේ බාගෙට හදපු ගෙයක් සම්පූර්ණයෙන්ම හදලා 21 වැනි දා ට භාර දෙනවා.” යනුවෙන් එක් කාන්තාවක් කියා සිටියේ අප කටුවාපිටිය දේවස්ථානයේ පියතුමා හමුවීමට යන අතරවාරයේදීය. අප පියතුමා මුණගැසී ආපසු එන විට ඈ එහි රැඳී නොසිටි බැවින් ඇගේ තොරතුරු කිසිවක් ලබා ගැනීමට අපට හැකි වූයේ නැත.

“පුද්ගලික ධන පරිත්‍යාගවලින් හදපු නිවාස ලබා දීමේ කටයුතු කීපයකුත් 21 වැනිදාට සිදු කෙරෙනවා. ඒ සියල්ල සංවිධානය කරන්නේ සෙත්සරණ ආයතනයෙන්. සෙත්සරණෙන් මිය ගිය අයගේ සියලුම විස්තර, ආබාධිත අයගේ විස්තර සියල්ලම එක්රැස් කරනවා. පරිත්‍යාගශීලීන් දෙන දේවල් සෙත්සරණ හරහා තමයි ලබා දීම සිද්ධ වෙන්නේ. එහිදී ඒ අය පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර අවශ්‍ය කොයි පවුලට ද කියලා දන්න නිසා පහසුවෙන් ඒ කාර්යයන් කරනවා. නළු නිළි සංගමය හදලා දෙන නිවාසයත් සෙත්සරණ ආයතනය හරහා තමයි ලබා දෙන්නේ.” යනුවෙන් කටුවාපිටියේ දේවස්ථානයේ සිටි පියතුමෙක් අප සමඟ විස්තර කළේය. සෙත්සරණ යනු ලංකාවේ යම් ස්ථානයක ව්‍යසනයක් ආපදාවක් සිදු වූ විට ඉන් අසරණ වන අයගේ ජීවිත නඟා සිටුවීම සඳහා කතෝලික සභාවෙන් ස්ථාපිත කරන ආයතනයකි. මීට අමතරව විපතට පත් පවුල්වල සාමාජිකයන්ගේත් අසරණ තත්ත්වයට පත් වූ අයගේත් මානසික තත්ත්වය සංවර්ධනය කිරීමේ අරමුණෙන් මනෝ උපදේශන සේවාවන් සපයන ආයතනයක් ද කටුවාපිටියේ ස්ථාපිත කර තිබේ. “එම්මාවුස්” නමින් හැඳින්වෙන මෙම ආයතනයේ සේවා කටයුතු සඳහා පියතුමන්ලා මෙන්ම කන්‍යා සො‍යුරියෝ සිටිති. මෙම ආයතනය ද පාලනය වන්නේ කතෝලික සභාවෙනි.

ආර්ථික සහ මානසික වශයෙන් ජීවිත නඟා සිටුවීම සඳහා විවිධ ආයතන මගින් සේවා රාශියක් සපයනු ලැබුවද, තවමත් ආබාධිත තත්වයෙන් අසරණ වී සිටින අය ද නැතිවා නොවේ. ඇත්ත වශයෙන්ම අසරණ වී සිටින්නේ ඔවුන් පමණක් නොවේ. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටිති. දෙමන්හංදියට නුදුරු මිරිස්වත්තේ පදිංචි ලාල් කුඹුරේගෙදර එවැනි අයෙකි.

“මගේ පවුලෙ බිරියයි දුවයි පුතයි ඉන්නේ. බිරිය රැකියාවක් කරන්නේ නැහැ. දුව 2016 නොවැම්බර් මාසේ හදිසි අනතුරකට මුහුණපාලා එක්තැන් වුණා. අපිට අයිති පල්ලිය කොන්දගම්මුල්ල. ඒත් මම හැම මාසෙකම ඉරිදාවන් 2ක් කටුවාපිටියේ පල්ලියට එනවා. ඒ දුව වෙනුවෙන් යාච්ඥා කරන්න. පාස්කු ඉරිදාත් මම එහෙම ආපු දවසක්. මම බෝම්බය පුපුරපු තැනට මීටර් 20 ක් විතර දුරින් හිටියේ. බෝම්බයට අහුවෙලා මගේ නහය කැඩුණා. යකඩ බෝල නහය කඩාගෙන උඩු තල්ල සහ දිව කඩාගෙන ඇඟ ඇතුළට ගිහින් තියෙන්නේ. තවමත් මගේ බෙල්ල ළඟයි කොන්දෙයි බෝල තියෙනවා. ඒවා ගත්තොත් ජීවිතයට අනතුරක් වේවි කියලා ගත්තේ නැහැ. මම රාගම රෝහලේ දවස් 21ක් හිටියා. තවමත් මගේ වම් අත පණ නැහැ. දැනට භෞත චිකිත්සක ප්‍රතිකාර කරනවා. දැන් මගේ කන් ඇසීමත් දුර්වලයි.” යනුවෙන් ලාල් කුඹුරේගෙදර පැවසුවේ ශෝකි ස්වරයෙනි. දැන් ඔහුට රැකියාවක් කිරීමට හැකියාවක් නැත. බිරියටත් පුතාටත් රැකියාවක් නැත. දියණිය එක්තැන් වී සිටියි. දියණියගේ ප්‍රතිකාරවලට අමතරව ඔහුට ද ප්‍රතිකාර කිරීමට සිදු වී තිබේ. මේ වන විට මුදල් අවශ්‍යතාව තදින්ම දැනෙනු ඇත. වාසනාවකට ලාල් කුඹුරේගෙදර අලෙවි කළමනාකරුවකු වශයෙන් කටයුතු කළ සේවා ස්ථානයෙන් ඔහුගේ වැටුප මාස්පතා ගෙවා ති‍බේ. එය ඔහුට ඉමහත් අස්වැසිල්ලකි.

“අපිට පල්ලිය මාර්ගයෙන් ආධාර උපකාර ලැබුණා. මම නම් කියන්නේ මාව දෙවියන්වහන්සේ බේරා ගත්තා කියලා. මා එක්ක බංකුව උඩ හිටපු සියලුදෙනාම නැතිවෙලා මම විතරයි බේරුණේ. බෝම්බය පුපුරපු මොහොතේ කම්පනයක් ඇති වුණාට මට සිහිය තිබුණා. ඒ වෙලාවෙත් මම බංකුව උඩ වාඩිවෙලා දෙවියන්වහන්සේට යාච්ඥා කළා මට මොනවා හරි වුණොත් තව තුන්දෙනෙක් අසරණ වෙනවා. ඒ නිසා මාව බේරාගන්න කියලා.” ලාල් කුඹුරේගෙදර සඳහන් කළේ දෙවියන්වහන්සේට ස්තුති කරමිනි.

පවුලේ ආදායම් උපයන්නා බෝම්බයට හසු වීමෙන් මුළු පවුලම අසරණ වූ ආකාරයට දරුවන් බෝම්බයට ගොදුරු වීමෙන් මවුපියන්ට රැකියා කටයුතු කරගෙන යෑමට නොහැකි වූ අවස්ථා ද අපට අසන්නට ලැබිණි. කටුවාපිටිය නුගවැල පාරේ පදිංචි එස්.ඒ.මිල්රෝයි මුහුණදී සිටින්නේ එවැනි සිද්ධියකට ය.

“මම ගෙදර වඩුමඩුවක් කරනවා. මගේ දුව ස්නේහා මින්දනී බෝම්බයට අහුවෙලා ඔළුව ඔපරේෂන් කළා. දුවගේ ඔළුවේ යකඩ බෝල තිබිලා අරං දැම්මා. කොළඹ ජාතික රෝහලේ දවස් 20ක් විතර හිටියා. දැන් දුවගේ හිස් කබල අයින් කරලා පටක බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. දුවගේ ඔළුව හමෙන් වහලා තියෙන්නේ. මාස 6ක් ඇතුළත හිස් කබල නැවතත් බද්ධ කරනවා කියලා කිව්වා. එතෙක් දුවට දූවිල්‍ලක්වත් යන්න නොදී පරිස්සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අධික ශබ්දය හොඳ නැහැ කියලා කිව්වා. ඒ නිසා මට වඩුමඩුව කරගෙන යන්න විදිහක් නැහැ. ආම්පන්න ටික ගැට ගහලා ගෙයි පිටිපස්සට දැම්මා. මේ තුන් මාසෙටම කිසිම වැඩක් කළේ නැහැ. දුවට අධි‍ ප්‍රෝටීන් ආහාර දෙන්න කිව්වා. දවසකට බිත්තර 2ක් දෙන්න කිව්වා. මට තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. බිරිය රැකියාවක් කරන්නේ නැහැ. මම ඉන්නේ කුලී ගෙදරක. මාසෙකට රු. 12,000 ක් ගෙවල් කුලිය දෙන්න ඕනෑ. අපිට රජයෙනුත් පල්ලියෙනුත් ආධාර ලැබුණා. විවිධ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ලැබෙනවා. බැසිල් වික්‍රමසිංහ පියතුමා මාර්ගයෙන් පවුලක් ඇවිත් ඒ අය අපේ පවුල බලාගන්න ඉන්නේ කියලා අපිට කිව්වා. ඒ පවුල අපිට උදව් කරනවා. ඒවායෙන් තමයි අපි මේ මාස තුනම ජීවත් වුණේ.” යනුවෙන් එස්.ඒ. මිල්රෝයි පැවසීය.

ඇත්ත වශයෙන්ම ඔවුන්ට දානපතියන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබී තිබිණි. එකොළොස් හැවිරිදි ස්නේහා මින්දනී දියණියට විෂබීජ නොයන සේ ආරක්ෂිතව සිටීමට නිවසේ කාමරයක් වායු සමනය කර දී තිබෙන්නේ ජෙට් ආයතනයෙනි. දේවගැති ආකාෂ් විසින් නිවසට නානකාමරයක් ඉදිකර දී තිබේ. රූපවාහිනි යන්ත්‍රයක්, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍රයක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇත. කටුවාපිටිය දේවස්ථානයේ මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා කැනඩාවේ පදිංචි පවුලක් මිල්රෝයිගේ පවුල වෙත යොමු කර තිබේ. ගෙමිදුල සැකසීම, වායු සමන යන්ත්‍ර සවි කිරීම හා නාන කාමර ඉදි කිරීම වැනි කටයුතු කෙරෙහි නිවෙස් අයිතිකරුවන් කිසිදු විරෝධතාවක් දක්වා නැත. එය විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ සයුර සත්සර චූටි පුතුගේ නිවෙස් අයිතිකරුවන් එවැනි කටයුතු කිරීම සඳහා විරුද්ධත්වය පළ කර තිබෙන බැවිනි.

කදිරාන ඩේවිඩ් මාවතේ සන්ෆ්ලවර් වත්තේ පදිංචි වී සිටින 8 හැවිරිදි සයුර සත්සර පුතු ද බෝම්බයට ‍ගොදුරු වූ දරුවෙකි. මෙම පුතුගේ ද හිස් කබල ඉවත් කොට පටක බැංකුවේ තබා සමෙන් පමණක් හිස වසා තැබුවේ සැත්කමකින් හිසේ තිබූ යකඩ බෝල ඉවත් කර තිබූ නිසා ය. ඔහුගේ මව නැත. අක්කලා දෙදෙනා සහ පියා වන රෝයි ලසන්ත පදිංචි වී සිටින්නේ කුලී නිවසකය. සයුර සත්සර පුතුට දූවිල්ලෙන් හා විෂබීජවලින් ආරක්ෂා වී සිටීමට කාමරයක් වායූ සමනය කර දීමට පරිත්‍යාගශීලින් ඉදිරිපත් වුවත් නිවසේ හිමිකරු ඊට අවසර දී නැත. එබැවින් ඔවුන් පුතුව රැක බලා ගන්නේ නිවසේ කාමරයක විදුලි පංකාව ක්‍රියාත්මක කර තැබීමෙනි. සයුර සත්සර පුතු ඇතුළු දරුවන් රැක බලා ගන්නේ රෝයි ලසන්තගේ මව සහ නැඟණිය විසිනි. අනෙක් දරුවන් රැක බලා ගැනීමත් නිවසේ කටයුතුත් මවට සහ නැඟණියට පමණක් පැවරිය නොහැකි බැවින් රෝයි ලසන්ත මෙම තුන් මාසයම රැකියාවට ගියේ නැත. බොහෝ විට හෙට සිට ඔහු රැකියාවට යෑමේ අපේක්ෂ‍ාවෙන් පසුවෙයි.

“පසුගිය ජුලි 04 වැනි දා පුතාගේ හිස් කබල නැවතත් බද්ධ කළා. දැන් පුතා ගෙදර ඉන්නවා. ඒත් නිතර නිතර උණ හැදෙනවා. වමනෙ යනවා. සඳුදාටවත් ක්ලිනික් එකට ගෙනිහින් පෙන්වන්න ඉන්නේ.” යනුවෙන් රෝයි ලසන්තගේ නැඟණිය සඳහන් කළාය. ඒ අනුව රෝයි ලසන්තගේ රැකියාවට යෑමේ සිහිනය තවත් දුර ඈතට ඇදී යනු ඇත.

අප්‍රේල් 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබන තිදෙනකු තවමත් කොළඹ ජාතික රෝහලේ සිටින බව දන්වා සිටියේ කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා ය. මෙම තිදෙනාම කටුවාපිටිය බෝම්බයට ගොදුරු වූ අය වෙති.

“ඇත්තටම මීගමුව රෝහල පළාත් සභාවෙන් ඉවත් කරලා මධ්‍යම රජයට පවරා ගන්නවා නම් හුඟක් හොඳයි. මධ්‍යම රජයට පවරා ගත්තාම රෝහලේ පහසුකම් පුළුල් වෙනවා. අපිට ඒ දේ හොඳටම අ‍වබෝධ වුණේ කටුවාපිටිය බෝම්බ සිද්ධියත් එක්ක. මීගමුව රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නැහැ. අනික මීගමුව රෝහල කියන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ආයෝජන ප්‍රවර්ධන කලාපය, සංචාරකයන් බහුලව ගැවසෙන නගරය ආශ්‍රිතව පිහිටි රෝහලක්. එවැනි රෝහලක පහසුකම් තිබෙන්න ඕනෑ. ඒ නිසා කටුවාපිටිය බෝම්බයට තුන් මාසයක් පිරෙන අද දවසේ මීගමුව ප්‍රදේශවාසීන් වෙනුවෙන් මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි මීගමුව රෝහල බස්නාහිර පළාත් සභාවෙන් ඉවත් කරලා මධ්‍යම රජයට පවරා ගන්න කියලා.”යනුවෙන් ඩිනාල් ප්‍රනාන්දු ඉල්ලීමක් කිරීමට අමතක කළේ නැත.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ පුපුරා ගිය බෝම්බයෙන් මුළු ගමේම ජීවන රටාව වෙනස් විය. සමහර මවුපියන්ට දරුවන් නැත. දරුවන්ට මව හෝ පියා නැත. ඇතැම් සහෝදරයන්ට සහෝදරියන් අහිමි විය. සහෝදරියන්ට සහෝදරයන් අහිමි විය. සමහරුන්ට රැකියා නැත. තවත් දරුවන්ට පාසල් යෑමට හැකියාවක් නැත. තවත් පිරිසක් ආබාධිත වී සිටින අය සමඟ ඔට්ටු වෙති. කොටින්ම කිවහොත් කටුවාපිටියේ දේවස්ථානයේ මීසම් පාලක පියතුමා ඇතුළු පියතුමන්ලා පවා අද වෙනස් වී ඇත. මීට මාස තුනකට පෙර බෝම්බය පුපුරා ගිය අවස්ථාවේදී කටුවාපිටිය දේවස්ථානයේ මීසම් පාලක ලෙස කටයුතු කළේ ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමා ය. බෝම්බයෙන් එතුමාගේ නළල තුවාල විය. ඒ හැර සංජීව අප්පුහාමී පියතුමාත් සමීර පියතුමාත් සහායක පියතුමන්ලා වශයෙන් කටයුතු කළහ. එහෙත් අද ඔවුන් සියලුදෙනා වෙනත් දෙව්මැඳුරුවලට මාරු කර තිබේ. අද මීසම් පාලක වශයෙන් කටයුතු කරන්නේ මංජුල නිරෝෂන් පියතුමා ය. සචිත කැලුම් පියතුමා සහ මහිම ගුණවර්ධන පියතුමා සහායක පියතුමන්ලා ලෙස කටයුතු කරති.

මෙවැනි වෙනස්කම් රාශියක් මධ්‍යයේ මීගමුව රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමේ වෙනස්කම ද සිදු වන්නේ නම් බොහෝදෙනකු සතුටට පත්වනු නොඅනුමානය.

ඡායාරූප:- කොච්චිකඩේ සමූහ ඩී. මිහිඳුකුල 

අදහස්