‘වන්ඩේ ජස්ටින් ඩිලිවර්ඩ්’ | සිළුමිණ

‘වන්ඩේ ජස්ටින් ඩිලිවර්ඩ්’

අපරාධයක් ලුහුබැඳ ගිය

විදෙස් චිත්‍රපට

ත්‍රාසය සහ කුතුහලය ගැබ්වූ ‘වන් ඩේ: ජස්ටින් ඩිලිවර්ඩ්’ චිත්‍රපටය දැන් ලාංකේය ප්‍රේක්ෂකයන්ටත් දැක බලා ගන්නට පුළුවන්. කේටන් ප‍ෙට්ල් සහ ස්වාටි සිං නිෂ්පාදනය කළ මෙහි අධ්‍යක්ෂවරයා, අශෝක් නන්දා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනුපම් ඛෙයර්, ඊෂා ගුප්තා සහ කුමුද් මිශ්රා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය, වික්‍රන්ට් පරිජාට්, ජෝයි අන්ජන් සහ රිෂි සිං.

දිල්ලි නුවර ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් පිළිබඳව පොලිස් අපරාධ අංශයේ විශේෂ නිලධාරිනියක විසින් කරනු ලබන පරීක්ෂණය සහ ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යොදා ගන්නා අයුරු පිළිබඳව දිග හැරෙන කතා පුවතක් මේ චිත්‍රපටයට පාදකවී තිබෙනවා. පොලිස් නිලධාරිනියගේ චරිතය නිරූපණය කරන්නේ ඊෂා ගුප්තායි. අනුපම් ඛෙයර් රඟන්නේ විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ චරිතයක්. ඊෂා ගුප්තා මීට පෙර ද පොලිස් නිලධාරිනියක ලෙස රඟපා තිබෙනවා. ඒ, ප්‍රකාශ් ජා නිර්මාණය කළ 2012 දී තිරගත වූ ‘චක්‍රාව්යු’ චිත්‍රපටයේ. විචාරකයන් පවසන්නේ චක්‍රාව්යු චිත්‍රපටයේ රංගනයට වඩා ඉදිරි පියවරක් ‘වන්ඩේ: ජස්ටින් ඩිලිවර්ඩ්’ චිත්‍රපටයෙන් ඊෂා ගමන් කර ඇති බවයි.

“පොලිස් නිලධාරිනියක හැටියට රඟපෑම බොහොම වගකීමකින් කරන්න ඕනෙ දෙයක්. පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කරද්දී ප්‍රේක්ෂකයන් තුළ විශ්වාසයක් ඇති වෙන්නත් ඕනෑ” ඊෂා ඉන්දීය වෙබ් අඩවියකට එලෙස පැවසුවා.

මේ චරිතයට පණ පෙවීමට පෙර ඇය උතුරු ඉන්දීය පොලිස් නිලධාරිනියන් කටයුතු කරන ආකාරය අධ්‍යයනය කර තිබෙනවා.

“මම සතියක් විතර ගත කළා මේ වෙනුවෙන්. විශේෂයෙන් ම ඒ අයගෙ අංග චලනයන්, අර්බුදකාරී පරිසරයකදි වැඩ කරන හැටි, මෙහෙයවන හැටි එහෙම මම ඉගෙන ගත්තා. මම මේ නිලධාරිනියන් රාජකාරි කරන වෙලාවෙදි විතරක් නෙමෙයි, පෞද්ගලික ජීවිතේ ගත කරන හැටිත් අධ්‍යයනය කෙරුවා.” ඊෂා තවදුරටත් පැවසුවා.

සුජීව තේවහෙට්ටිගේ

Comments