‘ජීවිතය සහ ගීතය’ දොරට වැඩුම 24වන දා / නිවේදන කලාවේ අලුත්ම ලකුණ | සිළුමිණ

‘ජීවිතය සහ ගීතය’ දොරට වැඩුම 24වන දා / නිවේදන කලාවේ අලුත්ම ලකුණ

ගේය පද රචිකාවක වන ඒ.ඩී.එස් ඉන්ද්‍රානි අලුත්දුරගේ' අඳුර නසන්නට' සංයුක්ත තැටිය සහ 'ජීවිතය සහ ගීතය ' නැමැති ග්‍රන්ථය එළිදැක්වීම මෙම මස 24 වන දින සවස හතරට කොළඹ කොටුව ලංකා බැංකු ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. ප්‍රවීණ ගේය පද රචක රත්නශ්‍රී විජේසිංහ ප්‍රධාන දේශනය හා ලංකා බැංකු ප්‍රධාන කළමනාකාර සෙනරත් බණ්ඩාර ප්‍රධාන ආරාධිතයන් ලෙස මේ අවස්ථාවට සහභාගී වේ. ඇය විසින් ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් වෙත රචිත නවතම ගීතය එළිදැක්වීමද එදින සිදුවන තවත් සුවිශේෂි කටයුත්තකි.

ජීවිතයේත්, සමාජයේත්,විවිධ සංසිද්ධීන් ප්‍රතිමුඛ කරගනිමින් කොතරම් කාර්යයය බහුල වුවද ලද සැණින් තම සිතට එන සිතුවිල්ලක් අපූරු වු කවි පදවැලකට ගෙත්තම් කරන්නට ඇයට ඇත්තේ අපූරු වූ හැකියාවකි.වෘත්තියෙන් ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිනියක වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරිනියකි. මීට දස වසරකට පමණ පෙර ගුවන් විදුලියේ ස්වදේශිය සේවයේ කාන්තා වැඩසටහන් වන 'ජීවිතය සහ ගීතය' අතර අසීමිත සබඳතාව පිළිබඳව හෙළිදරව් කරන සොඳුරු වූ වැඩසටහන ඉදිරිපත් කළේ ඇයයි. ඒ වැඩසටහනේ විවිධ ගීත එකතුවෙන් 'ජීවිතය සහ ගීතය නැමැති 'ග්‍රන්ථය ග්‍රන්ථාරෑඪ විය.'අඳුර නසන්නට'නම් සංයුක්ත තැටියේ අඩංගු වන්නේ ඇය විසින් එදා මෙදා කාල පරාසය තුළ රචිත ගීතවලින් තෝරා ගත් ගීත කිහිපයක එකතුවකි.

ගිණුම්කරණ ක්ෂේත්‍රයෙන් ඉහළට ගියද ගේය පද රචනයට කුඩා අවධියේ සිටම ඇය දස්කම් පෑවාය. ඇය ලේඛන කලාවට අත්පොත් තබන්නේ ලේක්හවුසියේය. ඒ මිහිර පුවත්පතේ 'ළමා සමාජය සඳහා තැපැල් පතක් යොමුකිරීමෙන්ය. තම පළමු නිර්මාණය පලවීමත් සමඟ ලේඛනය සඳහා ඇයට තිබු ආශාව සහ උනන්දුව තවදුරටත් උත්තේජනය විය.පසුකාලීනව ආරම්භ කළ රුහුණු සේවයේ ආරම්භක අවධියේදී ගී අසන්නන්ගේ කවි සමාජයේද සිය නිර්මාණ හැකියාව පෙන්විමට ඇය සමත්විය.එදා සිටම ඇගේ ලේඛන ගමනට ශක්තියක් වූයේ තිලක් චන්දතිලක රාජපක්ෂයන්ය. උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහිදීද සිය ලේඛන හැකියාව අත් නොහළ ඇය අතින් සිය මංගල ගීතය ලියැවෙන්නේ සරසවියේ අවසන් භාගයේදි පමණය. ඒ 'අඳුර නසන්නට'නම් ගීතයයි. එම ගීතය ගායනා කළේ පුන්සිරි සොයිසාය. පසුකාලීනව අපේ රටේ ප්‍රවිණ ගායන ශිල්පීන් සහ නවක ගායන ශිල්පින් රැසකට ඇය ගීත රචනාකර ඇත. ප්‍රියා සුරියසේන,වික්ටර් රත්නායක, පුන්සිරි සොයිසා, ජානක වික්‍රමසිංහ, කිර්තී පැස්කුවල්, කසුන් කල්හාර ,මිත්‍ර කපුගේ, චතුරිකා නිර්මාණි, වැනි ගායක ගායිකාවන් ඒ අතර සුවිශේෂය. මේවන විට ඇය විසින් ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් රචනා කර තිබේ.

ඇගේ ගීත රචනා සඳහා උනන්දු කරවූවන් අතර එච්. එම් ජයවර්ධනයන් මේ මොහොතේ සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එමෙන්ම මෙවැනි කෘතියක් සහ සංයුක්ත ගී තැටියක් එළිදැක්වීමට නන් අයුරින් ඇයව දිරිමත් කළ සියලු දෙනාටත්, හෂිනි රත්නායකයටත් තුති පුදන බව සඳහන් කරයි. තවදුරටත් නව නිර්මාණ ඇගේ අතින් නිර්මාණය වන්නට රසඳුන අපි ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

සමන්ති වනිගස

ඉන්දික ජයවර්ධන

අද පරම්පරාවේ ඕනෑ තරම් නිවේදකයෝ සිටිති. නමුදු කියන දේ තේරෙන, අසන්නාට අසා සිටිය හැකි අන්දමින් දෙයක් කිව හැකි නිවේදකයන් සිටින්නේ අතළොස්සකි. ඒ අතුරින් කෙනෙකු යැයි කිව හැකි නිවේදක ශිල්පියෙකු අද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු. ඔහු උස්වත්ත ලියනසූරිය ආරච්චිගේ ඉන්දික ජයවර්ධනයි. බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගණ හොබරියාව ගමේහි උපන් ඉන්දික, ගිරාදුරු කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත. උසස් පෙළ කලා අංශයෙන් හැදෑරු ඔහු පසුව කොළඹ විශ්ව විද්‍යාලයන් ජනමාධ්‍ය ඩිප්ලෝමාව ද හැදෑරීය.

හොබෙරියාව ගමේ බී 4 දම්මින්දාරාම විහාරස්ථානයේ දහම් පාසලේ ඉගෙනුම ලබන අවදියේදී නාවෙල කුසල ඥාන හාමුදුරුවන්ගේ බල කිරීමක් මත ඔහු වේදිකාවට නැගී ජාතක කතාවක් කීවේය. ඒ ඔහු වේදිකාවකට නැගි පළමු අවස්ථාවයි. එදා ඔහු තුළ තිබු සබකෝලය නැතිව ගියේය. ඉන්පසු ඔහු පාසල් වේදිකාවේ මෙන්ම දහම් පාසල් වේදිකාවේද නිවේදන කටයුතු කරන්නට හුරු වුයේය. පාසල් කාලයේදී විවාද කණ්ඩායම්වලට සහභාගීවෙමින් ජයග්‍රහණ ද අත්පත් කරගත් ඉන්දික පාසල් දිවියෙන් පසු ගිරාදුරු කෝට්ටේ ප්‍රජා ගුවන් විදුලියට යෑමට භාග්‍ය ලැබීය. එහිදි පැවැති හඬ පරික්ෂණයෙන්ද, බුද්ධි පරික්ෂණයෙන් මෙන්ම ලිඛිත පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගත්තේය. උපුල් කරුණාරත්න, අරුණසිරි ජයවික්‍රම, අශෝක හැරිසන් පීරිස්, යශෝ මැණිකෙ හේරත්, රුවන් ප්‍රසන්න හේවාවිදාන යන ‍ජ්‍යෙෂ්ඨ නිවේදකයන්ගේ අනුදැනුම යටතේ නිවේදන කලාව නිවැරදිව වටහා ගත්තේය.

වැල්ලවාය ප්‍රදේශයට පදිංචිය මාරු වීමත් සමඟම පත්තර දැන්වීමක් දැක TNL ගුවන්විදුලියට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළේය. එයින් ඔහු සමත් වුයේය. ඒ අනුව TNL ගුවන් විදුලියේ ආරම්භක නිවේදකයන් 4දෙනා අතරට එක් වීමට ඔහුට අවස්ථාව ලැබුණේ.එම ගුවන් විදුලි සේවාව මගින් විකාශය වූ ‘අලුත් දවස‘ වැඩසටහනේ ඉන්දික හා රාල මාමා යන චරිත දෙකට එකවර පණපෙවීමට ඔහුට හැකියාව ලැබුණේය. එවකට අධ්‍යක්ෂව සිටි නිරාජ් වික්‍රමසිංහ මහතා, අජිත් ඉන්ද්‍රජිත්, චන්දන තිලකරත්න, නිමල් ලක්ෂපති යන ප්‍රවීණයන්ගෙන් ජාතික තලයේ නිවේදනය සඳහා අත්දැකීම් ලැබුනේය. සත් fm, වී fm, රං fm වැනි ගුවන්විදුලි ගණනාවක සේවය කර ඇති ඉන්දික මේවන විට චන්දන තිලකරත්න මහත් හා කුලරුවන් කුසුම් තිලක මහතාගේ ආරාධනාවක් යටතේ ‘ලක් fm‘ හි වැඩසටහන් කළමනාකරුවකු ලෙසින් සේවය කරන්නේය. හර්ෂරා සෙව්වන්දි මෙණෙවියත් සමග ‘ආයුබෝවන් ලක් fm‘ වැඩසටහනද, සෑම ඉරිදාවකම ‘ලොවුතුරු අරණ‘ වැඩසටහනද ‘රිද්ම රාත්‍රිය‘, ‘සන්හිඳ පාමුල‘ වැඩසටහන් ඉන්දික ගුවනින් ගෙන එන වැඩසටහන් අතර වේ.

“මගේ පියා මිය ගියේ මට අවුරුදු හතරක් කාලෙදි . එතැන් පටන් මාව හදා වඩාගෙන අද මේ ඉන්න තැන දක්වා එන්නට මඟ පෙන්නුවේ මගේ මව. ඇගෙන් ලද ආදරය අප්‍රමාණයි. ඒ වගේම මගේ දයාබර බිරිය මගේ ගමනට ලොකු හයියක්. අභියෝග ආශ්ර්වාදයක් කරගෙන ඉදිරියට යන්න මම උත්සහ කරනවා. නිවේදනයට සිංහල භාෂාව යොදා ගනිමින් නිවැරදිව මාධ්‍ය නිදහස භාවිතා කරමින් ජනප්‍රියත්වයට වඩා හොඳ නිවේදකයෙක් ලෙස කටයුතු කිරීමට මම උත්සහ ගන්නවා.“

ඉන්දික ඔහු පැමිණි ගමන් මඟ ගැන එසේ පැවැසීය.

ඉන්දිකගේ ලිපිනය, ජයතු නිවස, දෙහිලන්දයාය, අලුත්පාර, වැල්ලවාය.

රන්සික

 

Comments