යෝග මෙතරම් ම වැදගත් ඇයි | සිළුමිණ

යෝග මෙතරම් ම වැදගත් ඇයි

දවසේ ප්‍රධාන ආහාර වේල්

දෙකක් ගත්තාම හොඳටම ඇති. තදපාට ඇඳුම්වලින් ඈත්වෙන්න. උදේට අඩුගානේ විනාඩි 5 පමණ නාභිය පිරිමදින්න. ඉස්සර කාලේ කාන්තාවෝ නාභිය නිරාවරණය

වන පරිදියි රෙද්ද හැට්ටෙ ඇන්ඳේ. හිරු කිරණ සිරුරට හොඳින් උරා ගත්තා එයින්. අද හුඟාක් අය

මුළු ශරීරයම ආවරණය වන

පරිදි ඇඳුම් ඇඳීමෙන් පිරිසිදු

වාතාශ්‍රය සිරුරට උරා ගන්නෙ නෑ.

“යෝග” යනුවෙන් හඳුන්වන්නේ මහා බලසම්පන්න ආශ්චර්යවත් විද්‍යාවක්. ඒ මඟින් කළ හැකි භෞතික ක්‍රියාකාරකම් බොහෝයි. සමහර ක්‍රියාකාරකම් දෘෂ්‍යමාන වන මුත් සමහර ක්‍රියාකාරකම් ඇසට හසු නොවන අයුරින් ක්‍රියාත්මක වෙයි. යෝග විද්‍යාව ගැඹුරටම හැදෑරීමට නම් එහි ගැඹුරටම කිඳාබැසිය යුතුයි. යෝග මඟින් පුද්ගල ජීවිතයේ නිරෝගිකම රඳවා ගැනීම පිළිබඳව රසඳුනෙන් කරුණු කියන්නට යෝග විද්‍යා ආචාර්ය මෝහන හා මනෝ චිකිත්සක චාමින් වර්ණකුල මහතා හමුවුණෙමි. මා ඔහු හමුවන්නට මහරගම යෝග නිකේතනය වෙත යනවිටත් ඔහු සිටියේ බොහෝ පිරිසකට යෝග අභ්‍යාස කරවමින්. විවිධ වයස් මට්ටම්වලට අයත්, විවිධ ශරීර ප්‍රමාණයෙන් යුත් කාන්තාවන් හා පිරිමින් යෝග අභ්‍යාසවල යෙදුණේ හරි අපූරුවට රිද්මයානුකූලව ශරීරයේ නම්‍යතාව මේ යැයි විදහාපාමින්.

ඇත්තටම මොකක්ද මේ යෝග? ඇයි මේ තරමට වැදගත් වන්නේ?

යෝග කියන්නේ ආයුර්වේදයේ එක් ප්‍රතිකාර ක්‍රමයක්. බෝ නොවන රෝග රැසකට එම රෝගවලට ප්‍රත්‍ය ආහාර, ඖෂධ මෙන්ම යෝග ආසන මඟින් එම රෝග සම්පූර්ණයෙන් ම සුවකර ගන්න පුළුවන්.

විශේෂයෙන් බටහිර රටවල රෝග නිවාරණයට, රෝග නොවැලඳීමට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට යෝග හරිම වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිරෝගී මනුෂ්‍යයකු කියලා කියන්නේ, කායික, මානසික, අාධ්‍යාත්මික හා සාමාජික යන සෑම අංශයකින් ම පිරිපුන් අයෙක්.

මීට අවුරුදු 5000 පමණ පෙර මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ පවා සොයාගෙන තියනවා මනස රෝගී වන හැමවිටම කයද රෝගී වන බව. ඒ නිසා මනස මෙන්ම කයද සමබරව තබා ගැනීමට සුදුසු ආහාර, විහරණ රටාව හා යෝගාසනවලට ඔවුන් යොමුවුණා. වර්තමානයේ ද විශේෂයෙන් බටහිර රටවල් යෝග කෙරෙහි බෙහෙවින් නැඹුරුවෙලා මහඟු ඵල ලබමින් සිටිනවා.

කොහොමද ඔබ යෝගවලට යොමුවුණේ?

වයස අවු: 16 දි තමයි මුලින්ම යෝග ගැන කුතුහලයෙන් සොයා බලන්න ගත්තේ. එතෙක් මෙතෙක් මා ලද අත්දැකීම් බහුලයි. විස්මයජනකයි. ඉන්දියාවේ බිදර් දිස්ත්‍රික්කයේ මල්ගී ගම්මානයේදි මට හමුවුණා කිසිඳු ආහාරයක්, දියරයක් පවා නොගෙන ජීවත්වන ජගදීශ්වරී මාතාව (යෝගිවරිය) මා වඩාත්ම ගැඹුරු අත්දැකීම් ලැබුවේ ඉන්දියාවේ ඍෂිකේශී ආශ්‍රමවල. එහිදී මට අවු: 160, 200 පමණ ජීවත්වන ප්‍රිය උපදවන යෝගීන් හමුවෙලා තියෙනවා. හරිම පුදුමයි. ඒත් ඇත්තයි. මම ඒ අනුව මගේ ජීවිතය හැඩගස්වා ගත්තා.

මම සාමාන්‍යයෙන් මස්, මාළු අනුභව කරන්නෙ නෑ. අවුරුදු පනස් ගානට මට ඉහෙන් බහින ලෙඩක් නෑ. නිවැරැදි විදිහට යෝගාසනවල යෙදෙනව නම් අපට තමන්ගේ ශරීරයේ විතරක් නෙවෙයි අනුන්ගේ ශරීරවල ලෙඩ, රෝග පවා සුව කරන්න පුළුවන්.

සාමාන්‍ය ජීවිතයේදි කාර්යබහුලත්වය මැද ශරීරය නිරෝගිව තබා ගැනීමට ඔබ යෝජනා කරන යෝගාසන මොනවද?

ඕනෑම කෙනෙකුට වයස අවු: 40 විතර වෙද්දි ජීර්ණ පද්ධතිය අවහිර වෙනවා. ඒ නිසා නිරෝගීව ඉන්න නම් දවසකට පැය 1/2 ක් ව්‍යායාම, යෝගා කළ යුතුයි. බටහිර අය කට්ට කාගෙන ව්‍යායාම කළත් ලංකාවෙ අය ව්‍යායාමවලට අකැමැතියි.

බ්‍රහ්ම මුර්තියෙන් (උදෑසනින්) අවදිවෙලා පිරිසිදු ජලය වීදුරුවක්වත් පානය කරන්න. තමන්ගේ ආගම අදහන්න. පංචශීලය ආරක්ෂා කරනවා නම් වඩාත් හොඳයි. මස් මාංසෙන් වැළකුණොත් තවත් හොඳයි. එළවළු, පලතුරු වැඩිපුර ආහාරයට ගන්න. නිතරම තේ, කෝපි පානය කිරීමෙන් වළකින්න. උදේ හවස ටික වේලාවක් හරි භාවනා වඩනව නම් වැදගත්.

දවසේ ප්‍රධාන ආහාර වේල් දෙකක් ගත්තාම හොඳටම ඇති. තදපාට ඇඳුම්වලින් ඈත්වෙන්න. උදේට අඩුගානේ විනාඩි 5 පමණ නාභිය පිරිමදින්න. ඉස්සර කාලේ කාන්තාවෝ නාභිය නිරාවරණය වන පරිදියි රෙද්ද හැට්ටෙ ඇන්ඳේ. හිරු කිරණ සිරුරට හොඳින් උරා ගත්තා එයින්. අද හුඟාක් අය මුළු ශරීරයම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමෙන් පිරිසිදු වාතාශ්‍රය සිරුරට උරා ගන්නෙ නෑ. හුඟාක් ලෙඩ තියන අය විනාඩි 5 - 10 ක් අත්ල මැද මසාජ් කරන්න. අබතෙල්, පොල්තෙල් හැන්දක් උදේට ඇ‍ඟේ ගාලා පිරිමදින්න. පිරිසිදු පොල්තෙල් හැන්දක් රත්කරලා පානය කරන්න. සතියකට වේල්, දෙක තුනක්වත් අතහරින්න. බඩගින්නේ ඉඳීමෙන් සිදුකරන මේ උපවාසය හුඟාක් නිරෝගී බවට හේතු වෙනවා.

කැඳ වර්ග, සුදුලූනු, තක්කාලි, දොඩම්, අම්ල, මී පැණි, රතු ලූනු, ඇපල් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය පාලනය කරගත හැකියි. අත් පා මෘදුව සම්භාහනය කිරීම, සාමාන්‍ය ස්වභාවයෙන් ඇවිදීම, එළඟිතෙල් නාභියේ ගා සම්භාහනය කිරීම, සර්පගන්ධකුටි තේ හැඳි 1/2ක්, මී පැණි තේ හැඳි 1/2, උදේ සවස ගැනීම, දෙහි යුෂ මද උණුසුම් ජලයට එක්කර මී පැණි මිශ්‍රකර සවස පානය කරන්න. තක්කාලි යුෂ ජලය සමඟ මිශ්‍රකර පානය කිරීමෙන් ද කොත්තමල්ලි යුෂ කෝප්ප දෙකක් උදේ සවස පානය කිරීමෙන් ද දියවැඩියාව පාලනය කරගත හැකිය.

දවසේ එක දිගටම වැඩ කරන අතරට විනාඩි 5, 10ක් විවේකයෙන් සිටින්න. දිගුකලක් වේගයෙන්, තදින් හුස්ම ගන්න අයගේ ආයුකාලය අඩු නිසා හුස්ම ගැනී‍ෙම් වේගය අඩු කරන්න.

දෙනෙත් පියාගෙන දවසකට මද වේලාවක් හෝ භාවනාවේ යෙදෙන්න. කඳුකරයක්, මල්වත්තක්, පූජනීය ස්ථානයක් වැනි දෙයකට සිත යොමු කරමින් සිත එකඟ කරගෙන භාවනාවේ යෙදෙන්න.

නිතරම ‍පිරිසුදු පෝෂ්‍යදායී අලුත් එළවළු පලතුරු ආහාරයට ගන්න. විෂ සහිත ආහාර අනුභව කරන රටවල් අතරින් ලංකාව පළමු තැනට පත්වෙලා. සූර්ය නමස්කාර විතරක් හරියට කළත් ඇති. හොඳින් පෙණහලු පිරෙන්න ආශ්වාස ප්‍රශ්වාස කරන්න.

යෝගවලින් පුද්ගලයකුට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

රාජ යෝග, මන්ත්‍ර යෝග, කර්ම යෝග, පාඨ යෝග, ඥාන යෝග, කුණ්ඩලී යෝග, භක්ති යෝග, ලය යෝග, තන්ත්‍ර‍ යෝග ආදී වශයෙන් යෝග ක්‍රම 8ක් යෝග දර්ශකයේ සඳහන්. මේ සෑම ආකාරයකම යෝගවල නිරතවීමෙන් ශරීරයට ලැබෙන්නේ පුදුමාකාර නිරෝගී භාවයක්. දියවැඩියාව කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, හදවත් රෝග, හන්දිපත් ‍රුදාව, ඔසප් දෝස, මළබද්ධය, චර්ම රෝග, උදාරාබාධ, තරබාරුව, අක්ෂි රෝග, ශිර්ෂ රෝග මෙකී නොකී රෝග පීඩා බොහොමයකට යෝගාසනවලින් සුවයක් ලැබෙනවා. රෝගාබාධවලින් තොර දැකුම්කළු, මනස්කාන්ත සිරුරක් ලබාගතහැකි අතර, මානසික ආතතිය, ඇදුම, සෙම්රෝග, උදාසීන බව, ස්නායු රෝග ආදිය ද යෝග අභ්‍යාසවල යෙදීමෙන් අවම කරගත හැකියි. ඊට අමතරව නහර ගැට ගැසීම (varicose) ආම්ලිකත්වය (Acidity) ගර්භාශ රෝග, පෙණහලු රෝග, වකුගඩු රෝග, කොඳුඇට පෙළේ රෝග, ආතරයිටීස්, ලිංගික දුර්වලතා, ආහාර අරුචිය, කටීවායුව, කොන්දේ වේදනාව, රක්තවාත, උමතු රෝග, මානසික අසහනය දුරු කරයි. අනතුරුවලින් පසු පාදයේ කොටවීම් ද යෝගාසන මඟින් අවම කර ගත හැකිය.

හෘදය වස්තුවට යහපත් රුධිර සැපයුමක් ලැබේ. අක්‍රිය වූ ස්නායු පද්ධතීන් මනාව ක්‍රියාකාරී වීමෙන් සිතේ සහනය සතුට කැඳවයි. මානසිකව දැනෙන නොයෙකුත් පීඩා දුරු කරමින් කුණ්ඩලීන ශක්තිය අවදි කෙරේ. ඒ විතරක් නෙමෙයි. අධිකව ඉදිරියට නෙරා ආ උදරය අඩුකර ගන්නත්, ශරීරයේ උස වැඩි කර ගන්නත් ඇතැම් යෝගාසනවලින් හැකිවෙයි. උකුළු ප්‍රදේශයේ අනවශ්‍ය මේදය ඉවත්කර, තරුණ දැකුම්කළු පෙනුමක් ලබාදෙයි. ධාතු ශක්තිය වර්ධනය වේ. සිතේ බියසුළුකම, ලැජ්ජාශීලී ගතිය මගහැර චෛතසික බලය වර්ධනය කරන්නත් මිහිරි කටහඬක් ලබන්නත් යෝගාසනවලට පුළුවන්. අධික තරබාරුව ඉවත්කර සිරුරේ හැඩය රැකදෙයි.

යෝගාසනවල යෙදෙන ගැබිනි මවුවරුන්ට දරු ප්‍රසූතිය ද පහසු වන අතර කාන්තාවන්ගේ ගර්භාෂගත රෝගවලට ද සුවයක් ල‍ැබේ. මේ අනුව බලන විට පුද්ගලයකුගේ ජීවිතයේ පූර්ණ නිරෝගිතාවය හා දීර්ඝායුෂ සඳහා යෝගවලින් ජීවිතයට ලැබෙන්නේ මහත් පිටුබලයක්.

නිශානී හේරත් බන්නැහැක

අදහස්