මම ජීවිත තුනක් බේර ගත්තා දෙරණ අවුරුදු කුමරා කසුන් චමීර | සිළුමිණ

මම ජීවිත තුනක් බේර ගත්තා දෙරණ අවුරුදු කුමරා කසුන් චමීර

බක්මහ අවුරුදු කුමරකු වන්න කී දෙනෙක් හීන මවනවාද? එහෙත් ඒ අවස්ථාව හිමි කරගන්නට හැකි වන්නේ කීයෙන් කී දෙනාටද? එවන් වාසනාවක් ලද රුව, ගුණ, ඇති කඩවසම් තරුණයකු ගැන කියන්නයි මේ සූදානම. ඔහු තමයි (2019‍) දෙරණ අවුරුදු කුමරා ලෙස කිරුළු පැළඳූ කසුන් චමීර. මේ කතාබහ වෙන්වෙන්නේ කසුන් වෙනුවෙන්.

කසුන්ගේ ගම් පළාත ?

රුක්මල්ගම, කොට්ටාව.

පාසල් ගියේ?

කොළඹ ආනන්ද විද්‍යාලයට.

උසස්පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව.

නිරූපණ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන්ද අවුරුදු කුමරා තරගයට ඉල්ලුම්කළේ...

නැහැ. මම හදිසි තාක්ෂණ වෛද්‍යවරයෙක්. 1990 ගිලන්රථ සේවයේ මහරගම ප්‍රදේශය භාරව රැකියාව කරනවා.

 

දෙරණ අවුරුදු කුමරා (2019) වුයේ ඔබයි...

ඔව්. 2018 වසරෙදිත් දෙරණ අවුරුදු කුමරා තරගයට ඉල්ලුම් කළා.

නමුත් අවසන් පහළොස් දෙනා දක්වා ඇවිත් ඉවත්වන්න සිදුවුණා.

එම අවස්ථාවේ හිතාගත්තා 2019 අවුරුදු කුමරා තරගයට ඉල්ලුම්කර කෙසේ හෝ ජයග්‍රහණය කරනවා කියා. එහෙම හිතලා ගොඩක් දේවල් කළා.

මොනවද ජයග්‍රහණය කිරීමට කළේ..

පසුගිය වසරේ ලබාගත් දැනුම මේ වසරේ ජයග්‍රහණයට යොදා ගත්තා.

ඒ වගේම රටේ ලෝකෙ වෙන අලුත් දේවල් පිළිබඳව විමසිලිමත් වුණා. ඒවා පිළිබඳව දැනුම ලබාගත්තා. කායවර්ධන පුහුණුවීම් කර සිරුර හදාගත්තා.

ජයග්‍රහණය අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් වු තරගකරුවන් රැසක්ම සිටියා.

පළමුව තරගකරුවන් 200ක් විතර හිටියා. අවසානයේ අවසන් වටයට ඉතිරිවුණේ දොළොස් දෙනයි. ඒ දොළොස් දෙනාම උගත්, බුද්ධිමත්.

ඒ අතරින් වාසනාව මත තමයි පළමු තැනට එන්නට හැකිවුණේ. එදා නම කියද්දිත් පුදුම හිතුණා. මම ජයග්‍රාහකයා වුණා කීවම.

කසුන්ගේ උසත් ජයග්‍රහණයට බලපෑවාද?

මගේ උස 5, ‘11‘යි. සමහර විට උසත් බලපාන්න ඇති ජයග්‍රහණයට. එහෙත් මට වඩා උස තරගකරුවන් සිටියා.

පාසල් කාලයේදී කැපීපෙනෙන ක්‍රිඩකයෙක් කියන්නේ ඇත්තක්ද?

ඔව්. පාසලේදි වොලිබෝල්, රගර්, ඇත්ලටික් කළා.

රංගනයට ආරාධනා ලැබුණොත්?

හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා. දෙරණ අවුරුදු කුමරා වීමට පෙර ටී. වී කමර්ෂල් කිහිපයකට පෙනී සිට තිබෙනවා.

අවුරුදු කුමරා වීමෙන් පසු දෙරණ නාලිකාවෙන් විකාශය කෙරෙන රාවණා ටෙලිනාට්‍යයට කතාකළා. තවම ඒ ගැන හරියටම කියන්න බැහැ. කොහොමත් රංගනයට සම්බන්ධවීමට පෙර ඒ ගැන හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ඔබේ රැකියාව වගකීම් සහගතයි. එහිදී මුහුණ දෙන්න සිදුවු අමතක නොවන සිදුවීම් ඇති නේද?

අමතක නොවන සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. රෝගීන්ව රෝහලකට ගෙනයන්නට පෙර අවසන් හුස්ම හෙළන අවස්ථා කොතෙකුත් තිබෙනවා. අවසන් හුස්ම හෙළුෑ රෝගීන් තිදෙනෙකුගේ පණ බේරාගත් අවස්ථාවනම් අමතක වෙන්නෙ නෑ. එක දවසක් රෝහලට ගෙනයමින් සිටිය රෝගියකුගේ හාට්එක නැවතුණා. එම අවස්ථාවේ මම ඉගෙනගත් දේ උපරිමයට යොදා ඔහුගේ පණ රැක ගත්තා.

කසුන් මෙවැනි වෘත්තියක් තෝරාගත්තේ කැමැත්තෙන්ද?

ඔව්. මගේ ආසාව තිබුණේ කුඩා කාලයේ සිටම ලොකුවුණහම වෛද්‍යවරයෙක් වෙන්න. එහෙත් වෛද්‍ය විද්‍යාලයට යන්න ප්‍රතිඵල මදිවුණා. ඉන්පසුව තමයි 1990ට සම්බන්ධවුණේ. එය මම ඉතා කැමැත්තෙන් කරන වෘත්තියක්. අසරණ වු සියලුම රෝගීන්ව මම දකින්නේ මගේ අම්මා, තාත්තා, සහෝදරයා කියල. එහෙම හිතුවාම ඔවුන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පුළු0වන්.

මේ සියලු වගකීම් අතරේ පින් අතේ වැඩත් කරනවා නේද?

මහමෙව්නා අසපුවේ විවිධ වැඩවලට සම්බන්ධ වෙනවා . ඒ වගේම සුවඳදුම් පූජාවට සම්බන්ධවීම, වගේ ආගමානුකූල වැඩවලට සමබන්ධ වෙනවා.

පවුලේ විස්තර..

තාත්තා ළමාරක්ෂක අධිකාරියේ සේවය කරනවා. අම්මා ගෘහණියක්. මල්ලියි, නංගියි අධ්‍යාපනය හදාරනවා.

අනාගත බලාපොරොත්තු..

ඉගෙනීමත් එක්ක පොඩි ළමයි වෙනුවෙන් අරමුදලක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම අනාථ වෙච්ච ළමයින්ට උදවු කරන්නත්, අසරණ මිනිසුන්ට උදවුකිරීමටත් සාසනය වෙනුවෙන් යමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. කලාවෙන් ඉදිරියට යන්න අවස්ථාව ලැබුනොත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වනවා.

නයනා වෑත්තෑව

Comments