මගේ ලෝකයම සැමියයි දුවයි | සිළුමිණ

මගේ ලෝකයම සැමියයි දුවයි

මගේ ලෝකයම සැමියයි දුවයි

වේදිකාවත් පුංචි තිරයත් සිනමාවත් එක සේ ජයගත් විශිෂ්ටත්වය චමිලා පීරිස්

විජය - මාලිනි කාලේ තරු බැබළුණා... ඒත් අද ඉන්නේ මමත් තරුවක් කියල හිතන් ඉන්න අයයි. ඒ හින්දා කඩා වැටෙන තරුවක්වෙන්නෙ නෑ මම

 

පුංචි තිරයට ද රිදී තිරයට ද.. මේ කුමන මාධ්‍යයකට වුව ඇය රඟන විට අපට නම් දැනෙන්නෙ අපේම යෙහෙළියක හිතවතියක.. ඥාතිවරියක ....හා ළෙන්ගතු වූ අපුරු ආදරණීය හැඟීමකි. විටෙක මේ රඟන්නේ.

අපේම මවකගේ ...සොහොයුරියකගේ චරිතය නොවේද යැයි අනන්තවාරයක් අපිට සිති ඇත. ඒ තරමට ඇය අපට හිතවත්ය. .. අප ඇයට හිතවත්ය...ගැහැනියකගේ ජීවිතේ බො‍හෝ විඳ දරාගැනීම්...ඉවසීම්..ඇය ජීවමාන කරන්නේ මේ රටේ මැද මාවත නියෝජනය කරන්නියක් වෙනුවෙනි. ..ඒ නිසා ඈ වටා එක් රොක් වූ පිරිස අති විශාලය... මේ රඟපෑමක් නොව ඇත්තටම සිදුවෙන සාමාන්‍ය දෙයක් බව ඇය රඟන සෑම විටෙකම සිතෙයි. කැමරාවක් ඉදිරියේ කරන රඟපෑමක් දැයි නොසිතෙන තරමට අපි ඇගේ රඟපෑමට ඇළි සිටී...චමිලා පීරිස් ...බැල්මකින් පවා දක්ෂතාවය මොටදැයි කී විශිෂ්ට රංගන ශිල්පිනිය කලකට පසු අප හා කළ ළෙන්ගතු කතාබහයි; මේ

 ‘ඉතිං කොහොමද සැප සනීප’

සුපුරුදු ජීවිතය හොඳින් ගත කරනවා. මම මහා ලොකු නිළියක් කියලා හිතට අරගෙන නෑනේ..ඒ නිසා ජීවිතය ගත කරන්න හරිම පහසුයි.

‘කලා කටයුතු කොහොමද’

ඒවත් හොඳින් සිදු වෙනවා. ‘දෙයියන්ගේ රටේ’ ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. වේදිකා නාට්‍ය කිහිපයක මේ දිනවල ඉන්නවා. කරපු නිර්මාණ කිහිපයකුත් එන්න තියෙනවා. මෑතකදී නේ ‘දැකලා සුප‍ුරුදු කෙනෙක්’ තිරගත වුණේ..හරිම ආසාවෙන් කරපු නිර්මාණයක්. පසුගිය දා ඇති වූ රටේ බිහිසුණු තත්ත්වය කලා කටයුතු වලටත් බලපාලා තියනවා.

‘මම හිතන්නේ මේ දවස්වල ඔබ ගේ වැඩිම දායකත්වය වේදිකාවට කියලා’

ඔව්.. ඔබ හරි... මගේ රංගන ජීවිතයේ මම හරිම සතුටක් ලබන්නේ වේදිකා රංගනයේ යෙදු‍‍ණොත් පමණයි. ඒක දැන් ඇඟටම දැනිලා ඉවරයි.

‘බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ ඔ‍බේ චරිතය ටිකක් වෙනස් වාගේ...’

වෙනස් දේවල් කරන්නත් මම කැමැතියි. එකම රාමුවකට කොටු නොවී විවිධ - විවිධ චරිත කරන්න ලැබීම රංගන ශිල්පිනියකට හරිම වාසනාවක් ...මම කවදාවත් හිතුවේ නෑ මම රඟපාන්න ඕනේ මේ චරිත පමණයි. නැතිනම් ප්‍රධාන චරිත පමණයි කියලා. සුළු චරිතයක වුණත් කරන්න දෙයක් ඇත්නම් මම බාරගන්නවා. ‘සාදය මාරයි සල්ලි හමාරයි’ කරද්දී ජයනි ඇගේ පෞද්ගලික වුවමනාවකට විදෙස් ගත වුණා. ඉතිං ඒ නාට්‍යයේ ඇගේ අඩුව පුරවන්න මට සිදු වුණා. රඟපෑමේ දී සහයෝගය කියන දේ හරියට වටිනවා.

‘ජයනි ව‍ාගේම චාන්දනී ... මාධනී...හෂිනි...එහෙමත් බො‍හෝම හිතවත් නේද..?’

ඔව් ...ඔය කියපු නම් ටිකට අමතරව වේදිකාවේ මට ළෙන්ගතු රංගන ශිල්පිනිය තවත් ඉන්නවා. අපි හැමෝම එකම පවුලක වාගේ තමයි.

‘මට හිතෙන්නෙ මේ කවුරුත් තරු නෙමේ’

ඇත්තටම ...අපි කාටවත් කඩන් වැටෙන තරු වෙන්න කවදාවත් වුවමනාවක් තිබුණේ නැ. අපි කට්ටියම මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ. මම කවදාවත් තරුවක් වෙන්න හිතුවේ නෑ. මම... මම වාගේ ඉන්නවා... ඒක පුදුම සුවයක්..අද එහෙම තරු ඉන්නවද.. විජය - මාලිනි කාලේ තරු බැබළුණා. අද නම් ඉන්නේ මමත් තරුවක් කියලා හිතන් ඉන්න අයනේ...

‘ඉඳහිට ඔබ මෙගා ටෙලි නාට්‍ය මගිනුත් අපි දැක්කා’

දෙයක් කළ හැකි නිර්මාණයක් ලැබුණොත් එය මෙගාද අරකද - මේකද කියලා බලන්නේ නෑ. මගේ දායකත්වය දෙනවා. මට මතකයි ‘නෙතු’ ටෙලි නාට්‍යයේ මම කරපු අම්මාගේ චරිතය ගැන බොහෝ දෙනා කතා කළා. අපි අතරම ඉන්න චරිත කරපුහාම ඒවා මිනිස්සුන්ට දැනෙනවා.

‘ඔබේ රඟපෑම් ඇගයීමට පවා ලක්වුවා.’

ලංකාවේ සම්මාන ලබාදීම ගැන ලොකුවට කතා කරන්න මම කැමැති නෑ. අසීරුවෙන් කරපු ඇතැම් චරිතවලට මටත් සම්මාන ලැබිලා තියනවා. සම්මාන ලැබීම දිරියක්.

‘ඔබ හරිම සිම්පල් චරිතයක් කියලා හිතෙනවා.’

මම නිහතමානීව ඒක පිළිගන්නවා. මම මගේ කාලය නාස්ති නොකරගෙන මගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න චරිතයක්. ලොකු පාටි එහෙම කවදාවත් මගේ ජීවිතේ නෑනේ. මම මේ ජීවිතය තේරුම් අරන් ඉන්නේ. කිසිම මොහොතක මට මාව එපා කරගෙන නැහැ. ඒ නිසා හුඟාක් දේවල් ඉතාමත් ‍හොඳට මට කරගන්න පුළුවන්.

‘අවසානේ අපිට කියන්න ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක්...’

මට මගේ පෞද්ගලික ජීවිතය හරිම වැදගත්. මගේ චුටි දුව දැන් ටික ..ටික ලොකු වෙනවා. පුංචි වුණත් කෙල්ල මානුෂික ගතිගුණවලින් පිරිලා. මම ඒ දරුවාට නිදහසේ හැදෙන්න දෙනවා. දුවගෙන් තොර දෙයක් මට නැහැ. මගේ මුළු ලෝකයම සැමියයි.. දරුවයි. මගේ සැමියා මාව හොඳට තේරුම් අරන් ඉන්න නිසා මානසික සුවබරතාවයෙන් මට රංගනයට පිවිසෙන්න පුළුවන්. ඇත්තටම හොඳ රංගන ශිල්පිනියක් වුණා වගේම හොඳ බිරියක්ව - හොඳ මවක්ව ගත කරන මේ ජීවිතේ මට රත්තරං

ඔව්.. එහෙම නම් ඒ රත්තරං දිවිගමනට රත්තරං වැස්සක් ම අපි රසඳුනෙන් ඇඳ වට්ටන්නම්...සැකයක් නැහැ හිතන්න දිග හැරෙන ප්‍රතිභාවන් ප්‍රතිභාපුර්ණත්වයට අද ඇයව රැගෙන විත් ඇත. චමිලා ඔබට ජය හා සතුට....

මංජුල ප්‍රසාද් වීරසිංහ

ඡායාරූප - ඩයන් ප්‍රදීප්

Comments