නොසිතූ ලෙස නික්ම ගිය සඳවතිය | සිළුමිණ

නොසිතූ ලෙස නික්ම ගිය සඳවතිය

ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී තෙමසක් පිරීම නිමිත්තෙනි

සිතින් ගිලී නොයන දුරකථන ඇමතුමක් ය එ්.

සවනත වැකෙන එබස විශ්වාස කිරීමට තරම් මම සැහැසි නොවෙමි. මිනිත්තුව දෙක හෝරාවක් දෙකක් බවට පත් වන කල, රූපවාහිනි තිරය මත නිසල ඔබ රුව දිග හැරෙන යුරු මම බලා සිටිමි. ජීවිතය නම් අප සිතුම් ලොව ඉක්මවූවක් බව මට පසක් වේ. ඉන් සසල වෙමි.

ඔබේ වත දැකගැන්මට පැමිණි මා දුටුයේ කුමක් ද? පෙර දවසක ළබැඳි හසකින් ඔපවත් වූ වතමඬල නොවෙයි එ්. කොතෙක් නම් අවමඟුල් උත්සවවලට සහභාගි වුවත්, මේ තවත් එබඳු අවස්ථාවක් නම් නොවේ. කෙළිදෙළෙන් ගත කළ නෑ සෙනඟින් දෙවැනුව සමුගන්නට තීරණය කළේ ඔබ ය. නැගණියනි, ඔබත් මමත් එක්ව ගත කළ සොඳුරු පෙර දවස ගැන ඔබත් මමත් අතරින් පළමුව මට අනුස්මරණය කිරීමට සිදුවීම කෙතරම් නම් සැහැසි ද? ඔබේ නිහඬ වත දෙස බලමි.නැවතත් මම සසල වෙමි.

අපි කිසි දිනෙක ලියමන් හුවමාරු කර නොගත්තෙමු. එහෙත් ඔබ අමුතු ගමනක් ගොස් ය. අදහා ගන්නට නොහැකි අමුතු ගමනක්.

එබැවින් කිසි දිනෙක ඔබට නොලියූ ලියමන ලියන්නට දැන් සැරසෙමි. ෙතමසක් නික්ම ගිය තැන එය ලියන්නෙමි.

ඔබ දිනූ මේ පොළොවේ බොහෝ දෙනෙක් ඔබ හඳුනාගත්තේ ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ලෙස ය. එහෙත් එ් ඇමතුම මට නුහුරු ය; නුපුරුදු ය. කිසි දිනක එ් නමින් ඔබ ඇමතු බවක් සිහිපත් නොවේ. බාල ළමා වියේ සිටම අප ඔබ ඇමතුවේ කිරි නංගී ලෙසිනි.

නව වසර ඉක්ම ගොස් ය; ඔබ ද නික්ම ගොස් ය. වසර පවා ඉක්මවූ දශක කිහිපයකට මත්තෙන් ඔබත් මමත් එක්ව අත් විඳි නවවසර සිහිපත් කරමි. සිංහල අලූත් අවුරුද්ද සමරන්නට යක්කල වීදියවත්තේ සතරමහා දෙවොල් බිම් පෙදෙසට නෑගම් යන සැටි අදක ඊයෙක සිදු වූවක් සේ දිස් වී නොදිස් වී යයි.

ඔබ පියා මගේ මෑණියන්ගේ මලණුවන් වූ බැවින් අප පවුල් අතර නිතර යෑම් ඊම් සිදු විය. ගෙඋයනේ කොනක ගැටගසා ඇති ඔංචිල්ලාව මත මතක රුවක් පැද්දෙන,යුරු මම බලා සිටිමි. මා හැඳි ගවුම අගය කළ හැටි මතකද ඔබට? පසු දිනම ඔබත් ඔබේ අක්කාත් එ් ආකාරයේම ගවුම් මසා ගත් හැටි මතකද ඔබට?

සිංහල අලූත් අවුරුද්ද ජවනිකාව යටපත් වී තවත් මතකයක් මතු වේ. දේවාල පෙරහර පරිසමාප්තියට පත් වන දින අසදෘශ දානයකට සම වූ දානයට සහභාගි වීමට ඔබේ නිවහනට අපි ගොඩ වීමු. පසු දින දිය කැපීම හමාර වූ පසුවයි අප පෙරළා නි‍ෙවසට පැමිණෙන්නේ.

මිහිදන් වූ තවත් අවස්ථාවක් සිහිපත් වේ. ම,පියාණන්ගේ හදිසි අභාවයේ දී ඔබ සියලූ දෙනාම අප ‍නිෙවසේ නතරව සත්දවස දානය නිම වන තුරුම සිටියේ මොන තරම් නම් ස්නේහයකින් ද? එ් ස්නේහය නිසාම ඔබේ මහ ගෙදර වැඩකටයුතු ද අතපසු වීය. ඔබේ පියාගේ ඇත්ගාලේ එක ඇතකු පවා එ් ස්නේහයෙන් නිරාහාරව ගොස් මියැදුණා මතක ය.

වරක් මගේ පොතක් දොරට වැඩි අවස්ථාවක දෙනෝ දාහක් දනන් අතරේ ඔබ මගේ කනට කොඳුරා කී දේ කුමක්ද? ”අක්කේ ඔයා අයියා කරන දේම කරන්නෙ නැතිව වෙනත් දෙයක් කළොත් නරකද?”

මාධ්‍යයට ම සැකසුණු හඬ පෞරුෂයක් ද දෘශ්‍ය පෞරුෂයකින් ඔබ සන්නද්ධ වී සිටීම කෙතරම් අසිරියක් ද? ඔබ අනුකාරක ශිල්පිනියක් නොවීය.

කාන්තාවකට මාධ්‍යවේදිනියක් වීමේ අවස්ථාව සුලබ ව ලබා ගත හැකි බව බොහෝ දෙනා සිතති. එහෙත් ඔබ තුළින් මා දුටුවේ දුර්ලභ ගණයේ මාධ්‍යවේදිනියකි. ශබ්ද මාධ්‍යයෙන් මෙන්ම දෘශ්‍ය මාධ්‍යයෙන් ද ජනතාව අමතා රස බොජුන් පිළියෙල කරන අයුරු ඔබ පැහැදිලි කළේ ඔබට ම ආවේණික මධුර ස්වරයෙනි.

ගුරු වෘත්තිය අතැර මාධ්‍ය ලෝකයට අවතීර්ණ වූවේ ගුරු වෘත්තියේම දිගු කරවීමක් සිහිපත් කරවමිනි.

සැබැවින්ම ඔබ මාධ්‍යවේදය ගුරු වෘත්තියක් කර ගත්තෙහි ය.

එක් රැයක ඔබ අපට රස බොජුන් පිරිනැමූ නිවහනට පැමිණියෙමු; ඔබ වත දැකගන්ට. ඔබ අවදි නොවන වග අප දෑස දැක ගැනිණ. ශාන්තා නැගණියනි, ශාන්තව සැතපෙන්න. තෙමසක් පිරෙන මේ මොහොතේ ඔබේ සුන්දර ශාන්ත වත අප ඉදිරියේ මැවෙන්නේ මේ දහසකුත් සැමරුම් මතකයේ නින්නාද වෙද්දී ය.

ඔබෙන් සමුගන්නේ කෙසේදැයි, ඔබට සමුදෙන්නේ කෙසේදැයි මම නොදනිමි නැගණියනි. හදවතින් පිටාර ගලන මේ සැමරුම් දහරාව මෙසේ නිම කරන්නේ කිරි නංගී කියා ඔබ ඇමතූ, ඔබේ ශ්‍රීමතී අක්කා ය.

සීතා මහේන්ද්‍ර

අදහස්