කාජල් මෙතෙක් නොකී කතා දෙකක් | සිළුමිණ

කාජල් මෙතෙක් නොකී කතා දෙකක්

අජේ දේව්ගන් - කාජල් යුවළ විවාහ දිවියට එළඹිලා මේ වන විට දශක දෙකකුත් ගෙවී ගිහින්. දියණියකගේ සහ පුතෙකුගේ දයාබර මවුපියන් බවට පත්වී සිටින අජේ - කාජල් දෙදෙනා, දැන් වැඩි කාලයක් යොදවන්නේ ඒ දරු දෙදෙනා වෙනුවෙන්.

ඒ අතරතුර චිත්‍රපට රඟපෑම්වලට තවමත් එක්ව සිටින දෙදෙනාගේ ම රංගන ජීවිත ඉදිරියට ම ගමන් කරමින් තිබෙනවා. පසුගිය දිනවල අජේ කාර්ය බහුලව සිටියා. ඒ, ඔහු රඟන ‘භුජ් ද ප්‍රයිඩ් ඔෆ් ඉන්ඩියා’ නම් වූ අලුත් ම චිත්‍රපටයේ රූ ගත කිරීම් සිදුවූ නිසා. යුග දිවියේ මෙන්ම සිනමා ලෝකයේ ද සැහැල්ලුවෙන් ජීවිතය ගත කළත් දැනට වසරක පමණ කාලයක පටන් අජේ ගේ ගත පෙළෙන ප්‍රශ්නයක් නම් තිබුණා. ඔහුගේ පාදයක ආබාධයක් හටගෙන. ඔහුගේ පාදයක වළලුකරයේ වේදනාවක් මතුවෙලා. මීට වසරකට කලින් තමයි මේ වේදනාව මුලින්ම මතුවී ඇත්තේ. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න අජේට වුවමනාව තිබුණත් ගිය වසරේ චිත්‍රපට රූගත කිරීම්වලට කොටුවී සිටීමත්, ගෙදර දොරේ වැඩ කටයුතුත් නිසා ඔහුට වෛද්‍යවරයෙකු හමුවීමට හැකි වුණේ නැහැ. ඉන් පස්සෙ වරින් වර ඒ වේදනාව මතු වුණත්, අජේ එය ගණන් අරගෙන නැහැ. නමුත් පසුගිය දිනවල චිත්‍රපට රූගත කිරිම්වලදි එක දිගටම පැය කිහිපයක් සිටගෙන සිටීමත් විවේකයක් නොලබා රූගත කිරීම්වල යෙදී සිටීමත් නිසා වළලුකරයේ වේදනාව පෙර තිබුණටත් වඩා බරපතළ ලෙස මතුවෙලා. ඒ නිසා සපත්තු දමාගෙන සිටීමටත් අජේට අපහසු වෙලා.

“සපත්තු දාගෙන ඉන්න කොට වළලුකරෙන් මතුවුණු වේදනාව සුළු පටු එකක් නෙමෙයි. දැන් නම් ඒ ගැන නොසලකා ඉන්න බැහැ.” එලෙස පැවසූ අජේ පසුගියදා ජර්මනියට පිටත්ව ගියා. ජර්මනියේ මියුනිච් නුවර රෝහලකට ඇතුළු වී භෞත චිකිත්සක ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බවයි, ඔහු ප්‍රකාශ කර තිබුණේ. අජේ ජර්මනියට ගියේ තනිවම නොවෙයි. බිරිඳ කාජල්, දියණිය නීසා සහ පුතු යුග් සමඟයි. ප්‍රතිකාර ලබා ගත්තාට පසුව ඉතාලියේ සංචාරය කරන්නටත් අජේ බලාපොරොත්තුව සිටියා.

කාජල්ටත් අජේ සහ දරුවන් එක්ක විදේශ සංචාරයකට එක්වන්නට කාල වේලාව ලැබුණා. මීට සති දෙකකට පමණ කලින් නම් කාජල් ගේ සිත යොමු වී තිබුණේ ඇගේ මවගේ අසනීප තත්ත්වය වෙතටයි. කාජල්ගේ මව (ප්‍රවීණ නිළි තනුජා) රෝහල්ගත වී සිටියා. ඇයට සැත්කමක් ද කළබවයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ වන විට 76 වැනි වියෙහි පසුවන කාජල්ගේ මව සුවය ලබා නිවසට පැමිණ සිටිනවා. කාජල් තම මව සමඟ ගන්නා ලද ඡායාරූපයක් ද ඒ සමඟම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ඇතුළත් කර තිබුණා.

අජේගේ ආදරණීය පියාණන් පසුගිය මස මෙලොවින් සමුගත් පුවත ඔබට අලුත් ආරංචියක් නම් නොවෙයි. කෙසේ වෙතත් ඔහු (ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වීරු දේව්ගන්) වෙනුවෙන් කාජල් විසින් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තබන ලද සංවේදී සටහන ගැන තවමත් කවුරුත් කතා කරනවා. මේ පිළිබඳව එක්තරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කාජල් සමඟ කතාබහ කරද්දී ඇය, ඇගේ පියාණන් ගැන ද සඳහන් කරන්න අමතක කළේ නැහැ. (ඇගේ පියා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ශෝමු මුඛර්ජි) කාජල්ට තම පියා ගැන කතා කරන්න සිදුවුණේ, නිවේදකයා ‘මර්සඩීස්’ යන නම සහ ඇය අතර පවතින එක්තරා සිදුවීමක් ගැන විමසූ විටදීයි.

“මගේ තාත්තා නැති වුණේ 2008 දී. ඇත්තෙන් ම ඔය ‘මර්සඩීස්’ කියන නම තමයි, මම ඉපදුණු දවසේ තාත්තා මගේ නම හැටියට ලියාපදිංචි කරන්න ගියේ. තාත්තා ඒ නමට ආදරේ කළා. මර්සඩීස් මෝටර් රථ සමාගමට ඒ නම දාල තියෙන්නෙ ඒ ආයතනයේ අයිතිකරුගේ දුව මතක් වෙන්නලු. ඉතින් මගේ තාත්තටත් හිතුණලු ඒ නම මටත් දාන්න. මේ නම ගැන අම්මගේ කැමැත්තක් තිබිලා නැහැ. ඒ නිසා අම්මයි තාත්තයි මේ ගැන රණ්ඩු වුණාලු. අම්මා කිව්වලු, ඔය නම නම් මම දුවට දාන්නෙනැහැ කියලා.” කාජල් තවත් මතකයක් ඒ සමඟම සිහිපත් කළා.

“අජේ මාව විවාහ කරගන්න යනවා කියල දැන ගත්ත ගමන් අපි දෙන්නගෙම අම්මල තාත්තල විරුද්ධ වුණා. මගේ තාත්ත මාත් එක්ක සතියක් විතර ගතවෙනතුරු කතා කළේ නැහැ. පස්සෙ තාත්ත මගෙන් අහනවා, මෙච්චර තරුණ වයසෙදි ඇයි විවාහ වෙන්න යන්නෙ කියලා. ‘ඔයාගෙ සිනමා ජීවිතය දැන් හොඳින් ගත වෙනවා. එහෙම තත්ත්වයකදි ඇයි මේ වගේ තීරණයක් ගත්තෙ?’ කියලා තාත්ත මගෙන් ඇහුවා.”

කොහොම වෙතත් අද වන විට බොලිවුඩ් සිනමා ලොව තුළ ඉහළ ම ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සාර්ථක යුග දිවියක් ගත කරන්න අජේටත් කාජල්ටත් හැකිවී තිබෙනවා.

 

සුජීව තේවහෙට්ටිගේ

Comments