අව්වට පිච්චී ගිය සමට නිවෙසේදීම සාදා ගත හැකි ආලේපන 7ක් | සිළුමිණ

අව්වට පිච්චී ගිය සමට නිවෙසේදීම සාදා ගත හැකි ආලේපන 7ක්

ලස්සනට ඉන්න නිළියන් සුදුවට ඉන්න රහස් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නීශා මනහාරිගෙන්

සොඳුරු තාරකාවන් නොකියන රහස්

සෑම නිළියක් ම පැහැපත්ව ඉන්නේ පෙති බීලා ඉන්ජෙක්ෂන් ගහලම නෙමෙයි... එයාලා ෂූටිං නැති දවස්වලටමේ දේවල් කරනවාමයි

අව්වට හම පිච්චෙනවා කියලා ගේ ඇතුළට වෙලා ඉන්න අපි කාටත් බෑ. එදිනෙදා වැඩ සමඟ එළියට බහින්න අපිට අනිවාර්යයෙන් සිදුවෙනවා. කාලගුණය කියන එක හිතුණ - හිතුණ වෙලාවට වෙනස් වෙනවා. අද ගිනි අව්වනම් හෙට හෝ ගාලා වැස්ස. හැබැයි වැස්සට වඩා අව්වෙන් තමා රුවට වෙන තරමක් හානි සිදු වෙන්නේ. ඊට ප්‍රධානම හේතුව තම සොඳුරු සම අව් රශ්මියෙන් අඳුරු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.

‍ෙම් අව් රශ්මියෙන් වැඩිපුරම පීඩාවට පත් වෙන පිරිසක් ඉන්නවා. ඒ අපේ සුන්දර රංගන ශිල්පිනියන්. මොකද දවසේ රූගත කිරීම් තියන තරමක් තිබෙන්නෙ ගිනි මද්දහනේ. බෑ... කියලා බෑ... අව්වෙම ෂූටිං කරන්න සිදු වෙනවා. නිකම්මත් නෙමේ; ලොකු මේකප් තට්ටුවකුත් දාගෙනම. ඉතිං හරි ඉක්මනට මෙහෙම වුනහම සම පිච්චෙනවා. අඳුරු වෙනවා.

ඉතිං මෙයාලා සොබාදහම තුළින් ඒ සඳහා කදිම විසඳුමක් සොයා ගෙන තියෙනවා. ඒ සොබාවික දේ මඟින් යළිත් සම තිබුණ ආකාරයටම හරවාගන්න. මේ ඉදිරිපත් කරන ආලේපන හුඟාක් නිළියන් ගෙදරදි නිදහසේ කරනවා.

හැබැයි එයාලා ඒවා පත්තරවලට කිය.. කිය.. ඉන්නේ නෑ. මේ නිසා අපේ හුඟ දෙනෙක් හිතන්නේ මේ නිළියන් මේ තරම් සුදුවට... ලස්සනට ඉන්නේ නොයෙකුත් පෙති බීලා - නැතිනම් ඉන්ජක්සන් විඳලා කියලා. රූපලාවණ්‍ය ශිල්පිනි නීශා මනහාරි බොහොමයක් නිළියන් හැඩ කරන ඔබේ ආදරණීය හිතවතියක්. ඇය දන්නවා මේ ලස්සන වීමේ රහස්. දිනක් අප මුණගැසුනු මොහොතක තමා මේ ගැන අපි කතා වුණේ. ඉතිං පරිස්සමට ඈ කියූ මේ රහස් ප්‍රතිකාර ටික අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඇත්තටම ඔබත් ලස්සනට ඉන්නවා දකින්න ඇති ආසාවටමයි.

01. ආලේපනය - කඩල පිටි සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

• පිරිසුදු කහ කුඩු මේස හැඳි 02ක්

• කඩල පිටි මේස හැඳි 03ක්

• මුදවපු කිරි‍ හෝ යෝගට් කප් 02ක්

යෝගට්වලට කහ කුඩු (උයන්නට ගන්න කහ කුඩු නොවෙයි) සහ කඩල පිටි එක්කර හොඳින් මිශ්‍ර කරන්න. (නෑමට පැය බාගයකට ‍පමණ පෙර) මෙම මිශ්‍රණය අව්වට අවපැහැ ගැන්වූ ස්ථානවල ගා විනාඩි 30 වේලෙන්නට හරින්න. පසුව මඳ සීත වතුරෙන් සෝදා හරින්න. කහ පැහැති සමක් හිමිවෙයි.

02. ආලේපනය - අලි පේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

• අලි ගැට පේර ගෙඩියක මදය

• යෝගට් කප් එකකින් 1/2 ක්

• දෙහි ස්වල්පයක්

සියල්ලම එකට මිශ්‍ර කර ක්‍රීම් එකක් සේ සාදා ගන්න. පසුව මුහුණ, ගෙල, දෙපා ආදියෙහි ගල්වා කුණු අතුල්ලන ආකාරයෙන් සෑම තැනම අතුල්ලන්න. මිනිත්තු 35ක් පමණ සම මත තිබෙන්නට හරින්න. පසුව ඇල්වතුරින් සෝදා හරින්න. සමට සුමුදු බවක් හා පෝෂණයක් ලැබේවි.

03. ආලේපනය -කැරට් සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය

• කැරට් අල 02ක්

• අයිස් වතුර ස්වල්පයක්

කැරට් අල දෙක තම්බාගන්න. ඉන්පසු එය සිහින්ව අඹරා ගන්න. අයිස් වතුර ස්වල්පයක් එක්කර සමේ සෑම තැනම ආලේප කරන්න. මුළු ගතම රන්වන් පැහැයට හැරෙයි. සති කිහිපයක් කරලා බලන්නකො.

04. ආලේපනය -

අමු අඹ පෙති සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය

• මුදවපු කිරි මේස හැඳි 2ක්

• අමු අඹ පෙති ටිකක්

අමු අඹ පෙති ටික සිහින්ව අඹරාගන්න. ඊට මුදවපු කිරි දමා හොඳට තලපයක්ව සාදාගන්න. සමේ ආලේප කර මිනිත්තු 30 පමණ සිට ඇල්වතුරෙන් ‍සෝදා හරින්න. තෙල් සහිත සමකට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්. සම සුමුදු කර කුරුලෑ ඒම ද නැතිකර දමනවා.

05. ආලේපනය - කහ කුඩු සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය

• එළකිරි හෝ දිය කරගත් පිටි කිරි කෝප්ප 01 ක්

• හොඳ කහ කුඩු මේස හැඳි 01 ක්

නෑමට ප්‍රථම වතුර බේසමක් සූදානම් කරගන්න. මේ ජාති දෙකම වතුර බේසමට දමා පැත්තකින් තබන්න. දැන් සබන් නොගා ඇඟ හොඳට තෙමාගෙන බේසමේ ඇති කිරි - කහ වතුරින් ටිකක් වෙලා ගෙන මුළු ඇඟම සෝදන්න. පසුව යළි ඇල් වතුරින් ඇඟ තෙමාගෙන පිසදාගන්න. මෘදු - සුදු සමක් ඔබට ලැබෙයි.

06. ආලේපනය - මුං ඇට සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය

• මුං ඇට ග්‍රෑම් 20ක්

• කහ කුඩු මේස හැඳි 1ක්

මුං ඇට ටික රැයක්ම පෙ‍ඟෙන්නට තබන්න. පසුදා එය සිහින්ව අඹරාගෙන ඊට කහ කුඩු මිශ්‍ර කරන්න. සාදාගත් තලපය සිරුරේ අඳුරු පැහැ ගැන්වූ තැන්වල ආලේප කරන්න. විනාඩි 20ක් පමණ සිට ඇල් වතුරෙන් සෝදා හරින්න. මෙය වියළි සමට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. මනා පැහැපත් බවක් ලැබේවි.

07. ආලේපනය - බිත්තර-මී පැණි සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය

• බිත්තර සුදු මද 01ක්

• මී පැණි මේස හැඳි 01 ක්

• මුදවපු කිරි මේස හැඳි 02ක්

ඉහතකී සියල්ල එකට මිශ්‍ර කර ගන්න. ඉන්පසු රළු වූ සහ රැළි වැටුන තැන් මුහුණ ගෙල - දෑඟිලිවල ගල්වා පැය 1/2 සිට ඇල්වතුරින් සෝදා හරින්න. රළු සහ රැළි ගැන්වූ සමට හොඳයි.

දැන් ඉතිං ඔබත් තරු අතර දිළෙන තරුවක් වේවි. අතුරු ආබාධත් නෑ. සමට අහිතකර කිසිවකුත් නෑ. ඉඩක් ලැබෙන සෑම විටම මේ ප්‍රතිකාර කර බලන්න. සති කිහිපයක් යද්දී ඔයාලටත් නිළිකමට ආරාධනා ලැබේවි.

මංජුල ප්‍රසාද් වීරසිංහ

Comments