අපේ තැවුල් අපිට මිසක් කාට නම් වගක් අපට අපිම අගේ දාක එයි වසන්තයක්... | සිළුමිණ

අපේ තැවුල් අපිට මිසක් කාට නම් වගක් අපට අපිම අගේ දාක එයි වසන්තයක්...

හිත හදාන ඉන්න තමයි සිතුවෙ මා ඉතින්

සැක තියාන ජීවිතේම ගෙවනු බෑ දුකින්

හදවතින්ම ළං වෙලා හිඳින්න බැරිම නම්

වෙන්වෙලා යමුද යන්න නොරිදවා නුවන්...

මල් පිපේවි එකම ගසක සියක් වාරයක්

එකම සිතක් පිදිය හැක්කෙ එකම එක වරක්

මා ඔබෙන් පතාන ආවේ සොඳුරු ලෝකයක්

මියුරු ජීවිතේ කරන්නෙපා අගාධයක්...

ගරා වැටුණු මන්දිරෙන් ලැබේද සහනයක්

පැරණි ගඩොළකින් සැදේවී නැවුම් ටජ් මහල්

අපෙ තැවුල් අපිට මිසක් කාට නම් වගක්

අපට අපිම අගේදාක එයි වසන්තයක්...

 

ගායනය - විශාරද නන්දා මාලිනි

පද රචනය - කමලා මැණිකේ වීරසේකර

සංගීතය - විශාරද නවරත්න ගමගේ

“එක අත්තක වහන්නේ එක ජාතියේ කුරුල්ලොලු.” බොහෝ වෙලාවට මිනිසුන් සම්බන්ධයෙන් එසේ කියන්නේ එක සමාන අදහස් ඇත්තවුන් එකට එක්ව කටයුතු කරන විටය. කට වචනයට එසේ කිව්වත් එක ජාතියේ කුරුල්ලන් අතරත් පුංචි පුංචි වෙනස්කම් නැතිවාද නොවේ. මිනිස්සුද එලෙස රූපයෙන් පමණක් නොව ගතිගුණවලින් ද අදහස්වලින් ද එකිනෙකට වෙනස්ය.

“එයාගේ අදහසුත් මගේ වගේමයි.”

“අපි දෙන්නම හිතන්නේ එකම විදිහට”

හඳුනාගත් අලුත මෙසේ කියු පෙම්වතුන් අනන්තය. ඒත් ඒ අදහසම විවාහ වූ පසුත් කියන්නේ කීයෙන් කී දෙනාද? මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන්නට මහ ලොකු වෙලාවක් ගත වන්නේ නැත. එකම සිතින් එකිනෙකා ආදරයෙන් බැඳි ඉන්නවා යැයි කියූවද පවුල් ජීවිතය තුළ දී විරසකකම් ඇති වන්නේ කලින් දන්වා නොවේ.

“අඹූසැමි ප්‍රශ්න බත් හැළිය ඉදෙනතුරු විතරයි.”

ඒ පැරැණියන්ගේ කියමනකි. එය සැබෑවක් බව වැටහෙන්නේ ඉක්මනින් තරහා වී සුළු මොහොතකින් යළිත් හිටියාටත් වඩා මිතුරු වූ අවස්ථා ඇති බැවිනි. මෙය ලියන මම ද මෙය කියවන ඔබ ද පවුල් ජීවිතය තුළ එවැනි අත­්දැකීම් විඳ ඇතිවාට සැක නැත. තරුණ වියේදි මෙන් නොව වයසින් මුහුකුරායෑමත් සමඟ අප ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය වෙනස්ය. ඒවාට පිළිතුරු සොයන විදිහ ද වෙනස්ය. ආදරයට පමණක් ළැඟුම් දිය හැකි කුල ගෙය ගිනි ගෙයක් වන්නේ නම් එය මහත් විනාශයකි. සැකය, තරහව, වැරදි අවබෝධය, මේ සියල්ලට මුලය.

අපේ කාලේ වගේ නෙමෙයි, දැන් හැදෙන ළමයි. පොඩ්ඩ බැරි වෙනකොට දීගෙ දමලා ගහලා ගෙදර එන්න බලන්නේ”

වැඩිහිටියකු එසේ පැවැසුවේ ළඟදි විවාහ වූ තරුණියක මාස කිහිපයකින් යළිත් මහගෙදර පැමිණි කතාවක් අප හා කියන අතරය.

ඉවසීමක් නැති වූ විට නම් කාටත් එසේය. නමුදු පවුල් ජීවිතය තුළ ආදරයට මෙන්ම ඉවසීමට ද විශාල ඉඩක් තිබිය යුතුය. ආදරය, ප්‍රේමය, විවාහය, විරහව, පවුල් ජීවිතය බිඳවැටීම ආදි මාතෘකා අත්දැකීම් කර ගනිමින් ලියැවූණ ගී නිර්මාණ බොහෝය. ඒ අතර මෙවැනි ගීතයක් ද අපට ඉදහිට හමුවේ. විශ්‍රාමික නර්තන ගුරුවරියක වන කමලා මැණිකේ වීරසේකර විසින් ලියන ලද මේ ගීතය සංගීතවත් කර ඇත්තේ විශාරද නවරත්න ගමගේ සංගීතවේදියා විසිනි.

දහසකුත් එකක් බලාපොරොත්තු ප්‍රාර්ථනා හද පුරවාගෙන කුලගෙට පැමිණි පසු ඇති වූ විරසකකම් හමුවේ වෙන්වීම නොව හිත් හදාගෙන පෙර ලෙසින්ම එකිනෙකා ආදරයෙන් සීටීම කොතරම් වටින්නේ දැයි යන අදහස මතුකරලීමට පද රචිකාව උත්සාහ දරා ඇත්තීය.

“මල් පිපේවි එකම ගසක සියක් වාරයක්

එකම සිතක් පිදිය හැක්කෙ එකම එක වරක්

මා ඔබෙන් පතාන ආවේ සොඳුරු ලෝකයක්

මියුරු ජීවිතේ කරන්නෙපා අගාධයක්...”

ප්‍රවීණ ගායන ශිල්පීනි නන්දා මාලනියගේ හැඟුම්බර හඬ ගී පද වඩාත් අර්ථ ගන්වන්නීය.

“අපේ තරුණ කාලෙට වඩා අද සමාජය වෙනස්. මම දකින දෙයක් තමයි දැන් පරම්පරාව අතර ඉවසීම කියන එක බොහෝම අඩුයි. විවාහ ජීවිත ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා තමයි. ඒත් අවබෝධයෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඒ අවබෝධය තමයි අපි මේ සමාජයට තරුණ පරපුරට දිය යුත්තේ. ගැහැනු ළමයෙක් විවාහ ජීවිතයට ඇතුළු වෙන්නේ බොහෝ සුන්දර ප්‍රාර්ථනාවන් ඇති කරගෙන. සමහර අය පවුල් ජීවිතය තුළ ඒ සුන්දරත්වය දකින්නේ මුල් කාලයේදි විතරයි. දුර දිග නොබැලීම් නිසා ජීවිතය අපායක් කර ගත්ත අය අපට හමුවෙලා තියෙනවා. ඒ අයගේ කතා අහලා තියෙනවා. ඒ අත්දැකීම් තමයි මේ ගීතය ලියන්න පාදක වුණේ.”

ගී පද රචිකා කමලා මැණිකේ වීරසේකර පවසන්නේ ගීතයට අරමුණු වූ අත්දැකීම ගැනය.

ජීවිතය සුන්දරය. දුක තරහව පාලන කර ගන්නට බැරි විට වෙන්වන්නට, තීරණය කළත් වෙන්වීම සියලු ප්‍රශ්නවලට විසඳුමක් නොවනු ඇත. වෙන් නොවී ජීවිතයට පෙර සේම ළං විය හැකි නම් එතැනට යළිත් සුන්දරබව ළගා වනු ඇත.

අදහස්