‘කැණිමඬලේ ගීතය’ නූතන සුභාවිත හෙළ ගී කෙත | සිළුමිණ

‘කැණිමඬලේ ගීතය’ නූතන සුභාවිත හෙළ ගී කෙත

කර්තෘ-ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ

“සියුම් රසඥතා හා වින්දනශීලී මං ඔස්සේ දුක, වේදනාව හා ආදරය ගැන සියුම් පැතුම් මඟින් මානව හිතවාදී උත්තර පුරුෂාර්ථවලට මිනිසුන් නැඹුරු කළ හැකි” බව ප්‍රකට ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ 1975 සැප්තැම්බර් 16 වැනි දා කරුණාරත්න අමරසිංහ මහතා වෙත යැවූ ලිපියක සඳහන් කර තිබේ. එහි ම තව දුරටත් ඔහු “ප්‍රචාරක ආලාප ලෙස නොව පොදු හා සැබෑ මානුෂික උත්තරාංග ඇගයෙන සැබෑ මානව දයාව - හිතවාදය තහවුරු කෙරෙන නිර්මාණ වැදගත්” වන බව සඳහන් කර ඇත. මේ වන විට අප රටේ සිටින විශිෂ්ට කවියකු හා ගීත රචකයකු වන එතුමා එදා පළ කළ උක්ත අදහස් කවිය ගැන මෙන්ම ගීතය ගැන ද අදටත් බෙ‍හෙවින් අදාළ ය. එකී කරුණු සිහියේ තබා ගනිමින්, ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහතාගේ නවතම ගීත ප්‍රබන්ධ සමුච්චිය කියවා බැලීමේ දී උක්ත කරුණු සියල්ල එම ගීත අතුරෙන් බොහොමයක් ගීත සනාථ වන බව කිව යුතුය.

‘කැණිමඬලේ ගීතය’ සරසවි ප්‍රකාශකයන් විසින් මේ වසරේදී ප්‍රකාශයට පත්කරන ලද නිර්මාණ කෘති අතුරෙන් ඉහළ තලයක ලා සැලකිය හැකි බව එහි අන්තර්ගත ගීත 108 කියවා බැලීමෙන් පෙනී යයි. මේ අතුරෙන් ඇතැම් නිර්මාණ මේ වන විටත් විශාරද අමරසිරි පීරිස්, විශාරද සමන්ත පෙරේරා, විශාරද ජගත් වික්‍රමසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද ප්‍රදීපා ධර්මදාස, ජයන්ත රත්නායක, අජිත් ගාමිණී විජේසේකර, විශාරද සෝමසිරි මැදගෙදර ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් හා සංගීතඥයන් සමූහයක දායකත්වයෙන් රසික සමාජය වෙත පිරිනමනු ලැබ ඇත.

වර්තමානයේ අප අසන මෙන්ම අපට ඇසෙන ගීත අතර රත්න ශ්‍රී විජේසිංහ සඳහන් කරන ‘ප්‍රචාරක ආලාප’ කොතෙකුත් දක්නට ඇත. එපමණක් නොව ගීතයක් මඟින් සිය සිතැඟි අමු අමුවේම ඉදිරිපත් කිරීමේ වැදගත් කමක් ගැන විශ්වාසය තබා ගනිමින් ආවේගශීලී පද හරඹයක යෙදෙන ගීත රචකයන් අතින් ලියැවෙන හරසුන් පද මාලා ද කොතෙකුත් හමු වෙයි. එහෙත් ගීතයක් මඟින් අර්ථයක් මෙන්ම පොදු වූත් සැබෑ වූත් මානුෂීය හැඟීම් රසවත් ලෙස නිර්මාණය කරන්නට සමත්කම් දක්වන ගී පද රචකයන් අද විරල නොවීම අපගේ වාසනාවකි.

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන ‘ පුංචි දඟකාරි’ සුදු පෙණ කැටි’ හා ‘සුවඳ කැකුළු මල්’ යන ළමා ගීත නිර්මාණ කෘතිවලට අමතරව, ඔහු විසින් පාසල් වියේ පටන් ලියන ලද 500 ට අධික වන ගීත අතුරෙන් නිර්මාණ 108 ක් තෝරා ගනිමින් ‘කැණිමඬලේ ගීතය’ නමින් ගී නිර්මාණ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරන්නට යොමු වීම සැබවින්ම අගනා කර්තව්‍යයකි. මේ කෘතියෙහි අඩංගු ගීතවලට යොදා ඇති මාතෘකාවල මෙන්ම ඒවායේ තේමාවන්හි ද විවිධත්වයක් දැකගත හැකිය. ගීත එකින් එක නම් කිරීමට යොමු වී ඇති කතුවරයා එකී නම් සඳහා ද විවිධ අරුත් දෙන, එමෙන්ම ගීයේ තේමාවට අතිශයින් ගැළපෙන නිර්මාණාත්මක යෙදුම් භාවිත කර ඇති බව පෙනේ.

‘දිරිය නැගණියේ’ ‘ධීවර ගීතය’ ‘රෑ මනමාලී’ ‘මගෙ දෙනයන’ ‘රාමලාන් සඳ’ ආදී වශයෙන් කෙටියෙන් යෙදු මාතෘකා දක්නට ලැබෙන අතරම ‘සදා නොසි‍ඳෙන සෙනෙහෙ ගඟුල’ ගත ලෙස කළ මුත් සිත ලෙඩ කරනු බැරි’ සියුමැලි දෑත රිදුණිද කරගැටවලට’ මහමෙවුනාවේ සමාධි බුදු පිළිම වහන්සේ’ යනුවෙන් දීර්ඝ මාතෘකා ඇතැම් නිර්මාණ සඳහා යොදා ගෙන තිබීම ද මේ ගී සමුච්චයෙහි ඒකාකාරී බවක් ඇති නොවන්නට හේතු වී ඇත. මෙහි ඇතුළත් ගීත එකින් එක සලකා බලන විට කතුවරයා දීර්ඝ කාලයක් තිස්සේම සමාජය නිරීක්ෂණය කරමින් එහි සිදු වන දෑ ප්‍රීතියෙන් මෙන්ම සංවේගයෙන් ද සිහිපත් කරමින් ඒ පිළිබඳ සිය කවි අවදි කරගෙන නිර්මාණ බිහි කර ඇති බව දැකගත හැකිය.

රත්න ශ්‍රී විජේසිංහ නිර්මාණකරුගේ යෙදුමට යළිත් වරක් අවධානය යොමු කළ හොත්, සියුම් රසඥතා හා වින්දනශීලී මං ඔස්සේ දුක වේදනාව, ආදරය යනාදී මානව හිතවාදී ගුණයන් මේ ගීත රචනා ඇසුරෙන් ද විඳගත හැකි බව නොරහසකි. ආචාර්ය වික්‍රමසිංහ සිය ගීත සමුච්චය තුළින් ආදරය, සෙනෙහස - විශේෂයෙන්ම මව් - පිය සෙනෙහස, ස්වාමී - භාර්යා ආදරය ඇතුළත් සුන්දර පවුල් සම්බන්ධතා පිළිබඳ මානව හිතවාදී වූත් රසවත් වූත් හැඟීම් සමුදායක් රසිකයා වෙත ගෙන එයි.

සසර කතරේ සදා හමු වන

අප නිසා සැම දුක දරගෙන

සිත නිවන සෙත් පිරිතකී ඔබ

බෝ සෙවණ සේ මෑණියේ....

(18 ගීතය - සදා නොසි‍ඳෙන සෙනෙහෙ ගඟුල)

දෙව් බඹුන් ආසිරි ලබා ගෙන

අප නිවසෙ මිණි පහන වී

දෙගුරු දෙනයන තුටු කඳුළ වී

ලොව දිනන සුරතල් පුතේ

උතුරලා යන සෙනෙහෙ ගඟුලකි

දැයට මිණි කිරුළකි පුතේ....

(22 ගීතය - එන් කැටි පුතේ)

සොහොයුරියකි ළෙන්ගතු වූ සැම හට

මල් යායකි අරුණැල්ලේ සුපිපුණ

මනසට දිව ඔසුවකි සුමියුරු බස

සොඳුරිය මවක ද වුවා ඔබ මට...

(24 ගීතය - සොඳුරිය ඔබ මට මවක ද වුවා)

උක්ත ගී නිර්මාණ මඟින් හෙළිවන පරිදි දෙමාපිය - දූ දරු, ස්වාමී - භාර්යා සුන්දර, ළෙන්ගතු සම්බන්ධතා අත් විඳීමේ වාසනාව ලද ගී පද රචකයකු අතින් නිර්මාණය වී ඇති ගීත රැසක් මෙහි අන්තර්ගත ය. තව ද මේ කෘතියෙහි ඇතුළත් වන බොහෝ ගී පද රචනා කියවන්නා තුළ, මෙන්ම ශ්‍රවණය කරන්නා තුළ ද මිහිරි වූ වින්දනයක් ඇති කර ලීමට සමත් වෙයි.

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ අද අප සමාජය තුළ විරල වශයෙන් හමුවන පරාර්ථකාමී මානව හිතවාදී පුද්ගලයෙකි. ඒ පසුබිමෙහි සිටිමින්ම හුදෙක් ‘ප්‍රචාරක ආලාප’ ලෙස සමාජ විවේචනයක යෙදීම වෙනුවට සමාජය වෙත දයාවෙන් යුතුව සිය නිරීක්ෂණ ගීතයට නැඟීමට යොමු වී ඇති ආකාරය අගය කළ යුතුය. සමාජය තුළ පවත්නා දරිද්‍රතාව එහි ජීවත් වන විවිධ තරාතිරමේ බාල මහලු, ස්ත්‍රී - පුරුෂ පුද්ගලයන් පෙළන ආකාරය පිළිබඳව සියුම් නිරීක්ෂණයක යෙදෙමින් සැබෑ මානව හිතවාදී ආකල්පවලින් බැහැර නොවී රසික මනස තුළ සංවේදී හැඟීම් මතු කරලමින් ලියූ ඇතැම් ගී පද රචනා අප වෙත ලබා දෙන වින්දනය අගනේ ය.

දිවිමග මහබර තනිවම උසුලන්නී

ඉඳුකිල සේ අකම්පිත මුව දෙන්නී

කඳුළින් සුසුමින් දිවි බර ගෙන යන්නී

මිණි පහණකි දැයට ම නැඟණියනී” ....

(4 ගීතය - දිරිය නැඟණිය)

දෙමාපිය - දරු සම්බන්ධතාව දැඩි ලෙස පැවතුණ සමාජ වටපිටාවකින් ඔබ්බට විත් එහි දුක්ඛදායී පක්ෂයක් අත්විඳින්නට නූතන සමාජයට සිදු වී ඇති බව නොරහසකි. වියපත් මවු පියන් මහමඟ දමා යන යුගයක තමන් හැඳූ වැඩූ දරුවන් තමන්ගෙන් වෙන්ව ඈත දුරු රට වසද්දී දෙමාපියන් තුළ ඇති වන සංවේගය ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ ගී පද රචකයාගේ මනසට ද නිරායාසයෙන් ම අතුළු වී තිබෙන ආකාරය මෙහි අන්තර්ගත ගී නිර්මාණ කිහිපයකින් ම විශද වෙයි.සිය නිර්මාණයට යොදා ඇති ‘ගේ කුරුල්ලෝ’ යන මාතෘකාවෙන් ද නිරායාසයෙන් ම හැඟී යන පරිදි ගී පද රචකයා සැබෑ සංවේදී කවි සිතුවිල්ලක් මෙයින් මතු කර ඇත.

මහගෙදර අඹ සෙවණෙ

පුංචි සෙල්ලම් ගෙදර

බත් ඉව්ව පොඩි පැටවු

ලොකු වෙලා තටු විහිද

දුරු රටක ඉගිළිලා....

(78 ගීතය - ගේ කුරුල්ලෝ)

ආචාර්ය වික්‍රමසිංහ ගී පද රචකයා දිගු කලක් තිස්සේ ලියා නිම කළ නිර්මාණ සමස්තය තුළ ඔහු ජීවිතය මෙන්ම සමාජය හාත්පස ද සියුම් ලෙස නිරීක්ෂණය කර ඇති අතර සංවේදී හදවතකට එහිදී දැනූණ හැඟීම් පාඨකයා සමඟ යහපත් සේ බෙදා හදා ගැනීමට සමත් වී ඇති අයුරු පැහැදිලිව පෙනෙන්නට ඇත. අතීතයේදී මෙන්ම කාලයේ ද රටේ ඇති වූ ස්වභාවික විපත් ඇතුළු විවිධ ව්‍යසන අප හද කම්පා කළ බව අපි දනිමු. ප්‍රතිභාසම්පන්න ගීත රචකයකුගේ සිතක එවන් අවස්ථාවලදී ඇති වන සංවේදී හැඟීම් සිය භාෂා ඥානය මෙන්ම සංගීත ඥානය ද එමතු නොව නිර්මාණකරණය පිළිබඳ දැනුම ද එකතු කරගනිමින් මිහිරි ගීත ලෙසින් නිම වී ඇති ගී පද මාලා 108 ක් අන්තර්ගත ‘කැණිමඬලේ ගීතය’ නම් මේ කෘතිය සැබවින්ම අර්ථවත් මෙන්ම රසවත් වූ ද නිර්මාණ සංග්‍රහයකි.

‘සිත් පිත් නැති ගං වතුර’ යනුවෙන් නම් කොට රචනා කර ඇති ගීතය උක්ත කරුණ තවදුරටත් සනාථ කරලයි.

ඇඳිවත පමණක් ඉතිරි ව

අපේ ම අවතැන් දනහට

වැටුණු තැනින් නැගිට එන්න

අතහිත දෙනු මැන නොලස ව....

මගෙ සොහොයුරනේ - සොහොයුරියනේ

(102 ගීතය - සිත් පිත් නැති ගං වතුර)

කවර රටක වුවද ජීවත් වන ජනයා කලින් කලට මුහුණ දෙන විවිධ අත්දැකීම් හේතු කොට ගෙන ඔවුන් අතර විශේෂයෙන් ම එකට ජීවත් වන විවිධ ජාතීන් අතර අමනාපකම්, අසමගිකම් ඇති වීම සිදු වනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවාසී අප නුදුරු අතීතයේ දී මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ද එවැනි තත්ත්වයනට මඟ පාදා ඇත. එවන් අවදියක ජාතීන් අතර සුහදතාව, සමඟිය, සංහිදියාව ඇති කරවීමට ද උපකාරි වන විදියේ හැඟීම් ඇතුළත් ගීත කිහිපයක් ම‍ ‘ කැණිමඬලේ ගීතය’ නිර්මාණ කෘතියෙහි දක්නට ලැබීම වැදගත් කරුණකි.

මේ ගී පද සමුච්චයෙහි ඇතුළත් වන පහත සඳහන් ගීත කතුවරයා උක්ත පරමාර්ථය සිත්හි දරාගෙන කළ නිර්මාණ ලෙස හඳුනා ගත හැකිය.

ෆරීනා - එන්න මියුලැසියේ

ළපලු පත් අග රැඳුණු පිණි බිඳු

නෙළුම් කොළයක අසුරලා

හුයෙක එකිනෙක රැගෙන අමුණා

සඳවතිය ගෙල පලඳවා

ෆරීනා - එන්න මියුලැසියේ...(57ගීතය - රාමලාන් සඳ)

දෑ කුල ආගම් නොතකා

සාමය සමගිය වපුරා

නෙනෙහසෙ දීපය දල්වා

ප්‍රේමය පතුරමු සැමදා....

(59 ගීතය - බෙත්ලෙහෙමේ තනි තරුව)

පවුල් සම්බන්ධතා ලිහිල් වෙමින්, විවාහ අසාර්ථක වෙමින්, ස්වාමි - භාර්යා ගැටුම් බහුල වෙමින් පවතින වර්තමාන සමාජයට තම ගී පද මඟින් හොඳ පණිවුඩයක් දීමට කතුවරයා සමත් වී ඇති බවට පහත වන ගීතය තවත් හොඳ නිදසුනකි.

මගෙ දෙසවන නිබඳ පතන

මගෙ දෑසට රසඳුන වන

මගෙ හදවත නිති විමසන

මගෙ දෙනයන නම් ඔබම ය

මා පිය සොයුරියේ නකුල

මාතා ඔබ වේ....

(72 වන ගීතය - මගෙ දෙනයන)

මෙහි ගී සමුච්චයෙහි අන්තර්ගත මෙවන් රසවත්, අර්ථවත් ගී පද අතර මිණි කැටයක් මෙන් දිදුළන පහත දැක්වෙන ගීත ඛාණ්ඩය සැබවින්ම රසික දෙනෙත් තෙත් කරවන, හදවත් ගොළු කරවන ශෝකාකූල වින්දනයක් මතු කර ලන්නකි. මරණ දඬුවම නියම වූ තරුණ සිරකරුවකුගේ එක ම පුත්‍රයා සර්පයකු දෂ්ඨ කිරීම නිසා මිය ගිය අතර ඒ අවසන් මොහොතට සහභාගී වීමට නොහැකිව වැලිකඩ බන්ධනාගාරයේ දී ඔහු හඬා වැළපෙන අවස්ථාව විෂය කරගනිමින් රචනා කරන ලද පහත දැක්වෙන ගීය මේ රචකයා අතින් ලියවුණු අගනාම නිර්මාණයකි.

දෑතේ විලංගුව ගලවා ඇවිදින්

පුතණුවනේ නුඹ සිප සනසන්නට

අවසර නැත මට ඔබ වෙත එන්නට

අගුළු දමා ඇත සිර කුටියේ දොර....

(79 ගීතය - ද‍ෑ‍තේ විලංගුව ගලවා ඇවිදින්)

ගායනය හා තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Comments