මහැදුරු ජේබී ට මැද සිටින්න බැහැ | සිළුමිණ

මහැදුරු ජේබී ට මැද සිටින්න බැහැ

 ඉකුත් 07 වැනිදා සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකයේ  සුමුදු චතුරාණී ජයවර්ධන, ජේ.බී. දිසානායකයන් හා කළ සංවාදයට පිළිතුරකි.

ඉකුත් ජූලි හත් වන දා සිළුමිණ පුන්කළසෙහි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සමඟ භාෂාවට අදාළව කරන ලද සංවාද සටහනක් “මම ඉන්නේ මැද - මට අන්තවාදී වෙන්න බෑ” යන මැය යටතේ පළ වී තිබිණි.

වැරදි - නිවැරැදි යන දෙවදනින් හරි වහර කුමක් විය යුතු ද යන්නත්, ජේක ප්‍රයෝග හා භාෂාවේ ව්‍යාකරණය නීතියක් ද රීතියක් ද යන්නත් ඇතුළු කරුණු කීපයක් පිළිබඳව මතු වූ ප්‍රශ්නවලට ජේ.බී. දිසානායකයන් පළකළ අදහස් කීපයක් එහි පළ වී තිබිණි.

වැරදි - නිවැරැදි යන දෙකෙන් කුමක් පිළිගත යුතු ද යනුවෙන් මතු වූ ගැටලුව එහි දී මුලින් ම මතු කැර තිබිණි.

ඊට පිළිතුරු වශයෙන් දිසානායකයන් කියා ඇත්තේ හෙළ හවුල කියන්නේ “නිවැරැදි” යන්න හරි කියලා. හෙළ හවුලේ නොවන අය කියන්නේ නිවැරදි යන්න හරි කියලා යනුවෙනි.

මෙයින් පෙනෙන්නේ අද භාෂාව පිළිබඳ ප්‍රශ්න බොහෝවක් මතු වී ඇතිතේ හෙළ හවුලත්, හෙළ හවුලේ නොවන අයත් අතර පවත්නා මත වාද නිසා බව දිසානායකයන් හඳුනාගෙන ඇති බවකි.

හෙළ හවුල යනු මෑත යුගයේ සිංහල භාෂාව පිළිබඳ අන් හැම විද්වතුන් අබිබවා අග්‍රගණ්‍ය වියතකු වශයනේ බොහෝ දෙනාගේ සම්මානයට පාත්‍ර වූ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් එවකට අවුල්ව පැවැති සිංහල භාෂාව නිරවුල් කැර ඔසොවා ලීමට ආරම්භ කළ භාෂා සංවිධානයෙකි. හෙළ හවුල කරන්නේ එතුමන් අගය කළ මත වාද ඉදිරියට ගෙන යමින් එය මතු පරපුරට හඳුන්වා දීමට ගත හැකි සෑම පියවරක් ම ගැනීමට කැපවී ක්‍රියා කිරීමයි.

ඒ නිසා දිසානායකයන් සිය පිළිතුර දීමේදී කළ යුතුව තිබුණේ මේ දෙවදනින් නිවැරදි යන්න කුමාරතුංගයන් පිළිගත් මතය බව කියා පෑමයි. වරද යන නාමයට 'ඉ' ප්‍රත්‍යය එක් වූ විට 'ඉ'කාරයේ බලපෑම නිසා වැරැදි යනුවෙන් සෑදී පූර්වස්වර සාම්‍යයෙන් එය වැරදි යන්න බවට පත් වන ආකාරය වියරණය හදාරන්නෝ දනිති. ඒ අනුව සෑදෙන වැරැද්ද යන වදන සමඟ ද සසඳා බලා මේ භාෂා නීතිය හඳුනාගත හැකිය.

කුමාරතුංගයන් සෑම වදනෙක ම සැබෑ ස්වරූපය දැක්වූයේ ශබ්ද විද්‍යාවට අනුව සසඳා බලා නීතියකට එකඟව ය. දිසානායකයන්ගේ හරි වැරැදි මිම්ම නිගමනය කරන්නේ ඔවුන් මැන බලන වාග් විද්‍යා කෝදුවෙනි. ඒනිසා කුමාරතුංගයන් වැනි අග්‍රගණ්‍ය ව්‍යාකරණඥයන් වියරණ නය අනුව හෙළි කළ කරුණු කටවහර මූලික කොට දිසානායකයන් විමසා බලන විග් විද්‍යානුසාරයෙන් මැන බලා නිගමනය කිරීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බව වටහා ගන්නේ නම් මැනැවි.

ඊළඟට දිසානායකයන් කැර ඇත්තේ සිදත් සඟරාවේ ඇති “අනු රූ සේ පියෝනන් වහරනු සෙරෙන් සපයා” යන්නෙහි සඳහන් ඡේකයන් යන්නට සිය මතය අනුව පිළිතුරු දීමෙකි.

ඡේකයන් කියන්නෙ උගත්තු. එහෙම නැත්නම් විෂයෙන් ප්‍රාගුණ්‍යයට පත් වූ අය... යනුවෙන් සරල පිළිතුරක් දී මුනිදාස කුමාරතුංග ඡේකයෙක්, සරච්චන්ද්‍ර, බලගල්ලෙ වගේ අය අනුව අපට සිද්ධ වෙනවා ඡේක ප්‍රයෝග වශයෙන් දෙක ම පිළිගන්න, යනුවෙන් ඊට ඌන පූර්ණයක් ද සහිතව කරුණු පැහැදිලි කිරීමක් කැර ඇත.

මෙයින් හඟවන්න උත්සාහ දරා ඇත්තේ මුනිදාස කුමාරතුංගයන් ඡේකයකු වශයෙන් පිළිගන්නා අතර ම සරච්චන්ද්‍ර බලගල්ලෙ වැනි අයගේ භාෂා ව්‍යවහාර විධි ද ඡේක ප්‍රයෝග වශයෙන් පිළිගන්නට සිදුවන බවය. දිසානායකයන් ඡේකයන් හඳුන්වා දීමට යෙදූ උගත්තු, විෂයන් ප්‍රාගුණ්‍යයට පත් වූ අය යන වැකි දෙකෙන් නම් ඡේක යන්න නිසි පරිදි හඳුනා ගැනීමට කිසිදු පිහිිටක් ලැබෙතියි සිතිය නොහැකි ය.

කුමාරතුංගයන් ඡේකයන් හැඳින්වීමෙහි ලා ඔවුන්ගේ සිදත් සඟරා විවරණයෙහි පළ කළ මතු දැක්වෙන අදහස් ඒ හා සසඳා බැලීමේ දී මේ කරුණ මැනැවින් වටහා ගත හැකි ය.

“ඡේකයෝ (පණ්ඩිතයෝ) යම් බඳු ව්‍යවහාරයෙක් කෙරෙත් ද? ඒ ශිෂ්ට සම්මත යැ. එහෙයින් භාෂාව සම්බන්ධ පිරිසුදු බව කැමැත්තවුන් විසින් ඡේකයන් ගේ ව්‍යවහාරයනට අනුවන්නට උත්සාහ කළ යුතු යැ. ශබ්දාර්ථය ව්‍යාකරණය නම් ඡේකයන් පිළිබඳ නීතියයි. ඒ නීතියෙන් සියලු විධීන් ඡේකයන් ගේ ප්‍රයෝගයනට (යෙදුමට) අනුරූප වියැ යුතුය’යි කියනුයේ එහෙයිනි. ශිෂ්ටයෝ තමන් කී දැයෙහි පිහිටා සිටිති. අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නොසිටිති. ඊයේ එක් ලෙසකින් කියූ දැය අද අන් ලෙසකින් කියත්. අද එලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දැයි විමසුව හොත් එක් එක් දිනැ ගත් එක් එක් ශබ්දයට එක් එක් පදය එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනෙයි”.

ඡේකයන් පිළිබඳ දිසානායකයන් ගේ හැඳින්වීම අනුව නම් කිසිදු ඡේකයකු වෙන් කොට හඳුනා ගැනීමට එයින් පිහිටක් නොලැබෙන බවත් කුමාරතුංගයන් ගේ හැඳින්වීම ඒ අතින් කොතෙක් පරි පූර්ණ ද යන්නත් මේ දෙක සැසැඳීමෙන් වටහා ගත හැකි ය.

මේ කැඩියෙහි දිසානායකයන්ගේ අවධානයට යොමු කළ යුතු තවත් කරුණු කීපයක් ගැබ්ව ඇත.

ශබ්දාර්ථ යනු ව්‍යාකරණයට ම කියන තවත් නමක් බවත්, ව්‍යාකරණය යනු නීතියක් බවත්, ශිෂ්ටයන් යන්න ද ඡේකයන් යන්න මෙන් ම සම අරුතින් යෙදෙන බවත්, එක් අයකු වුවද ස්ථිර පදනමෙක නොපිහිටා එක් එක් අවස්ථාවල ලියන විකාර ව්‍යහාර විධි රීති යනුවෙන් හැඳින්වෙන බවක් එහිලා වෙසෙසින් සඳහන් කළ හැකි ය.

කුමාරතුංගයන් ඡේකයන් හඳුන්වා දුන් ආකාර බෙහෙවින් ම තර්කානුකූලය. ශාස්ත්‍රීය පදනමෙකින් යුක්ත ය.

ඒ අනුව එක් එක් පොතක් පාසා මෙන් ම පිටු ගණනින් වුව ද කිසිදු ස්ථිර පදනමෙක නොපිහිටා නොඑක්දෑ ලියූ මාර්ටින් වික්‍රමසිංහයන් වැන්නවුන් දිසානායකයන් ඡේකයන් හැටියට හඳුන්වා දී ඇත්තේ කවර පදනමෙක පිහිටා දැ’යි අසන්නට සිදුවේ. සරච්චන්ද්‍රයන් ගැන ද මේ පදනම අනුව ම ප්‍රශ්නයක් මතු කළ හැකි ය.

මාර්ටින් වික්‍රමසිංහයන් බස මරමින් ලියූ ලේඛකයකු බව රටට හඳුන්වා දුන්නේ හෙළහවුලේ අය පමණක් නොවන බව ඇතැම් සරසවි ගුරුකුලයේ මහ ඇදුරන් පවා ඔවුන් පිළිබඳව දැක්වූ අදහස් උදහස්වලින් පෙන්නා දිය හැකි ය. 1970 වසරේ මාර්තු හත් වන දා ‘සිළුමිණ’ පුවත්පතට ලිපියක් සපයමින් මහ ඇදුරු ආරිය රාජකරුණාවන් වික්‍රමසිංහයන් ගැන සඳහන් කරමින් වියරණය ගැන සැලකිල්ලක් දැක්වීම අනවශ්‍යය යන මතය පළමු වරට මෙරට තරුණයන් අතර පතුරුවන ලද්දේ වික්‍රමසිංහයන් විසිනි. තරුණ තරුණියන් ගේ රචනාවල පමණක් නොව වික්‍රමසිංහයන්ගේ ගද්‍ය පද්‍ය රචනාවලත් වාක්‍ය රචනා රීති පවා නොතකා (බස මරමින්) ලියූ තැන් රාශියක් දැකිය හැකි ය. ආදී වශයෙන් කැර ඇති නිර්දය විවේචනවලින් ඒ බව සනාථ කැර ගත හැකි ය.

අනතුරුව “ව්‍යාකරණය නම් භාෂා නීතියයි” යනුවෙන් කුමාරතුංගයන් කැර ඇති ප්‍රකාශයට එරෙහිව ද ඊට පහරක් එල්ල කරන්නාක් මෙන් භාෂාවෙහි තියෙන්නෙ නීති නොවෙයි රීති යනුවෙන් සඳහන් කර කුමාරතුංග වගේ අය කියන්නේ භාෂාව පිළිබඳ ව්‍යවහාරය දක්වන්නාවූ නීති සමූහයක් කියලයි, වාග් විද්‍යාව කරන අප ව‍ගේ අය කියන්නෙ මේව නීති ‍නොවෙයි රීති කියලයි. යනුවෙන් සිය මතයෙන් කුමාරතුංග මතයට අභියෝගයක් ද එල්ල කැර ඇත.

මෙයට නිසි පිළිතුරු දීමට අද කුමාරතුංගයන් නොසිටීම දිසානායකයන් ගේ වාසනාවෙකි.

දිසානායකයන් පැටැලී සිටින අවුලේ සැඟැවුණු සුල මුල සොයා ගැනීමට එහි සඳහන් “වාග් විද්‍යාව කරන අප වගේ අය කියන්නේ මේවා නීති නොවෙයි කියලා” යනුවෙන් සඳහන් වැකි කැඩිය මහඟු රුකුලෙක් වෙයි. වියරණය අගය කරන අප වැන්නනවුනට කියන්නට ඇත්තේ, දිසානායකයෙනි, වාග් විද්‍යාඥයකු වශයෙන් ඊට රීති නොව වෙන ඕනෑම නමක් තබා ගන්න. ව්‍යාකරණඥයකු වන කුමරතුඟුන්ගේ නීර්වචනය වන නීති යන්න ඊට ගාවා නොගන්න, යනුවෙන් පමණෙකි.

කුමාරතුංගයන් පමණක් නොව ඊට පෙර සිටි වියරණ ඇදුරන් පවා වියරණය සඳහා නීති යන්න භාවිත කොට ඇති බව 1888 දී වේරගම පුංචි බණ්ඩාරයන් සිංහල වියරණය සඳහා තමන් පළ කළ පොතට “පදනීතිය” යන නම යෙදීමෙන් වුවද වටහා ගත හැකිය.

එපමණෙක් නොව දිසානායකයන් ද දිවමන්ව සිටින මහ වියතකු වශයෙන් හඳුන්වන මහාචාර්ය විමල් බලගල්ලයන් පළ කළ ‘භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය’ නමැති ග්‍රන්ථයේ සඳහන් කරුණු දෙකෙකින් ද ඊට සාක්ෂ්‍ය එළවනු කැමැත්තෙමි.

කිසියම් භාෂාවක නිවැරදි ව්‍යවහාර ක්‍රමය උගන්වන නීති සමූහය ව්‍යාකරණයයි. යනුවෙන් ටී.බී. කාංගහාරච්චිත් පළ කළ සිංහල සරල වියරණය නමැති ග්‍රන්ථයෙන් උපුටා දැක්වූ නිර්වචනය ඉන් එකෙකි. ඒ හැඳින්වීමෙහි ව්‍යාකරණ නීති සමුදායයක් වශයෙන් ඉඳුරා ම සඳහන් කැර ඇත. අනෙක විමල් බලගල්ලයන් ම සිය මතය වශයෙන් පළ කැර ඇති “ව්‍යාකරණය යනු භාෂාව නිරවද්‍ය ලෙස ලියන්නට කියන්නට උගන්වන නැතහොත් නිර්වද්‍ය ව්‍යවහාරය උගන්වන නීති ශාස්ත්‍රයක් හෝ නීති සමූහයක් සේ දැක්වීමෙහි එතරම් දොසක් ඇතැයි කිව නොහේ.” යනුවෙන් තද කළු අකුරින් එහි පළ කැර ඇති නිර්වචනයයි.

මේ හැමෙකෙකින් ම කියැවෙන්නෙ ව්‍යාකරණඥයන්ගේ නිර්වචනය වන ව්‍යාකරණය නම් භාෂා නීති යයි යන්න වඩ වඩාත් තහවුරු වන බවයි.

රීති යන්න රීති වාද වැනි තන්හි සංස්කෘත සාහිත්‍ය විවර විධි අනුව ඒ ඒ ලේඛකයාගේ රචනා විලාශයේ වෙනස්කම් දැක්වීමට භාවිත කරන වදනක් බවත් එය ඒ ඒ පුද්ගලයා ගේ ස්වභාවය අනුව වෙනස් වන බවත් ඒ අනුව රීති මෙපමණ යැයි ගණන් නොකළ හැකි බවත් එහි දක්වන නිර්වචන අනුව ව්‍යාකරණය සඳහා රීති යන්න යෙදිය හැකිද යන්න සලකා බලන ලෙස ඇරියුම් කරමි.

මේ හැම කරුණෙකින් ම පාහේ පෙනෙන්නේ වාග් විද්‍යාඥයකු ලෙස දිසානායකයන් ඊට පටහැනි ම‍ඟෙක ඉඳුරා ගමන් කරන ව්‍යාකරණඥයා ගේ කාර්යයට ද අත ගැසීමෙන් මහා අවුලකට පත් වී සිටින බවෙකි. ලේඛන ව්‍යාකරණය අනුව හරි වැරැදි දැක්වීම දිසානායකයන් වැනි වාග් විද්‍යාඥයනට අයිති කාර්යයෙක් නොවේ. ඔවුන්ගේ විෂය කට වහර හා සම්බන්ධ වූවක් හෙයිනි.

ඒ පිළිබඳව දිසානායකයන් ම සිය “භාෂාවක භාවිතය හා විග්‍රහය” නමැති ග්‍රන්ථයෙන් පළ කළ අදහස් අනුව යළිත් මතක් කැර දෙනු කැමැත්තෙමි. “වස්තු විෂය අනුව බලන කල නූතන වාග් විද්‍යාවට වඩාත් විෂය වී පවතින්නේ භාෂාවක කටවහරට අයත් ලක්ෂණය යනුවෙන්” සඳහන් කැර වාග් විද්‍යාඥයාගේ අරමුණ භාෂාවක ස්වරූපය කෙබඳු’දැයි තත්ත්වාකාර ලෙස විග්‍රහ කොට දැක්වීම බව වියරණ ඇදුරාගේ අරමුණ භාෂාවක් නිවැරැදිව ද ව්‍යක්තව ද ලියන ආකාරය පිළිබඳ ආධුනිකයාට උපදෙස් දීම බවත් පැහැදිලිව ම දක්වා තිබේ. මේ අනුව කිසිවක් ලිවිය යුත්තේ මෙසේ යයි නිර්දේශ කිරීම වාග් විද්‍යාඥයාගේ අරමුණ නොවන බව ද එහි ඉඳුරා සඳහන් කැර ඇත.

මේ සියලු කරුණින් වාග් විද්‍යාඥයා මෙය නිවැරැදිය, මෙය වැරැදිය ආදි වශයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්නකු නොවන බවත් වියරණයෙහි හරි වැරැදි කතා නොකරන්නකු බවත් මනාව තහවුරු වෙයි. එවැන්නකු නිවැරැදි බස් වහර දක්වන පතපොත ලියන්නේ කවර පදනමෙකින් දැයි පැහැදැලි කැර දිය යුතුය. ඒ කාර්යයන් පැවැරෙන්නේ වියරණ ඇදුරනට ය. ව්‍යාකරණය බොරුවක් බවත්, වඩා වැදගත් වැඩකට ගත කළ යුතු කාලය ව්‍යාකරණය වැනි නිෂ්ඵල විෂයයක් ඉගෙනීමට ගත කිරීම මහත් මුළාවක් බවත්, කියමන් වියරණය අවඥාවට ලක් කරන ප්‍රකාශ ලිපි මඟින් මෙන් ම පොත පත මඟින් ද ප්‍රකාශ කළ වාග් විද්‍යා මහ ඇදුරන්ගේ ද අනුග්‍රහයෙන් ඇරැඹුණු මෙරට නූතන වාග් විද්‍යා ගුරු කුලයේ ඇතැමුන් අන්තයට ම අවුල් ජාලයක් බවට පත්වී තිබුණු සිංහලය යළි නිසි තැනට ඔසොවා තවදුරටත් අවුලින් තොර වූ වියරණයට මුල් තැන දී නිවැරැදි බස් වහරට මං පෑදූ කුමාරතුංග මුනිදාසයන්ගේ නමත් එතුමන් ඇරැඹූ හෙළ හවුලේ නමත්, යටපත් කරමින් වාග් විද්‍යාවත් පෙරට ගනිමින් පළකරන මතවාදවලින් මතු වියහැකි අවුල් පිළිබඳව අවදියෙන් විමසා බැලිය යුතු කාලයක් එළඹ තිබේ.

මෙවන් කරුණු අනුව පාසල්වල නිවැරැදි ව්‍යාකරණයක් ඉගැන්වීමට ක්‍රියා කරන ගුරුනටත්, නිවැරැදි බස් වහර විමසමින් වික්ෂිප්තව සිටින සිසුනගේ, පාසල් විෂය නිර්දේශ සකසන ගුරූපදේශකයනටත්, විභාග ප්‍රශ්න පත්‍ර සකසන විද්වතුනටත් භාෂා විෂයය පිළිබඳ පිළිතුරුපත් බලන පරීක්ෂකයනටත් මුහුණ දෙන්නට සිදු වන්නේ කෙබඳු අවුලකට ද යන්න විමසා බැලිය යුත්තෙකි.

බසෙකට තිබිය යුත්තේ සම්මත එකම වියරණයෙකි. එය සැකැස්ම තනි පුද්ගලයකුට පැවැරෙන කාර්යයක් නොව වියරණය පිළිබද විශේෂඥ මණ්ඩලයෙකින් ඉටු විය යුත්තෙකි. වියරණය හෑල්ලුවට ලක් කරන වාග් විද්‍යාඥයනට එවන් කාර්යයක් කළ හැකි ද යන්න පිළිබඳ බොහෝ දෙනාට සාධාරණ පිළිතුරක් තිබිය හැකි ය.

මේ සියලු කරුණු සලකා මේ වන අංග සම්පූර්ණ ව්‍යාකරණයක් වශයෙන් අවිවාදයෙන් සියලු විද්වතුන් පිළිගන්නා කුමාරතුංග මුනිදාසයන්ගේ “ව්‍යාකරණ විවරණය” පදනම් කැරගෙන සරල වියරණයක් සකසා ගැනීමට ව්‍යාකරණඥයන්ගෙන් යුත් විද්වත් මඬුල්ලකට වගකීම පැවරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සිතේ.

සංවාදයට විවෘතයි

 

අදහස්