බාලජී | සිළුමිණ

බාලජී

මං පුංචිකාලෙ අපේ ගෙට ගෙවල් කීපෙකට එහායින් ක්‍රිෂ්ණ දෙවියන්ගෙ දේවාලයක් තිබුණා. අපේ ගේ තිබුණෙ පාරෙන් මෙහා පැත්තෙ; දේවාලෙ තිබුණෙ පාරෙන් එහා පැත්තෙ.

ඒක පුංචි ක්‍රිෂ්ණ වෙනුවෙන් හදපු දේවාලයක්. ක්‍රිෂ්ණ තරුණ කාලෙ කරදර, ප්‍රශ්න මහ ගොඩක් ඇති කෙරුවා. ඒ හින්ද හුඟක් අය ඇදහුවෙ පුංචි ක්‍රිෂ්ණව. ඒ නිසාම දේවාලෙ නම් කෙරුණෙත් බාලජී කියල. ඒකෙ තේරුම බාල ක්‍රිෂ්ණ තුමා කියන එකයි.

අනිත් අතට බාල ක්‍රිෂ්ණව අදහන එකත් ලේසියි. මොකද පස්සෙ කාලෙ ක්‍රිෂ්ණ ලොකු වැඩ කරන්ඩ ගන්නවනෙ. ඔහු දේශපාලකයෙක් වුණා; යුද වීරයෙක් වුණා; සම්පූර්ණ යුද්ධයක් මෙහෙයැව්වා; ස්ත්‍රීන් හැමෝම එකතු කර ගත්තා; ඔහු ඒ ඔක්කොම දේවල් කෙරුවා.

ඉතින් අර බාලජී මන්දිරය තිබුණෙ ඒක ගොඩනඟපු මනුස්සයගෙ ගේ ඉස්සරහ. එයා ලොකු බැතිමතෙක්. මේ මනුස්සය තමන්ගෙ ගේ ඉස්සරහ තියෙන ළිඳෙන් නාල දේවාලෙට ගිහින් පැය ගණන් කන්නලව් කරනවා. එයා හිතුවෙ ඒක ලොකු ආගමික වැඩක් කියලා. ඉතින් මිනිස්සුත් එයාට බාලජී කියන්ඩ පටන් ගත්තා.

දේවාලෙ ලස්සන හින්ද, එතන හරි නිශ්ශබ්ද තැනක් හින්ද මාත් ඒකට යන්ඩ පුරුදු වෙලා හිටියා. කරදරේකට තිබුණෙ බාලජීගෙ කන්නලව් කරදරේ විතරයි. මිනිහ පෝසතෙක්. ඒ හින්ද කාලෙ නාස්ති කරන්ඩ බය වුණේ නෑ. හැමදාම උදේට පැය තුනකුයි, හැමදාම හවසට පැය තුනකුයි දෙවියන්ට කන්නලව් කෙරුවා. මිනිහ දෙවියන්ට දුන්නෙ හරිම වදයක්. මේ කරදරේ හින්දම හුඟ දෙනෙක් වෙන දේවාලවලට යන්ඩ පටන් ගත්තා.

ඔය බාලජී මාත් එක්ක හරි යාළුයි. දවසක් මම බාලජීගෙන් මෙහෙම ඇහුවා. ‘බාලජී, හැමදාම උදේට පැය තුනක් තිස්සෙයි, හවසට පැය තුනක් තිස්සෙයි ඔහේ මෙනවද දෙවියන්ගෙන් ඉල්ලන්නෙ? දෙවියො මොනවද ඔහේට දීල නැත්තෙ?’

‘ලෞකික දේවල් මං ඉල්ලන්නෙ නෑ. මං ඉල්ලන්නෙ ආධ්‍යාත්මික දේවල්. ඒක දවසක දෙකක වැඩක් නෙමේ. මුළු ජීවිත කාලෙම කරන්ඩ ඕනෑ දෙයක්. ප්‍රතිඵල ලැබෙන්නෙ මරණෙන් පස්සෙ. මමයි දෙවාලෙ හැදුවෙ; මමයි දෙවියන්ට තේවාව කරන්නෙ; මං කන්නලව් කරනවා. ඔහේ දැකල ඇතිනෙ මං වැහි කාලෙත් තෙත ඇඳුම් පිටිං කන්නලව් කරන හැටි’ බාලජී කිව්වා.

එතකොට මං මෙහෙමත් කිව්ව ‘මං නං හිතන්නෙ ඊට වෙනස් විදිහට. ඒත් මං ඒ ගැන කියන්නෙ නෑ. අපේ සීය කියන විදිහට ඔහොම කන්නලව් කරන්නෙ බය ගුල්ලො; බාලජී බය ගුල්ලෙක්; දවසකට පැය හයක් නාස්ති කරල දානව’

‘ඔහේගෙ සීය කිව්ව එහෙනං මං බය ගුල්ලෙක් කියල’

‘ඔව්, මං එයාව එක්කගෙන ඇවිත් හගිස්සන්නං’

‘නෑ, එපා. එතකොට කරදරයි. ඒත් මම බය ගුල්ලෙක් නෙමෙයි’

‘හොඳයි, අපි බලමු ඔයා බයගුල්ලෙක්ද නැද්ද කියලා’ දෙබස ඒ විදිහට ඉවර වුණා.

දේවාලෙ පිටිපස්සෙ මිනිස්සු ගුස්ති අල්ලන්ඩ පුරුදු වෙන තැනක් තියනවා. ව්‍යායාම කරන්නෙ, ඉන්දියානු ක්‍රමේට මල්ලව පොර අල්ලන්ඩ පුරුදු වෙන්නෙ එතන. ඔය මල්ලව පොරකාරයො සේරම මගෙ යාළුවො. මං ඒගොල්ලන්ව හොයාගෙන ගියා.

‘අද රෑට මට ඔයාලගෙ උදව් ඕනැ’ මං කිව්වා.

‘මොකක්ද කෙරෙන්ඩ ඕනෑ ’ කට්ටිය ඇහුවා.

‘බාලජීගෙ ඇඳ උස්සගෙන එන්ඩ තියෙනවා. එයා බුදිය ගන්නෙ ගෙයින් පිට. අපිට තියෙන්නෙ එයාව ඇඳ පිටිං උස්සගෙන ඇවිත් ළිඳේ තියන එක’

‘මිනිහ දැඟලුවොත් ළිඳට වැටෙයිනෙ’

‘බයවෙන්ඩ එපා! ළිඳ ජඹුර නෑ. මං ඒකට පැනල නාලත් තියෙනවා. බාලජී ළිඳට පනින එකකුත් නෑ. එයා ඇද උඩ ඉඳන් මාව බේර ගනියෝ කියල කෑගහයි’

බොහොම අමාරුවෙන් මං තුන්දෙනෙක්ව වැඩේට කැමති කරවගත්තා. ‘බාලජී බුදිය ගන්නෙ රෑ නමේට රෑ දහය වෙනකොට වීදිය හිස් වෙනවා. එකොළහ තමයි නියම වෙලාව. එකොළහට අපිට පුළුවන් එයාව උස්සගෙන එන්ඩ ’

හැබැයි ආවෙ දෙන්නයි. මාත් එක්ක තුන්දෙනයි. තව කෙනෙක් මදි. ‘පොඩ්ඩක් එහොම ඉන්ඩ’ කියල මං අපේ සීයව (තාත්තගෙ තාත්තව) හොයාගෙන දිව්වා.

‘ඔය කරන්ඩ යන්නෙ මහ ඕන්නැති වැඩක්. අර අහිංසක මිනිහට ඔය වැඩේ කරන්ඩ උඹ ඇයි මට කතා කරන්නෙ? මිනිහගෙ තියෙන එකම දෝසෙ පැය ගාණක් තිස්සෙ කනක් ඇහිල ඉන්ඩ දෙන්නෙ නැති එක විතරයි. ඒත් දැන් අපි ඒකට හුරුවෙලානෙ’ සීයා කිව්වා.

‘ඔයා එන්ඩම ඕනැ! බාලජීට ඇහැරෙන්නෙ නැති විදිහට අඩි දොළහෙ පාරෙ ඇඳ උස්සගෙන යන්ඩ ඕනෑ’ මං බල කෙරුව‍ා. මගෙ බලකිරීම හින්දම සීයත් ආවා. එතකොට උන්දැගෙ වයස අවුරුදු හැත්තෑදෙකයි.

අපි බාලජීව ඇඳ පිටින් උස්සගෙන ගිහින් ළිඳේ තිබ්බා. ළිඳේ ගාණට ඇඳ ඇතුළට බැස්සා.

‘දැන් ඔයා යන්ඩ. ඔයාව අහුවුණොත් වැඩේ දුරදිග යනවා’ කියල මං සීයව වහාම පිටත් කෙරුවා.

ඊටපස්සෙ අපි තුන්දෙනා ඈතට ගිහිං බාලජීව ඇහැරවන්ඩ ගල් විසිකෙරුවා. මොකද එයා මුළු රෑම ඇහැරුණේ නැත්තං උදේ ඇහැරිලා බහිද්දි ළිඳට වැටෙන්ඩ පුළුවන්නෙ. එහෙම උණොත් වැඩ වරදිනවා. ඔන්න බාලජී එකපාරටම නින්දෙන් ඇහැරිලා යටිගිරියෙන් කෑගැහුවා. අපි එයා ඒ විදිහට කෑගහනව ඊට කලින් අහල තිබුණෙ නෑ. බාලජීගෙ බෙරිහන් දීම ඇහිල අහල පහළ හැමෝම වාගෙ දුවගෙන ආවා.

බාලජීට වෙච්ච දේ ඊළඟට කියවමු.

ලබන සතියට

අදහස්