ලොක්කාට කුඩේ ඇල්ලීමේ ඉතිහාසය | සිළුමිණ

ලොක්කාට කුඩේ ඇල්ලීමේ ඉතිහාසය

“දෙවියන් අව්ව, වැස්ස මැව‍ූ නමුත් එයින් බේරෙන්නට නුවණැති මනුෂ්‍යයකු කුඩය නිෂ්පාදනය කරන ලද්දේය” යැයි එක්තරා සෝපාහාස රචකයකු මීට දසක ගණනාවකට පෙර කියා - ලියා තිබුණු වගන්තියක් කියවූවා අපට මතක ය. මෙය ලියා දක්වන ලද්දේ සෝපාහාසයෙන් වුව ද එහි තිබෙන සත්‍යතාව නිසා කියැවූ කෙනෙකුගේ මුහුණෙහි සිනාරැල්ලක් ද ඇති කරවන අන්ද‍මේ රසයක් ද එහි පවතින්නේ ය.

තමන්ගේ දෙවැනි රාජපදප්‍රාප්තිය නිමිත්තෙන් ඉන්දියාවේ පැවැති අග්‍රාමාත්‍ය උත්සවය වෙනුවෙන් අල්ලපු වැටේ රජතුමා වූ ශ්‍රී ලංකාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පැමිණීම මහ ඉහළින් තැකූ ඉන්දීය අග්‍රාමාත්‍යවර න‍ෙර්න්ද්‍ර මෝදි මැතිතුමන් එම උත්සවයේ පුටු අකුලන්නටත් පෙර ලංකාවට පැමිණියේ ඒ උණුසුමෙන්ම එම සුහදකම බෙදාගැනීමට ය.

එම වාර්තා සටහන් සමඟ වූ එක් ඡායාරූපයක් දුටු අපට සිතුනේ ඒ හා සමාන මෑත යුගයේ ලංකාවේ සිදුවූ තවත් සිද්ධීන් දෙකක් යළි පාඨක මනැසට මතක් කරලීම යහපත් බව ය. මෙහිදී මෛත්‍රීපාල - මෝදි ජනනායකයන් දෙදෙන වූ එක් ඡායාරූපයක දක්නට ලැබුණේ එම පිළිගැනීමේදී වූ වැස්සට හෝ අව්වට තම හිතවත් ජනනායකයා ආවරණය කරනු පිණිස අපේ ජනාධිපතිතුමා එතුමාට කුඩයක් ඉහලාගෙන සිටින බව ය. ඉන්පසුව වෙනත් ඡායාරූපයක දක්නට ලැබුණේ මෝදි අගමැතිතුමා අපේ ‘ලොක්කාට’ කුඩේ අල්ලාගෙන සිටින බවය. වැඩේ කොයි පැත්තෙන් බැලුව ද නරක නැත. දකින අහන බලන කාටත් දෙරටේ තිබෙන සහයෝගය - සුහදත්වය මෙයින් ද කැපී පෙනෙන්නේ ය. පසුව අප හිතවත් සමහරුන්ගෙන් අසන්නට ලැබුණේ එම නායකයන්ට කුඩ ඉහලන ඡායාරූපය සුහදත්වයේ සිහිවටන ඡායාරූපයක් ලෙස විශේෂයෙන් සලකාගෙන සුරක්ෂිතව තබාගෙන ඇති බව ය.

එය ගැන දැනගන්නට ලැබුණු අවස්ථාවේ අපගේ මතකයට නැගුණේ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල අගමැතිතුමාගේ යුගයේදීත් ඉන්පසුව විජයානන්ද දහනායක අගමැතිතුමාගේ යුග‍යදීත් එවන් ‘ලොක්කාට කුඩේ ඉහ‍ලීමේ’ අවස්ථා දෙකක් ජනමාධ්‍යයට වාර්තා වූ බව ය. ඒ සිද්ධි දෙකට එසේ සිදු ව‍ූයේ ‘ලොක්කාට තිබෙන විශේෂ ගෞරවය පිණිස’ වූ නමුදු ලොකු අඩු පාඩුවකට තිබෙන්නේ මෙම මෛත්‍රීපාල - මෝදි සිද්ධියේදී මෙන් ඡායාරූප ගැනීමත් සිදු නොවූ නිසා ය.

එම ඓතිහාසික සිද්ධි යුග්මය මෙසේ ය.

ලංකාව ශත වර්ෂයකටත් වඩා වූ දිගු කාලයක් පාලනය කරමින් සිටි මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි එලිසැබැත් කුමරිය සිය ස්වාමියා වූ එඩින්බරෝහී ආදිපාදතුමාත් සමඟ ලංකාවතරණය කරනු පිණිස පැමිණියේ ඩී.ඇස්. සේනානායක අගමැතිතුමා පාලනය ගෙන යන කාලයේ ය. වර්ෂ 1952 කේ මුලදී ය. එහෙත් එතුමිය ඇතුළු පිරිස එක් රාත්‍රියකදී ගමනේ අප්‍රිකාවේ රූස්ස ගසක් මුදුනේ අට්ටාල මන්දිරයක සිට වන සතුන් නරඹමින් සිටියදී මහා බ්‍රිතාන්‍යයෙන් ඔවුන් වෙත ආවේ ශෝකජනක ආරංචියකි. එතෙක් මහා බ්‍රිතාන්‍යයෙහි රජ කරමින් සිටි හයවැනි ‍ජෝර්ජ් නරපතිදාණෝ - එලිසැබැත් කුමරියගේ පියාණෝ නිදි යහනේදීම අභාවප්‍රාප්ත වී ඇති බවයි. එයින් මහත්සේ ශෝකයට පත් රාජකීයයෝ ආපහු එංගලන්තය බලා පිටත්ව ගියහ.

දෛවයේ සරදමක සැටි බලනු මැනවි! එදා එසේ එළිසැබැත් කුමරිය ඇතුළු රාජකීය පිරිස මෙහි ආවා නම් අපට දකින්නට ලැබෙන්නේ රජ කිරුළ හිමි කුමාරිකාවක පමණි. එතුමිය පිළිගන්නට සිටියේ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමාය. මෙසේ ආපසු එංගලන්තයට ගිය එලිසැබැත් කුමරිය නිත්‍යානුකූලවම මහා බ්‍රිතාන්‍යයේ අගරැජිනිය බවට පත් වෙද්දී ජෝර්ජ් රජුගේ අභාවයෙන් සුළු කලකට පසුව ඩී.ඇස්. සේනානායක අගමැතිතුමෝ ද හදිසියේ ම අභාවයට පත්වූහ. මෙහිදී නව මහ රැජිනියගේ මෞලි මංගල මහා උත්සවයට ලංකාව වෙනුවෙන් සහභාගි වන්නට ගියේ ඒ සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා ය. එතුමෝ ලංකාවාසීන් වෙනුවෙන් අභිනව මහ රැජනට සිය ප්‍රසාදයත්, ලංකා ජනතාවගේ සතුටත් පළකර සිටියහ.

කරුණු මෙසේ යෙදී සිටියදී ඩඩ්ලි අගමැතිතුමාගේ පාලනයට විරුද්ධව සමසමාජවාදීහු රටපුරා ‘හර්තාලයක්’ දියත් කළහ. එහි ප්‍රතිඵලය වූයේ අසරණ දුප්පත් කම්කරුවන් අට දෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගිය ඛේදවාචකයක් පිළිබඳ වාර්තා සටහන් සමසමාජයේ සාර්ථකත්වයේ රපෝර්තුවලට එක්වීම පමණය. එම වින්නැහියෙන් බලවත් සිත් තැවුලට පත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමෝ වහා සිය පදවියෙන් ඉවත්ව ගියහ. ඒ පදවියට පත්වූයේ දැඩි හිතැති අවංක සිංහලයකු වූ මේජර් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමා ය. සමසමාජවාදීන්ගේ පැත්තෙන් කියනවා නම් එතුමා දැඩි ‘අධිරාජ්‍යවාදියකු’ වූ හෙයින් ම කොතලාවල අගමැතිතුමෝ තම පාලන කාලයේ - වර්ෂ 1954 සිංහල අවුරුදු සමයේ දී තම දේශයට සුහද සංචාරයක් සඳහා පැමිණෙන්නැයි දෙවැනි එලිසැබැත් මහරැජිනියටත් එඩින්බ‍රෝහී ආදිපාදතුමාටත් ආරාධනය කළහ. ආරාධනය බාර ගැනිණ.

මේ ලක්වැසියනට එංගලන්තයේ - මහා බ්‍රිතාන්‍යයේ රැජිනක් දකින්නට ලැබෙන ප්‍රථම අවස්ථාවය. එහෙයින් එයට මහ ඉහළින් ම සැරැසෙද්දී - සුවිසල් මුදල් සම්භාරයක් වියදම් කර ‘මහරැජින ලක් වැසියන්ට පෙන්වන රජ මඟුලට’කොතලාවල රජය සූදානම් වෙද්දී එවකට ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමෝ කලින් දුරකථනයෙන් කතාකර අරලියගහ මන්දිරයට ගොස් කොතලාවල අගමැතිතුමා හමුවූහ. සුහදව පිළිගැනිණ.

“මම ඔබතුමා හමුවන්නට ආවෙ. මහරැජිනිය මෙහි එනවිට අපේ පාක්ෂිකයො කළු කොඩි ඔසවන්නයි විරුද්ධව පෙළපාළි දක්වන්නයි ලෑස්තිවයි ඉන්නෙ. ඒවාට විරුද්ධව පොලිසියටත්, හමුදාවටත් කටයුතු කරන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නයි මේ ආවේ” යනුවෙන් මෙහිදී පෙරේරා මහතාණෝ කියා සිටියහ.

“ආ ඒ ගැන ඔබතුමා බයවෙන්න දෙයක් නෑ. ඒ ගොල්ලො නීතිය හරියටම අකුරටම කරයි. මම දැනටම නියෝග දීලා තියෙනවා ඉස්පිරිතා‍ලවල හදිසි අනතුරු වාට්ටු සහ මෝචරි එහෙම ලක ලෑස්ති කරලා තියන්න කියලා” යනුවෙන් කෙරුණු ජෝන් කොතලාවල අගමැතිතුමාගේ ප්‍රකාශය හමුවේ කටඋත්තර නැතිවූ පෙරේරා මහතා කළේ වහා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යාමය.

සමසමාජ කළු කොඩිවලින් හෝ විරුද්ධ පෙළපාළි මගින් මහ රැජිනගේ සංචාරයට රට පුරා කොතැනකදිවත් බාධා පැමිණියේ නැත. එතුමිය‍ ද තමන්ගේ ජාතිය විසින් වසර එකසිය තිස් ගණනක් තිස්සේ යටත් කරගෙන සිටි මේ කුඩා දිවයිනේ තිබෙන ඓතිහාසික ප්‍රභූත්වය දෑස් පුරා දැක බලා ගෙන මවිතයට ද පත්වූවාය.

මෙසේ සිය සිංහල පරපුරේ අභිමානයත්, සිය පරපුරේ අභිමානයත් පෙන්වමින් මහරැජින ඇතුළු පිරිස සීගිරිය මතුවට එක් කරගෙන ගිය අවස්ථාවක එහිදී රැජිනව අව්වෙන් ආවරණය කරනු පිණිස කුඩයක් ඉසිලීමට ද කොතලාවල අගමැතිතුමාට සිදුවිය. මෙය සුවිශේෂතම අවස්ථාවකි‍‍‍. සීගිරි ගල මුදුනේ ලංකා අගමැතිතුමාටත් මහා බ්‍රිතාන්‍යයේ අග රැජිනත් පමණක් වූ අවස්ථාවක් වූ එහිදී එතුමියට කුඩේ අල්ලාගෙන සිටින ගමන් ම වාගේ කොතලාවල අගමැතිතුමාගේ අතක් වැදී මහ රැජිනගේ අතේ වූ කුඩා අත්බෑගය බිම වැටුණේ ය. මෙහිදී කොතලාවල අගමැතිතුමා කළේ මහරැජින අතට කුඩය දී අත්බෑගය අහුලාදීමට පහත්වීමය. මෙවිට දක්නට ලැබුණේ සුවිශේෂ දර්ශනයකි.

“ගනින් යකෝ පොටෝ එකක්. ගනින් යකෝ ෆොටෝ එකක්” යනුවෙන් ද මෙහිදී කොතලාවල අගමැතිතුමාගේ මුවින් කියැවිණි. එහෙත් ඡායාරූප ශිල්පීන් ළඟක සිටියේ නැත.

එය එසේ වූ හෙයින් කොතලාවල අගමැතිතුමෝ මහ රැජිනට බෑගයදී යළි කුඩය අතට ගෙන එතුමියට සිසිල් සෙවණ ලබාදුන්හ.

ළඟ අහල පහළ ඡායාරූප ශිල්පීන් නොසිටි නිසා එම සුවිශේෂ ඡායාරූපය ගන්නට ඉඩක් ලැබුණේ නැත. එය ගත්තා නම් - මහා බ්‍රිතාන්‍යයේ අගරැජිනිය ලංකාවේ අගමැතිතුමාට කුඩේ අල්ලන ඡායාරූපය ලෝකයේ එවන් ඡායාරූප එකතු කරන කෞතුක ලෝභීන්ට ද වටිනා ඡායාරූපයක් වන්නට ද ඉඩ තිබිණ.

එකල ආණ්ඩුවට මෙවන් උත්සවයක් ආවරණය කිරීම උදෙසා නිල ඡායාරූප ශිල්පීන් සිටියේ නැත. එහෙයින් මෙම අවස්ථාවේදී ද ලේක්හවුස්හි සේවය කළ සුමතිපාල සහ පෙරේරා නම් වූ දක්ෂ ඡායාරූප ශිල්පීන් දෙදෙනකු අගමැතිතුමා විසින් ඒ සඳහා යොදවා තිබිණ. එදා ඒ රාජකීය ගමන ගොස් ආපසු පැමිණි ගමන් ම කොතලාවල අගමැතිතුමා කළේ සුවිශේෂ කාර්යයක් ලෙස සලකාගෙන එම ඡායාරූප ශිල්පීන් දෙදෙනා එනම් සුමතිපාල සහ පෙරේරා ආණ්ඩුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ඡායාරූප ශිල්පීන් ලෙස යොදා ගැනීමය.

මෙහිදී දෙවැනි ‘කුඩ අල්ලන ලද අවස්ථාව’ ගැන ද සඳහන් කළ හැක්කේ එක්දහස් නවසිය හැටේ මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයේදී එවකට භාරකාර රජයේ අගමැතිව සිටි විජයානන්ද දහනායක මැතිතුමා සම්බන්ධයෙන් සිදුවූ රසබර සිද්ධියකි.

දහනායක අගමැතිතුමා විසින් එක්දිනෙක සිදු කළා වූ විජ්ජාවක් නම් දිනක් ඇතුළත ‘ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ නම් වූ නව පක්ෂයක් පිහිටුවාගෙන එතෙක් සිටි සමහර ඇමැතිවරුන් රාත්‍රි දොළහට ගසන ලද ගැසට්ටුවෙන් උදේ නැගිටින විට ‘මන්ත්‍රීවරුන්’ බවට ද පත් කිරීමෙහි යෙදුණු විජ්ජාකාර - විජයානන්ද දහනායක අගමැතිතුමෝ ඉන්පසුව පිහිටුවාගන්නා ලද භාරකාර රජයේ අගමැතිතුමා ලෙස වර්ෂ 1960 මාර්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදූහ.

මෙහිදී රටපුරා ආසන එකසිය එකක් (101) සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කළහ. ‘ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ’ ඡන්ද ලකුණ වූයේ ‘කුඩය’ ය. මෙහිදී අප නියෝජනය කරන ඡන්ද කොට්ඨාසය වූ කොළොන්නාව වෙනුවෙන් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයකු ලෙස තෝරා ගන්නා ලද්දේ කොටුවිල පදිංචි ඇල්.ඒ.ඇම්. පෙරේරා නම් තරුණ මහතෙකි. රටපුරා තම අපේක්ෂකයකයන්ට ඡන්දය ඉල්ලා යන ගමන් අගමැති විජයානන්ද දහනායක අගමැතිතුමා කොළොන්නාව ආසනයේ අපේක්ෂකයාට ඡන්දය ඉල්ලන එතුමන් සහභාගි වන එකම රැස්වීම තිබ්බේ කොටිකාවත්ත තුන්මං හන්දියේ කඩපොළ ඉදිරියේ වූ තුන්හුලස් ඉඩමකය. වේලාව හරියට දහවල් දෙකට පමණ ඇත. සුවිසල් ජනකායක් ද එහි රැස්ව සිටින බව දක්නට ලැබිණ.

මෙහිදී දහනායක අගමැතිතුමන් සිටි සුදෝ සුදු කැඩිලැක් නිල රථයෙන් බැස වේදිකාවට ගොඩවෙද්දී ‘කුඩය’ ලකුණට ඡන්දය දෙමු’ යයි වූ බැනර් එහි වටේට දක්නට ලැබිණ. දහනායක අගමැතිතුමා සහ අපේක්ෂකයා රැස්වීම ඇමැතීම මෙම කෙටි රැස්වීම්වල සිරිත බවට පත්ව තිබිණ.

කරුණු එසේ හෙයින්ම දහනායක අගමැතිතුමෝ රැස්වීම අමතන්නට වූහ. වේලාවේ හැටියට එතුමාට කට්ට අව්වය. මෙම තත්ත්වය තේරුම්ගත් අපේක්ෂක ඇල්‍.ඒ.ඇම්. පෙරේරා මහතා කළේ වහා කළු කුඩයක් අතින් ගෙන අව්වේ කතා කරන ගරු අගමැතිතුමාට සෙවණ දීමය. එය වේලාවට හැටියට ද තැනට ද ගැළපෙන බව කාටත් පෙනුණේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඡන්ද ලකුණ කුඩය වූ බැවිනි.

දහනායක අගමැතිතුමා සිය කතාව විනාඩි දහයක් පමණ කර අවසන්ව මුලසුනේ හිද ගත්තායින් පසුව කතාව කරන්නට නැගී සිටියේ කොළොන්නාව ආසනයේ අපේක්ෂක ඇල්‍‍.ඒ.ඇම්. පෙරේරා මහතා ය. ඔහු අගමැතිතුමාගෙන් ද අවසර ගෙන වචන කිහිපයක් කතා කළා පමණි. මූලාසනයේ සිටින ගරු අගමැති දහනායක මැතිතුමාට පෙනුණේ තමාගේ අපේක්ෂකයා කට්ට අව්වේ කතා කරන බවය.

මෙවිට දහනායක අගමැතිතුමා කළේ වහාම නැගිට කලින් අපේක්ෂකයා තමන්ට ඉහිලූ කුඩය ගෙන දිගහැර ඔහුට ඉහලා සිටීමය. මෙය දුටු වනම ඉතාමත් ප්‍රියජනක සිද්ධියක් ද වූ බව පෙනුණේ වැඩි දෙනෙකු දහනායක අගමැතිතුමාගේ තිබෙන නිහතමානී භාවය ගැන ද මෙහිදී කතා ක‍ළ හෙයිනි.

ර‍ෙට් ඇමැතිතුමා තමන්ට මෙසේ කුඩය ඉහලාගෙන සිටින බව මෙනෙහි කළ පෙරේරා අපේක්ෂකයා වැඩිදුරටත් කතා කරන්නට ගියේ ද නැත. කතාව කෙටියෙන් ඉවර කළේ ය.

මෙම සිද්ධියෙහි දක්නට ලැබුණු ලොකු අඩුපාඩුවක් ය. කොතලාවල අගමැතිතුමා මහ රැජින සිද්ධියේදී මෙන් ම මෙහිදී ද ඡායාරූපයක් ගන්නට අවස්ථාවක් නොලැබීම ය. එසේ වූවා නම් එය ද කෞතුක වාර්තා ඡායාරූපයක් වන්නට ද ඉඩ තිබිණි.

Comments