මේ ආණ්ඩුව වැඩ කරන්නේ රට ණය කරමින් නොවෙයි | සිළුමිණ

මේ ආණ්ඩුව වැඩ කරන්නේ රට ණය කරමින් නොවෙයි

මහා පරිමාණ සංවර්ධන කටයුතු රැසකට ක්‍රියාකාරිව දායකත්වය සපයන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත්දා විශේෂ සම්මානයක් හිමි වූයේ මූල්‍ය විනය ඉහළම මට්ටමක පවතින නිසාය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ දූෂණ වංචා ගැනය. එවන් පසුබිමක මේ අමාත්‍යාංශයේ යථෝක්ත වෙනසට හේතුව මෙන්ම ඉදිරි කටයුතු ගැනද සිළුමිණට අදහස් දක්වා සිටියේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.

ඔබතුමාගේ අමාත්‍යාංශයට පසුගියදා හිමි වුණු සම්මානය ගැන පළමුවෙන්ම කතා කළොත්...

මේ සම්මානය අපට ලැබුණේ පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව (COPA) විසින් සිදු කරන ලද අදාළ මුදල් වර්ෂ සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගතව හා කාර්යසාධන ඇගැයීම් ක්‍රියාවලියේ ප්‍රශස්ත මට්ටමක සිටි නිසයි. ඒ අතුරින් අමාත්‍යාංශය ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. ඒක පක්ෂ විපක්ෂ කවුරුත් පිළිගන්නවා.

එවන් උසස් ප්‍රශස්ත මට්ටමක් කරා යන්න ඔබ අමාත්‍යාංශය හා ඊට අයත් ආයතන අනුගමනය කළ සංකල්ප - යෝජනා මොනවාද?

මා ඉදිරිපත් කර ඇති මූලිකම සංකල්පය තමයි රටේ ධනය කා-දමන, රට ණය කරන කිසිම ව්‍යාපෘතියක් ආරම්භ නොකිරීම. ඒ අනුව ශක්‍යතා අධ්‍යයනයෙන් ධනය උත්පාදනය කළ හැකි බවට නිශ්චිත විශ්වාසයක් ඇති ව්‍යාපෘති පමණයි අප ආරම්භ කර ඇත්තේත් ඉදිරියේදී ආරම්භ කරන්නේත්.

එමෙන්ම අප හැම විටම මූල්‍ය විශ්ලේෂණයක් කරනවා අදාළ ව්‍යාපෘතියෙන් කොතරම් ප්‍රතිලාභ ලැබෙනවාද හා අදාළ ප්‍රතිලාභ ලැබෙන්න කොපමණ කලක් ගත වනවාද යන කරුණු ගැනත්. එපමණක් නොවෙයි; ඕනෑම ව්‍යාපෘතියකදී අප නිශ්චිත පරිසර ඇගැයීම් සකස් කරනවා; එසේම සමාජ ඇගැයීම් නිසි පරිදි විශ්ලේෂණය කරනවා අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පිරිස් සම්බන්ධව. මේ සියල්ල සම්පූර්ණ වීමෙන් පසුව තමයි අප ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම උපදේශන කාලය, සැලසුම් කාලය හා ක්‍රියාත්මක කාලය ලෙස මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වනවා.

මේ සියල්ල සිදු කර සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න වසර ගණනාවක් ගත වේවි. රට සංවර්ධනය කරන්න පුළුවන්ද?

ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර නිසි පරිදි ඇගැයීම් සිදු කළ යුතුයි. ඒ නිසා තමයි අපේ සමහර ව්‍යාපෘති ආරම්භ කරන්න දශක ගණන් ගත වන්නේ.

උදාහරණ හැටියට: දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැලසුම් ආරම්භ කෙළේ 1991 වසරේදී. පෑලියගොඩ සිට කටුනායක දක්වා මාර්ගය සැලසුම් කළේ 1968 වසරේදී මහවැලි ව්‍යාපාරය සැලසුම් කෙළේ 1953 වසරේ, ආරම්භ කෙළේ 1968 වසරේදී. තවමත් එහි ව්‍යාපෘති සිදු වනවා. මොරගහකන්ද පවා මෑතදී විවෘත කෙළේ. එමෙන්ම කොළඹ පිටත වටරවුම් මාර්ගය 1998 වසරේදී ‘කොළඹ මහ නගර සැලැස්ම’ යටතේ සකස් කරන ලද්දක්.

එහෙත් අපේ අමාත්‍යාංශයේ කටයුතු ගැන අප සතුටට පත් වනවා බොහොම බලගතු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන්න හැකි වීම ගැන.

කොහොමද රාජ්‍ය ආයතනයක් ලෙස මේ ප්‍රගතිය අත් කරගත්තේ?

අපටත් අනෙක් අයට වගේම අභියෝග තිබුණා. ඒත් අප අපේ ව්‍යාපෘති සාර්ථකව සැලසුම් කරලා ක්‍රියාත්මක කළා. ඇතැම් ව්‍යාපෘති මේ වන විට අර්ධ වශයෙන් අවසන් කර තිබෙනවා. මේ සඳහා හේතුව ලෙස මා දකින්නේ රටේ හොඳම මූල්‍ය විනය ඇති ආයතන මේ අමාත්‍යාංශය යටතේ ඇති කළ හැකි වීමයි.

විශේෂයෙන්ම 2016-2017 වසරවල හා ඊටත් වඩා 2018 වසරේ මේ ආදර්ශය අප මැනවින් පෙන්නුම් කළා. අප ආදායම් උත්පාදනය කළා වගේම, පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන බවට පත් කළා; ලාබ ලබන ආයතනවල ලාභය දෙගුණ තෙගුණ කළා. ඒක තමයි අපේ මේ ගමනේ ප්‍රසිද්ධ රහස. ඒ වගේම අප අලුත් ආදර්ශයක් රටට දුන්නා, රට ණය නොකර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වා දෙමින්.

ඒ කුමන අයුරින්ද?

පෞද්ගලික පාර්ශ්ව සමඟ එකතු වී (PPP) රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගිතාව යටතේ කටයුතු කරමින්. මේ වන විට අප රුපියල් බිලියන 2000ක පමණ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. එයින් රජයේ දායකත්වය 30%ක් පමණයි. 70%ක්ම පෞද්ගලික අංශයේ දායකත්වය. මේ නිසා ඒ ව්‍යාපෘති රටේ ණය බර වැඩි කරන්න දායක වන්නේ නැහැ.

එහෙත් සැහැල්ලු දුම්රිය සේවාවට අධික ණය මුදලක් ජපානයෙන් ගත්තා...

ඔව්. ඒත් අප ඒ ණය ගෙවා ඉවර කරන්න ඕනෑ අවුරුදු 40කදී. වසර 14ක සහන කාලයක් ඊට ලැබී තිබෙනවා. ඒ කියන්නේ අප ණය ගෙවන්න පටන් ගන්න ඕනෑ අවුරුදු 14කට පසුවයි. ඒ වන විට අප අනිවාර්යෙන්ම ඒ ව්‍යාපෘතියෙන් ලාභ ලබන තත්ත්වයට පත්ව අවසන්. ඒ විතරක් නොවෙයි; අප 0.1% පොලියටයි ඒ ණය මුදල් ගත්තේ. අප නිසි කළමනාකරණයක් හා සැලැස්මක් ඇතිවයි මේ සියලු ව්‍යාපෘති ක්‍රියාවට නඟන්නේ.

බොහෝ විට ඔබ අමාත්‍යාංශයට වෙනත් අමාත්‍යාංශ සමඟ ඍජු ලෙසම සම්බන්ධ වී කටයුතු කරන්න සිදු වනවා. එවිට ගැටලු හා අර්බුද ඇති පැනනැඟෙන්නේ නැතිද?

ඔව්. අපට ප්‍රවාහන ක්ෂේත්‍රයේදී ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ, එමෙන්ම වරාය නගර ව්‍යාපෘතියේදී වරාය අධිකාරිය සමඟ වැනි ආකාරයෙන් අනෙක් අමාත්‍යාංශ ආයතන සමඟ කටයුතු කිරීමට සිදු වනවා. ගැටලු අවම කරගෙන අප කටයුතු කරනවා.

වරාය නගරය පිළිබඳ ගැටලු රැසක් ඇති වුණා. එයින් අපේක්ෂිත පරමාර්ථ ඉටු කරගත හැකිද?

ඔව්. වරාය නගර ව්‍යාපෘතියේ වැඩ-කටයුතු නතර වීලායි තිබුණේ. එහි කටයුතු නැවැත්විය යුතු බවට වාර්තාවකුත් ලබා දීලයි තිබුණේ. ඒ වෙනුවෙන් අදාළ සමාගම ඩොලර් මිලියන 175ක වන්දියක් ඉල්ලා තිබුණා. එහෙත් අප වරාය නගරය වරාය අධිකාරියෙන් ලබාගෙන යළි ආරම්භ කළා. ඒ වෙනුවෙන් ගිවිසුම් වෙනස් කිරීමට පවා සිදු වුණා. දිවා-රෑ නොබලා කටයුතු කරන්න අපට සිදු වුණා. මෙවැනි කටයුතු සංකල්පීය වශයෙන් මෙන්ම නිසි ශක්‍යතා අධ්‍යයනයෙන් යුතුව කළ යුතුයි.

ප්‍රවාහන අර්බුදයට විසඳුම් දීමටත් ඔබ අමාත්‍යාංශය කටයුතු කරනවා...

මහානගර ව්‍යාපෘතිය යටතේ ප්‍රවාහන කටයුතු පමණක් නොවෙයි; අප අනෙක් සියලු කටයුතු සම්බන්ධයෙනුත් සොයා බලනවා. තාක්ෂණ නගරය වැනි කටයුතුත් අප ඒ අයුරිනුයිි ආරම්භ කරන්නේ. ඒත් මේ කටයුතු කඩිනමින් කළ නොහැකියි.

ඒවා කඩිනමින් සිදු කළ නොහැක්කේ රාජ්‍ය ආයතන අතර නිසි සබඳතා නොපැවතීම නිසා බව පැවසුවොත්...

ඔව්. එහි සත්‍යයක් තිබෙනවා. ගුවන් නගරය ඉදි කරන්න බලාපොරොත්තු වන භූමිය මුදල් ගෙවන පොරොන්දුව මත රාජ්‍ය ආයතනයකින් ලබාගන්න අපට අවුරුදු 2ක් ගියා.

එහෙත් මා අනුගමනය කරන්නේ පළමුව අප ආදර්ශවත් විය යුතුයි යන ක්‍රියා මාර්ගයයි. අද වැදි බණ කියන සමහර දේශපාලඥයන්ගේ ඥාතීන් තමයි අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ. ඒත් මගේ කිසිම ඥාතියකු කුසලතා තිබුණත් සුදුසුකම් තිබුණත් මගේ අමාත්‍යාංශයේ, එහෙමත් නැත් නම් අමාත්‍යාංශයට අදාළ ආයතනවල නිලධාරීන් ලෙස හෝ බඳවාගෙන නැහැ.

ඔබ පවසන්නේ ඥාතීන් නිලධාරීන් ලෙස සිටීම නිසා සංවර්ධන කටයුතු අඩපණ වන බවක්ද?

එපමණක් නොවෙයි; මුදල් අවභාවිතයටත් එය ප්‍රධාන හේතුවක්. අද බොහෝ ආයතනවලට නැඟෙන චෝදනාවක් තමයි මුදල් අවභාවිතය. ඒත් මම විදුලිබල ඇමැති ලෙස ඉන්නා කාලෙදි තමයි අවසන් වරට වාහනයක් අමාත්‍යාංශයකට මිල දී ගත්තේ ඒ කියන්නේ 2010 වසරේදී. එදා සිට අද දක්වාම මම භාවිත කරන්නේ කලින් ඇමැතිවරුන් භාවිත කරපු වාහන. ඒ වගේම අමාත්‍යාංශයේ හෝ ආයතනයක හෝ මගේ පින්තූර ගහන්න ඉඩ තබා නැහැ.

රැකියාවේදී මම පළමුව අනුගමනය කරන්නේ කුසලතාවයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ කොතරම් වෘත්තීයවේදීන්, අධ්‍යාපනයෙන් ඉහළ දැනුමක් තිබෙන අය හිටියත් වැඩක් නැහැ කුසලතාව නැත් නම්.

කුසලතා තිබුණත්, සුදුසුකම් තිබුණත් කාර්යසාධනය නිසි ලෙස ඉටු නොවනවා නම් පලක් නැහැ. ඒ සම්බන්ධව ඔබ සිදු කරන පසු විමර්ශන මොනවාද?

මම නිරන්තරයෙන්ම ඒ බව ඇගයීමට ලක් කරනවා. මේ අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 200ක් පමණ තිබෙනවා. අදාළ කාලසීමාවේ ඉලක්කයට ළඟා වූ අය කොළ පාටින් හා ඉලක්කය කරා ළඟා වෙමින් පවතින අය කහ පාටින් හා ඉලක්කය කරා ළඟා නොවූ අය රතු පාටින් දක්වන යන්ත්‍රණයක් අප සතු වනවා. සෑම සඳුදා දිනකම මේ සම්බන්ධව ස්වයං අධ්‍යයනයක් සිදු කෙරෙනවා. මගේ අමාත්‍යාංශයේ තනතුරු හිමි වන්නේ ජ්‍යෙෂ්ඨත්වය, වැඩිහිටිකම අනුව නොවෙයි; කුසලතාව අනුවයි. අධ්‍යාපන සුදුසුකම්වලටත් වඩා ඒ ගැනයි අප සලකා බලන්නේ. උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා නම්: කසළ කළමනාකරණ අංශයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතෙක්. ඔහු ප්‍රායෝගිකව ඒ විෂයය හොඳින් දන්නවා; කැප වීම තිබෙනවා; දක්ෂයි. එහෙත් මුදල් අමාත්‍යාංශයෙන් පවා ඔහු ගැන විමසුවා, ඔහුට සුදුසුකම් තිබෙනවාද කියලා. මහාචාර්යවරුන් 10කට වඩා හොඳට ඔහු වැඩ කරනවා. උපාධි සහතිකත් අවශ්‍යයි. එහෙත් එවැනි 10 දෙනකු සිටියත් වැඩක් නැහැ, කුසලතාවක් නැත් නම්.

එහෙත් දේශපාලනයේ රැඳී සිටීමට නම් ජනතා විශ්වාසය ලැබීමත්, ජනතාවට සේවයක් සැලසීමත් කළ යුතුයි නේද?

මගේ ලාබ වැඩ නැහැ. සපත්තු-සෙරෙප්පු බෙදන වැඩ, රෙදි බෙදන වැඩ මගේ දේශපාලනයේ නැහැ. මම ඒවට කියන්නේ බලු-කපුටු දේශපාලනය කියලා.

එහෙත් ජනතාව බලාගෙන ඉන්නවා ආණ්ඩුව තමන්ට යමක් කරයි කියලා...

ආණ්ඩුව විශේෂතා කළ යුතු ඉතා සුළු පිරිසක් ඉන්නවා. මේ රටේ දුප්පත් පිරිස 6%යි. එහෙත් සමෘද්ධිය 40%කට දෙනවා. සමෘද්ධියට වෙන් කරන මුදලෙන් හරි අඩක්ම යන්නේ එහි නඩත්තුවටයි.

ඔබේ ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල විරෝධතා ආවා නේද?

වරාය නගරයට වැඩි වශයෙන් ආවා. කතෝලික පල්ලිවලින් වගේම ධීවර ජනතාවගෙන් විශාල විරෝධතා ආවා. පෙළපාළි ගියා. හෝමාගම තාක්ෂණ නගරයට විරුද්ධව විරෝධතා ආවා. අරුවක්කාලු කසළ රඳනවයට විරුද්ධව විරෝධතා තියෙනවා. එහෙත් අප හමුදාව යොදවලා ඒ පිරිස් පලවා හැරියේ නැහැ, බලය පාවිච්චි කර පහර දුන්නෙත් නැහැ. බියවැද්දුම් කළේ නැහැ. දැන් ඒ අයම තේරුම් ගෙන ඉන්නවා තමන් විරෝධතා කිරීම සුදුසු නොවන බවට. මා ජනප්‍රිය දේශපාලනය කරන්න ගියේ නැහැ. මීතොටමුල්ල කුණු කන්ද එංගලන්තෙන් අරගෙන යන්න ආවා කියලා සමහරු සුරංගනා කතා කියනවා. රටට ආදායම් මාර්ග සොයා දෙන්න කට්ටිය නැහැ. ඒත් වියදම් කරන්න සැලසුම් නම් තියෙනවා. කවුරුත් දන්නවනේ ලෝකෙටම ණය වෙලා නැව් එන්නෙ නැති වරායවල් හදපු, ගුවන් යානා නැති ගුවන් තොටුපොළවල් හදපු, ජනතාව නැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා නොකරන ක්‍රීඩාංගණ හදපු ඒව ගැන? අප එවැනි ව්‍යාපෘති හදන්නේ නැහැ.

ව්‍යාපෘති රට ණය කරන, නාස්තිකාර ඒවා නොවිය යුතුයි. ඒවා ආදායමක් උපයා දිය යුතුයි.

සියලු ව්‍යාපෘති ආදායම් ලබමින් කරන්න බැහැ නේද? ජනතාවට සහන සලසන, ජනතාවට සේවය සලසන සේවාවන්ගෙන් එසේ ලාබ බලාපොරොත්තු විය හැකිද?

ලිබර්ල්වාදී අදහස් ඇති අය පවසන පරිදි සියලු දේවල් පෞද්ගලික අංශයට කරන්න බැහැ. ඒ වගේම තමයි සමාජවාදීන් සහ මාක්ස්වාදීන් කියන ආකාරයට හැම දේම රජයට කරන්නත් බැහැ; කළ යුතුත් නැහැ. රජය විසින් අනිවාර්යෙන්ම කළ යුතු දේ තිබෙනවා. රජය සතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා අනෙක් රාජ්‍ය ආයතන 800ක් පමණ තිබෙන අතර; සංස්ථා ඇතුළු ආයතන 300කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ අතුරින් ඇතැම් ආයතන වැහුවොත් රට ඉවරයි. උදාහරණයක් හැටියට: කජු සංස්ථාව වසාදැමුව හොත් එයින් රටට මහත් හානියක් වන්නේ නැහැ. එහෙත් විදුලිබල මණ්ඩලය වසාදැමුව හොත් සිදු වන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ නිසා ඉතා කාර්යශූර අය විසින් කළමනාකරණය කළ යුතු රාජ්‍ය ආයතන 6ක් තිබෙනවා. ඒ ආයතන අතරට මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව අයත් වන අතර; මේ ආයතන කිසි සේත්ම දේශපාලනඥයන්ගේ හිතවතුන්ට රැකියා දීමේ ආයතන ලෙස කටයුතු කළ යුතු නැහැ.

එසේම ජනතාවට සේවා සපයන ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ගුවන් තොටුපොළ, වරාය අධිකාරිය හා ප්‍රවාහන ආයතන අනිවාර්යෙන්ම කාර්යශූර, දැනුමකින් යුක්ත අය විසින් මෙහෙයවිය යුතුයි. මේ සේවා සපයන ආයතන අක්‍රිය වුව හොත් දැඩි අර්බුදයක් කරා රට ගමන් කරනවා. ඒත් අද මේ ඇතැම් ආයතන දේශපාලනඥයන්ගේ රැකියා ආයතන බවට පත් වෙලා.

ඔබ අමාත්‍යාංශයට හෝ ආයතනවලට එසේ ආදායම් උපදවන්නේ නැති සේවා සඳහා විදේශාධාර ලැබී තිබෙනවාද?

ඔව්. කොළඹ ගංවතුර පාලනයට මෙන්ම ගාල්ල, මහනුවර, යාපනය, ඇතුළු නාගරික සැලසුම් සඳහාත් ආධාර ලැබී තිබෙනවා.

එහෙත් අපේ රටේ සිදු වන ඇතැම් අර්බුද නිසා ආයෝජකයන් යම් ආකාරයක පසුබෑම් දක්වන අවස්ථා තිබෙනවා. පසුගිය වසරේ නීති විරෝධී ආණ්ඩු පෙරළිය නිසා යම් පමණකට එසේ ආයෝජකයන් ඉවත්ව සිටියා. එය ගො‍ඩනඟගෙන එද්දී අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වුණා.

විපක්ෂය පවසන්නේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ කියලයි...

පහුගිය ආණ්ඩුව කාලෙ තිබුණෙ මූල්‍ය වරිගවාදයක්. ඒ කියන්නේ රාජපක්ෂ පවුලේ අයට අයත් අමාත්‍යාංශවලට වැඩියෙන් මුදල් ලැබුණා. අනෙක් අමාත්‍යාංශවලට මුදල් වෙන් වුණේ නැහැ.

මේ ආණ්ඩුවේ ඒ මූල්‍ය වරිගවාදය නැහැ. අමාත්‍යාංශවලට මුදල් දීමේදී එවැනි වෙනසක් නැහැ. ඒ වගේම තමයි: මා පෙර කීවාක් මෙන් මේ ආණ්ඩුව වැඩ කරන්නේ රට ණය කරමින් නොවෙයි. රට ණය කරමින් ආර්ථික වශයෙන් ඵල රහිත ආයෝජන කරන්නේ නැහැ. ඒ වගේම තමයි එක් වරක් හදපු මහාමාර්ග ආයිත් අ‍ෙ හදන්න ඕනැ නැහැ නෙ. අවුරුදු 30ක් වත් ඒ මාර්ග ඒ ලෙස තිබිය යුතුයි.

එසේ වුවත් වැඩ කරන අමාත්‍යාංශවලට වැඩිපුර මුදල් වෙන් කළ යුතුයි නේද?

ඔව්. එහෙම දෙයක් මේ ආණ්ඩුවේත් දකින්න නැහැ. එය අඩුවක් ලෙස මම දකිනවා. එහෙත් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සේවාවලට ආණ්ඩුව විශාල බරක් දරා තිබෙනවා.

ඔබේ අමාත්‍යාංශයෙන් ආරම්භ කළ ‘ඉන්න හිතෙන රටක්’ වගේම ‘පන්නරයෙන්’ ජනතාවට වැඩක් තිබෙනවාද?

‘පන්නරය’ හා ‘යකඩ මිනිසුන්’ හරහා රටට සේවය කළ අය ඇගැයීමට ලක් කිරීමක් තමයි අපි කළේ. අපේ අමාත්‍යාංශයට මේ සම්මානය ලැබුණාට පස්සෙ අපේ අමාත්‍යාංශයන්ට සම්බන්ධ වෘත්තීයවේදීන් 10 දෙනකු ඇගැයීමට ලක් කළා. තමන් ගැන නොසිතා රට ගැන, අනුන් ගැන සිතන වෘත්තීයවේදීන් එසේ ඇගැයීමට ලක් කළ යුතුයි. ඒ පණිවිඩය තව දහස් ගානකට යාවි. ඒක තමයි ‘පන්නරයේ’ අරමුණ. ඒ වගේම අතීතයේ තරුණ පිරිස් තමන්ට වන අසාධාරණයන්ට විරුද්ධව කැරැලි ගැසුවා. දැන් එහෙම නැහැ, ඕනැ දෙයක් කරගනිල්ලා කියලා ඒ අය රට හැර යනවා. මෙහි අරමුණ ඒ පිරිස් රටේ සංවර්ධනයට දායක කරගැනීමට ආයාචනා කිරීමයි.

ඔබ පැවසුවා බාල දේශපාලන වැඩ කරන්නේ නැහැ කියා. ඔබ ජනතා විශ්වාසය ගොඩනඟන්නේ කෙසේද?

දේශපාලකයාට පැවතිය හැකි හේතු 3ක් තිබෙනවා. එකක්: නිසි පරිදි මහජනයාගේ හිත් දිනාගෙන කීර්තිය ඇති කරගැනීමයි. එය යුක්ති සහගත ලෙස, සාධාරණ ලෙස කළ යුතු වෙනවා. එසේ මහජනයාගේ කීර්තිය දිනාගැනීම හොරෙන් කරන්න බැහැ. දෙවැන්න: සංවර්ධනය කියමින් ගසාකන එක, ඒ හරහා මුදල් සොරාගෙන සල්ලි විසි කරමින් ජනතාවගේ ඡන්ද මිලට ගැනීම. පහුගිය කාලෙ රජයේ ඉඩම් කුණු කොල්ලෙට දීලා දේශපාලනය කරපු අය හිටියනේ. තුන්වැනි එක: කට වාචාලකමට මොනවා හරි බොරු කියමින් ජනතාව මුළා කිරීම. මම ඒකට කියන්නෙ කෑඳැති දේශපාලනය කියල. මේ තුනෙන් මම ඉන්නේ පළමු එකේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරුන් නම් කළ යුතුයැයි ඔබ සිතනවාද?

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් නම් හොදයි. මේ වන විට ලක්ෂ 160ක් මැතිවරණයකදී ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබෙනවා. අඩු වශයෙන් ලක්ෂ 140ක් ඡන්දය දුන්නොත් එයින් ලක්ෂ 70ක් පමණ ගත යුතුයි ජයග්‍රහණය කරන්න. මා දන්නා තරමින් එක්සත් ජාතික පක්ෂයට එවැනි ජන බලයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය අවසන් වරට ජනාධිපතිවරණයක් ජය ගත්තේ 1988දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින්. ඒත් උතුරු නැඟෙනහිර ඉන්දීය සාමසාධක හමුදාවට අවශ්‍ය ලෙස කටයුතු කරද්දී සහ දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් හමුවේ. නිසි අයුරින් ජනාධිපතිවරණයක් ජය ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 වසරේදී. ඒ කියන්නෙ අවරුදු 37කට විතර කලින්. අද ඒ බලය තිබෙනවාද? මේ රටේ ජනාධිපති ජයග්‍රහණය තීරණය කරන්නේ සුළු ජාතික පක්ෂවල අය හෝ අදාළ පක්ෂයෙන් නෙමෙයි. දෙපැත්තටම නැති නොබැදි පිරිසක් සිටිනවා. ඔවුන්ගේ ආකර්ෂණයයි අප ළගා කරගත යුත්තේ. ඔවුන්ට ආකර්ෂණීය විශ්වසනීය නායකත්ව මණ්ඩලයක් සකස් කිරීම අවශ්‍යයි. අපේක්ෂකයා ඒ අතුරින් එයි.

ඔබ කියන්නේ අලුත් බෝතලේ පරණ වයින් දාල දෙන්න කියන එකද?

නැහැ. අලුත් බෝතලේ අලුත් වයින් දාන්න වෙනවා.

ඔබේ නමත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස කියැවෙනවා...

මා මුලින් කිව්වා වගේ නායකත්ව මණ්ඩලයක් මඟින් නොබැඳි ඡන්ද දිනාගැනීමට හැකි අයකු ඉදිරිපත් කිරීමයි වැදගත් වන්නේ. අපේක්ෂකයා තේරිය යුත්තේ නායකත්ව මණ්ඩලයක් මඟින්මයි.

සැහැල්ලු දුම්රිය, වරාය නගර මේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑමට ජාතික ප්‍රතිපත්තියක් තිබෙනොද? නැත් නම් පසුව බලයට පත් වන රජයක් ඒවා නතර කළ හොත්...

රටට ආදරේ කිසිවකු ඒවාට බාධා කරයි කියා හිතන්න බැහැ. අනෙක් කරුණ: ඒ සියල්ල අන්තර්ජාතික ගිවිසුම්. ඒවා කඩ කරන්න බැහැ.

හිටපු ඇමැතිවරයකු වූ අෂ්රොෆ් මහතා යෝජනා කළා රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න වගේම රට සංවර්ධනය කරන්න නම් විපක්ෂයක් නැති ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් හදමු කියා...

අපේ රටේ ක්‍රියාත්මක වන්නේ බහු-පක්ෂ ක්‍රමයක් නේ. ඒ නිසා ඇතැම් අවස්ථාවල අප පක්ෂග්‍රාගිත්වයේ සීමාව ඉක්මවා යන අවස්ථා තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ පවා එකතු වී ඊට විසඳුම් සොයනවාට වඩා එය අවස්ථාව කරගෙන ආණ්ඩුව පෙරළන්නයි බලන්නේ. විශේෂ අවස්ථාවල අප එක්ව ජාතික ප්‍රතිපත්තියකට අනුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ගංවතුර, නාය යෑම් වැනි ආපදා, නියං ව්‍යසනයන්හිදී, කසළ ගැටලුව, පාරිසරික ප්‍රශ්න දුප්පත්කම... මේ කරුණු සඳහා දේශපාලනය යොදාගත යුතු නැහැ. එක්ව කටයුතු කිරීම අවශ්‍යයි. සිදු නොවන්නේත් එයයි.

Comments