මරණ දඬුවම අහෝසි කිරීමේ පනත කාගේ සැපත සඳහා ද? | සිළුමිණ

මරණ දඬුවම අහෝසි කිරීමේ පනත කාගේ සැපත සඳහා ද?

මේ දිනවල සමාජ දේශපාලන ක්ෂේත්‍ර ඔස්සේ ඇදී යන බොහෝ සංවාද වාද විවාද ආදියෙන් පිළිබිඹු වන්නේ අපගේ දේශපාලන හා සංස්කෘතික දරිද්‍රතාව පමණක් නොව මේ රට ඇදී යන ප්‍රපාතයෙහි බිහිසුණු ස්වරූපයයි. එහෙත් ඒ දෙස බුද්ධිමත්ව බැලීමට හා ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට හෝ සමත් දේශපාලන මාර්ගෝපදේශකයෝ සිටිත් ද? ඒ අර්බුදයේ අනතුර පසක් කරගත් විද්වත්හු, බුද්ධිමත්හු, සමාජ ක්‍රියාකාරීහු සිටිත් ද? වෙනත් ආගමික නායකයෝ හා ප්‍රභූවරු සිටිත්ද? මේ හැම ක්ෂේත්‍රයකම යම් ප්‍රමාණයක නැණසර පැනසර සුළු පිරිසක් හෝ නොවෙතියි කිව නොහැකිය. එහෙත් සමස්ත සමාජයම උඩු යටිකුරු කරමින් ඇදී යන මූග්ධයන්ගේ ඝෝෂා හා අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ ව්‍යාජ හා සට කපට හැසිරීම් වලින් තහවුරු වන්නේ රට ගොදුරු වී සිටින විනාශයෙහි පරිමාව ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කරන ලද ආකාරයට අද අප අබියස ඇත්තේ ගරා වැටුණු අවිචාර දේශපාලනයකි. එයින් විකෘති වී ගිය කුණු වී ගිය සමාජයකි. එහි සදාචාරකම්, සංස්කෘතික වටිනාකම් සියල්ල මියැදෙමින් තිබේ. මෙකල බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන ‘වොයිස් කට් දේශපාලනය’ තුළින් වැඩිපුර ප්‍රකාශ වන්නේ ද ඒ හරසුන් සමාජ ආධ්‍යාත්මයේ විකෘතීන් ම ය. විද්‍යුත් මාධ්‍යවලට අමතරව මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් රැව් දෙන්නේ අපේක්ෂා භංගත්වය හා විසූක දස්සන පමණි.

ඉන්දියාවට සාපේක්ෂව අපට නිදහස් සටනක් නොවීම හා එබඳු ජාතික මට්ටමේ පුරෝගාමීන් හිඟ වීම රටක් වශයෙන් අප ලද පසු බැසීමට හේතු වූ බව ප්‍රකාශ කරන දේශපාලන විශ්ලේෂකයෝ සිටිති. ශ්‍රී ලාංකික ජාතිකත්වයක් මෙන්ම ස්ථාවර රටක් ගොඩ නඟා ගැනීමට අපට නොහැකි වූයේ ඒ නිසා බවද ඔවුහු පෙන්වා දෙති. කුමක් වුවත් මේ දේශපාලන කැළඹීම් හිටි හැටියේ ප්‍රාදූර්භූත වූ දෙවල් නොවේ. එයට හේතු කාරණා ආණ්ඩුව ඇතුළේ මෙන්ම ඉන් පිටත ද තිබෙන බව අපි දනිමු. මේ රට මෙහෙයවන නායකයෝ දෙදෙනෙක් සිටිති. ඒ නායකයන්ගේ ප්‍රතිපත්ති හා ආකල්පද ඉඳුරා වෙනස් ය. සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් පමණක් නොව සංස්කෘතික හා ආධ්‍යාත්මික වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ප්‍රතිවිරෝධතා මතුවන්නේ ඒ පසුබිමේ ය.

ආණ්ඩුවේ වේදිකා වලින් ඇසෙන සංවර්ධනයේ හඬ හා ඔවුන් විසින් රට අබියස තබනු ලබන අපේක්ෂා ඉතා මිහිරි ය; හද සුවපත් කරවන සුළු ය. එහෙත් යථාර්ථය කුමක්ද? සමාජ ආර්ථික දේශපාලන වශයෙන් රට අත්පත් කර ගෙන තිබෙන දියුණුව ප්‍රමාණවත් යැයි හිතට එකඟව කිව හැකිද? මේ ආණ්ඩුව විසින් රටට දෙන ලද ප්‍රතිඥා කෙතරම් දුරට ඉටුවී තිබේද? දූෂණය, වංචාව, අල්ලස මැඬලීම සඳහා බලය ලබා ගත් ආණ්ඩුව ඒ වෙනුවෙන් අත්පත් කර දුන් ජයග්‍රහණ මොනවාද?

පසුගියදා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජය ගැනීමෙන් තහවුරු වන්නේ ඔවුන් කෙරෙහි පවතින ජනතා විශ්වාසය හෝ ප්‍රසාදය යැයි කිව හැකිද? ඒ ජයග්‍රහණය ලබා ගත හැකි වුයේ දෙමළ සන්ධානයේ හා මුස්ලිම් දේශපාලනඥයන්ගේ ශක්තියෙන් බව රටට ම පෙනෙන දෙයකි. ඒ ජය ලබා දුන් දේශපාලනඥයන්ට ආණ්ඩුව දක්වන කෘතිවේදිත්වය දේශපාලන කප්පමක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ මොනවා වුවත් රට අවිනිශ්චිත අඳුරක ගිලෙමින් තිබෙන බව නම් පැහැදිලි ය. ආණ්ඩුව ඇතුළේ නැඟෙන ප්‍රතිවිරෝධතා වලට අමතරව, ආණ්ඩුව බලයට පත් කළ අය විසින් නඟන චෝදනා ද අපට ඇසෙයි. චෝදනා යනු නිශ්චිත හෝ තහවුරු කරන ලද කරුණු නොවේ. එහෙත් ඒ චෝදනා වල ස්වරූපය හා ඒවාට පසුබිම් වූ කරුණු පොදුවේ ජන මනස තුළ ඇතිකරන සැකය හා අවිශ්වාසය සුළු පටු නොවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොයෙක් අවස්ථාවල අවධාරණය කර ඇත්තේ ද හොරුන් අල්ලන්නට පැමිණි අය ඊටත් වඩා හොරුන් බවට චෝදනා නැඟී තිබෙන බව ය. දින කීපයකට පෙර මේ ආණ්ඩුව සමඟ සමීප සබඳතා ඇති ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් විසින් නම්, ගම් හා දත්ත සමඟ ආණ්ඩුවේ ම ප්‍රබල ඇමතිවරයකුට එල්ල කරන ලද දූෂණ චෝදනා පත්‍රය බරපතල එකකි. ඒ දූෂණයේ මෙහෙයුම් කරුවන්ගේ නම් ගම් ද ප්‍රකාශයට පත් විය. මේ පිළිබඳ ව කරුණු පැහැදිලි කිරීම චූදිතයන්ට බාර වූවකි. කුමක් වුවත් දේශපාලන බලය හා දේශපාලන අනුග්‍රහය මේ රට විනාශ කරන පිලිකාවක් සේ වැඩෙන බව නම් ඉතා පැහැදිලි ය. අදට වඩා හෙට ඒ දේශපාලන දුර්ගන්ධය ජනතාවට දැනෙනු ඇත.

අද අප අවධානය යොමු කරන්නේ එයට වඩා වෙනස් කරුණු කීපයක් පිළිබඳ ව ය. මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ ද ආශිර්වාදය ඇතිව පනතක් ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ. මේ පනත ගෙන එන්නේ යහපත් අරමුණකින් නොවන බව මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කර තිබේ. මේ ක්‍රියාවේ අනිටු ඵල ලෙස පාස්කු ප්‍රහාරකයන්ට පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ද සැනසිල්ලක් උදා විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මරණ දඬුවම අහෝසි කිරීම යනු ඔවුන්ට දෙන ආරක්ෂණ වගකීම් සහතිකයක් බව අපි කියමු. ජනාධිපතිවරයා අද ආණ්ඩුවේ සමහරුන්ට වහ කදුරු වී තිබෙන්නේ ද ආණ්ඩුවේ සමහරුන්ගේ හිතුවක්කාර ක්‍රියාවලට හරස් වීම හා ඒවාට බාධා කිරීම නිසා ය. සැබැවින් ම මෙයට පෙර රට පාලනය කළ ජනාධිපතිවරුන් පස් දෙනාට ම එල්ල වී තිබෙන වධ හිංසා, දුෂණ චෝදනා කිසිවක් මෛත්‍රි ජනාධිපතිවරයාට එල්ල වී නැත. ජනධිපතිවරයා විසින් ම සඳහන් කරන ලද පරිදි අද ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් කෙරෙන නින්දා අවලාද අපහාස සුළු පටු නොවේ. එහෙත් එබඳු දේ මීට පෙර සිදු වූ අවස්ථාවලදීත් ඒ ජනාධිපති බලය භාවිත කළ ආකාරය ද අපි දනිමු. එය ජනාධිපතිවරයාගේ දේශපාලන විනය හා ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් වූවක් විනා දේශපාලන ඔතෑනිකමක් නොවන බව සමහරු වටහා ගෙන නැත. මරණ දඬුවම අහෝසි කිරීම සඳහා පෙළ ගැසී සිටින බලවේග හා ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්නත් මෙහිදි විමසා බැලීම වටී. මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ම සඳහන් කරන ලද කරුණු අපට මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.

මරණීය දණ්ඩනය තහනම් කිරීමේ හදිසි පනත පසු පස සිටින විදේශ බලවේග හා ඔවුන්ගේ අරමුණු යහපත් නොවේ.

මේ පනත සම්මත කිරීමෙන් පසු සමාජ විරෝධී බිහිසුණු අපරාධකරුවන්ට පමණක් නොව පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට ද නිදහස ලබා ගත හැකිය. එමඟින් ත්‍රස්තවාදීන්ට ලැබෙන ආරක්ෂාව සහතික කරනු ලැබේ.

මේවා ලෙහෙසියෙන් අමතක කළ හැකි කරුණු නොවේ.

ජනාධිපතිතුමා අනුමාන කරන ආකාරයටම අද මේ රට තුළ ක්‍රියාත්මක වන විවිධ විදේශ බලවේග තිබේ. ඒවායේ ප්‍රකාශිත අරමුණු හා අභ්‍යන්තර ක්‍රියාකාරකම් රටට හිතකර නොවන බව ද රහසක් නොවේ. රාජ්‍ය නොවන සංවිධාන ලෙස හඳුනාගත හැකි ඒවා බොහෝ විට ඇමෙරිකාව සහ බටහිර රටවල අභිමතය පරිදි බලගන්වා තිබෙන අතර ඒ රටවල මුදලින් ම යැපෙන ඒවා ද වේ.

බොහෝ ඇන්ජීඕ නඩවල හැසිරීම් ගුප්ත හා බිහිසුණු ඒවා ය. මේවා අතර දෙමළ ඩයස්පෝරාව විසින් නඩත්තු කරනු ලබන සංවිධාන ද වේ. මේ ඇන්ජීඕ වල මතුපිට ඉතා පැහැපත් ය. ඔවුහු මානවවාදී හැඟීම් වල පරමාදර්ශයෝ ය. එහෙත් ඔවුන්ට අවශ්‍ය මානව හිමිකම් සුරැකීම හෝ වෙනත් සමාජ සාධාරණ අපේක්ෂා ඉටු කිරීම යැයි කිව හැකිද? මරණ දඬුවම ඉවත් කළ පමණින් රටක් ශීලාචාර හෝ සදාචාරසම්පන්න වන්නේ කෙසේද යන්න අපටද ප්‍රශ්නයකි. රටක හැදියාව සදාචාරය මනින මිම්ම වන්නේ රටේ පවතින දණ්ඩ නීති සංග්‍රහය යැයි කිව හැකිද? ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක් ම මරණ දඬුවම ක්‍රියාත්මක වන බව ප්‍රකට ය. එහෙත් මේ එක ම රටක් හෝ මරණ දඬුවම නොමනා දණ්ඩනයක් ලෙස සළකා නැත. මේ රටවල් වලට වඩා වෙනස් දඬුවම් ක්‍රම ඇතැම් මැද පෙරදිග රටවල තිබෙන බවද කවුරුත් දනිති.

කලකට පෙර ශ්‍රී ලංකාවේ බාල වයස්කාර රිසානා නමැති දැරියක් ගෙල කපා මරා දැමූ ආකාරය අපට මතක ය. සෞදි අරාබිය විසින් දෙන ලද ඒ දඬුවම හිර දඬුවමක් බවට පත් කර ගැනීමේ ප්‍රබල ප්‍රයත්නයක් ද එදා ආරම්භ විය. එහෙත් අරාබි බලධාරීහු එය තඹයකට මායිම් නොකළහ. ගෙල සිඳලීම, අත්පා සිඳීම වැනි ක්‍රෑර දඬුවම් ඒ අරාබි සංස්කෘතියට ආවේණික දේවල් ය. එහෙත් ඒවාට එරෙහි වන බලවේග තිබේද? ඉහත සඳහන් කළ රිසානා දැරියගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම් පවා සිදු විය. එහෙත් සෞදි අරාබි පාලනය ඒ කිසිවක් නොතකා රිසානා දැරිය ගෙල සිඳ ඝාතනය කළ අයුරු රට ම කම්පා කළ සිදුවීමක් විය. එබඳු ඝාතන ජාත්‍යන්තර තලයේ සිදුවී තිබේ. පකිස්ථානයේ හිටපු අගමැතිවරයකු වු අලිභූතෝට අත් වූ ඉරණම එබඳු ය. ඉරාකයේ සදාම් හුසේන්ද එබඳු ඝාතනයකට ලක් වූයේ සාධාරණ හේතුවක් නැතිවය. ඒ අපරාධ කළෝ මිනිස් වෙසින් සරන මෘගයෝය.

පුරාණ ඉන්දියාවේ පමණක් නොව පුරාණ ලංකාවේද බිහිසුණු දඬුවම් හා මනුෂ්‍ය ඝාතන සිදු වී තිබේ. මහා භාරත සාහිත්‍යයෙහි එබඳු කුරිරු ක්‍රියාකාරකම් විස්තර කර තිබේ. අශෝක රජු දියත් කළ කාලිංග ප්‍රහාරය ජයගත හැකි වූයේ මත්පැන් නිසා බවද කියනු ලැබේ. මතට ලොල් වූ කාලිංගයන් සිහිමඳව පහර කා මිය ගිය බව කියති. ඉතිහාසයේ නොයෙක් තැන්වල මිනිසුන්ට ලබා දුන් වධ හිංසා දඬුවම් ආදිය විස්තර කර තිබේ. බුද්ධ කාලීන සමාජයේ තිබුණු දඬුවම් ක්‍රම වුව ද ඉතා කුරිරු බව පෙනේ. දඬුවම් ලෙස සිදු කළ ඝාතන ක්‍රියා ලොමු දැහැ ගන්වන සුළු විය. සමාජ විරෝධි ක්‍රියාවල නිරත වන අයට දුන් දඬුවම් ලෙස ඒවා සමාජයේ අනුමැතියට යටත් වූ බවද පෙනේ. අංගුත්තර නිකායේ තික නිපාතයේ එබඳු දඬුවම් පැමිණ වූ බව පැහැදිලි ව සඳහන් ව ඇත. එහෙත් බුදුන් වහන්සේ ඒවා ගැන මැදිහත්වීම් කර නැත. භික්ෂූන් සඳහා එබඳු දඬුවම් නොවු බව සැබෑ ය. නිරය පිළිබඳ ව හා දඬුවම් ගැන කළ විස්තර ද හමු වේ. ඒවායෙන් තහවුරු වන්නේ සමාජය ප්‍රතිසංස්කරණය ගිහිපාලනයට අනුව සිදුවීම බුදුන් වහන්සේ උපේක්ෂා‍වෙන් ඉවසා වදාළ බව ය. බුදුන් වහන්සේ අවිහිංසාව මෙන්ම ධර්මානුකූල ජීවිතයක් සඳහා උපදෙස් දී තිබෙන අතර ගිහියන්ට අදාළ උචිත ගිහි මඟ කුමක්ද යන්නත් නිවැරදිව පෙන්වා දී තිබේ. බුදු දහම විමුක්ති මඟක් හා නිවන් මඟ අරමුණු කර ගත් ගැඹුරු දර්ශනයකි. එහි මූලික අවධානය ලෞකික ජීවිතයට උපදෙස් දීම නොව ලෝකෝත්තර චර්යාව සඳහා පුද්ගලයා සකස් කිරීමකි. එසේ වුවද ගිහිව සිට උතුම් ජීවිතයක් ගෙවන්නේ කෙසේද යන්න බුදුන් වහන්සේගේ නිරන්තර අවධානයට ලක් වූ බව ද කිව යුතුය. බුදුන් වහන්සේ රජුන්, ඇමතියන්, වෙළඳ ප්‍රභූන් ඇසුරු කරමින් ඔවුන්ට අවවාද අනුශාසනා කළ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ව තිබේ. ධම්ම පදය ඒ බොදු මඟ අනාවරණය කරන විශිෂ්ට සාර සංග්‍රහයකි.

මේ පසුබිම නොදත් වචීපරම බෞද්ධයන් හා සිංහල බෞද්ධ නම් ගම් සහිත ඇන්ජීඕ කාරයෝද තම ගුප්ත අරමුණු ජය ගැනීම සඳහා බෞද්ධ ආවරණ සොයති. බෞද්ධ වෙස්ගත් ඇන්ජීඕ ශාන්තිකර්ම සිදු කරන්නේ සිංහල බෞද්ධ සමාජයේ යහපත සඳහා නොවන බව පරිණත දේශපාලනඥයකු වන මෛත්‍රී ජනාධිපතිවරයා මනාව පසක් කර ගෙන සිටියි. ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිතවාදය කෙබඳු ව්‍යාජයක්දැයි ජනාධිපතිවරයා හොඳින් දනියි. මේ සත්‍යය වටහා ගත් කිසිවෙක් ඇන්ජීඕ උපාසකයන්ගේ වැදි බණට මුලා විය යුතු නොවෙති. එනිසා මේ මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත නමැති මල් වට්ටියට අත ගැසිම කුසල ක්‍රියාවක් නොවන බව අප තේරුම් ගත යුතුය.

තතු මෙසේ හෙයින් ආණ්ඩුවේ සහාය ඇතිව සම්මත කර ගැනීමට සූදානම් වන මරණ දඬුවම අහෝසි කිරීමේ පනත පසුපස විදේශ බලවතුන් පමණක් නොව මත්කුඩු ජාවාරම්කාරයෝද නොවෙතියි සහතිකව ප්‍රකාශ කළ හැකිද?

මරණ දඬුවම බලාත්මක කළ පමණින් රටක අපරාධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සියල්ල අහෝසි වනු ඇතැයි කිව නොහැකිය. එසේ සිතීම ද බොළඳකමකි. එහෙත් වරදකට ලැබෙන දඩුවම ඒ වරද සඳහා පෙලඹවීම අවම කරවන මානසික පසු බැසීමකට හේතු වන්නකි. අපායට බියෙන් දුසිරිතෙන් මිදෙන බෞද්ධ ජනයා සිටිති. එසේම දඬුවමට බියෙන් වැරදි වලින් වලකින අය ද සිටිති. අද සිදුවන බොහෝ වැරදි වලට පෙලඹෙන අයට ඒ සඳහා දේශපාලන අනුබල අනුග්‍රහ ලැබේ. ඒ බලය අතට ගත් ඔවුහු නීතියට බිය නොවෙති. බොහෝ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල එක් කෙළවරක් දේශපාලනයට ද සම්බන්ධ වී තිබේ. මේ දිනවල මෙරටේ ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පිටරට වලින් මෙරට රැගෙන එන බව කියන කුණු කන්ටේනර් පසු පස සිටින දේශපාලන බලවත්හු කවරහුදැයි අපි නොදනිමු. එහෙත් ඒවා නිසැකයෙන්ම ඉහළ අනුග්‍රහයකින් හොර රහසේ මේ රටට රැගෙන එන ලද අපද්‍රව්‍ය බව නිගමනය කිරීම වැරදි නැත.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ අලංකාර වර්ණනා කොපමණ තිබුණත් මෙරටේ මුස්ලිම් සමාජයේ කාන්තාව මුහුණ දී සිටින ඛේදවාචකය කෙබඳුද යන්නත් දැන් හෙළි වෙමින් තිබේ. පුද්ගල සුබ සාධනය පාලනයක වගකීම යැයි මොර දෙන බොහෝ දෙනෙක් මේ සමාජ ඛේදවාචක දෙස නොබලති; නැතහොත් නොදත් අය සේ සිටිති.

ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළ පරිදිම නුදුරු මාස කීපය ඇතුළත අලුත් දේශපාලන තීරණයක් ගැනීමේ අවස්ථාවද ජනතාවට ලැබෙනු ඇත. එහෙත් විවේක බුද්ධියෙන් හා පියවි සිහියෙන් යුතුව රටේ ඉරණම බාර කළ යුත්තේ කවර පිරිසකටද යන්න පිළිබඳව ජනතාව කල්පනා කර තිබේද? මහජන ඡන්දයෙන් තෝරා පත් කරගත් ආණ්ඩුවල දේශපාලන භාවිතාව පිළිබඳ සාමාන්‍ය ජනතාවට ඇත්තේ ‘උනුත් එකයි මුනුත් එකයි’ යන අදහස පමණි. වසර 70 ක් වැනි දිගු කාලයක් මුළුල්ලේ ජනතාව විසින් අත්හදා බලන ලද කිසිදු දේශපාලන කඳවුරකට යහපත් රටක්, පතිරූප දේශයක් ගොඩ නඟා ගත නොහැකි වූයේ ඇයි? යන්නට දිය හැකි පිළිතුර කුමක්දැයි කාට හෝ කිව හැකිද?

අදහස්