මම පක්ෂ මාරු කළේ නැහැ මම හැමදාම එජාපයේ | සිළුමිණ

මම පක්ෂ මාරු කළේ නැහැ මම හැමදාම එජාපයේ

මීට ඉහතදී ඔබ එ.ජා.ප. ප්‍රතිපත්ති විවේචනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දින 52 ආණ්ඩුවට එක් වුණා. ඉන් පසු යළිත් අවස්ථා ගණනාවකදී ඔබ එජාපයටත්, ශ්‍රී ලනිපයටත් පිල් මාරු කළා. මාසයක් ඇතුළත ඔබ පස් වතාවක් පක්ෂ මාරු කර තිබෙනවා. එවැන්නක් කිරීමට ඔබ පෙලඹුණේ ඇයි?

ඔබ කියන ආකාරයට මා පස් වතාවක් තියා එක වතාවක්වත් පක්ෂ මාරු කළේ නෑ. අනික් එක මා තීරණ ආපස්සට වෙනස් කළෙත් නෑ. ඒ නිසා ඔබ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම වැරදි බව පළමුව කියන්න ඕනෑ. දින 52 ආණ්ඩුවට මා සහාය දෙන්න තීරණය කළේ මගේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා විදියට මට වගකීමක් නොදීම පිළිබඳවත්, මගේ ජනතාවට වැඩක් කිරීමට සුදුසු අමාත්‍ය ධූරයක් මට ලබා ‍නොදීමත් නිසයි. මට මගේ ජනතාවට රැකියාවක්වත් දෙන්න බැරි වුණා. පොළොන්නරුව කියන්නේ ගොවි - කම්කරුවන් බහුලව ජීවත්වන දිස්ත්‍රික්කයක්.

ජනාධිපතිවරයා නියෝජනය කරන මේ දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. යට ඕනෑ තරම් රැකියා දීමට හැකියාව ලැබී තිබුණා. එජාප දිස්ත්‍රික් නායකයා ලෙස මට කළ හැකි දෙයක් තිබුණේ නෑ. ඒ තත්ත්වය උඩ කැබිනට් අමාත්‍ය ධූරයක් මා ගත්තේ ජනපතිවරයා ගේ ආරාධනය නිසයි. ජනපතිවරයාගේ ආරාධනයෙන් ආණ්ඩුවකට සම්බන්ධවීම මා විතරක් නොවේ මන්ත්‍රීවරුන් සීයක් විතර කරලා තියෙනවා.

ඒත් එහෙම කරලත් ඒ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගන්න බැරි වුණා. එතනදී ඒ කණ්ඩායමට කරන්න තිබුණේ ඉල්ලා අස්වෙන්න. එහෙම නොකර මිරිස් කුඩු ගහලා වෙනත් ක්‍රියාමාර්ග අරන් කැත විදියට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. මට ඊට සහාය දෙන්න බැරි නිසා තමයි ආපස්සට හැරුණේ. ඒ වෙලාවේ මා ප්‍රකාශයක් කළා මා ඉල්ලා අස්වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉල්ලා අස්වුණා කියලා මා කීවේ නෑ. හැබැයි මාධ්‍යයෙන් දැම්මේ වසන්ත සේනානායක ඉල්ලා අස්වෙයි කියලයි. ඊළඟ කැබිනට් එකටත් ගිහින් තමයි මම ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න සිද්ධ වුණේ. ඊට පස්සේ කැබිනට් එකට ගියපු එක මාධ්‍ය දැම්මා වසන්ත සේනානායක යූ ටර්න් ගහයි කියලා.

ඇත්තටම මා දින 52 ආණ්ඩුවට එක්වරක් සම්බන්ධ වී පසුව ඉවත් වුණා. මා කිසිම අවස්ථාවක එජාපයෙන් ඉවත් වුණේ නෑ. මටයි වඩුවෙල් සුරේෂ්ටයි තමයි මේ ප්‍රශ්නය වුණේ. දුනේෂ් ගන්කන්ද එහෙම ඒ වෙලාවේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. අපි එහෙම කළේ නෑ. ඒකයි අපිට යළිත් එන්න සිද්ධ වුණේ.

ඔබ කියන්න උත්සාහ ගන්නේ ඔබ ගත් ක්‍රියාමාර්ගය මාධ්‍ය මගින් වැරදි නිර්දේශ හා අර්ථකථන දෙමින් වාර්තා කළා කියලද?

පැහැදිලිවම ඔව්.

යළිත් ඔබ එජාපයට එක්වූ පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට යමක් කළ හැකි වුණා ද?

ගම්පෙරළිය ව්‍යාපාරයත් සමඟ ප්‍රතිපාදන අතින් යමක් කරන්න පුළුවන් වුණා. ඒත් රැකියා ලබාදීම අතින් නම් තාමත් ඉන්නේ කලින් කියපු තැන තමයි. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ගම්වල ළමයින්ට රැකියාවල් දෙන්න හැකියාවක් නෑ. ප්‍රතිපාදන අතින් ආසනයට මා ගොඩක් වැඩ කරලා තියනවා. ඒත් දුප්පත් ළමයි ඉල්ලන්නේ රැකියා. ඒ අවස්ථා‍ව නම් මට තවම දෙන්න බැරි වුණා.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ඔබ එජාපය සමඟ පූර්ණකාලීනව සිටිනවාද? ඒ ගැන පාක්ෂිකයන්ට දිය හැකි සහතිකය කුමක්ද?‍

ඇත්තටම මා පරණ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඩී.එස්. සේනානායක මහතාගේ මේ පක්ෂයෙන් මා ඉවත් වෙන්නේ නෑ. ඒත්... මට පක්ෂයට ඉස්සරවෙලා රට වැදගත්. රට තමයි මට එක. පක්ෂය දෙක.‍ මා විශ්වාස කරනවා ඉදිරියේදී එජාපයෙන් ඉවත් වෙන්නේ නෑ කියලා. හැබැයි රට පාවාදෙන වැඩක් වගේ දෙයක් සිද්ධ වෙනවා නම් එතකොට මට වැදගත් වන්නේ පක්ෂයට කලින් රටයි, වෙනස් වෙන්නේ නෑ කියන එක මට කියන්න අමාරුයි. මා බෞද්ධයෙක්. බුදු දහමට අනුව මේ හැම දෙයක් ම වෙනස් වෙන සුලුයි. අපි ජීවත් වෙන්නේ වෙනස් වන ලෝකයක. සියලු දේ අනිත්‍යයි. වෙනස් නොවන කිසිවක් නෑ‍. පක්ෂත් එහෙමයි. ඩී.එස්. සේනානායක මහත්තයාගේ යූ.එන්.පී. එක නෙවෙයි අද යූ.එන්.පී. එක. බණ්ඩාරනායක මහත්තයාගේ ශ්‍රී ලංකා එක නෙවෙයි අද තියෙන්නේ. ඒ වගේ ම මා හිතන්නේ නෑ අද විජේවීරගේ ජේ.වී.පී. එක තියනවා කියලා.

ඔබගේ මේ දේශපාලන දෝලනය කීර්තිමත් පවුලක් නියෝජනය කරන ඔබටත් ඔබගේ කීර්තියටත් හානියක් වුණා කියා පිළිගන්නවාද?

පොළොන්නරු දිස්ත්‍රික්කයේ නම් මගේ කීර්තිනාමයට ලොකු හානියක් වෙලා නෑ. ඒ ජනතාව හරියට තේරුම් ගත්තා ඇයි මෙහෙම කරන්නේ කියලා. හැබැයි කොළඹ දිස්ත්‍රික්කයේ වගේ සමාජ මාධ්‍ය බහුලව භාවිත කරන අයට හිතෙන්න ඇති මා පස් වතාවක් පැන්නා කියලා. මොකද ‍මාධ්‍ය ඒ අදහස තමයි සමාජගත කරලා තිබුණේ. තව සමහර මාධ්‍ය මා සල්ලිත් ගත්තා කියලා කිව්වා. ඒත් පසුව එය බොරුවක් බව ඔප්පු වුණා.

තුර්කි ත්‍රස්තවාදීන් පනහක් පමණ මෙරටට පැමිණ ඇති බවට ඔබ කළ හෙළිදරව්ව ආණ්ඩුව ගණන් නොගත් බවටත් ඔබ චෝදනා කළා නේද?

ඒ හෙළිදරව්ව කළේ මා නොවේ. ඒක කළේ තුර්කි තානාපතිවරයායි. ඒ තානාපතිවරයා රජයට නැවත නැවතත් දැනුම් දුන් පසු පියවරක් නොගත් නිසා ඔහු මටත් දැනුම් දුන්නා. මට දැනුම් දුන්නේ තුන්වැනියට හරි හතර වැනියට හරි.‍ ඒ වෙනකොට මා එය ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබුණා. මේ ගැන යම් පියවරක් ගන්න කියලා. ඒකට උත්තරයකුත් ආවා ඒක ආරක්ෂක කවුන්සිලයට දමා තිබෙනවා. දැන් එය ආරක්ෂක විෂයට අයත් කරුණක්. ඒ ගැන සොයා බලා ක්‍රියා කරනවා කියලා. මට එතැනින් එහාට ඒ ගැන ඇඟිලි ගහන්න බෑ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ අය තවමත් අපේ රටේ සිටිනවද කියා සොයා බලන්න තමයි මාධ්‍ය මඟින් කතා කළේ.

මහා සංඝයා වහන්සේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක ඇමැතිවරයා සිදු කළැයි කියන ප්‍රකාශය පිළිබඳ ලොකු ආන්දෝලනයක් තිබෙනවා. ඒ ගැන ‍ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

ගරුතර මහා සංඝරත්නයට යමෙක් අපහාස කර කතා කරනවා නම් එය දරුණු වරදක්. බුදුරාජණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී වදාළේ මා ඉගැන්වූ ධර්මයත්, විනයත් ඔබේ ශාස්තෘවරයාණන් වන්නේ ය කියලයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ගෙන එන්නේ ගරුතර සංඝරත්නය හරහායි. එවැනි වූ සංඝ රත්නයට අපහාස කිරීම දරුණු වරදක්. ඒකට පියවරක් නොගැනීමත් දරුණු වරදක්.

Comments